You are currently viewing අබ සරණ පතා යන දේශපාලකයෝ සහ රටේ අනාගතය..

අබ සරණ පතා යන දේශපාලකයෝ සහ රටේ අනාගතය..

කුඹුරුවලට වතුර දෙනවාද? විදුලිය උපදවන්න වතුර රකිනචාද?
පැය කිපයක් කරුවළේ ඉන්නවාද? තවත් වෙලක් බඩගින්නේ ඉන්නවාද?

සති කිපයක් තිස්සේ ඇඹිලිපිටිය සූරියවැව ගොවීන් සහ විදුලි බලශක්ති ඇමති කන්චන විජේසේකර අතර පැවති වාදය කෙටි කළ හැක්කේ එසේය.

තවත් සති කීපයකින් අස්වැන්න නෙලා ගැනීමට බලාපොරොත්තුවෙන් ඇඹිලිපිටියේ සිටි ගොවීන්ට මුහුණ දීමට සිදු වූයේ අනපෙක්ෂිත ගැටලුවකටය. චන්ද්‍රිකා වැවේ සහ උඩවලව වැවේ ජල මට්ටම පහත වැටීම නිසා පීදී කිරි වැදීමට තිබු ගොයම වතුර නැතිව වියලී යන තත්වයකට ආසන්න විය. දිවයින පුරාම පවතින නියං තත්වය නිසා ජල සැපයුමේ අඩුවීම හෝ සම්පූර්ණයෙන් නතර කිරීම ගොවීන්ට තේරුම් ගත හැකිය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ පීදෙන ගොයමට අඩුව වශයෙන් තවත් වතුර මුර දෙකක් ලබා දෙන්න යන්නයි. ඒ ඉල්ලීම කෙළේ වලව ගඟ හරස්කර බැඳ ඇති සමනල වැවෙන් එම ජල ප්‍රමාණය නිකුත් කිරීමේ හැකියාව තිබු නිසාය. සමනල වැවට ජලය ලැබෙන්නේත් වලවේ ගඟිනි. උඩ වලව වැවට ජලය ලබා ගත් හැකි වන්නේ සමනල වැවට අවශ්‍ය ප්‍රමාණයට පිරී ගිය පසුවය. සමනල වැවට ජලය රඳවා නොගත්තේනම් සමහර විට උඩ වලව වැවට සහ චන්ද්‍රිකා වැවට මෙතරම් ජල අහේනියකට මුහුණ දිමට සිදු නොවන්නට තිබිණ.

කන්චන විජේසේකර ඇමති පවසන ආකාරයට විදුලිය නිපදවීමට වෙන් කර ඇති සමනල වැවේ ජලය කුඹුරුවලට ලබා දිය නොහැකිය. නියං තත්වය යටතේ ජලය නිකුත් කළ හොත් ඉදිරියේ දී දකුණු පළාතට පැය හතරක හෝ ඊට වැඩි කාලයක් විදුලිය සැපයීම අත් හිටුවීමට සිදු වනු ඇත. එවිට විදුලිය අඛණ්ඩව සපයා ගැනීමට වැඩි මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදු වනු ඇත. විදුලි බල මණ්ඩලයෙන් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව ජල විදුලි බලාගාරයකින් විදුලිය ඒකකයක් නිපදවීමට රු. 2.32 ( 2021 වසර) වැය වන අතර තාප බලාගාරවලින් චිදුලිය ඒකකයක් නිපදවීමට වැය වන මුදල රු. 29. 94 කි. ඒ අනුව කුඹුරුවලට වතුර දීමට වඩා ජල විදුලිය නිපදවීමට ජලය යොදා ගැනීම ආර්ථික වශයෙන් ලාභදායක ය. බොහෝ ගණන් බැලීම් අනුව වී ගොවිතැනත් වෙනත් ගොවිතැනුත් ලාභ උපයන ව්‍යාපාර නොවන නිසා ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ විදුලිය නිපදවීමට ය. විදුලි බිල දැනට සියයට 75කටත් වඩා වැඩි කර ඇති නිසා ලාභය තවත් වැඩිය.

නිත් අතට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර දුක් වූයේ වතුර නැතිව විනාශවන කුඹුරු ගැනය. ඔහු පුවත් සාකච්ඡාවලදී ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අනුව වී වගා කළ හෙක්ටෙයාර් 20,000ක් සහ වෙනත් භෝග වගා කළ බිම් හෙක්ටෙයාර් 8000ක් විනාශ වීමේ තර්ජනයට මුහුණ දී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු ඔහුට වැදගත් වන්නේ නියඟෙන් විනාශවන කුඹුරුවලට ජලය ලබා දිම ය. ගොවින්ගේ යහපතට මෙන්ම ඔහුගේ දේශපාලන පැවැත්මට ද එවැනි ස්ථාවරයක් ගැනීම තේරුම් ගත හැකිය. ගොවීන් තම ඉල්ලිම පාලයන්ට ප්‍රබලව දැනුම් දීමට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. ඇත්තෙන්ම අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමී කුඹුරු කළ ඔවුන්ට අස්වැන්න පෙනි පෙනි තිබියදී විනාශවනු දැකීම දැරිය නොහැකි වේදනාවකි. සමහර විට කණ කර උකස් කොට ලබා ගත් ණය ද ආපසු ගෙවීමට නොහැකි තත්වයකට පත්විමකි.

