You are currently viewing වත්මන් අර්බුදය දුටු කලින් ම මාක්ස් ඉන් මිදීමේ මාර්ගයක් දැක් වූයේ ය.

වත්මන් අර්බුදය දුටු කලින් ම මාක්ස් ඉන් මිදීමේ මාර්ගයක් දැක් වූයේ ය.

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සාර්ථක වීමට නම් එය දිදුලන නව අදහස්වලින් යුත් දසුන් සහ අදහස් මනසට ගෙන එන කාව්‍යයක් මෙන් අපේ හදවත පුබුදු කළ යුතුය. එය අපගේ වත්මන් යථාර්ථය ගැබ් ගෙන ඇති අවස්ථාවන් නිරාවරණය කරන, අප වටා සිදුවෙමින් පවතින විස්මිත, කලබලකාරී සහ උද්වේගකාරී වෙනස්කම්වල සැබෑ හේතුන්ට ඇස් ඇරවිය යුතුය. මෙම සත්‍යය අපටම හඳුනාගත නොහැකිවීම ගැන දුර්මුඛ කරවමින් අප මිය ගිය අතීතය නැවත පන ගැන්විමේ කොටස්කරුවන් වන්නේය යන පාපී හැඟීමේ තිරය මෑත් කරවිය යුතුය. අවසාන වශයෙන් එය අනවශ්‍ය ලෙස ජනතාව පත්ව ඇති වේදනාවෙන් ගලවා ගැනීමේ නිර්මාතෘන් මෙන්ම සැබෑ නිදහස සඳහා ඇති අවකාශය ගැන මානව වර්ගයා අවදි කරවන බීතෝවන්ගේ සන්ධ්වනියක කම්පනය ඇති කළ යුතුය.

1848 පෙබරවාරි මස ලන්ඩනයේ ලිවර්පූල් වීදියේ අංක 46 දරන ස්ථානයෙන් ප‍්‍රසිද්ධ කළ ප‍්‍රකාශනය මෙන් අන් කිසි ප‍්‍රකාශනයක් මෙවැනි හැඟීමක් ඇති කිරීමට සමත් වූයේ නැත. එංගලන්තයේ විප්ලවවාදීන්ගේ ඉල්ලිම අනුව මෙම කෘතිය, කොමියුනිස්ට් ප‍්‍රකාශනය ( පළමුවෙන් හැඳින් වූ ආකාරයට කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය) සම්පාදනය කෙළේ රසාලිප්ත භෝජනයට ඇති රුචියෙන් සහ හෙගලියානු තර්ක ක‍්‍රමයෙන් පෝෂිත 29 හැවිරිදි දාර්ශනිකයන් වන කාර්ල් මාර්ක්ස් සහ මැන්චෙස්ටර් නගරයේ කම්හලක උරුමකරුවෙකු වූ 28 හැවිරිදි පෙඩරික් එන්ගල්ස් යන ජර්මන් තරුණයන් දෙදෙනාය. 

දේශපාලන සාහිත්‍ය කෘතියක් වශයෙන් මෙම ප‍්‍රකාශනය අනභිභවනීය ය. එහි ආරම්භක පාඨය ( යුරෝපයේ හොල්මන් කරන අවතාරය – කොමියුනිස්ට් වාදය) ඇතුළත් පාඨ ගණනාවක ෂෙක්ස්පියර්ගේ කාව්‍යමය ලක්ෂණ ඇතුළත් ය. මරා දමන ලද පියාගේ අවතාරය අභිමුඛයට පත් හැම්ලට් මෙන් පාඨකයා

‘‘ ඉතිහාසයේ නොවැළැක්විය හැකි බලවේග විසින් දායාද කළ සාහසික වාසනාවේ දුනු හීවලින් පීඩාවට පත් කෙරෙන පවතින සමයට මා අනුකූල විය යුතුද? නැතිනම් පවතින තත්වයට එරෙහිව නැගි සිට මෙම බලවේගවලට එක්ව එයත් සමග සටන් කර නව අභීත ලොවක් බිහි කරන්නේද?’’

