You are currently viewing ගිනස් පොතට ඇතුළත් විය යුතු රනිල් ගේ සුරංගනා කතා..

ගිනස් පොතට ඇතුළත් විය යුතු රනිල් ගේ සුරංගනා කතා..

සුරංගනා කතා කීම පිළිබඳ ව ගිනස් වාර්තා පොතේ සඳහන් කරන්නේ නම් එහි මුල් තැන ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනිවාර්යෙන්ම හිමි වන බවට කිසිදු සැකයක් නැත. ඔහු මෑතක ශික්ෂණ විද්‍යා පාඨ මාලාව හැදෑරු ශිෂ්‍යයන්ට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයේ දී පැවැත් වූ කතාව මින් පෙර සංවර්ධනය ගැනත් දුප්පත්කම නැති කිරීම ගැනත් කියා ඇති සුරංගනා කතා සියල්ල අභිබවා යන්නකි. ගරු ගාම්බීර ආකාරයෙන් පැවැත් වූ එම උත්සවයේදී ඔහු ඉදිරි වසර කීපය තුළ ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නව දිශාවකට හරවා පාසල් සිසුන්ට ඒ අයි නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන කාත්‍රිම බුද්ධිය ඉගැන්වීමට කටයුතු කරන බව සුපුරුදු ආඩම්බරයෙන් පැවසුවේය. ලංකාවේ සිසුන් අනාගතයේ ලොව ජය ගැනීමට නම් මෙවැනි වෙනස්කම් වහාම සිදු කළ යුතු බව ඔහු වැඩි දුරටත් අවධාරණය කෙළේය.

නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ දී පුරෝගාමී රටක් වූ ලංකාවේ අනෙත් බොහෝ දර්ශක මෙන්ම අධ්‍යාපනය ද කඩා වැටෙමින් පවතින බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. උසස් අධ්‍යාපනයෙන් පසුව විශ්ව විද්‍යාලයේ අඩුම වශයෙන් වසර තුනක් හෝ අධ්‍යයන කටයුතු නිම කර පිටවන උපාධිධාරියෙකුට හෝ සුදුසු රැකියාවක් ලබා ගැනීමට රැකියා පෝලිම්වල සිටීමට සිදුවීම අධ්‍යාපනය කඩා වැටීමේ එක දර්ශකයකි. මෙය අද ඊයේ ඇති වූ තත්වයක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිංහල සහ දෙමළ බසින් පවත්වා උසස් අධ්‍යාපනය පුළුල්වීමත් සමග පසුගිය ශත වර්ෂයේ හැත්තෑවේ දශකයේ සිට පැවත එන තත්වයකි. උසස්යැයි සම්මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ “යුද්ධය” ඇරඹුණේ ඊටත් පෙර සිටය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිව සිටි කාලයේත් අන් අය එම තනතුරේ වැජඹි කාලයේත් විවිධ පියවර ගන්නා බවට සපථ කළහ. කෙසේ වුවත් විසිඑක් වැනි සියවසේ දශක දෙකක් පසු කර ඇති නමුත් ප්‍රශ්නය එසේම පවතී. මේ සියල්ල මැද ඒ අයි පාසල් විෂයක් කිරීමට ගන්නා උත්සාහය සුරංගනා කතාවත් වන්නේ පවතින යථාර්ථය ගැන අඹමල් රේනුවක තරම්වත් අවබෝධයක් නැතිව කරන ප්‍රසිද්ධ ප්‍රකාශ නිසාය.

පළමුවෙන්ම පාසල් අධ්‍යාපන පද්ධතියේ ඇති බරපතළ අඩුපාඩු ගැන රනිල් වික්‍රමසිංහත් ඔහුගේ අධ්‍යාපන ඇමතිටත් කිසිම අවබෝධයක් නැත. අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතිකයැයි වර්ග කර ඇති පාසල් 350ක් සහ පළාත් පාසල්යැයි හඳුන්වන පාසල් 10,000කට ආසන්න ප්‍රමාණයක් පවතින නමුත් ඒවායේ පවතින පහසුකම් සහ අධ්‍යාපන මට්ටම උසස් කිරීමට මෙතෙක් සාධනීය පියවර කිසිත් ගෙන නැත. අධ්‍යාපන මට්ටම ශෝචනීය තත්වයකට පත්ව ඇත්තේ උපාධිධාරී ගුරුවරුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහ පුහුණු ගුරුවරුන් ලක්ෂ දෙක හමාරකට ආසන්න සංඛ්‍යාවක් සිටිය දීය. ඊට අමතරව පුහුණු ගුරුවරුන් සහ දෙදහසක පමණ පුහුණුවන ගුරුවරුන් සංඛ්‍යාවක් ද සිටිති. එහෙත් දශ ලක්ෂ හතරකට අධික සිසුන් සංඛ්‍යාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට ඉදිරිපත් වන්නේ ලක්ෂ පහක පමණ සිසුන් සංඛ්‍යාවකි. ඉන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ අතළොස්සකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා බොහෝ සිසුන් තුළ පෙළඹවීමක් නැත්තේ වසර තුනක් හෝ හතරක් ( රටේ පවතින දේශපාලන තත්වය එම කාලය වඩාත් දීර්ඝ විය හැකිය.) ගත කොට රැකියාවක් සොයා ගත නොහැකි තත්වයක් පැවතීම නිසාය. මේ සුදුසුකම් කිසිත් නැතිව දේශපාලනයට පිවිස කෝටි සංඛ්‍යාත මුදල් සෙවීමේ අවස්ථා අප සමාජ ක්‍රමය තුළ තිබුණත් එම අවස්ථාව හිමි වන්නේ දෙසියවිසිපහකටත් අඩු සංඛ්‍යාවකට පමණි. එමනිසා දේශපාලනය ද වෘත්තියක් වශයෙන් ආකර්ෂණීය වන්නේ නැත.

