You are currently viewing අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද?

අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද?

ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[පළමු කොටස]

එක්තරා රජයේ ආයතනයක දිගුකාලීනව අනියම් රියදුරන් ලෙස වැඩ කළ පිරිසක් පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ දුක්ගැනවිල්ල වුයේ වසර හතක පමණ කාලයක් තමන් අනියම් රියදුරන් ලෙස සේවය කළ බවත්, ඔවුන්ගේ සේවාව ස්ථිර කරන බවට අදාල බලධාරීන් කීප වතාවක්ම පොරොන්දු වී ඇතත්, මේ වනතුරු ඊට පිළියමක් නො කෙරුණු බවත් ය. අවසන් වශයෙන් ඔවුන්ගේ වෘත්තීය සමිතිය මඟින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා අදාළ බලධාරීන්ට ලිපියක් යවා ඇති බවද ඔවුහු කියා සිටියහ.

සර්, මෙතන තියෙන ප‍්‍රශ්නේ මේකයි.. අපේ සේවය ස්ථිර කරන බවට පොරොන්දු වෙලා.. දැන් වාහන පෞද්ගලික අංශයෙන් අරගෙන දුවවන්න සුදානමක් තියෙන බව දැනගන්න ලැබුණා.. ඒකයි අපි මේ දුවගෙන ආවේ..

මෙබඳු අවස්ථාවකට ඔබට මුහුණ දීමට සිදුවුවහොත් ඔබට නීතියෙන් ඇති පිළිසරණ කුමක්ද?

කාර්මික නීතියට අනුව අනියම් සේවකයෙකු යනු සේවා ගිවිසුමක් නොමැතිව අහම්බෙන් සේවයෙහි යොදවනු ලබන්නෙකි. ඔහුට වැඩ ලැබෙන්නේ වැඩ තිබෙන විට පමණකි. එසේම අනියම් සේවකයෙකු අඛණ්ඩව සේවයට පැමිණෙතැයි සේවා යෝජකයකුට බලාපොරොත්තු තැබිය නොහැකිය. යම් කම්කරුවෙක් තමා අනියම් සේවකයෙකු ලෙස හැඳින්වීමට කැමැත්ත පළ කළ ලියවිල්ලෙහි දැක්වෙන විස්තරය හෝ තනතුරු නාමය මේ කරුණේ දී තීරණාත්මක වන්නේ නැත. එහෙත් දීර්ඝ කාලීන ව අනියම් සේවකයෙකු ලෙස යම් නිශ්චිත රාජකාරියක යෙදි සිටි අයකු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වන විට සේවා යෝජකයා සහ සේවකයා අතර පවත්නා නියම සබඳතාවය පරික්ෂා කිරීමට නීතිය බැඳී සිටි. එහිදි ස්වකීය සේවා යෝජකයා විසින් අදාළ සේවකයා ස්ථිර සේ සලකා තිබෙන බව පෙනී යන්නේ නම් ඔහු අනියම් සේවකයෙකු ලෙස නො සැලකේ.

මේ සම්බන්ධයෙන් ‘‘ලංකා වාණිජ කාර්මික කම්කරුවන්ගේ සමිතිය එරෙහිව පිරිස් නඩුව’’ වැදගත් වේ. මෙහිදි අදාළ ව්‍යාපාරය ලොරි සහ බස් බෝඩ් ගැසීමේ කාර්යයෙහි නියුතු ව සිට තිබිණි. එහි නියුතු කම්කරුවන් සියලු දෙනාම කිසියම් කාර්යයකට (වැඩකට) පමණක් යොදවා ගත් අනියම් සේවකයන් ලෙස සැලකිය යුතු බවට සේවා යෝජක ආයතනය ගොඩ නැඟූ තර්කය මෙහි දී අධිකරණය පිළි නොගත්තේය. සාමාන්‍යයෙන් අනියම් කම්කරුවකු කෙටි කාලයක් තුළ යම්කිසි නිශ්චිත වැඩක් කිරීමත් එකී කාර්යය හෝ කාලසීමාව අවසන් වු විට සේවය නිමාවීමක් දැකිය හැකිය. එහෙත් ඉහත කී ව්‍යාපාරයේ සිටි සේවකයන් සමහරුන් වැඩ ආරම්භ කළ දින සිටම එක දිගට සේවය කළ පුද්ගලයන් වු අතර, ඔවුන් සෑම සතියකම අවසානයේ වැටුප් ලබා ගෙන තිබිණි. තවත් සමහරු එක දිගටම වසර ගණනාවක් සේවයේ යෙදුණු අය වුහ. මේ කරුණු මත ඔවුන් අනියම් සේවකයන් ලෙස සැලකීය නොහැකි බව අධිකරණය තීරණය කළේය.

