අනුප්‍රාප්තික ජනාධිපති මෙන්ම මුදල් ඇමති ද වන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධිත අය වැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මතවීම මේ දක්වා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වෙනත් අයවැය යෝජනාවලින් වෙනස් වන්නේ නැත. ඒ අන්තර්ගතය කුමක් වුවත් ආණ්ඩු පක්ෂයට බහුතරයක් පවතින තාක් ඕනෑම යෝජනාවක් සම්මත කිරීමේ ‘‘ප්රජාතන්ත්ර’’ භාවිතයක් පවත්නා නිසා ය. යෝජනාවලින් අත්වන අනිටු ප්‍රතිඵල ගැන වගකීමක් නොමැති ජනාධිපති හෝ ඇමතිවරුන්ට අත් ඔසවා අනුමත කිරීමෙන් හානියක් සිදු වන්නේ ද නැත. ඒවා විඳ දරා ගත යුත්තේ රටේ ඡන්ද දායකයන් ය. තනතුර හැර දා ගිය ජනාධිපති ඔහුගේ පාලන සමයේ ගත් තීරණ නිසා තෙල්, ගෑස් පෝලිම්වල තපින්නේත් බෙහෙත් නැතිව අකාලයේ මිය යන්නේත් සාමාන්‍ය ජනතාව විනා ජනතා නියෝජිතයන් යැයි හඳුන්වා ගන්නා අය නොවේ.
ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ යැයි කියන ජනාධිපති ඇතුළු පුද්ගලයන් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ කරන කියන දේත් පරිපාලන යන්ත්‍රය තුළින් ක්‍රියාත්මක වන දේත් විමසීම ඔවුන්ගේ දේශපාලන නිරුවත් භාවය හෙළි කරමින් ජනතාවට කොකා පෙන්වීමේ හැකියාව ද ප්‍රදර්ශනය කරවයි. එහෙත් ගැටලුව වන්නේ ඔවුන් කියන දේ දියවන්නා ඔය හරහා හමා යන සුළඟේ පාවී ගිය ද කරන දේ උපන් මෙන්ම නූපන් පරපුරට ද බලපෑමයි. රටම හිඟන්නන් බවට පත් කිරීමේ වගකීමක් ඔවුන්ට නැත. පොරොන්දු කඩ කිරීම නිසා ඔවුන් අධිකරණය හමුවට ගෙන යෑමට කිසිත් ප්රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත. එහි ඇත්තේ ජනතාව පාලනය කිරීමට නීතිය යොදා ගන්නා ආකාරය පමණි.
ජනතාවට කොකා පෙන්වීමේ කලාව මෙම දේශපාලකයන් ප්‍රගුණ කර ඇති ආකාරය මාස තුනක් සඳහා වූ මෙම අයවැය යෝජනාවලින් ද පැහැදිලි කළ හැකිය. නිදසුනක් වශයෙන් නව මුදල් ඇමති ඉදිරිපත් කළ යෝජනාවක් වූයේ බදුල්ලේ සිට කොළඹට එළවලු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදවා ගැනීම ය. වගාකරුවන් මුහුණ දී ඇති එකම ප්රශ්නය එළවලු ප්‍රවාහනය නම් එවැනි යෝජනාවක් අර්ථවත් දෙයක් විය හැකිව තිබිණ. එළවලු නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනයේ පවතින දුර්වලතා නිසා අපතේ යන බව සත්‍යයකි. අපතේ යෑම කළමනාකරණය පිළිබඳ අධිකාරිය ගණන් බලා ඇති ආකාරයට බස්නාහිර පළාතේ පමණක් මසකට ආහාර වර්ග මෙට්‍රික් ටොන් 500ක් අපතේ යයි. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවක සඳහන් වන ආකාරයට මාසිකව අපතේ යන ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,000කි. එවැනි තත්වයක් යටතේ සාගින්නෙන් පෙළීම අතින් ලොව හය වැනි තැනට පත්ව ඇති ලංකාවේ පශ්චාත් අස්වනු කළමනාකරණය පිළිබඳ ව විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් එය එළවලු වගාකරුවන් මුහුණ දී ඇති ගැටලු දුම්රිය මැදිරියක් ලබා දීමට ලඝු කළ හැක්කක් නොවේ. ප්‍රවාහනය එළවලු වගා කිරීම සහ වෙළඳ පොළට යැවීමේ දී ඇති ප්‍රශ්න රැසකින් එකක් පමණි. විද්‍යාත්මක ව ප්‍රශ්නයට විසඳුමක් අපේක්ෂා කරන්නේ නම් ඒ සියලු අංශ සැලකිල්ලට ගත යුතුය.
