You are currently viewing අප සිටින්නේ සමස්ත ලෝකයම ගිල ගන්නා යුද්ධයක් අබියස..

අප සිටින්නේ සමස්ත ලෝකයම ගිල ගන්නා යුද්ධයක් අබියස..

1990 දී සෝවියට් සංගමය විසිරුවා හැරීමත් සමග වෝර්සෝ යුද හවුල අවසන්වීම සමහර ඉතිහාසඥයින් හැ‍ඳින්වූයේ ඉතිහාසයේ අවසන් වීමක් සේය. ඉන් මූලික වශයෙන් අදහස් අදහස් කළේ සමාජවාදී කඳවුර අවසන්ව බටහිර ‘ප්‍රජාතන්ත්‍රවාදී’ ලෝකයේ ජයග්‍රහණයකි. ලෝකය යුද කදවුරුවලට බෙදීම අවසන්ව සාමකාමී පැවැත්මක් සහ ශීතල යුද්ධය අවසන්ව සාමකාමී වාතාවරණයක් තුළ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සැමට සමාන අයිතිවාසිකම් සහිත ලොවකට දොරටු විවෘතවීමකි.

පැරණි සෝවියට් සංගමයට අයත් රටවල් ඈදා ගැනීම අවි ගැටුමක් බවට පත් වූයේ සාර් පාලන යුගයේ සිටම රුසියානු ප්‍රදේශයක්ව පැවති යුක්‍රේනය ස්වාධීන වීමෙන් පසුව නේටෝ හවුලට එක් කර ගැනීමේ උත්සාහයයි. එය ඇරඹුණේ මූලික පියවරක් ලෙස යුක්‍රේනය යුරෝපා සංගමයට ඇතුළත් කර ගැනීමට පිඹුරුපත් සකස් කිරීමෙනි. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ජීවිත විශාල සංඛ්‍යාවක් බිලි ගත් යුක්‍රේන රුසියානු යුද්ධය වඩාත් තිරණාත්මක වන්නේ එය ලෝකය නැවත වරක් අඩුම වශයෙන් බලකඳවුරු දෙකකට බෙදී යෑමකට යොමු වන නිසාය.

යුක්‍රේකනයේ යුද්ධය මතු පිටින් රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් වුවත් එය සැබැවින්ම නේටෝ යුද හවුල අයත් බටහිර ලෝකයත් ඊට එරෙහිව නැගී සිටින රුසියානු සමූහාණ්ඩුවත් අතර කෙරෙන යුද්ධයකි. යුක්‍රේන යුද්ධයට නේටෝව ඇතුළත් බටහිර රටවල සහාය සෘජුවම ලැබෙන අතර එහි අවසාන ප්‍රතිඵලය ද බටහිර ලෝකයට සෘජුවම බලපාන්නක් බව එම රටවල ස්ථාවරයයි. එමනිසා අනිවාර්යෙන්ම යුක්‍රේන යුද්ධයෙන් බටහිර රටවල් ජයග්‍රහණය කළ යුතුය.

යුද්ධ නතර කිරීමේ මැතිවරණ පොරොන්දුවත් සමග එක්සත් ජනපදයේ බලයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයට නොමිලයේ අවි ආයුධ ලබා දීම සීමා කළත් යුද්ධයේ මූලික අරමුණුවල වෙනසක් සිදුව නැත. වඩාත්ම භයානක තත්වය වන්නේ ලොව නැවත වරක් පෙර පැවති තත්වයටත් වඩා බෙහෙවින්ම අනතුරුදායක බෙදීමකට යොමුවීමය. යුක්‍රේනය යුද්ධයෙන් පරාජය වුවහොත් රුසියාව බටහිර යුරෝපය ආක්‍රමණය කරනු ඇතැයි මතයක් එම රටවල පාලන තන්ත්‍ර යේ තදින් පවතින අතර ඊට මුහුණදීම සඳහා යුද සූදානමක් ද පවතී. නෝටෝ යුද හවුලේ බරපැන යුරෝපීය රටවල් විසින්ම දැරිය යුතුයැයි ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිතර අවධාරණය කරන නිසා ආරක්ෂක වියදම් වැඩි කිරීමත් ඒ අනුව බටහිර රටවල් අතර ආරක්ෂක සන්ධාන ඇති කර ගැනීමේ නැඹුරුවත් කැපී පෙනෙන ප්‍රවනතාවයකි.