සති ගණනක් දිග්ගැසුණු විවාදය අවසානයේ දි සමනල වැවෙන් වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට විදුලි බල ඇමති එකඟ වූයේය. නිකුත් කළ ජල ප්‍රමාණයද කියුබික් මීටර්වලින් ප්‍රකාශයට පත් කෙරිණ. එහෙත් අවාසනාවකට මෙන් නිසි කලට ජලය නොලැබීම නිසා බොහෝ ප්‍රදේශවල ගොයම් ගස් වියලී පිදුරු බවට පත්වෙමින් තිබිණ. පිදුරුවලට ජලය ලැබුණත් වී අස්වැන්නක් ලබා ගත නොහැකි නිසා පොළොව තෙමී ගියත් ගොවි දුක තුනි වූයේ නැත. කෝපයට පත් ගොවීන් සිය දුක පළ කෙළේ ආදරයෙන් රැක බලා ගත් එහෙත් අකාලයේ මිය ගිය ගොයමට ගිනි තැබීමෙනි එය එක්තරා ආකාරයන සිය දිවි නසා ගැනිමකි.

සමනල වැවේ ජලය ඉල්ලා පැවති ඇඹිලිපිටියේ ගොවි සත්‍යග්‍රහය

මෙම කඹ ඇදිල්ල නිසා අවසානයේ දී විදුලිය බලය නිපදවීමට තිබුණු ජලය කුඹුරුවල නිකුත් කිරීමට ප්‍රමාද වී ගත් තීරණයෙන් විදුලි බල සැපයුමට බාධා පැමිණිය හැකිය. එවිට විදුලිය සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීමට පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් කළ යුතුය. සමහරුන් පවසන ආකාරයට ඒවා කොමිස් කාක්කන් සතුටට පත්වන කාරණා ය. කෙසේ වුවත් අවසාන ප්‍රතිඵලය නැටු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති තත්වයකි. ගොයමත් විනාශ විය. විදුලිය සැපයුමත් අඩාල විය. කිසියම් හාස්කමකින් වැස්ස ලැබුණහොත් ඊළඟ කන්නය වන තෙක් කිසිවෙකුට ප්‍රශ්නයක් නැතිව සුව පහසුව සිටිය හැකිය.

වැදගත්ම කාරණය වන්නේ මේ සියල්ල වසාගෙන ඇති සමාජ දේශපාලන ගැටලුවට සුදුසු පිලිතුරක් අප කිසිවෙකුට නැත යන්න නැවත වරක් ඔප්පු වීමය. හම්බන්තොට ගොවීන්ගේ ගැටලුව පුළුල්  තලයකට පත් කරන්නේ නම් ගැටලුව වන්නේ කෘෂිකර්මය ද සුව පහසු ජීවිතයක් ගත කරන්නේ ද යන්නයි. සමාජයේ ඉහල ස්ථරවල සිටින අතලොස්සකට සහල් මිල, අඛණ්ඩ විදුලිය සැපයීම තරම් වැදගත් නොවේ. තුන් වේලම තරු පහේ හෝටල්වලින් සප්පායම් වන ඔවුන් සහල් මිල හෝ එළවලු මිල ගණන් දන්නේත් නැත. වැදගත් වන්නේත් නැත. එහෙත් විදුලි බලය නැති වුවහොත් දහඩිය පෙරමින් සුව යහන්වල නිදා ගැනිම කළ නොහැකිය. ශීතකරණයේ ඇති කෑම බීමද නරක් විය හැකිය. එමනිසා වඩාත් වැදගත් වන්නේ අඛණ්ඩ විදුලිය සැපයීමය. කන්චන ඇමතිගේ තර්කයේ පදනම එයයි.

අපේ රටේ පාලකයන්ට තේරුම් ගත නොහැකි වුවත් ජනතාවගේ සුභ සිද්ධිය ගැන උනන්දු වන බොහෝ ආයතන ගණන් බලා ඇති ආකාරයට ජනතාවගෙන් හරි අඩකට හරි හමන් කැමක් නැත. කුමක් හෝ ගිල දමා කුස පුරවා ගන්නා නමුත් ඔවුන්ගේ පොෂණ මට්ටම දින පතාම පිරිහෙමින් පවතී. ළමා මන්දපෝෂණය පෙර නොවු ආකාරයට ඉහළ ගොසිනි. මීට වසර කීපයකට පෙර සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය ගැන කතා කළ වෛද්‍යවරයා ගේ වැඩ තවමත් තහනම් කර ඇත. ඒ මන්දපොෂණය පාලකයන්ගේ ශබ්ද කෝෂයේ තහනම් වචනයක් නිසාය.