ලංකාවේ දේශපාලකයන් ගේ සහ පරිපාලකයන් ගේ ඇස් ඇරෙන්නේ ප්රශ්නය ජනතාවට දරා ගත නොහැකි තරම් විනාශයක් වන අවස්ථාවල පමණි. එතෙක් සියල්ල සාමාන්‍ය ආකාරයෙන් සිදුවනු ඇතැයි බලා සිටිනු ඇත. කෘෂිකර්මයේ සිට විදේශ විනිමය සංචිත පවත්වා ගැනීම දක්වා පුරුද්ද එයයි. විදේශ විනිමය බින්දුවට වැටෙනතාක් කිසිම පියවරක් නොගෙන සිටීම සැලසුම් සහගත වැඩ පිළිවෙළක් අනුගමනය කිරීමට ඇති නොහැකියාව සහ අකමැත්ත පෙන්නුම් කරයි. එළවලු ප්‍රවාහනය ගැන උනන්දුවීම ද එවැන්නකි.
එළවලු වගාව වී ගොවිතැන සමානව ජන ජීවිතයට අවශ්‍ය කාරණයක් වුවද ඊට සැලසුම් කිරීමක් තිබුණේ නැත. අපේ දේශගුණික සහ පසේ තත්වයන්ට ගැලපෙන බීජ වර්ග පහසුවෙන් ලබා ගත හැකිවීම සාර්ථක වගාවට මූලික වුවද එය දේශපාලකයන්ගේ හෝ පරිපාලකයන්ගේ අවධානයට ලක් වන්නේ නැත 2020 විගණන වාර්තාවෙන් දක්වන ආකාරයට 2014 සිට 2019 දක්වා කාලය තුළ නිසි ප්‍රමිතියක් නොමැතිවීම නිසා රු. දශලක්ෂ 38ක බීජ ඉවත දැමීමට සිදුව ඇත. ප්‍රමිතියකින් යුත් බීජ ලබා ගැනීම දිගටම පැවති ගැටලුවක් නිසා බීජ පිළිබඳව නීති සකස් කිරීමේ අවශ්‍යතාවයක් තිබිණ. ඒ අනුව 2003 අංක 22 බීජ පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් නමුත් ඉන් එහාට කිසිත් සිදු වූයේ නැත. විගණන වාර්තාවේ සඳහන් වන අයුරු 2021 ජනවාරි වන තෙක් එම පනත යටතේ නිකුත් කළ යුතු නියෝග සහ ක්‍රියා පටිපාටි ගැසට් කර තිබුණේ නැත. එමනිසා ප්‍රමිතියකින් තොර බීජ ආනයනය දිගටම සිදු විය. 2018 දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය පළ කළ වාර්තාවක් අනුව ගොවීන්ගෙන් සියයට 70ක්ම භාවිතා කරන්නේ ආනයනය කරන ලද දෙමුහුන් බීජ වර්ගයි.
දේශීය වශයෙන් බීජ වර්ග පිළිබඳව පර්යේෂණයට සහ නිෂ්පාදනය කිරීමට ගොවි පොළවල් 27ක් තිබුණ ද ඒවා විවිධ හේතු නිසා නිසි ආකාරයට ක්‍රියාත්මක වන්නේ නැත. 2003 දී සම්මත කර ගත් බීජ පනත අනුව ඒ පිළිබඳ ව අදාළ අංශවලින් මණ්ඩලයක් පත් කළ යුතු වුවද 2017 වන තෙක් එනම් වසර 14ක් ගතවන තෙක් එවැනි මණ්ඩලයක් සංස්ථාපනය කර තිබුණේ නැත. නියාමනයක් නොතිබු නිසා බීජ ආනයනය දිගටම සිදු විය. විගණන වාර්තාවේ දැක්වෙන ආකාරයට 2015 දී බීජ ආනයනය සඳහා රු. දශලක්ෂ 962.7ක් වැය වූ අතර 2019 වන විට එය රු. දශලක්ෂ 1491.6 දක්වා සියයට 35කින් ඉහළ ගියේය. බීජ සහ රෝපණය සඳහා අණ පනත් තිබුණ ද ඒ කිසිත් ක්‍රියාත්මක වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ 2018 වසරේ දී රු. බිලියන 49.9 වටිනා එළවලු මෙට්‍රික් ටොන් 738,200ක් ආනයනය කිරීම ය.
දැන් නව පාලනය යෝජනා කරන්නේ රජයේ ගොවිපොළ සතුව ඇති පාවිච්චියට නොගත් ඉඩම් පුද්ගලයන්ට පවරා දීම ය. මෙම ගොවිපොළ පිහිටුවා ඇත්තේ කවර කාර්යක් සඳහා ද එය නොකෙරෙන්නේ ඇයි ද යන්න සොයා බැලීම පාලකයන්ගේ අවශ්‍යතාවය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ පොදු දේපොළ හිමි කර ගැනීම හෝ තම හිතවතුන් අතට පත් කිරීමය. කෘෂි නිෂ්පාදනය වැඩි කිරීමට බලාපොරාත්තු වන්නේ ඒ ආකාරයෙනි. එම ක්ෂේත්රයේ ඇති ගැටලු හඳුනා ගෙන විසඳුම් සෙවීම ඔවුන්ගේ වගකීම නොවේ.