යුරෝපා සංගමයේ ප්‍රබලම රටවල් දෙක වන ප්‍රංශය සහ ජර්මනිය දැනටමත් සමාජ සුභ සාධන වියදම් කපා හැර  ආරක්ෂක වියදම් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කරති. ජර්මනිය දැනටමත් එක්සත් ජනපදයට පසුව යුක්‍රේනයට යුද ආධාර ලබා දෙන දෙවන රටයි. එමෙන්ම රුසියානු ආක්‍රමණයක් සිදු වනු ඇතැයි අපේක්ෂාවෙන් අවි ආයුධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලික පදනමක් බවට පත් කර ඇත.

ප්‍රංශයේ මෑතක දී ප්‍රකාශයට පත් කළ උපාය මාර්ගික ජාතික සමාලෝචකය අනුව ජාතික ආරක්ෂාවේ මූලෝපාය විය යුත්තේ ආරක්ෂක අංශය ශක්තිමත් කිරීම බව පිළිගෙන ඇත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ආරක්ෂක කටයුතු පිළිබඳව එක්සත් රාජධානිය සමග ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කිරීමට අගමැති කියර් ස්ටාර්මර් හමුව සාකච්ඡා පැවැත් වූයේය. එහිදී ද්විපාර්ශ්වික මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කෙරිණ. යුක්‍රේනයට යුද ආධාර සැපයීම ගැන දෙරට අතර සහයෝගිතාවයක් පවතින අතර ඇමරිකානු යුද අවි සැපයුම නතර වන හෝ සීමා කෙරෙන තත්වයක් යටතේ එම හිඩැස පිරවීමට ඉදිරිපත් වීමට ඔවුන් සූදානම් ය.

ප්‍රංශ ජනාධිපති ගේ පැමිණීමෙන් පසු සතියේ ජර්මන් චාන්සලර් පෙඩ්‍රිරික් මර්ස් ද ලන්ඩනයට ගියේය. ඔහුගේ අරමුණ වූයේ ද බ්‍රිතාන්‍යය සමග ආරක්ෂක කටයුතු පිළිබඳ සහයෝගිතාවය ඇති කර ගැනීමය. එම අරමුණෙන් කෙන්ස්ටන් ගිවිසුම නමින් එකඟතාවයක් ද ඇති කර ගත්තේය. බොහෝ විචාරකයන් පෙන්වා දෙන ආකාරයට දෙවන ලෝක යුද්ධයෙන් පසු දෙරට අතර එවැනි එකඟතාවයක් ඇති කර ගත් පළමු අවස්ථාවයි.

මේ අතර යුරෝපා සංගමය ආරක්ෂක කටයුකු සඳහා යුරෝ බිලියන 800ක් වෙන් කිරීමද නේටෝ වැඩ පිළිවෙළේම කොටසකි.

චීනය සහ ඉන්දියාව අතර දේශ සීමාව පිළිබඳව තවමත් නොවිසඳී ඇති ගැටළු ගණනාවක් පැවතිය දී  එකඟතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම දෙරටම අවධාරණය කිරීම වැදගත් ය. ඉන්දියානු විදේශ අමාත්‍යංශයේ රන්දීර් ජයෙස්වාල් පසුගිය දා බීජිං නගරයේ දී අන්‍යොන්‍යව ප්‍රයෝජනවත් ආකාරයෙන් සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙළේය.

මෙම කුලකයට එකතුවන තවත් සාධකයක් වන්නේ ඉරානයයි. ඉරානය සහ රුසියාව අතර මීට මාස කීපයකට පෙර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළ අතර එහි ආරක්ෂක කටයුතු ගැන සඳහන්ව නැත. එහෙත් පසුගිය දා ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරයත් සමග තත්වය වෙනස්වෙමින් පවතින බව නිසැකය.