මාර්ක්ස් ගේ සහ එංගල්ස්ගේ පාඨකයන්ට මෙය යුරෝපයේ අවන් හල්වල විවාද කෙරෙන ශාස්ත‍්‍රීය උභතෝකෝටිකයක් නොවේ. ඔවුන්ගේ ප‍්‍රකාශනය ක‍්‍රියාත්මකවීම සඳහා කෙරෙන ආයාචනයකි. එම අවතාරයට අවනතවීම බොහෝවිට වධ හිංසාවලට සහ සමහර විට දීර්ඝ කාලීන සිර දඬුවමකට ලක් විය හැකිය. අද තරුණයන් මුහුණ දී ඇත්තේ එවැනිම උභතෝකෝටිකයකටය. ඒ ගරා වැටෙන, ප‍්‍රජනන ශක්තියක් නැති සමයකට අනුගතවීම ද, නැතිනම් බරපතළ පුද්ගලික අවධානමක් ඇතිව වැඩ කිරීමේ, විනෝදවීමේ සහ එකට ජීවත්වීමේ නව මාර්ග සොයා යෑම සඳහා ඊට එරෙහිවන්නේ ද යන්නයි. කොමියුනිස්ට් පක්ෂ දේශපාලන වේදිකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන්ව ඇති නමුත් ප‍්‍රකාශනයේ කොමියුනිස්ට්වාදී ජීව ගුණය නිහඬ කළ නොහැකිය.

 ඕනෑම ප‍්‍රකාශනයක අභිලාෂය වන්නේ ක්ෂිතිජයෙන් ඔබ්බට එබී බැලීම ය. එහෙත් මාර්ක්ස් සහ එංගල්ස් කළ ආකාරයට ශත වර්ෂ එක හමාරක් අනාගතයට එබී බලා එය නිවැරදිව විස්තර කිරීමට සහ අද අප මුහුණ දෙන ප‍්‍රතිවිරෝධ සහ තත්වයන් විශ්ලේෂණය කිරීම සැබැවින්ම විස්මය ජනක ය. 1840 ගණන්වල අග භාගයේ ධනවාදය ඉබා ගාතේ යන, ස්ථානීය, කැඞී බිඳී ගිය නිවට තත්වයකි. එහෙත් මාර්ක්ස් සහ එංගල්ස් තියුණු බැල්මක් හෙළා අපගේ ගෝලීයකරණය වූ, මූල්‍යකරණය වූ අයෝමය හස්තයකින් කැටි කර ගත්, සියල්ලන් ගයන, සියල්ලන් නටන ධනවාදය දුටහ. ඒ 1991න් පසුව මාර්ක්ස් වාදයේ මළගම සහ ඉතිහාසයේ අවසානය ප‍්‍රකාශයට පත් කළ මොහොතයි.

ඇත්තෙන්ම කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ පුරෝකතනය අසාර්ථකවීම අතිශයෝක්තියට නංවා ඇත. 1970 මුල් කාලයේ දී වාමාංශික ආර්ථික විද්‍යඥයන් පවා ප‍්‍රකාශනයේ මූලික පුරෝකතනයක් වූ ධනවාදය ‘‘සෑම තැනකම තුරුළට වී, සෑම තැනකම මුල් බැස ගෙන, සෑම තැනකම සම්බන්ධතා ගොඩ නගා ගනු ඇතැ’’යි යන්නට අභියෝග කළ ආකාරය මට සිහිපත් කළ හැකිය. එවකට තුන්වැනි ලෝකයේ රටවල් යනුවෙන් හැඳින් වූ දුක්මුසු යථාර්ථය සැලකිල්ලට ගත් ඔවුහු ධනවාදය යුරෝපය, ඇමරිකාව සහ ජපානයේ මහා නගරවලින් ඔබ්බට යෑමටත් පෙර එහි උණුසුම පහව ගියේයැයි තර්ක කළහ.

