You are currently viewing ඔන්ලයින් ආරක්ෂාව පාලකයාගේ අත්තනෝමතික වියරුවකි..

ඔන්ලයින් ආරක්ෂාව පාලකයාගේ අත්තනෝමතික වියරුවකි..

“කොයි දේටත් නීතියක් තියෙන්න ඕනෑ. මාධ්‍යයටත් නීතියක් ඕනෑ” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන එඩ්න්ඩ් රණසිංහ වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවති රැස්විමක දී පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් පෑන මෙහෙය වූ එඩ්මන්ඩ් රණසිංහට මෙම ප්‍රකාශය කිසිසේත් අදාල නොවන්නේ ඔහු රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය වෙනුවෙන් නිතර පෙනී සිටි නිසා ය. ඔහුගේ මාධ්‍ය කලාවට නීති පැනවීමට රනිල්ට හෝ වෙනත් එක්සත් ජාතික පාක්ෂිකයෙකුට අවශ්‍ය නොවේ. රනිල් නීතියක් අවශ්‍යයයැයි කියන්නේ ඔවුන්ගේ දේශපාලනයට එරෙහිව ලියන කියන අය සඳහාය. එවැනි අයට මට්ටු කිරීමට නැතිනම් හීලෑ කිරීමට නීති අවශ්‍ය ය. එවැනි නීතියක් ජාත්‍යන්තර සම්මුකියක් හෝ යුරෝපා සංගමයේ බල පැවැත්වෙන නීතියක් විය හැකියැයි රනිල් පැහැදිලි කෙළේය.

නීතියක් රීතියක් නැතිව ජන සමාජයේ කිසිවක් කළ නොහැකිය. නීතියක් නැතිව හිතුවක්කාර පාලනයක පවතින්නේ කැලෑ නීතියයි. එහෙත් වැදගත්ම දේ නීති අවශ්‍ය මාධ්‍ය පාලනයට පමණක් නොවේ. නීතිය ජන සමාජයේ කාටත් සාධාරණව සහ අපක්ෂපාතීව බලපැවැත්විය යුතුය. අදාල කරුන සම්බන්ධයෙන් නීතිය මාධ්‍යකරුවන්ට මෙන්ම දේශපාලකයන්ට ද බලපැවැත්විය යුතුය. පාලකයාට හෝ පාලක පංතියට බලනොපාන නීති සමාජයේ අනෙකුත් අයට නැතිනම් තෝරා ගත් පිරිසකට අදාල කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවේ. එය අත්තනෝමතික පාලනයකි.

අපේ රටේ මෑත ඉතිහාසය, වඩාත් නිහ්චිතව බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගත් පසු කාලය පුරාම දැකිය හැකි ලක්ෂණයක් වන්නේ පාලකයන් ගේ පාට කුමක් වුවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය යොදවන්නේ කලාතුරකින්ය යන්නයි. අපේ රටේ ඉතිහාසයේ අල්ලස් ගෙන ඇත්තේ පාර්ලිමෙන්තු මංත්‍රීන් හයදෙනෙකු පමණය. ඒ නමසිය පනස් ගණන්වලය. හෙන්රි අබේවික්‍රම, ඇම් පී ද සොයිසා, ඩී. බී. මොන්නෑකුලම සහ සී. ඒ. ඇස්. මරික්කාර් ඉන් කැපී පෙනෙන මංත්‍රීන්ය. ඉන් පසු කිසිදු මංත්‍රි කෙනෙකු පගා ගත් බවක් නීතියෙන් ඔප්පු වී නැත.

එඩ්මන් ගේ පත්තර විප්ලවය’ නම් කෘතියේ මුල් පිටපත රනිල් වික්‍රමසිංහ විසින් ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවෙිදී එඩ්මන් රණසිංහ මහතා වෙත ප්‍රධානය කරන අයුරු..

