You are currently viewing ආසියානු කලාපයේ යුද උණුසුම උත්සන්න කරන තවත් ගිවිසුමක්

ආසියානු කලාපයේ යුද උණුසුම උත්සන්න කරන තවත් ගිවිසුමක්

පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තුන අතර ආරක්ෂා සහයෝගිතාවය පිළිබඳව ගිවිසුමක් අත්සන් කෙරිණ. මාස 18ක කාල සීමාවත් සඳහා ඇති කර ගත් මෙම එකඟතාවය අනුව සයිබර් කෘත‍්‍රීම බුද්ධිය (AI)  ක්වෝන්ටම් තාක්ෂණය පිළිබඳ ඒකාබද්ධ වැඩ පිළිවෙළට අමතරව ඔස්ටේ‍්‍රලියාවට න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීන 8ක්ද ලබා දෙන අතර න්‍යෂ්ටික තාක්ෂණය ලබා දීමේ දී එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඔස්ටේ‍්‍රලියාව සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇත. මෙම විශේෂ එකඟතාවය නම් කර ඇත්තේ  ඕකස් (AUKUS) යනුවෙනි.

France’s Foreign Minister Jean-Yves Le Drian

දිගු කලක් තිස්සේ ආර්ථික දේශපාලන සහ හමුදාමය සම්බන්ධතා පවත්වන මෙම රටවල් තුන අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම විශේෂිත කරුණක් නොවන නමුත් එය අර්බුදයක් බවට පත් වූයේ නේටෝ යුද හවුලේ ප‍්‍රබල රටක් මෙන්ම තවත් න්‍යෂ්ටික බලවතෙකු වන ප‍්‍රංශය සම්පූර්ණයෙන්ම අමතක කොට සිදු වූ ගනුදෙනුවක් වීම නිසාය. ප‍්‍රංශ විදේශ ඇමති ජීන් ය්වේ ලෙ ඩි‍්‍රයන් සඳහන් කරන ආකාරයට ප‍්‍රංශය මෙම ගනුදෙනුවක ගැන දැනගෙන ඇත්තේ ජනමාධ්‍ය වාර්තාවලිනි. එනම් එකඟතාවය අත්සන් කරන තෙක්ම මෙම රටවල් තුන එය සම්පූර්ණයෙන්ම රහසක් වශයෙන් තබා ගෙන ඇත.

ඉන් කෝපයට පත් ප‍්‍රංශය එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේ තම තානාපතින් උපදෙස් සඳහා ආපසු කැඳ වූයේය. සාමාන්‍යයෙන් පත්කර ඇති තානාපති නිලධාරීන් උපදෙස් සඳහා ආපසු කැඳවන්නේ තම බලවත් විරෝධය පෑමටය. ප‍්‍රංශය මේ රටවල් දෙකේ තානාපතිවරුන් මීට පෙර කිසිම දිනක ආපසු කැඳවා නැත. සිද්ධිය ගැන අදහස් දැක් වූ ප‍්‍රංශ විදේශ ඇමති ලෙ ඩි‍්‍රයන් එය පිටු පසින් සිට පිහියෙන් ඇනිමක්යැයි කීවාය. ඊට අමතරව ප‍්‍රංශ තානාපති කාර්යාලය වොෂින්ටන් නුවර පැවැත්වීමට සූදානම් කර තිබු විශේෂ උත්සවයක් ද අවලංගු කෙළේය.