අනුභූතිකව ඔවුන් නිවැරදි ය. අපි‍්‍රකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු ‘‘පර්යන්තයේ’’ ක‍්‍රියාත්මක වූ යුරෝපීය, ඇමරිකානු සහ ජපාන බහුජාතික සමාගම්වලට විජිතවාදී සම්පත් සූරා කෑමේ භූමිකාවෙන් ඔබ්බට යා නොහැකිව එම ප‍්‍රදේශවල ධනවාදය ව්‍යාප්ත කිරීමට අපොහොසත් වූහ. මෙම රටවල් ( සියලූ දෙනා, ඉතාමත් පසුගාමී වනචාරීන් පවා ඇතුළත් කර ගන්නා) ධනවාදි සංවර්ධනයේ කිඳා බසිනු වෙනුවට විදේශීය ප‍්‍රාග්ධනය තුන්වැනි ලෝකයේ ඌන සංවර්ධනය වර්ධනය කරන්නේයැයි තර්ක කළහ. ප‍්‍රකාශනය ධනවාදයට අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වීමට ඇති හැකියාව කෙරේ අනවශ්‍ය විශ්වාසයක් රැුඳවූවා මෙනි. බොහෝ ආර්ථික විද්‍යඥයෝ, මාර්ක්ස්ට හිතවාදී වූ අය පවා ‘‘ලෝක වෙළඳ පොළ සූරා කැමෙන් සෑම රටකම නිෂ්පාදනය සහ පරිභෝජනය ගෝලීය ස්වභාවයක් ගනු ඇතැයි’’ යන ප‍්‍රකාශනයේ පුරෝකතනය ගැන සැක ඉපිද වූහ.

එහෙත් කල් ගතවී හෝ ප‍්‍රකාශනය නිවැරදි බව සනාථ විය. එම පුරෝකතනය සනාථ වූයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු කෝටි දෙසියකට අධික චීන සහ ඉන්දියානු කම්කරුවන් ධනවාදී වෙළඳ පොළට පලවා හැරීමෙනිි. ඇත්තෙන්ම ධනවාදය ගෝලීයකරණය වීම සඳහා ප‍්‍රකාශනය අපේක්ෂා කළ පාලනයෙන් පළමුවෙන්ම බිඳී විසිර යා යුතුව තිබිණ. ඉතිහාසයේ කිසියම් දිනක මෙවැනි මිහිරි උත්ප‍්‍රාසයක් තිබුණේ ද?   

කොමියුනිස්ට් ප‍්‍රකාශනය කියවන  ඕනෑම කෙනෙකු තාක්ෂණ නව්‍යකරණයේ මුව විට අනතුරුදායක ලෙස දැවටෙන අද අපගේ ලෝකයේ තත්වයට සමාන චිත‍්‍රයක් එහි දැකීමෙන් පුදුමයට පත් වනු ඇත. ප‍්‍රකාශනය පළ වූ කාලයේ වැඩ වසම් ජන ජීවිතයේ රිද්මයට සහ චර්යාවට බරපතළම අභියෝගය ඉදිරිපත් වූයේ වාෂ්ප එන්ජිමෙනි. ගොවීන් මෙම යන්ත‍්‍රයේ දැති රෝදවලට ගොදුරු වූ අතර නව පංතියක නායකයෝ වංශවත් ඉඩම් හිමියන් සතුව පැවති සමාජ බලය උදුරා ගත්හ. දැන් ‘‘මුල් බැස ගත් සියලූ සම්බන්ධතා’’ ඉවතට පිස දැමීමේ තර්ජනය ඉදිරිපත් වන්නේ කෘත‍්‍රීම බුද්ධියෙන් ( Artificial Intelligence ) හා ස්වයංක‍්‍රීයත්වයෙනි.  ‘‘නිෂ්පාදනයේ උපකරණ, නිෂ්පාදනය නිරන්තරයෙන්ම විප්ලවීය ලෙස නොකඩවාම වෙනස් කරමින් සියලූ සමාජ තත්වයන්, සදාකාලික අවිනිශ්චිත තත්වයකට පත් කොට කැලඹීම් ඇති කරනු ඇතැ’’යි ප‍්‍රකාශනයේ සඳහන් වේ.

