අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක් අනුව වයසට සරිලන බර ප්‍රමාණය අඩු ළමයින්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවන තත්වයක් යටතේ පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු කාර්යකි. එය කිසියම් දේශපාලකයෙකුගේ අනුග්‍රහයක් නොව අනාගතය වෙනුවෙන් වගකිව යුතු රජයක් ඉටු කළ යුතු කාර්යකි. නිදහස් අධ්‍යාපනය සැබැවින් ම අර්ථවත්වීමට නම් පෙළ පොත් හා බස් රථ ලබා දීමට අමතරව ළමයින්ගේ පෝෂණ තත්වය ද අනිවාර්යෙන්ම පාලකයන්ගේ අවධානයට ලක් විය යුතු කාරණයකි.
ලිබරල් ආර්ථික ක්‍රමය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්වීමත් සමග සුභ සාධන වියදම් එකින් එක කපා හැරීම සෑම ආණ්ඩුවක් යටතේම නොකඩවා සිදු විය. සිහි තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ රාජ්‍ය වියදම් කපා හැරීමේ දී සුභ සාධන වියදම් ඉලක්කයක් වුවද රජයේ අනෙක් වියදම් එන්න එන්නම වැඩි විය. රටේ ළමයින්ගේ මන්ද පෝෂණය වැඩි වුවද ඇමතිවරුන්ගේ සංඛ්‍යාව මෙන්ම ඔවුන්ගේ වරප්‍රසාද ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ වඩාත් පෝෂණය විය. වයසට සරිලන බර ප්‍රමාණය නැති ළමයින්ගේ ප්‍රමාණය 2021 දී සියයට 12.2 ක්වූ අතර 2023 දී සියයට 17.1 දක්වා වැඩි විය. කෘෂවීම එම කාල පරාශය තුළම සියයට 7.1 සිට 10.1 දක්වා වැඩි විය. මෙම තත්වයට මූලික හේතුව වන්නේ දරිද්‍රතාවයයි. අලුත් ම සංඛ්‍යා ලේඛන අනුව දශලක්ෂ විසි දෙකක් වූ ජන සංඛ්‍යාවෙන් දශලක්ෂ හතක්ම දිළින්දන් වී ඇත. ඒ අනුව පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම කිසියම් සහනයක් වුවද ඉන් ළමා මන්දපෝෂණය හෝ අධ්‍යාපනයේ ගැටලුව විසඳීමට කිසිසේත් ප්‍රමාණවත් නැත.
වැරදි සහගත අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා රටම බංකොළොක් වී ජනතාව දිළින්දන් බවට පත්ව තිබිය දී අධ්‍යාපනය ගැන සිත් යොමු කරන්නේ නම් එය දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. අපේ රටේ පාලකයන් සුපුරුදු ආකාරයට අනුගමනය කරන්නේ පැලැස්තර ඇලවීමෙන් ජනතාව මුලා කිරීමේ ක්‍රියා මාර්ගයයි. රජයක වගකීම වූ අනාගත පරපුරේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීම මහා පරිත්‍යාගයක්යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ එම නිසා ය.
ළමයින්ගේ පෝෂණ තත්වය ගැටලුවක් නොවන තත්වයක් යටතේ වුවද අධ්‍යාපන ක්‍රමයේ පවතින්නේ බලවත් අවුලකි. දේශපාලකයන් එය නොදත් ආකාරයෙන් සිටිය ද දෙමාපියන් සහ ළමයින් දිනපතාම අත් විඳින සත්‍යයි. මේ බවට හොඳම නිදර්ශනය වන්නේ අද රට පුරාම ටියුෂන් පංති පැවැත්වීම ඉහළම ලාභ ලබා දෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබීමයි. ටියුෂන් ගුරුවරුන් නොමැතිනම් සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයම බිඳ වැටීමේ අවදානමක් පවතී. ටියුෂන් ගුරුවරුන්ගේ ආදායම යනු දෙමාපියන් තම ළමයින්ගේ අනාගතය වෙනුවෙන් කරන අසීරු ආයෝජනයකි. බොහෝ දෙමාපියන්ට එම වියදම දරා ගත නොහැකි වුවද තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු වියදමකි.
විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දෙන රටක දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් උපයන ආදායමෙන් හරි අඩක්ම වැය කිරීමට සිදුව ඇත්තේ ඇයි? අධ්‍යාපනය නිදහස් වුවද ලබා දෙන අධ්‍යාපනය ගුණාත්මක භාවයෙන් පිරිහීමයි. කෙටියෙන් දැනට යොදා ගන්නා මිනුම් දණ්ඩක් වන විභාගවලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නොවීමය. දැනුම සහ බුද්ධිය මැනීමේ ක්‍රමවේදයක් ලෙස විභාග ක්‍රමයේ නොයෙකුත් අඩුපාඩු පවතින නමුත් දෙමාපියන්ට තම දරුවන් ඊට හැඩ ගැස්වීම හැර වෙනත් විකල්පයක් නැත. එමනිසා අකමැත්තෙන් වුවද ඉමහත් වෙහෙසක් දරා ළමයින් ටියුෂන් පංතිවලට යැවිය යුතුය. වගකිව යුතු රජයක් නම් පාසල් ළමයින්ට දිවා ආහාර ලබා දීමට අමතරව මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතුය.
ඩිජිටල් යුගයටත් ඉන් ඔබ්බට ගොස් ඒ අයි නමින් හැඳින්වෙන කෘත්‍රීම බුද්ධියත් පාසල් විෂය මාලාවට එක් කිරීමට සැලසුම් කරන්නේයැයි පාරම්බාන මෙම පාලකයන්ට අධ්‍යාපනයේ මූලික පදනම් හෝ ශක්තිමත් කිරීමට නිසි වැඩ පිළිවෙළක් නැත. කලා ශාස්ත්රවලට අමතරව විද්‍යාව සහ ගණිතය ඕනෑම අධ්‍යාපන ක්රමයක පදනම් ය. එහෙත් අපේ ළමයින්ට විද්‍යාව සහ ගණිතය ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙතෙක් පැවති සියලුම ආණ්ඩු අපොහොසත්ව ඇත. අපේ රටේ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් තිබුණ ද විශ්වවිද්‍යාලයට පිවිසීමේ කඩඉම වන උසස් පෙළ අධ්‍යාපන පහසුකම් ඇත්තේ පාසල් 2952ක පමණි. එනම් මුළු පාසල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වැනි ප්රමාණයකි.
ඊටත් වඩා කැපී පෙනෙන කරුණ වන්නේ විද්‍යා විෂය ධාරාව ඇත්තේ ඉන් පාසල් 1011 ක වීමය. ඉන් අදහස් වන්නේ පාසල්වලින් විද්‍යා විෂය ධාරාව ඇත්තේ සියයට එකක් යන්නයි. අපේ පාලකයන් ඩිජිටල් යුගයට පිවිසෙන්න සැලසුම් කරන්නේ විද්‍යා විෂය පාසල් සියයට 99කට අහිමි කිරීමෙනි. මෙවැනි හාස්‍ය ජනක එමෙන්ම ඛේද ජනක කතා කිව හැක්කේ දේශපාලකයන්ට පමණි.
රටක් ආර්ථික සමෘද්ධිය කරා පිය නැගිමේ දී අඩිතාලම වන්නේ අධ්‍යාපනය උසස් මට්ටමකට පත් කිරීම ය. ආසියාවේ දිළිඳු රටවලට ආදර්ශයක් විය හැකි සිංගප්පූරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ආර්ථිකය හැසිරවීමේ අයිතිය ලබා ගත් මුල්ම වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් සියයට 35 ක් වෙන් කෙළේය. ඒ රටක ශ්‍රමිකයන්ට උසස් අධ්‍යාපනයක් නොමැතිව ආර්ථික සටන ජයගත නොහැකි නිසාය. මෑතක දී ඉතියෝපියාවේ ආර්ථික සැලසුම් සම්පාදකයන් ඉදිරියේ දේශනයක් පැවැත් වූ ලොව අග්‍ර ගණයේ සංවර්ධන ආර්ථික විශේෂඥයෙකු වූ ජෙෆ්රි සැක්ස් පැවසූ ආකාරයට සෑම ළමයෙකුම අඩුම වශයෙන් වසර 14ක ප්‍රාථමික මට්ටමේ සිට තෘතීක මට්ටම දක්වා අධ්‍යාපනය ලැබිය යුතුය. ඕනෑම රටක් ආයෝජකයන්ට ආකර්ෂණයක් වන්නේ උගත් දැනුවත් ශ්‍රමික සංඛ්‍යාවක් සිටින්නේනම් පමණි. ඒ සඳහා ජාතික අයවැයෙන් අඩුම වශයෙන් සියයට 15-20 අතර ප්‍රමාණයක් වෙන් කළ යුතුයැයි ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් නිදහස් අධ්‍යාපනය ගැන පාරම්බාන අපේ රටේ ඇත්තේ ඊට හාත් පසින්ම වෙනස් තත්වයති. දැනට දශකයකට පමණ පෙර තම වැටුප් වැඩි කර ගැනීමටත් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීමටත් උද්ඝෝෂණය කළ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලිම වූයේ ජාතික අයවැයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය යන්නයි. සියයට හයක් යන්න සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ වෙන් කළ ප්‍රමාණයට හෝ ජෙෆ්රි සැක්ස් නිර්දේශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වුවද ළමයින්ගේ කුස ගින්න නිවීමට නොමිලයේ ආහාර වේලක් දෙන, පාසල්වලට බස් රථ ලබා දෙන දේශපාලකයන් එම අඩු ප්‍රමාණය හෝ ජාතික අයවැයෙන් වෙන් කිරීමට උනන්දු වන්නේ නැත. 2024 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ සියයට 4.4 කි. එහෙත් ආරක්ෂාව සඳහා සියයට 6.1 වැය කිරීමට ඔවුන් සූදානම් ය.