මෙම උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නේ එක්සත් ජනපදයේ නිදහස් සටනේ සිටම ප‍්‍රංශය එම රට සමග පැවැත් වූ සහෝදරාත්මක සහයෝගිතාවය සිහි කිරීමට ය. එක්සත් ජනපදය බි‍්‍රතාන්‍යයට එරෙහිව නිදහස් සටන කරන විට ප‍්‍රංශය ඊට සහාය පළ කොට 1781 දී චෙසපීක් මුහුදු සටනෙන් බි‍්‍රතාන්‍ය නාවික හමුදාව පරාජය කෙළේය. ඇමරිකානු නිදහස් සටන ජයග්‍රහණය කිරීමට මූලික හේතුවක් වූයේ ද ප‍්‍රංශයේ මෙම ජයග්‍රහණය යි. එය සැමරීමට පවත්වන උත්සවය අවලංගු කිරීම එක්සත් ජනපදයේ  ඕකස් වැඩ පිළිවෙළට පැහැදිලිව ම විරෝධය පෑමකි.

ඊට අමතරව තවත් හේතුවක් වන්නේ මෙම එකඟතාවය නිසා 2016 අගෝස්තු මස පැරීසිය සහ කැන්බරාව අතර අත්සන් කළ ගිවිසුමක් අහෝසි වීමය. ඔස්ටේලියානු ඩොලර් බිලියන 90ක් වන මෙම ගිවිසුම අනුව ප‍්‍රංශයේ නේවල් ගෘප් නම් ආයතනය ඔස්ටේ‍්‍රලියාව සඳහා සබ්මැරීන 12ක් සැලසුම් කොට නිෂ්පාදනය ගිවිස ගෙන ඇත. ප‍්‍රංශයේ ආරක්ෂක කර්මාන්තයට නව ශක්තියක් වූ මෙම ගිවිසුම නිසා ආර්ථිකයට ද විශාල දායකත්වයකි. එමනිසා  ඕකස් ගිවිසුමෙන් එම අවස්ථා අහිමිවීම ප‍්‍රංශ විරෝධයට එක හේතුවකි.

අනෙක් හේතුව වන්නේ පැසිපික් කලාපයේ ආරක්ෂාව සඳහායැයි ඇති කර ගන්නා ගිවිසුමකින් ප‍්‍රංශය අමතක කිරීම මිත‍්‍ර සන්ධානයක් පවත්වන රටක් වශයෙන් ප‍්‍රංශයට කෙරෙන මදි පුංචි කමකි. ප‍්‍රංශය සතුව පැසිපිත් කලාපයේ කුඩා දිවයින් රාශියක් පවතින අතර ඒවායේ ජන සංඛ්‍යාව දශ ලක්ෂ දෙකකට ආසන්නය. ඒවායේ රඳවා ඇති හමුදා භට සංඛ්‍යාව 7000කි. එවැනි තත්වයක් යටතේ ප‍්‍රංශය නොමැතිව පැසිපික් කලාපයේ ආරක්ෂා සහයෝගිතාවයක් ගැන කතා කිරීම විමතියට කරුණකි.

කෙසේ වුවත් තානාපති ආපසු කැඳවීමට ගත් තීරණයත් සමග කලබලයට පත් ධවල මන්දිරය ප‍්‍රංශය  දිගු කලක් තිස්සේම තම ප‍්‍රබලතම සමීප සගයෙකු බවත් දෙරටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වී සිටින බවත් අවධාරණය කෙළේය. ඔස්ටේ‍්‍රලියාවද නොබිඳිය හැකි දේශපාලන සහ ආර්ථික සබඳතා පවතින ප‍්‍රංශය තම සදාකාලික මිතුරෙකුයැයි පැවසුවේය.

ඇප්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීමට එක්සත් ජනපදය කඩි මුඩියේ ගත් තීරණය ගැන සිය අප‍්‍රසාදය නොසැඟවූ ප‍්‍රංශය ආරක්ෂක කටයුතුවලදී යුරෝපා සංගමය ස්වාධීන කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළ යුතුයැයි නිතර අවධාරණය කෙළේය. නේටෝව මොළය මැරී ගිය ආයතනයක් ලෙස හැඳින් වූ ප‍්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රෝන් යුරෝපා සංගමය සීතල යුද මානසිකත්වයෙන් මිදී නව අරමුණක් ඇතිව වැඩ කළ යුතු බව කීවේය.

