You are currently viewing ත්‍රස්ත මර්ධන පනතට එරෙහිවීම සමාජ වගකීමක්..

ත්‍රස්ත මර්ධන පනතට එරෙහිවීම සමාජ වගකීමක්..

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධයකදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තවත් විරෝධතාකරුවන් 56 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. සමාජ ආර්ථික ක්ෂේත්‍රයේ සෑම අංශයකම ක්‍රියාත්මකවන ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම හකුළා දැමීමේ වෑයමට එරෙහිවූ ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත් අඩංගුවට ගැනීම සිදුවී ඇති බව පැහැදිලිය.

ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම දියකර හැරීමේ වඩාත් අයුක්ති සහගත ස්වරූපය පසුගිය දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මකවූ ආකාරයෙන් මැනවින් පෙන්නුම් කළේය. මෙහිදී ව්‍යවස්ථාදායකයේ නියෝජිතයින් අදහස් ප්‍රකාශ කිරීම තර්ජනාත්මක ස්වරූපයෙන් යටපත් කිරීමට ජනපතිවරයා ඉදිරිපත් විය. ජන සමාජය වෙත ඉදිරියේදී එල්ලවිය හැකි අනතුරුදායක සංඥාවක් මෙහි ගැබ්වී ඇත. මෙම ස්වභාවයට එරෙහිව පැනනැගෙන ජනතා විරෝධය මැඩලීමේ රාජ්‍ය ප්‍රතිචාරය වඩාත් මර්ධනීය ස්වරූපයක් ගනු ඇතැයි අනුමාන කළ හැක.

මේ අතර ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගැනීම පිළිබඳ ජන සමාජයේ වැඩි දුරටත් සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. එම අවස්ථාවේ පැවති පොලිස් ක්‍රියාන්විතයේද සහාසික ස්වරූපයක් තිබුණි.එහි පැවතියේ මර්ධනීය මෙහෙයුමක ක්‍රියාකාරිත්වයකි.

ත්‍රස්ත මර්ධන පනත යටතේ දින ගණනාවක් රැඳවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ නිදහස් කිරීමෙන් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම් හා  රඳවා තබාගැනීම් පිළිබඳ වඩාත් සංවේදී අත්දැකීම් රාශියක් ජන සමාජයට කාන්දු විය. විශේෂයෙන් දකුණේ ජන සමාජය මෙම මර්ධනීය පනත පිළිබඳ අවබෝධයක් හා විමසිල්ලට යොමු කිරීමක් එමගින් සිදු කෙරුණි.

එතෙක් දකුණේ ජන සමාජයේ අල්ප පිරිසකගේ හැර මෙම මර්ධනීය පනත් පිළිබඳ පැවතියේ ඇල්මැරුණු හැඟීමකි.මෙම ත්‍රස්තවාදී මර්ධන පනත ඇත්තේ ‘උතුරේ නැගී සිටින ජන බලවේග මැඩලීමට පමණි’යන හැඟීම දකුණේ ජන සමාජයේ ප්‍රචලිත අදහස වී තිබුණි.මෙම පනත මගින් අත් අඩංගුවට පත් වූවන්ගේ සියලු අයිතීන් අධිකරණ ක්‍රියාකාරිත්වයකින් බැහැරවූ, පාලන අධිකාරියක් යටතේ පවතින බව පිළිබඳ හැඟීමක් දකුණේ ජන සමාජයේ නොතිබූ තරම්ය.

වසන්ත මුදලිගේ අත් අඩංගුවේ සිටියදී අවශ්‍ය නොවූ ස්ථානවලට නීති විරෝධීව රැගෙන යාම හා නීතිවේදීන්ට පවා සම්මුඛවීමට තහංචි පැවති අන්දමත් ජන සමාජයට සන්නිවේදනය විය. මෙම පනතේ ඇති මර්ධනීය හා අමානුෂික ස්වරූපය රටේ පවත්නා නීතියට සමීප නොවීම පිළිබඳ දකුණේ ජනතාවගේ දැඩි අවධානයට ලක්වීම සිදුවූයේ වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් මුහුණ දුන් අත්දැකීම් හරහාය. පවත්නා පීඩාකාරිතත්වයත් ඊට එරෙහිව මතුවන විරෝධයත් හමුවේ මෙම පනත්වල ඇති බියකරු මුහුණුවර ගැන මේ වන විට ජන සමාජයේ තියුණු අවධානයට ලක්වීම සැළකිය යුතු කරුණකි.

මෙම පනත යටතේ දැනට අත්  අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන්ගේ අමිහිරි අත්දැකීම්ද මේ හා සමාන බව අමුතුවෙන් කිවයුතු නොවේ. වෘත්තීය අයිතීන්,පුරවැසි අයිතීන් පවා යටපත් කිරීමේ හැකියාවක් මෙහි ඇති බව පැහැදිලිය.

අත් අඩංගුවට ගනු ලබන අයෙකුගේ ප්‍රකාශනයම ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට ප්‍රමාවත් වේ.එම ප්‍රකාශය ලබාගත් ආකාරය වැදගත් කරුණක්ද නොවේ. ඔවුන් රඳවා තබාගැනීමේ ක්‍රියාවලිය අධිකරණය සතු නොවන අතර එය පාලන බලය මත තීරණය වේ.සරලවම කිවහොත් අත් අඩංගුවේ පසුවන අයගේ ඉරණම තීන්දු කිරීමේ අයිතිය ආරක්ෂක ඇමතිවරයා සතුය.මේ වන විට රැඳවුම් භාරයේ හා දඬුවම් ලැබ සිටින සියලු ජාතීන්ට අයත් පුද්ගලයින්ගේ තත්ත්වයද එයයි.

මෙම පුද්ගලයන්ගේ ජීවිත හා බැදුනු අතිශය සංවේගජනක ප්‍රවෘත්ති රාශියකි. ඇතැම්හු ත්‍රස්ත මර්ධන පනත් යටතේ දඬුවම් ලැබීමට හෝ රඳවා තබාගැනීමට තරම් ක්‍රියාවලට සම්බන්ධවූවෝද නොවෙති.මෙවැනි පනත් මගින් නිරෝගී සමාජ දේහයක් පවත්වාගෙන යා හැකිද යන පැනය මෙහිදී මතුවේ. මේ මොහොත වන විට ප්‍රබල ජන විරෝධයන් පැන නැගීමට තරම් හේතුවූ කාරණා සමස්ත ජන සමාජය පුරා මෝදු වෙමින් පවතී.

‘ත්‍රස්ත මර්ධන පනත වහාම අහෝසි කරනු!’

‘මෙම පනත යටතේ රැඳවුම් භාරයේ හා දඬුවම් විඳින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!’

යන සටන් පාඨද සෑම අරගලයකම ප්‍රමුඛ සටන් පාඨයක් ලෙස ඉහලින්ම එසවීමේ කාලය පැමිණ ඇත.මෙම මර්ධනීය පනත් විවිධ මුහුණුවරින් සමාජයට ගෙන ඒම වැළැක්වීමද සමාජ වගකීමක් ලෙස ඉස්මතු වෙමින් තිබේ.

Leave a Reply