ඉහතින් දැක් වූයේ සමස්ත චිත්‍රයක කැපී පෙනෙන පැති කිපයක් පමණි. බිම් මට්ටමේ එක විස්තරයක් ද මීට එකතු කළ යුතුව ඇත. ඒ පසුගියදා විවරණ වෙබ් පිටුවට සකීෆ් සාමි නම් ගවේෂක තරුණයෙකු නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරංකේනිකුලම් නම් ගමේ පාසල ගැන සැපයු ලිපියකින් හෙළිවන විස්තරයකි. මෙම විශේෂයෙන් වැදගත් වන්වේ ඔහු සඳහන් කරන ආකාරයට මෙම ගම දෙමළ වැදි ගමක් සේ නම් කර ඇති නිසාය. බොහෝවිට බිම්තැන්න ප්‍රදේශයේ වැදි ජනතාවගෙන්ම පැවත එන මෙම ජන කොටස අසළ ගම්වල ජීවත්වන දෙමළ ජනතාව සමග මුසුවීම නිසා කතා බහ කරන්නේ දෙමළ භාෂාවයි. එහෙත් වැදගත්ම කරුණ එම ගමේ අධ්‍යාපන තත්වයයි. 

නිසි ප්‍රවාහන පහසුකමක් නැති අලි උවදුරෙන් නිතර පීඩා විඳින එම ගමේ සිසුන් උසස් අධ්‍යාපනයක් ලැබීමට නම් තවත් කි.මී. 30-40ක් පසු කොට වාකරේ වැනි නගරයකට පැමිණිය යුතුය. එය ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේ ගමට කැලෑව මැදින් වැටී ඇති දූවිලි පාරේ නිතර අලි ඇතුන් සහ වෙනත් වන සතුන් ගැවසෙන අනාරක්ෂිත ස්වභාවය නිසාය. අනෙක් අතට එම පාසල් සිසුන්ට නාගරික උසස් පාසලක අධ්‍යාපනයක් ලැබීමට තරම් මූලික අධ්‍යාපනයක් හෝ ලැබෙන්නේ නැත. සකීෆ් සාමිගේ ලිපියෙන් උපුටා දක්වන්නේ නම් තත්වය මෙසේය:

“මාංකේනිකුලම් ගමේ පාසලේ ද්වීතීය අංශයේ ගුරුවරයෙකු වන මුත්තුවේල් රාසන් මෙසේ පැවසීය. ‘මේ අවුරුද්දේ ප්‍රාථමික අංශයට ගුරුවරු තිදෙනෙක් ඉන්නවා. මීට කලින් කිසි කෙනෙකු සිටියේ නැහැ. එතකොට ළමයින් උදේ පාසලට ඇවිත් පාසල් වේලාව අවසන් වෙනකම් නිකරුනේ පාසලේ කාලය ගෙවලා ගෙදර යන තත්වයක් තිබුණා. මේ විදිහට මූලික අංශයේ ගැටලු නිසා මූලික අධ්‍යාපනයේ දී ලබා ගත යුතු ප්‍රගතිය නොලබා ද්වීතික අංශයට ළමයින් පැමිණෙනවා. ද්වීතික අංශයේ පංතිවල අකුරු පවා හඳුනන්නේ නැති ළමයින් ඉන්නවා. උගන්වද්දී අපට තියෙන ලොකුම අභියෝගය ඒක”

මෙය එක නිදර්ශනයක් පමණි. මේ තත්වය අඩුම වහයෙන් එක ගුරුවරයෙකු පමණක් සිටින පාසල් 27කට නිසැකවම බලපාන ප්‍රශ්නයකි.