පාලකයන් මහජන දේපොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කලාතුරකිනි. සාමාන්‍ය පුරවැසියෙකු තම නිවසේ විදුලි බිල මාසයක් නොගෙවා සිටිය හොත් සති කිපයක් ඇතුළත විදුලිය විසන්ධි කරනු ඇත. එය විදුලි බල මණ්ඩලයේ රෙගුලාසියකි. එහෙත් ජනාධිපතියෙකු ගේ නිවසට සැපයූ විදුලි බලය වෙනුවෙන් ගෙවිය යුතු බිල වූ රුපියල් දශලක්ෂ 2.6 ක මුදල මාධ්‍යයෙන් හෙළි කරන තෙක් හාන්කාවිසියක් නැත. බිල නිකුග් කර දශකයකට ආසන්න කාලයක් ගත වුවද ගෙවීමේ අවශ්‍යතාවයක් නැත. විදුලි කප්පාදුවක් වූයේ ද නැත. නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙනි. 

මෙවැනි සිද්ධීන් අපමණ සංඛ්‍යාවක් දිනපතාම පාහේ සිදු වුවද ඒවා සම්බන්ධයෙන් නීති තිබුණත් ක්‍රියාත්මක වන්නේ නැත. එමනිසා රනිල් වික්‍රමසිංහ කියන ආකාරයට නීතියක් නැතිව කිසිවක් කළ නොහැකිය. මාධ්‍යයට විශේෂයෙන් ජනමාධ්‍ය ඉලක්ක කර ගෙන නීති පැනවීමට සූදානම් වන්නේ රටේ පොදුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නිසා නොවේ. සමාජ මාධ්‍යයේ සාවද්‍ය අපහාසාත්මක තොරතුරු පළවන නිසා එය කිසියම් නීතියකට යටත් කළ යුතු නම් ඒ සඳහා යොදා ගත හැකි නිති දැනටමත් අපේ නීති සංග්‍රහයන්හි පවතී. ඒවා යොදා ගන්නේ නැතිව විශේෂ නිති පැනවීමට උත්සාහ කරන්නේ රටේ සාධාරණත්වයක් හෝ වැරද්දකට දඬුවම් පැනවීමට වඩා මර්දනයේ පියවරක් වශයෙනි. මාර්ග ගත මාධ්‍යය ආරක්ෂාවටත් ප්‍රතිත්‍රස්තවාදය සඳහාත් නිති අලුතින් පැනවීමට උත්සාහ කරන්නේ මර්දනයේ පියවරක් වශයෙනි.

ශක්තික සත්කුමාර

ඉතාමත් උතුම් අරමුණු සහ පරමාර්ථ ඇතිව සම්මත කර ගත් සම්මුතීන් හෝ ගිවිසුම් පවා අපේ පාලකයන්ට මර්දනය සඳහා යොදා ගත හැකිය. ඊට හොඳම නිදසුන ICCPR පනත යනුවෙන් හැඳින්වෙන එක්සත් ජාතින්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධානය පදනම් කර ගත් පනත ලංකාවේ යොදා ගෙන ඇත්තේ වාර්ගික සහ ආගමික සුළුතර කොටස්වල ආරක්ෂාව සඳහා නොවේ. පාලකයන්ගේ දේශපාලන වුවමනාව සඳහා ය. සක්තික සත්කුමාර සම්බන්ධයෙන් හෝ පසුගිය දිනවල අරගල විරෝධතා ව්‍යපාරය හා සම්බන්ධ අය වෙනුවෙන් නීතිය යොදා ගත් ආකාරයෙන් මෙය පැහැදිලි ය. අනෙක් අතට පසුගිය කොරෝනා වසංගතය පැවති සමයේ මුස්ලිම් ආගමිකයන් එල්ල කර ආණ්ඩුවේ සමහර මැති ඇමතීන් කළ ප්‍රකාශන ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ ප්‍රකෝපකාරී ක්‍රියාවක් සේ සැලකුවේ නැත. වෙනස් කොට සැලකිම නීතිය තුළින්ද දැකිය හැකිය.

