You are currently viewing ගොඨාභය රාජපක්ෂට කණේ පහරක්- දුමින්ද සිල්වා නැවත සිරගෙට..

ගොඨාභය රාජපක්ෂට කණේ පහරක්- දුමින්ද සිල්වා නැවත සිරගෙට..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපති ධුරයට තේරී පත්විමෙන් පසුව කලින් ඔහුගේ ආරක්ෂක උපදේශක දුමින්ද සිල්වාට නියම වී තිබුණ මරණ දඬුවමෙන් කඩිමුඩියේම නිදහස් කොට  නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත් කර ගත්තේය. ඔහුට මරණ දඬුවම නියම වී තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේම කම්කරු කටයුතු පිළිබඳ උපදේශකයෙකුව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහ දවල් පාර මැද ඝාතනය කිරීම සම්බන්ධයෙනි. රටේ මහත් ආන්දෝලනයක් ඇති වූයේ ආරක්ෂක උපදේශකයෙකු එම ආණ්ඩුවේම කම්කරු උපදේශක මරා දැමීම ට වඩා පළාත් පාලන මැතිවරණය දිනයේ මැතිවරණ නීති ද නොසලකා කරන ලද සාහසික ඝාතනයක් නිසා ය. අනිත් කාරණය මෙම ඝාතන පිටුපස බලවත් දේශපාලන හස්තයක් තිබුණ නිසා නීතිය ඉටු නොවන බව ද ජනතාව තුළ තිබුණ සැකයකි.

මිනීමැරුමට සම්බන්ධයැයි සැක කළ පුද්ගලයාට ලැබුණු දේශපාලන රැකවරණය නිසා හිසට වැදී ඇතැයි කියන වෙඩි පහරට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවේ රෝහලකට ගෙන යෑමට හැකි වීම ඔහුට තිබුණ දේශපාලන අනුග්‍රහයේ ශක්තියට නිදසුනකි. රට පුරාම නැගුණ බලවත් විරෝධය නිසා යම් යම් අධිකරණ ක්‍රියා මාර්ග ගත් නමුත් නීතිය ක්‍රියාත්මකවීම ගැන සැකයක් දිගටම පැවතිණ. මේ තත්වය වෙනස් වූයේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීම නිසාය. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ගේ දුවක් එම පාලනයේ මංත්‍රිවරියක්වීම ද අධිකරණ ක්‍රියාවලිය ඉක්මන්වීමට හේතුවක් වන්නට ද ඇත. ඇය දිගින් දිගටම මෙම නඩුවේ සැකකරුවෙකු මෙන්ම ඇය ද නියෝජනය කළ කොලොන්නාව ආසනයේ දේශපාලන බලවතා වූ දුමින්ද සිල්වා ට දෝෂාරොපණය කරමින් යුක්තිය ඉටු කිරීමට බලපෑම් කළාය.

2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වීමත් සමග ඒ සියල්ල කණපිට හැරවීමට උත්සාහයක් ගත්තේ ඔහුගේ ආරක්ෂක උපදේශක බේරා ගැනීමටත් වඩා විධායක ජනාධිපතිට කළ නොහැකි දෙයක් නැති බව තහවුරු කිරීමට ය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව මත පැටවූ අභාව ප්‍රාප්ත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මෙම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට කළ නොහැකි එකම කාර්ය ගැහැනියක පිරිමියෙකු බවට පත් කිරීමත් පිරිමියෙකු ගැහැනියක් බවට පත් කිරීමත් පමණක්යැයි පුරසාරම් දෙඩුවේය.

අධිකරණය රාජපක්ෂ පාලනයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීරණය කෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ඡෙදයෙ දක්වා ඇති මූලික අයිතිවාසිකම්වලට සීමා නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිච්ඡේදයේ දක්වා ඇති රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් ද සැලකිල්ලට ගැනීමෙනි. එය අයිතිවාසිකම් පිළිබඳව අගය කළ යුතු වර්ධනයකි.

අධිකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන ජනතාවට හිතකාමී ලෙස අර්ථ ගැන්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සුරක්ෂිත කිරීමේ පදනමක් වන බව නිසැකය. එහෙත් රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපතයය රැක ගැනීමටත් තහවුරු කර ගැනීමටත් ස්වාධීන අපක්ෂපාත අධිකරණයක් පැවතීම ප්‍රමාණවත් නොවේ. බලයට පැමිණෙන සෑම පාලකයෙකුම තම දේශපාලන බලයට එල්ල වන සෑම අභියෝගයක්ම කවර හෝ නිතියක් යටතේ මර්දනය කිරීමට පසු බට වන්නේ නැත. මර්දනයට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් අලුතින් නීති ගෙන ඒමට ද පසුබට වන්නේ නැත. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ද එවැනි උත්සාහයන් ය. මෙම පනත් දෙකට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විරෝධය නිසා සමහර නොවැදගත් වෙනස්වීම් කිරීමට පාලකයන් එකඟ වුවද ඒවා පාලකයන්ට එරෙහිව නැගෙන ජනතා හඬ මර්දනය කිරීමට යොදා ගැනිමට බාධාවක් වනු ඇතැයි කිව නොහැකිය.