පැසිපික් කලාපයේ ආරක්ෂාව පිළිබඳ තම වැඩ සටහනට  ඕස්ට්‍රේලියාව සෘජුවම සම්බන්ධ තර ගැනීම අරමුණු කර ගත්  ඕකස් සහයෝගිතාවය චීනයේ වර්ධනය වන ආර්ථික සහ හමුදාමය ශක්තියට අභියෝග කිරීමේ වැඩ පිළිවෙළේම කොටසකි. ඒ අනුව ඔස්ටේ‍්‍රලියාවේ නාවික සහ ගුවන් පහසුකම් එක්සත් ජනපදයේ හමුදා අවශ්‍යතා සමග සමීපයෙන් සම්බන්ධිකරණය වෙනු ඇත. චීනයේ ආර්ථික සහ හමුදාමය බලයට අභියෝග කිරීම ගැන ප‍්‍රංශයේ විරෝධයක් නැති වුවද එම වැඩ පිළිවෙළට මිතුරු කඳවුර තුළම සිටින තමා හවුල් කර නොගැනීම දකින්නේ ප‍්‍රතිවිරෝධතා ඉස්මතු වීමක් සේය. එමෙන්ම කලාපයේ මෙන්ම ගෝලීය වශයෙන්ද වැදගත් භූමිකාවක් අපේක්ෂා කරන ප‍්‍රංශයේ අවශ්‍යතා නොසලකා හැරීමකි.  ඕකස් සහයෝගිතාවය නිසා හටගත් මෙම අර්බුදය දීර්ඝ කාලීනව මිතුරු රටවල් අතර බෙදීමකට හේතු විය නොහැකි නමුත් ලෝකය පිල්වලට බෙදීමේ සහ න්‍යෂ්ටික යුද්ධයකට තල්ලූවීමේ අනතුර වඩාත් තියුණු කරයි. 

මෙම ගිවිසුම එක අතකින් ඔස්ටේ‍්‍රලියාව 1973 දී අපරානුමත කළ න්‍යෂ්ටික ආයුධ පැතිර යෑම වැළැක්වීමේ ගිවිසුමට පටහැනිය. එම ගිවිසුම නොසලකා කටයුතු කිරීම ආසියාන් හවුලේ ද කනස්සල්ලට හේතු වූවකි. ගිනිකොණ ආසියාව න්‍යෂ්ටික අවි මුක්ත කලාපයක් බවට පත් කිරීමට 1995 දී ආසියාන් සාමාජික රටවල් ගිවිසුමක් අත්සක් කළ අතර ආසියාන් රටවල් සමග සමීපයෙන් බැඳී ඇති  ඕස්ටේ‍්‍රලියාව න්‍යෂ්ටික අවි සතු කර ගැනීම කලාපයේ යුද උණුසුම උත්සන්න කිරීමක් විය හැකි බව දකින මැලේසියාව, ඉන්දුනීසියාව පමණක් නොව සිංගප්පූරුවද කනස්සල්ල පළ කර ඇත. මැලේසියාව නිකුත් කළ ප‍්‍රකාශයක සඳහන් වන ආකාරයට ආසියාන් කලාපයේ අරමුණ වන්නේ සාමය, නිදහස සහ මධ්‍යස්ථභාවය පවත්වා ගැනීම ය.

ජනාධිපති බරාක් ඔබාමාගේ පාලන සමයේ ආරම්භ කළ පැසිපික් සාගරයට නැවත යොමුවීමේ ප‍්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ නැගී එන ආසියානු බලවතා වන චීනය කොටු කිරීම ය. දකුණු චීන මුහුදේ නාවික ගමනාගමනයේ නිදහස සහ නීතිය පදනම් වැඩ පිළිවෙළක් ගැන එක්සත් ජනපදය උනන්දු වූයේ ද එමනිසා ය. ඉන්දියාව, ජපානය, ඔස්ටේ‍්‍රලියාව සහ එක්සත් ජනපදය ඇතුළත් චතුර්පාර්ශ්ව සංවිධානයේ අරමුණ වන්නේ ඉන්දු පැසිපික් කලාපයේ ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීමය. මේ දිනවල නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන හැත්තෑහය වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මහා සභාව අතරතුර මෙම චතුර්පාර්ශ්ව කණ්ඩායමේ රැස්වීමක් පැවැත් වෙන්නේ ද එම රටවල් අතර ආරක්ෂක වැඩ පිළිවෙළ ශක්තිමත් කිරීම සඳහාය.