පවතින සම්මත නීති පද්ධතියට අමතරව යම් යම් ක්ෂේත්‍ර සඳහා නීති පැනවීමට අදහස් කරන්නේ පාලකයාගේ ආරක්ෂාව සඳහා ය. එය කිසිසේත් ජනතාවගේ ආරක්ෂාව හෝ වුවමනාව සඳහා නොවේ.

ජනතාවගේ කැමැත්ත අනුව තෝරා පත් වෙන පාලකයන් ජනතාව මර්දනය කිරීමට නීති පැනවීමට ජනතාවගෙන් ලබා ගත් වරම පාවිච්චි කරන්නේ ඇයි?

ඊට මූලික හේතුව පාලකයා සහ පාලිතයා අතර විශ්වාසයක් හෝ බැඳීමක් නැති නිසාය. මහජන ඡන්දයෙන් තේරි පත් වුවද බලය ලබා ගත් අය ක්‍රියා කරන්නේ ජනතාවගේ යහපත සඳහාම නොවේ. ජනතාව සතු දේපොළ අපහරණය, හොරා කෑම සහ විනාශ කිරීම ජනතා ඕනෑ එපාකම් මර්දනය කිරීමකි. රෝහල් හෝ පාසලක් තැනීමට ඇති සම්පත් සුදු අලින් වූ ජාත්‍යන්තර ක්‍රීඩා පිටි හෝ අහස සිඹින කුලුනු ඉදි කරන්නේ ජනතා අවශ්‍යතා මර්දනය කිරීමෙනි. ඒවාට විරුද්ධව හඬ නැගීම උද්ඝෝෂණය කිරීම මෙන්ම ජනතාවගෙන් වසන් කර ඇති එම තොරතුරු හෙළි කිරීම පාලකයාගේ ආරක්ෂාවට තර්ජනයකි.

ජනතා කැමැත්තෙන්, නැතිනම් ජනතා ඡන්දයෙන් තේරී පත් වුවද මෙම පාලකයන් ජනතා අපේක්ෂා ඉටු නොකරන බව අද ජනතාවට හොඳටම පැහැදිලි ය. ගෝටා ගෝ හෝම් සටන් පාඨයෙන් ඇරඹි ජනතා විරෝධය 225 ම එපා දක්වා වර්ධනය වූයේ කුමන දේශපාලන වර්ණයට අයත් වුවත් පාලකයන් ජනතා වුවමනාව නොසලකා හරින නිසා ය. ජනතා වරමකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන කිසිවක් ජනතාවට නැති වුවද ජන කැමැත්තෙන් එය කළ හැකි බව 2022 ජුලි 9 වැනි දා ලෝකයටම කියා පෑවේය. එහෙත් පාලකයාගේ ආරක්ෂාවට ගොඩ නගා ගෙන ඇති ඉඩ පහසුකම්වලින් බලය රැක ගත හැකි බව ද අපේ පාලකයන් පෙන්වා දී ඇත. ජනතා විරෝධය නිසා පලා ගිය පාලකයා වෙනුවට පත් පාලකයා සමාජය මර්දන කිරීමට නිති පැනවීමට කැස කවන්නේ එය නැවත සිදුවීම වැළැක්වීමට ය. 

ජනතාවට ඔවුන්ගේම මාධ්‍ය භාවිතයක් අවශ්‍ය වන්නේ පාලකයන් ජනතාව නොසලකා ජනතාව නොවිමසා ජන ජීවිතයට බලපාන දේශපාලන තීරණ ගන්නා නිසා ය. මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් ජනතාවගේ උවමනාව ඉටු වන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව ඒවා ලාභ ඉපැයීමේ අරමුණෙන් ක්‍රියාක්මක වන වානිජ ව්‍යාපාර වන නිසාය. ලිබරල් වුවද ධනවාදය යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනවලට විශාල ලාභ ඉපැයිය හැක්කේ පාලකයාට සමීප වන ප්‍රමාණයට ය. ජනතාවගේ වුවමනා යාන්තමින් ඉටු වන්නේ වෙළඳ පොළ පුළුල් කර ගැනීම සඳහා ය. ජනතාව එම ප්‍රකාශන මිලදී නොගන්නේ නම් සහ විකාශනවලට සවන් නොදෙන්නේනම් ධනවාදී වෙළඳ පොළ ඔවුන්ට පැවතිය නොහැකිය. එමනිසා අනුපානු වශයෙන් හෝ ජනතාවගේ වුවමනා ඉස්මතු කළ පාලන ක්‍රමයේ පවතින නෛසර්ගික වැරදි නිවැරදි කිරීමට නොවේ.