මීට කදිම උදාහරණයක් වන්නේ විශේෂයෙන්ම වාර්ගික ආගමික සහ සංස්කෘතික වශයෙන් සුළු ජන කොටස්වලට සිදුවන වෙනස්කොට සැලකීම් පිටු දැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කර ගත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධානය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාව සම්මත කර ඇති 2007 අංක 56 ICCPR පනතයි. මෙම පනත මෙතෙක් යොදා ගෙන ඇත්තේ සුළු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට නොව බහුතරයේ ආගමික අන්තවාදී කොටස් සැනසීම සඳහාය. බහුතරයේ ආගමික පූජකයන්ට අනෙක් ආගම්වලට සහ ඒවා අදහන ජනතාවට නින්දා අපහාස කිරීම මෙම පනත යටතේ දක්වා ඇති අපරාධ යටතට ගැනේනේ නැත. ඒ ගැන නිදසුන් දැක්වීම කාලය අපතේ යැවිමකි.

මේ සියල්ලෙන් කියවෙන මහා පොදු ගුණාකාරය වන්නේ නීතියේ කුමක් සඳහන් වුවද තම බලාධිකාරය තහවුරු කර ගැනීමට දේශපාලකයන් සියලු උත්සාහ ගන්නා බවය. එය දේශබන්ධු ගේ සිට දුමින්ද සිල්වා දක්වා කියවෙන සත්‍යයි. අධිකරණ තින්දුවලින් එවැනි උත්සාහයන් සීමා කිරීමට හෝ නතර කිරීමට පියවර ගෙන තිබුණ ද ඒවා ප්‍රමාණවත් නොවන බව අපේ මෑත ඉතිහාසයෙන් කියවෙන අනෙක් සත්‍යයි. දේශබන්ධු තෙන්නකෝන් වැනි අයට පොලිස්පති තනතුරේ වැඩ බැලීමටත් ප්‍රසන්න රණතුංග වැනි අයට ඇමතිකම්වලට අමතරව පාර්ලිමේන්තුවේ සභානායක කම් ද කළ හැකි වන්නේ එම නිසා ය. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේනම් අධිකරණ තින්දු නොසලකා හැරීමේ හෝ බලරහිත කිරීමේ දේශපාලන බලයක් පාලකයන්ට ඇත.

එමනිසා මෙම වසරේ පැවැත්වීමට නියමිතයැයි (මා නියමිතයැයි කියන්නේ ඡන්ද විමසීම් ගැන රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රියා මාර්ගය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් ඡන්දයක් පැවැත්වීම හිස් බලාපොරොත්තුවක් පමණක් විය හැකිය යන අර්ථයෙනි.) කියන මැතිවරණවලදී ජනතාව ආණ්ඩු වෙනස් කිරීමට අමතරව ‘සිස්ටම් චේන්ජ්’ යනුවෙන් අරගලකරුවන් හැඳින් වූ ක්‍රමයේ වෙනසක් ගැනද සිතා බැලිය යුතුය.

ක්‍රමයේ වෙනසක් යන්නෙන් අදහස් වන්නේ නීති රීති බලතල පැවරීමේ, ක්‍රියාත්මක කිරීමේ වෙනසක් පමණක් නොවේ. ඒවායේ පවතින සිමාවන් පසුගිය වසර හැත්තෑපහක කාලය තුළ අපි දුටුවෙමු. පාලකයන්ට බලය පවරා පුරවැසියන් පැත්තකට වී බලා සිටීමෙන් ජනතා අපේක්ෂා ඉටු නොවන බව දැන් පැහැදිලිය. පුරවැසියන් සතුව ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇති අන්සතු කළ නොහැකි, පැවරිය නොහැකි පරමාධිපත්‍යය සැබැවින්ම පුරවැසියන් සතු කර ගත යුතුය. පාලකයන් අපේ නියෝජිතයන් පමණක් බව තහවුරු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය අණ පනත් ගෙන ඒමත් ක්‍රියාත්මත කිරීමත් ක්‍රමයේ වෙනසක් සඳහා අත්‍යවශ්‍ය ය.       

Leave a Reply