මෙවැනි පෙළ ගැසීම් සිදු වන්නේ ජාත්‍යන්තර තත්වය මින් පෙර කිසිදා නොවු ආකාරයට පිරිහෙමින් පවතින වාතාවරණයක ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීමට පිහිටුවා ගත් ආයතන සියල්ල පිරිහෙමින් පවතී. යුද්ධය පිටු දැකීමේ අරමුණෙන් පිහිටුවා ගත් එක්සත් ජාතින්ගේ සංවිධානය කතා සාප්පුවකි. ඊශ්‍රායෙලය ගාසා තීරයේ සිදු කරන ජනඝාතනය ගැන සවිස්තරාත්මක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමට ඉදිරිපත් කළ විශේෂ වාර්තාකාරිණිය ප්‍රැන්සිස්කා ඇල්බනීස් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදය නොවිය යුතුයැයි කීවාය.

ඇමරිකානු රැකවරණය ලබන ඊශ්‍රායෙලය ජාත්‍යන්තර නීතිය සහ මානව අයිතිවාසිකම් නොසලකා ජන සංහාරයක යෙදී සිටීම විවේචනය කරන අයට ඇමරිකාවෙන් සම්බාධක පැනවීම ද ජාත්‍යන්තර තත්වයේ පිරිහීමට නිදසුනකි. විශේෂ වාර්තාකාරිණී ප්‍රැන්සිස්කා ගාසා හි සිදුවන ජන සංහාරය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හැඳින් වූයේ අනීතික ලැජ්ජා සහගත පියවරක් සේය. ඒ නිසා ඇයට එරෙහිව ඇමරිකාවෙන් සම්බාධක පනවා ඇත. ගාසා තීරයේ සිදු කරන ජනඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පැවැත් වෙන නඩු විභාගයකට ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝගයක් දීම නිසා ඇමරිකාව එහි විනිසුරුවන් ට සම්බාධක පැනවූයේය.

ඇමරිකා එක්සත් ජනපදය සහ එහි අනුග්‍රහය යටතේ පවතින බටහිර යුරෝපීය රටවල් දැන් ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර නීතිය සහ සම්මුතීන් කිසිත් නොසලකාය. ඊශ්‍රායෙලය අල්ලා ගත් පලස්තින ප්‍රදේශයේ වසර දෙකක් තිස්සේ කරන ජන සංහාරයට එරෙහිව ජාත්‍යන්තරව ගත් හැකි කිසිදු පියවරක් නැත. පලස්තීනයට සහයෝගිතාවය දැක්වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම වශයෙන් හැඳින් වෙන බ්‍රිතාන්‍යෙය් ත්‍රස්තවාදී ක්‍රියාවකි. අන්තර්ජාතික අධිකරණය සහ අන්තර්ජාතික අපරාධ අධිකරණය යුක්තිය ඉටු කරන්නේ ලොව දුබල දුප්පත් රාජ්‍යයන් සම්බන්ධයෙන් පමණි. බලවත් ධනවත් රටවල් එහි නියෝග ප්‍රතික්ෂේප කිරීමට අමතරව එම ආයතනවලට සම්බාධක පනවති.

ලෝකය කඳවුරුවලට බෙදීම ජාත්‍යන්තර නිතිය කඩා වැටීමේ එක් ප්‍රකාශයක් පමණි. එම බෙදීම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා යුද්ධයට සූදානම්වීමත් ඒ වෙනුවෙන් අසීමිත ලෙස සම්පත් යෙදවීමක් ලොව සියලු දෙනා අනාරක්ෂිත තත්වයකට පත් කිරීමකි. මෙම තත්වය වඩාත් තීව්‍ර වන්නේ කලකට පෙර න්‍යෂ්ටික අවි, යුද්ධයක් වැළැක්වීමේ බලපෑමක් වශයෙන් යොදා ගත් නමුත් දැන් ඒ බිය ද පහව ගොස් තිබීමය. න්‍යෂ්ටික යුද්ධයකින් තමන්ට ජයගත හැකිය යන විශ්වාසය දැන් එක්සත් ජනපදය සහ එහි අනුගාමික රටවල් තුළ ප්‍රබලව පවතින මතයකි.

එමනිසා අප සිටින්නේ සමස්ත ලෝකයම දවාලන මහා යුද්ධයක අවධානමක් ඉදිරියේය.

Leave a Reply