මෙය එළවලු වගාවට පමණක් සීමා වුවක් නොවේ. සමස්ත රාජ්‍ය පද්ධතියේ ම ඇත්තේ සම්පත් හොරාකෑමේ සූරාකෑමේ භාවිතය යි. විගණන වාර්තාවලින් වාර්ෂිකව රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන තොරතුරු සවිස්තරාත්මක ව පාර්ලිමේන්තුවේ අදාළ කොමිටිවලට වාර්තා කරන නමුත් ඒ ගැන පියවර ගැනීමේ වගකිම පැවරී ඇත්තේ දේශපාලකයන්ට නිසා අවධානය යොමු වන්නේ නැත. මෙම නොසැලකිල්ල රාජ්‍ය පරිපාලන පද්ධතියේ කෙතරම් කිඳා බැස ඇත්ද යන්න පැහැදිලි කිරීමට 2020 විගණන වාර්තාවේ සඳහන් වන එක් කරුණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වියහැකිය.
එහි සඳහන් වන ආකාරයට 2011 ජනවාරි සිට 2020 දෙසැම්බර් දක්වා කාලය තුළ පළාත් පාලන ආයතනවලින් පාර්ශ්වකරුවන් 490ක ගෙන් රු. දශ ලක්ෂ 34.80ක් අය කර ගැනීම සඳහා අධිභාර සහතික 490ක් නිකුත් කර ඇත. එහෙත් 2021 ජුනි වන තෙක් අය කර ගෙන ඇත්තේ රු. දශ ලක්ෂ 4.99ක් එනම් සියයට 14ක් පමණි. රාජ්‍ය සම්පත් අවභාවිතය පෙන්වා දුන්නත් ඒවා නිවැරදි කිරීමට දේශපාලකයන් සූදානම් නැත.
විගණන වාර්තා කියවන විට රාජ්‍ය සම්පත් අවභාවිතය පළාත් පාලන ආයතනවල පමණක් නොව සෑම දෙපාර්තමේන්තුවක සහ රාජය ව්‍යවසායක නිතර සිදු වන්නක් බව පෙනේ. එහෙත් වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ හානිය අය කර ගැනීම බොහෝවිට සිදු වන්නේ නැත. ඊට මූලික හේතුව දේශපාලනයේ පිරිහීම ය. වංචාව සහ දූෂණය රාජ්‍ය යන්ත්‍රයේත් සමාජය තුළත් සාමාන්‍ය දෙයක් බවට පත්වීම ය.
නව ගමනක් ආරම්භ කළ යුතුවන්නේ මෙම ජරාජීර්ණ ක්‍රමය ඉවත දමා ජනතාවට වගකීමට නීතිමය බැඳීමක් ඇති නොඑසේනම් පවරා ඇති බලය හෝ නියෝජිත භාවය අවලංගු කළ හැකි පාලන ක්‍රමයක් තුළින් පමණි. එවැනි ක්රමයක නීතිය සැබැවින්ම ක්‍රියාත්මකවීමට අමතරව නීතිය ක්‍රියාත්මක නොවීම ප්‍රශ්න කිරීමට ව්‍යුහයන් තිබිය යුතුය. කෙටියෙන් දේශපාලනය මහජන සේවාවක් විනා රාජ්‍ය සම්පත් මංකොල්ල කන සහ එසේ රැස්කරන ලද ධනය විදේශ බැංකුවල තැන්පත් කිරීමෙන් ජනතාවට ඇති බැඳීමෙන් නිදහස්වන ව්‍යවස්ථාපිත ක්‍රමයක් නොවන බවට සහතික කරන නීති පද්ධතියක් තිබිය යුතුය. එමෙන්ම පරිපාලන ව්‍යුහයකට නායකත්වය සහ මගපෙන්වීමේ මාධ්‍යයක් විය යුතුය.
අපේ රටේ දේශපාලකයන් තවමත් එවැනි වෙනසට සූදානම් නැති බව ඔවුන් පාර්ලිමේන්තුවේ කරන කතා වලින් සහ ඉන් බැහැරව හැසිරෙන ආකාරයෙන් පැහැදිලි ය. ඔවුන්ට පාර්ලිමේන්තුව සහ ඒ හා බැඳී ඇති වරප්‍රසාද අයථා ගනුදෙනු නිරුපද්‍රිතව පවත්වා ගැනීමේ කඩතුරාවකි. දේශපාලන පෙරළියක් අවශ්‍ය වන්නේ මෙම කඩතුරා ඉවත් කිරීමට සහ නව ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට ය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024