මෙහි දී කාර්මික නීතියට අනුව තවත් සුවිශේෂි හඳුනා ගැනීමේ පරීක්ෂණයක් පවතී. එනම් සේවකයාට දෛනික පදනමකින් අනියම් කාලසීමා තුළ වැටුප් ලැබේ නම් ඔහු සාමාන්‍යයෙන් අනියම් සේවකයෙකු ලෙස සැලකේ. එහෙත් ඔහුට සතිපතා හෝ මාසිකව වැටුප් නියම කොට දෙසතියකට වරක් හෝ මාසය අග දී සම්පුර්ණ මුදලක් ගෙවයි නම් ඔහු සාමාන්‍යයෙන් ස්ථිර සේවකයකු ලෙස සැලකේ.

සේවා කාලයේ ප්‍රමාණය ද යම් සේවකයකු අනියම් ද ස්ථිර ද යන්න නිශ්චය කිරිමෙහිලා වැදගත් විය හැකි සාධකයකි. සේවා යෝජකයා විසින් විටින් විට ඇති කරන ලද ස්වාභාවික නොවු සේවා අත්හිටුවීම සහිතව හෝ රහිතව සේවකයා දිගු කාලයක් අඛණ්ඩව වැඩ කර තිබේ නම් ඔහු ස්ථිර සේවකයකු ලෙස සැලකේ. අනෙක් අතට සේවකයා කෙටි කලකට අනියත කාලසීමා තුළ බොහෝ විරාම සහිත ව සේවයේ යෙදී තිබේ නම් අනියම් සේවකයකු ලෙස සලකනු ලැබේ. අනියම් සේවකයන් හඳුනා ගැනීමේ අතිශය වැදගත් සාධකය වනුයේ කිසිදු විටෙක එබඳු අයට රැකියාවේ යෙදීමට අපේක්ෂා කිරීමට අයිතියක් නැතිවීමයි. ‘‘මෙරිල් ප‍්‍රනාන්දු සහ සමාගම එදිරිව ඩෙල්මන් සිංහ’’ නඩුවේ දී අනියම් සේවකයකුට වන්දි ලබා ගැනීමට හෝ නැවත සේවය ඉල්ලා සිටීමට අයිතියක් නැති බව තීරණය විය.

මේ අනුව ඉහත කී අනියම් රියදුරන්ගේ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ඔවුන් දීර්ඝ කාලයක් අඛණ්ඩව සේවයෙහි යොදවා තිබුණේ ද, ඔවුන්ගේ නම් පැමිණීමේ ලේඛනයෙහි අන්තර් ගත වී ද, ඔවුන්ට සතිපතා / මාස්පතා වැටුප් ගෙවා තිබේ ද වැනි කරුණුයි. එවැනි තත්ත්වයක් පවතින්නේ නම් ඔවුන් ස්ථිර සේවකයන් ලෙස සැලකීමට ද, ස්ථිර සේවකයන්ට නීතියෙන් හිමි වරප්‍රසාද  හා අයිතිවාසිකම් ලබා ගැනීමට ඉල්ලීමක් කිරීමට ද බාධාවක් නැති බව පෙනේ.

RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010

Print Friendly, PDF & Email

Leave a Reply