අපේ පාලකයන්ගේ මුග්ධ භාවය නිසා වෙන් කර ඇති සොච්චම් මුදල හෝ ඵලදායි ආකාරයට වැය කරන්නේ නැත. දරිද්‍රතාවයෙන් මිදීමට සාර්ථක සැලසුම් ක්‍රියාත්මක කළ ආසියාවේම සමහර රටවල් ප්‍රමුඛතාවය ලබා දුන්නේ පාසල් අධ්‍යාපනයට ය. නිදසුනක් වශයෙන් දැන් සංවර්ධිත රටක් වන දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපනය අතර වියදම් අනුපාතය 0.28 කි. එහෙත් ලංකාවේ සිදු වන්නේ එහි අනිත් පැත්තයි. 2020 දී ශිෂ්‍යයෙකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රු. 502,172.00 ක් වසරකට වැය කළ අතර පාසල් ශිෂ්‍යයෙකු සඳහා වැය කෙළේ රු. 39,126.00 කි. මෙවැනි අසමාන තත්වයක් පවතින්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පාසල් ශිෂ්‍යයන්ගෙන් සියයට 8ක් පමණ ක් සුදුසුකම් ලබන තත්වයක් තුළය.
අධ්‍යාපනය සඳහා සම්පත් වෙන් කිරීමේ පවතින නොගැලපීම පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාවේ සිට ගුරුවරුන්ගේ සංඛ්‍යාව දක්වා දැකිය හැකිය. මුළු පාසල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක ශිෂ්‍ය සංඛ්‍යාව සියයට වඩා අඩුය. එම පාසල්වල ගුරු සංඛ්‍යාව 3-9ත් අකර වේ. ඒ සමගම ශිෂ්‍යයන් 4000 ට වැඩි පාසල් ද පනහට ආසන්න සංඛ්‍යාවක් පවතී.
මෙම සංඛ්‍යාලේඛන දෙස මතු පිටින් බැලීමේ දී සම්පත් කළමනාකරණයේ බරපතළ වැරැද්දක් පවතින බව පැහැදිලිය. තවත් දශක කීපයකින් සංවර්ධිත ලංකාවක් ගැන දහවල් සිහින දකින පාලකයන්ට අධ්‍යාපනය සඳහා වෙන් කරන සොච්චම් මුදල හෝ මනාව කළමනාකරණය කිරීමේ හැකියාවක් නැති බව පැහැදිලි ය. මෙවැනි තත්වයක් යටතේ ජාතික අයවැයෙන් සියයයට 6ක් නොව සියයට 12ක් වෙන් කළත් සෙතක් නැත. ඒ වෙන කිසිවකටත් වඩා දැක්මක් හෝ සැලැස්මක් නැතිකම නිසාය.
මෙවැනි පසුබිමක් තුළ පාසල් ළමයින්ට නොමිලයේ දිවා ආහාරය දීම කලකට පෙර පෙළ පොත් නොමිලයේ ලබා දීමට වෙනස් වන්නේ නැත. පෙළපොත් නොමිලයේ ලබා දීම දෙමාපියන්ට කිසියම් සහනයක් වුවද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය, තම දරුවන්ට ගුණාත්මකව ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට එය කිසිදු ආකාරයෙන් විසඳුමක් වූයේ නැත. එමෙන්ම නොමිලයේ දිවා ආහාරය ලබා දීම දරු පරපුරේ සුළු කොටසකගේ දිවා කාලයේ කුස ගින්න නිවා ගැනීමට හේතු වුවද ළමා මන්දපෝෂණයට විසඳුමක් නොවේ.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024