ඇත්තෙන්ම සිහි බුද්ධියක් සිටින රටක නම් පාලකයන් තිරණය ගන්නේ ජනතාවට අවම මට්ටමේ හෝ ජිවන තත්වයක් පවත්වා ගැනීම සුරක්ෂිත කරන සමාජ දේශපාලනයක් ගැනය. එසේ කල්පනා කරන්නේ නම් විදුලිය නිපදවීමට ජලය රඳවා ගන්නවා ද කුඹුරට ජලය දෙනවාද යන්න තර්ක විතර්ක කළ යුතු ප්‍රශ්නයක් නොවේ. කුසගින්න විඳ දරා ගැනීම ලයිට් බල්බයක් දල්වා ගැනිමට වඩා දහස් ගුණයකින් දුෂ්කර අසීරු තත්වයකි. අපේ පාලකයන්ට එය තේරුම් ගත නොහැකිය.

මේ පාලකයන් සහ ඔවුන්ට උපදෙස් දෙන නිලමෙලා ලොව සියලුම රටවල කරක් ගැසුවත් ඉගෙන ගත් කිසිත් නැත. ලොව විශාලතම සහල් අපනයනය කරන රටක් වන අසල්වැසි ඉන්දියාව ඉදිරියේ ඇති විය හැකි සහල් හිගයක් ගැන සලකා සහල් අපනයනය ජුලි මාසයේ සිට නතර කෙළේය. ලෝක සහල් වෙළඳ පොළේ සහල් මිල දැන් පසුගිය වසර පහළොවක කාලයේ කිසි දිනක නොවු මට්ටමකට ඉහළ නැග ඇත. තවත් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් වන තායිලන්තයේ සහල් මිල පසුගිය සතියේ මෙට්ටි්‍රක් ටොන් එකක් ඩොලර් 648 දක්වා ඉහළ ගිය බව වාර්තාවේ. එය 2008න් පසුව තායිලන්තයෙන් වාර්තා වු ඉහළම සහල් මිලයි.

මේවායින් කියවෙන්නේ කුමක් ද? නුදුරු අනාගතයේ අපේ රටේත් ලොව වෙනත් රටවලත් උග්‍ර සහල් හිඟයක් ඇති විය හැකි බවය. මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන ආකාරයට මෙම වසරේ අපේ වගාවන්ගෙන් ලබා ගත හැකි අස්වැන්න සියයට 20-40ත් අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇත. ඉන් සරලව අදහස් වන්නේ හාමත කුසගින්න වඩාත් වැඩිවී අනාගත පරපුරත් නැතිවිමේ කතාවකි.

මෙවැනි වාතාවරණයක කුඹුරුවලට වතුර දෙනවාද, විදුලිය නිපදවීමට ජලය සංරක්ෂණය කරනවාද යනුවෙන් පශ්න මතු කළ හැකි වන්නේ දුර්ජන දුෂ්ට පාලකයන්ට පමණි. හම්බන්තොට ගොවීන්ගේ වගාව විනාශවීමෙන් නැතිවන්නේ ඔවුන්ගේ ආදායම් පමණක් නොවේ. රටේ අති මහත් ජන කොටසකගේ ආහාර සැපයුම ද ඉන් අඩාල වේ. කලින් වසරවල මෙවැනි තත්වයක දී පිටරටින් සහල් ගෙනවිත් අඩුව පිරිමසා ගත් නමුත් මෙවර එය කිරීම ද පහසු නොවේ. ඒ එක අතකින් සහල් වෙළඳ පොළේ මිල ගණන් පෙර නොවු ආකාරයට ඉහළ ගොස් ඇති නිසාය. අනෙක් අතට අප අද විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති නිසා සහල් ආනයනයට මුදල් ද නැත. ආහාර ද්‍රව්‍ය ඇතුළත් අවශ්‍ය දේ ගෙන්වීම පසුගිය වසරේ සිට නතර කොට ඇත. නැතිනම් සීමා කොට ඇත.

මේ සියල්ලෙන් කියවෙන්නේ සරල පැහැදිලි කතාවකි. අපේ රටේ පාලකයන්ට ප්‍රශ්නයට විසඳුම් සෙවීම පසෙක තබා ප්‍රශ්නය කුමක්දැයි තේරුම් ගැනීමේ හැකියාවක් සහ ඕනෑ කමක් නැත යන්නයි. එය දේශපාලකයන්ට පමණක් සීමා වූ රෝගයක් නොවේ. ඔවුන්ට උපදෙස් අයගේ මානසික තත්වයද එයම ය. ඔවුන්ගේ බුද්ධි මට්ටම දේශපාලකයන්ගේ උවමනාවට වඩා වැඩි නොවේ. එමනිසා රට ගොඩ ගැනීමේ අභියෝගයට මුහුණ දීම ඡන්දය පාවිච්චි කිරීමෙන් පමණක් විසඳා ගත හැකි ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගත යුතුය.    

Leave a Reply