මීට වෙනස්ව ජනතාවට සිය ඕනෑ එපාකම් ප්‍රකාශයට පත් කිරීමට හා එම අවශ්‍යතා පුළුල් ජන කොටස් අතට පත් කිරීමට යොදා ගත හැකි පහසු මාර්ගය වන්නේ සමාජ මාධ්‍යය යනුවන් හැඳින්වෙන මාර්ග ගත සන්නිවේදන තාක්ෂණයයි. මෙම තාක්ෂණය ද සුපිරි ලාභ උපයන විශාල වානිජ ව්‍යාපාර වුවද ජනතාවට සීමාවන් ඇතුළත හෝ තම අදහස් සහ උදහස් ජනගත කිරීමට ඇති අවස්ථාවකි. එම තාක්ෂණය සහ සේවා සැපයුම ලාභ අරමුණු කර ගත් වෙළඳ ව්‍යාපාර නිසා විවිධ තහංචි සහ සීමාවන් පවතින නමුත් එම අවස්ථාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් වන්නේ නැත. ඒ ජනතාවගෙන් තුරන් වූ පාරිභෝගිකයන් ඔවුන්ට නැති නිසාය. ජනතවට එය අවශ්‍ය දෙයක් නොවන්නේ නම් ඔවුන්ට වෙළඳ පොළක් නැත.

දැනට සමාජ මාධ්‍ය භාවිතා කරන අය යොදා ගන්නේ එම විවරයයි. එම සේවා සැපයුම්කරුගේ ව්‍යාපාරික අවශ්‍යතාවයට බරපතළ හානියක් නොවන තාක් සමාජ මාධ්‍යය යොදා ගත හැකිය. එහෙත් මෙම තත්වය නොවෙනස්ව පවතීයැයි කිසිම සහතිකයක් නැත. එම සේවා සැපයුම් ආයතනවල වානිජ අවශ්‍යතා අපේ පාලකයන්ගේ අවශ්‍යතාවලට සමපාත නොවන තාක් අපට සමාජ මාධ්‍යය යොදා ගත් හැකිය. දැන් අප ගත කරන්නේ එම සංක්‍රාන්තික අවධියයි. අපේ රටේ පාලකයන්ට අවශ්‍ය වන්නේ සංක්‍රාන්තික අවදියේ ම එය කප්පාදු කර දැමීමට ය.

මාර්ග ගත මාධ්‍යය ජනතාව යොදා ගන්නේ පාලකයාට එරෙහිව තම වුවමනාව සහ තම මතය ඔවුන්ට දැනුම් දීමේ ක්‍රමයක් වශයෙනි. එය බොහෝ අවස්ථාවල පාලකයාගේ අවශ්‍යතා හා ගැලපෙන්නේ නැත. පාලකයාගේ අරමුණ සහ ජනතාවගේ අවශ්‍යතාවය හැම විටම සමපාත නොවන නිසාය. එමනිසා මාර්ග ගත ආරක්ෂාව හෝ ප්‍රතිත්‍රස්ත පනත යන කුමන නම්වලින් හැඳින් වුවත් අදහස් කරන්නේ ජනතා අයිතිය නොසලකා පාලකයාගේ අවශ්‍යතාවය ඉටු කර ගැනිම ය. ඔවුන්ට නීතිය අවශ්‍ය වන්නේ ඒ සඳහා කඩතුරාවක් වශයෙනි. එම කඩතුරාව ඉරා දැමිය හැකි වන්නේ ජනතාව පාලකයාගේ සැබෑ වුවමනාව තේරුම් ගැනීමෙන් පමණි.   

Leave a Reply