ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[දෙවන කොටස]
හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා විකල්ප වශයෙන් වන්දියක් ලබා ගැනීමට යා හැකි සෑම තැනකට ම යාම සාමාන්‍ය දෙයකි. මන්ද වේදනාව දන්නේ තුවාලය ඇති තැනැත්තා මිස අන් කවරෙකුවත් නොවන බැවිනි. එහෙත් නීතියෙහි එකම විනිශ්චිත කරුණක් සම්බන්ධයෙන් දෙවතාවක් නඩු පැවරිය නොහැකිය. (Res Judicata) යන සිද්ධාන්තයක් පවතින නිසා එය කම්කරු නීතියට කෙසේ අදාළ වේද යන්න ගැන ගැඹුරින් විමසා බැලිය යුතු ව තිබේ. කොටින් ම කියතොත් ඔබේ සේවය අවසන් කිරීම අසාධාරණ යැයි ඔබ සිතන්නේ නම් එකී සේවය අවසන් කිරීම සම්බන්ධව ඔබට ලද හැකි සහන කීපයක් හා මාර්ග කීපයක් විවෘතව ඇති විට ඒයින් එකක් තෝරා ගැනීමක් කළ යුතු ද යන්න ප්‍රශ්නයක් විය හැකිය.
1971අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනත යටතේ කම්කරු කොමසාරිස්වරයාට සේවය අවසන් කිරීම පිළිබඳව පැමිණිලි කර ඇති විට, 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 31 (B) වගන්තිය යටතේ එම කරුණ සම්බන්ධයෙන් ම කම්කරු විනිශ්චය සභාවක් වෙත පැමිණිලි කර සහනයක් අපේක්ෂා කළ හැකි ද යන්න මෙරට නීති ඉතිහාසය තුල විටින් විට විවාදගතව පැවැති කරුණක් බව පැහැදිලි ය. මේ පිළිබඳව මෙරට අධිකරණය තීරණය කළ නඩු තීන්දු පිළිබඳව විමසා බැලීමෙන් පැහැදිලි වැටහීමක් ලද හැකිය. ‘‘සී/ස ලංකා දුම්කොළ සමාගම එදිරිව ඉලංගසිංහ (1986) ISLRI නඩුවේ දී’’ තීරණය වී තිබුණේ සේවය අවසන් කිරීමේ පනත යටතේ සහන පතා ඉල්ලීමක් කළ අයෙකුට කම්කරු විනිශ්චය සභාවකින් සහන පැතිය නො හැකි බවයි.
මෙහිදී තීන්දුව දෙමින් එවකට අගවිනිසුරුව සිටි G.P.S. ද සිල්වා මැතිතුමා සඳහන් කළේ ඒ සඳහා බාධකයක් ලෙස 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 31 (B) 5 වගන්තිය මඟින් දක්වා ඇති ප්‍රතිපාදන නැගී සිටින බවයි. එම උප වගන්තියෙන් කියැවෙන්නේ කම්කරු විනිශ්චය අධිකාරයක් සේවකයකු කළ ඉල්ලීමක් විභාග කොට අවසන් කර ඇති විට ඒ පිළිබඳව නැවත වෙනත් කිසිදු නෛතික සහනයක් ලබා ගැනීමට එම සේවකයාට අයිතිවාසිකමක් නැති බවය. එසේම එම සේවකයා වෙනත් යම් නීතිමය සහනයක් සඳහා කලින් කටයුතු කර ඇති විටෙක කාර්මික ආරවුල් පනතේ 31 (B) වගන්තියේ සඳහන් කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලීමක් කළ නො හැකි බවද එහි සඳහන් වේ.
එහෙත් 1988 අංක 51 දරණ සංශෝධන පනත මඟින් 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනතට එකතු කළ 6 B(1) හා 6 B(2) සංශෝධන මඟින් නීතිමය සහන පතා කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි කළ සේවකයන්ට ද, වෙනත් නීතිමය සහන ලබා ගැනිමේ අවකාශ ලබා දෙන ලදී. මෙම අවකාශය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, M.M. Udeshi Proprietor C.V. Bhatt Vs. The All Ceylon Commercial and Industrial Workers Union නඩුවේ දී කළ ආගන්තුක ප්‍රකාශයකින් සේවය අවසන් කිරීමේ පනතට එක් වු 1988 අංක 51 දරණ සංශෝධනයෙන් කාර්මික ආරවුල් පනතේ 31 B (5) වගන්තියද සංශෝධනය කර ඇති බව කියැවිණි. මේ සම්බන්ධයෙන් වර්තමානයෙහි බලධාරි වන නඩු තීන්දුව වන්නේ ‘‘ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම එදිරිව වාණිජ හා කාර්මික සේවක සංගමය (1997) 3 SLR 197 නඩුවයි’’.
මෙහිදි ඉහත කී කාරණය ගැඹුරින් සාකච්ඡාවට භාජනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ සේවය අවසන් කිරිමේ පනතට එක් වු 1988 අංක 51 දරණ සංශෝධනය මඟින් කාර්මික ආරවුල් පනතේ 31 B (5) වගන්තිය මඟින් දක්වා ඇති බාධක ඉවත් කර ඇති බවයි. ඒ අනුව සේවය අවසන් කිරීමේ පනත යටතේ ඉල්ලීමක් කම්කරු කොමසාරිවරයා වෙත කර ඇති සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙතද ඉදිරිපත් වී සහන ලබා ගැනීමට කිසිදු බාධකයක් තවදුරටත් නො පවතින බව තේරුම් ගත යුතුය. මේ නිසා ඔබ සේවය අවසන් කිරීමට ලක් වී මාස 6ක් ඉක්ම යාමට පෙර මෙම සහන ලබා ගැනීම පිණිස ඉල්ලීමක් කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම නඩුව පිළිබඳව පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විවාද කරන ලදි.
- සේවා යෝජක වෙනුවෙන් : අ. නිතිඥ : SL ගුණසේකර
- සේවක වෘත්තිය සමිතිය වෙනුවෙන් : ජේෂ්ඨ නිතිඥ S. සින්නතම්බි
RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010