අනිත් අතට අවම මට්ටමේ හෝ පහසුකම් ඇති නාගරික පාසල්වල අධ්‍යාපන තත්වය කෙසේද යන්නත් විමසා බැලිය යුතුය. ඇත්තෙන්ම මෙය සිසුන් 4000කට වැඩිය සිටින පාසල් 47ට අදාල වන්නේ නැත. ඒවායේ බොහෝ විට රනිල් වික්‍රමසිංහ පැවසු ආකාරයේ ඒ අයි දැනුම ලබා දීමට හිතකර වාතාවරණයක් පවතිනු විය හැකිය. කෙසේ වුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේම වාර්තා අනුව ආණ්ඩුවේ පාසල් 2952ක උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකම් පවතී. එහෙත් විද්‍යා ධාරාවෙන් උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකම් ඇත්තේ ඉන් පාසල් 1011ක පමණි. එනම් ආණ්ඩුවේ පාසල් වලින් සියයට 65ක විද්‍යා විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකම් නැත. විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපන පහසුකම් ඇති පාසල්වල පවා අධ්‍යාපනයේ උසස් ප්‍රමිතයක් නැති බව උසස් පෙළ විභාග ප්‍රථිඵලවලින් දැකිය හැකිය. ගණිතය වැනි විෂයන්ගෙන් සමත්වන්නේ විභාගයට ඉදිරිපත් වන සංඛ්‍යාවෙන් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමණයක් බව පසුගිය විභාග කීපයක ප්‍රථිඵල විශ්ලේෂණය කළ අය පවසති.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂයට ඇතුළත් කිරීමට සැලසුම් කරන්නේ මෙවැනි වටාපිටාවක ය. ආර්ථිකය සැලසුම් කිරීමත් දේශපාලන තීරණ ගැනීමත් දිවයිනේ ප්‍රධාන නගර කීපයක් අනුව සිදුවන තත්වයක් යටතේ ඒ අයි ඉගැන්වීම පිළිබඳ තීරණය ද එම නිර්ණායක අනුව සිදු වනු ඇත. සිය දු දරුවන්ට බටහිර ලෝකයේ රැකියා අවස්ථා උදා කරදීමේ අපේක්ෂාවෙන් යුත් දෙමාපියන් ද ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයට අමතරව ඒ අයි ඉගැන්වීම ප්‍රගතියේ ඉණිමගක් සේ දකිනු ඇත. දෙමාපියන් එවැනි උනන්දුවක් දැක්වීම වරදක් වන්නේ නැත. සිය දු දරුවන්ට උසස්ම අධ්‍යාපනයක් ලබා දීමත් ඒ තුළින් ඔවුන්ට වඩාත් සැපවත් ජීවිතයක් ගත කිරීමට පදනමත් සකසා දීම දෙමාපියන්ගේ යුතුකමකි. වගකීමකි.

එහෙත් ඈත පිටිසර වන සතුන්ගේ නිරන්තර තර්ජන ඇති මදුරංකේනිකුලම් වැනි ගම්වල දෙමාපියන්ට ද තම දූදරුවන් සම්බන්ධයෙන් එවැනිම සුන්දර සිහින නැතැයි කිව හැක්කේ කාටද? ඔවුන්ගේ බලාපොරොත්තුව තම දියණිය මැද පෙරදිග රටක ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාවක් ලබා ගැනීම විය හැකිය. ඔවුන් උපයන ඩොලර්වලින් රටේ පාලකයන්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබා ගැනීමට සංචිත ගොඩ නගා ගැනිමට ද හැකි වනු ඇත. එහෙත් ගැටලුව වන්නේ මේ රටේ පුරවැසියන් වන ඔවුන්ට අඩුම වශයෙන් තමන්ගේම භාෂාව හෝ නිවැරදිව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දීම පාලකයන්ගේ වගකීමක් නොවන්නේද යන්නයි.

ශත වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ සර්වජන ඡන්ද බලය මේ රටේ ජනතාවට තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදීයැයි හැඳින්වෙන පාලන ක්‍රමයක් මේ රටේ තිබුණත් ඒ සියල්ලේම ඵල ප්‍රයෝජන ලැබී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ඒ අයි දැනුම ලබා දිමට සැලසුම් කරන අය ඇතුළත් පංතියට පමණි. රාජ්‍ය යන්ත්‍රය යොමුව ඇත්තේ ද ඒ සඳහාය. නැවතත් සකීෆ් සාමිගේ වාර්තාවෙන් උපුටා දක්වන්නේනම් මදුරංකේනිකුලම් ගම ද ඇතුළත් වන වාකරේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ විවිධ විෂයන් බාර නිලධාරීන් 15කට අධික සංඛ්‍යාවක් සිටිති. එහෙත් මදුරංකේනිකුලම් ගමේ පාසල් ළමයින්ට අකුරු හෝ ඉගෙනීමට පහසුකම් නැත.

ඇත්තෙන්ම පසුගිය වසර හැත්තෑපහක ඉතිහාසයෙන් කියවෙන්නේ රටේ සම්පත් අතළොස්සක් වන පිරිසකට උරුම කිරීමේ කතාන්දරයකි. එහෙත් අද එම පිරිසට හෝ පැවතීමට නොහැකි තරමට ආර්ථිකයත් දේශපාලනයත් පිරිහී ඇත. එය අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුය. එහෙත් එම වෙනස් කිරීමේ දී මදුරංකේනිකුලම් වැනි ගම්වල ජනතාව ද එහි කොටස්කරුවන් කර ගැනීමට දේශපාලනය විවෘත විය යුතුය.    

Leave a Reply