නැගී එන චීනයේ ආර්ථික සහ හමුදාමය ශක්තියට අභියෝග කිරීම හා තම බලය රැක ගැනීම අරමුණු කර ගත් එක්සත් ජනපදයේ මෙම වැඩ පිළිවෙළ සෝවියට් සංගමය බිඳ වැටීමට පෙර යුරෝපයේ පැවති යුද අවදානම ඉන්දු පැසිපික් කලාපයට ගෙන ඒමක් බව පැහැදිලිය. 1979 දී චීනය සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇති කර ගැනීමේ දී එක්සත් ජනපදය පිළිගත් එක චීනයක් (එනම් තායිවානය ද චීනයේම කොටසකි යන පිළිගැනීම) යන ප‍්‍රතිපත්තියෙන් බැහැරව තායිවානයට  අවි ආයුධ සැපයීමට එක්සත් ජනපදය දැන් සූදානම් ය. තායිවානය නිදහස් රාජ්‍යයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන චීනය එවැනි තත්වයකට මුහුණ දීමට තම හමුදා ශක්තිය වැඩි කරනු දැකිය හැකිය. තායිවානය මවු රටට එකතු කිරීමට වැඩි කාලයක් ගත නොවනු ඇතැයි චීන ජනාධිපති සී ජින්පින් පසුගිය දා ප‍්‍රකාශ කෙළේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සාමවාදී රාජ්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ ජපානය ද දැන් නැවත වරක් හමුදා ශක්තිය වැඩි කිරීමටත් ආරක්ෂක සංවිධාන ගොඩ නගා ගැනීමටත් සූදානම් ය. චතුර්පාර්ශ්ව එකතුව ඉන් එකකි.

තවත් දශකයක පමණ කාලයකින් චීනය ආර්ථික ශක්තියෙන් එක්සත් ජනපදය අභිබවා යන බවට අනාවැකි පළ කර ඇති තත්වයක් යටතේ චීනය කොන් කිරීමත් යටපත් කර ගැනීමත් එක්සත් ජනපදයේ ආර්ථික මෙන්ම හමුදාමය අවශ්‍යතාවයකි. මෙම බල තුලනය ඇත්තෙන්ම සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය අතර පැවති තත්වයට සමාන වුව ද ඊට වඩා බෙහෙවින් බැ?රුම් ය. ඒ සෝවියට් සංගමයට නොතිබු ආර්ථික ශක්තියක් හා ව්‍යාප්තියක් චීනය අත් කර ගෙන තිබීම ය. එවැනි තත්වයක් යටතේ එක්සත් ජනපදයට සිය අරමුණු සාර්ථක කර ගැනීමට අවි බලය යොදා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තත්වයට පත්වෙමින් සිටී.  ඕකස් වැඩ පිළිවෙළ ඒ සඳහා ඇති සූදානමේ තවත් පියවරකි.

එමනිසා එක්සත් ජනපදය සහ චීනය අතර ආසියානු කලාපයේ අවි ගැටුමක් හට ගැනීම සහ එය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීමේ අවධානම පෙර කිසි දා නොවු ආකාරයට තියුණු වී ඇත. එවැනි තත්වයක් වැළැක්වීමට සුදුසු කි‍්‍රයා මාර්ග සැකසීම කලාපයේ ලොකු කුඩා සියලූ රටවල වගකීම යි.

Leave a Reply