කෙසේ වුවත් මාර්ක්ස් සහ එංගලස් අනුව මෙම වියවුල ප‍්‍රශංසා කටයුතුය. ඒවා මෙම යුන්ත‍්‍ර සූත‍්‍රවල හිමිකරුවන් සහ ඒවා සැලසුම් කරන, මෙහෙයවන සහ ක‍්‍රියාත්මක කරන අය අතර ඇති ගැඹුරු බෙදීමට පදනම්වන ශේෂවී ඇති අගතීන් දුරු කිරීමට මානව වර්ගයාට අවශ්‍ය කරන තෙරපීමට උත්පේ‍්‍රරකයක් වනු ඇත. ‘‘ඝන වූ සියල්ල අහසට දියවී යනු ඇත. පූජනීය වූ සියල්ල කෙලෙසෙනු ඇත. අවසානයේ මිනිසාට තම ජීවිතයේ සැබෑ තත්වය ගැනත් සෙසු අය සමග ඇති සම්බන්ධතා ගැනත් තැන්පත් සිතින් මුහුණ දීමට සිදු වනු ඇත.’’ යනුවෙන් ඔවුහු තාක්ෂණයේ බලපෑම ගැන සඳහන් කළහ. අපගේ අගතීන් සහ සාවද්‍ය විශ්වාස නිර්දය ලෙස වාෂ්පය බවට පත් කොට එකිනෙකා සමග ඇති අපේ සම්බන්ධතා කෙතරම් ඛේදනීයදැයි බැලීමට යටි ගිරියෙන් මොර ගසා බල කරනු ඇත.

අද අපට මෙය ගෝලීයකරණයේ අසහනතා ගැන විවාද කිරීමට මුද්‍රණයේ සහ අන්තර්ජාලයේ යොදා ගන්නා ලක්ෂ සංඛ්‍යාත වචනවලින් දැකිය හැකිය. ගෝලීයකරණයෙන් අන්ත දුගී භාවයේ සිටි ප‍්‍රකෝටි ගණන් වූ ජනතාව සාපේක්ෂ දුගී තත්වයට පත් කිරීම ගැන උදම් වෙත්ම බටහිර ගරු කටයුතු පුවත් පත්, හොලිවුඞ් කලාකරුවෝ, සිලිකන් නිම්නයේ ව්‍යවසායකයෝ, පූජකයෝ සහ කෝටිපති මූල්‍ය ආයෝජකයෝ පවා එහි සමහර අහිතකර ලක්ෂණ, දරා ගත නොහැකි අසමානතාවය, නග්න කෑදරකම සහ බැංකුකරුවන් සහ සුපිරි ධනවතුන් විසින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැහැර ගැනීම ගැන දුක්වෙති. 

කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ පාඨකයන් මේ කිසිවකින් පුදුමයට පත් නොවේ. ‘‘සමාජය සමස්තයක් වශයෙන් එකිනෙකට ප‍්‍රති විරුද්ධ මහා කඳවුරු දෙකකට, එකිනෙකා අභිමුඛවන මහා පංති දෙකකට වඩ වඩාත් තියුණු ලෙස බෙදා වෙන් කරනු ඇත.’ ප‍්‍රකාශනය තර්ක කරයි. නිෂ්පාදනය යාන්ත‍්‍රික වී යන්ත‍්‍ර හිමියන්ගේ ලාභ ප‍්‍රතිශතය අපගේ ශිෂ්ඨාචාරයේ ගාමක බලය බවට පත්වෙත්ම, සමාජය වැඩ නොකරන කොටස් හිමියන් සහ හිමිකමක් නැති වැටුප් කම්කරුවන් වශයෙන් බෙදී යනු ඇත. මධ්‍යම පංතිය වඳවී යාමට නියමිත ඩයිනොසිරස් කෙනෙකු බවට පත් වේ.   

ඒ සමගම අනෙක් සෑම කෙනෙකුම අනාරක්ෂිත වැටුප් දාස භාවයේ අවදානමට කිඳා බසිනු දකින සුපිරි ධනවත්තු පශ්චාත්තාපයෙන් පීඩණයට පත්වෙති. වැටුප් දාසයන්ට ස්ථිරසාර පැවැත්මක් සහතික කළ නොහැකි නිසා මෙම අතිශයෙන්ම බලවත් සුළුතරය එවැනි බෙදී ගිය සමාජයන් ‘‘පාලනය කිරීමට නුසුදුස්සන්’’ වන බව මාර්ක්ස් සහ එංගලස් දුටහ. සැක සංකාවෙන් යුතුව මුරකාවල් මැද ජීවත් වන මෙම ජන කොටස්වලට තම ධනයේ තුෂ්ටිය භුක්ති විඳීමට නොහැකිය. තමන්ගේ දීර්ඝ කාලීන සැබෑ වුවමනාව තේරුම් ගැනීමට සමත් සමහරුන් ඇති හොඳම රක්ෂණය වන්නේ සුභ සාධන රජයැයි හඳුනා ගනු ඇත. එහෙත් ස්වභාවයෙන්ම රක්ෂණ වාරිකය ගෙවීම මග හැරීමට කටයුතු කරන මෙම සමාජ පංතිය අවශ්‍ය කරන බදු ගෙවීමෙන් වැළකී සිටිමට අප‍්‍රතිහත උත්සාහයක් ගනු ඇතැයි කොමියුනිස්ට් ප‍්‍රකාශනය පැහැදිලි කරයි.

ඇත්ත වශයෙන්ම සිදු වන්නේ එය නොවේද? සුපිරි ධනවතුන් යනු මනෝ චිකිත්සකයකයන්ගෙන් සහ ව්‍යවසාය පඬිවරුන්ගෙන් හැම විටම සහන පතන, විෂහරණ සායනවල ( Detox Clinics ) නිතර ගැවසෙන, සැකයෙන් පසුවන, කෝපාවිෂ්ට කණ්ඩායමකි. මේ අතර තුර අනෙක් හැම කෙනෙකුම කෑම වේලක් ලබා ගැනීමට, ටියුෂන් ගාස්තු ගෙවීමට ක්‍රෙඩිට් කාඞ් අත පත ගාමින් හෝ මානසික පීඩාවෙන් දුක් විඳිති. අප හැසිරෙන්නේ නිදහස් කැමති දෙයක් ලබා ගත හැකි, කැමති දෙයක් කළ හැකි අය සේය. එහෙත් සැබැවින්ම අපි නින්දෙන් හඬන්නෙමු.

දානපතියන්, පිළිගත් දේශපාලකයන් සහ සිහි එලවා ගත් ශාස්ත‍්‍රීය ආර්ථික විද්‍යඥන් යන සියල්ලෝම හේතූන් ( යන්ත‍්‍ර සූත‍්‍ර, ඉඩම්, සම්පත් පිළිබඳ අසමාන දේපොළ අයිතියේ ප‍්‍රතිඵලයක් වන සූරාකෑම) අමතක කරමින් රෝග ලක්ෂණ ( ආදායම් අසමානතාවය) වියරු ලෙස හෙළාදකිමින් මෙම අනතුරට එකම ආකාරයට ප‍්‍රතිචාර දක්වති. ජනතාවගේ පහත්ම හැඟීම් ඇවිස්සීමට අවස්ථාවාදින්ට පමණක් ඉඩ සැලසෙන අසරණ භාවයක් තුළ අප සිරවී සිටීම පුදුමයක් ද?

උසස් තාක්ෂණයේ සීඝ‍්‍ර වර්ධනයත් සමග අප එකිනෙකාට තර්කානුකූලව, ශිෂ්ට ආකාරයට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න තීරණය කළ යුතු මොහොතට අප ළඟා කර ඇත. අප තවදුරටත් වැඩ කිරීමේ අනිවාර්ය භාවය සහ ඊට අවශ්‍ය කරන පීඩාකාරී සමාජ මතිමතාන්දර තුළ සැඟවිය යුතු නොවේ. කොමියුනිස්ට් ප‍්‍රකාශනය පළ කිරීමෙන් පසු විසි එක්වැනි සිය වසේ වෙසෙන පාඨකයාට මෙම අවුල විනිවිද දැකිමටත්, බහුතරයට මෙම අසහනයෙන් මිදී  ‘‘එකිනෙකාගේ නිදහස් සංවර්ධනය සියලූ දෙනාගේම නිදහස් සංවර්ධනයට’’ හේතුවන නව සමාජ වැඩ පිළිවෙළකට යෑම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න හැඳින ගැනිමටත් අවස්ථාවක් සලසයි. එහි ළඟා විමේ මාර්ග සිතියමක් කොමියුනිස්ට් ප‍්‍රකාශයේ අඩංගු නොවන නමුත් එය අපේක්ෂාවේ ඉවත දැමිය නොහැකි මූලාශ‍්‍රයක්ව පවතී.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය 1848 දී මෙන් අදත් අප තිගැස්මට, පෙළඹවීමට හා ලැජ්ජාවට පත් කරන්නේ නම් ඒ සමාජ පංතීන් අතර අරගලය කාලය තරම් පැරණි නිසාය. මාර්ක්ස් සහ එංගල්ස් මෙය ප‍්‍රබල වචන 13කින් කැටි කර දැක් වූහ. ‘‘මේ දක්වා පවතින සියලු සමාජයන් හි ඉතිහාසය යනු පංති අරගලවල ඉතිහාසය යි.’’ 

වැඩවසම් රදල ආණ්ඩුවල සිට කාර්මික අධිරාජ්‍ය දක්වා ඓතිහාසික වර්ධනයේ යන්ත‍්‍රය වූයේ නිරන්තරයෙන්ම විප්ලවීය ලෙස වෙනස්වන තාක්ෂණය සහ පවතින පංති සන්ධාන අතර අරගලයයි. සමාජයේ පවතින තාක්ෂණයේ සෑම කඩා වැටීමක් සමගම අප අතර ඇති අරගලයේ ආකාරය වෙනස් වේ. පැරණි පංති අභාවයට ගොස් අවසානයේ දී ඉතිරි වන්නේ පංති දෙකක් පමණි. එනම් සියල්ලක්ම හිමිකර ගත් පංතිය සහ කිසිවක් නැති පංතිය – ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය යි.

අද අප පත්ව ඇත්තේ මෙම අගාධයට යි. ධනවාදය සියලූ පංති විෂමතා, ඇති නැති අය අතර පරතරයක් දක්වා සරල කළ නමුත් ධනවාදය බිහි කළ තාක්ෂණය එම ධනවාදය පවත්වා ගැනීමට ප‍්‍රමාණවත්ව විකාශනය නොවන බව අවබෝධ කර ගත යුතුයැයි මාර්ක්ස් සහ එංගල්ස් පෙන්වා දුන්හ. පුද්ගලිකව හිමි කර ගත් නිෂ්පාදන මාධ්‍යයන් සහ යන්ත‍්‍ර, ඉඩම් සහ සම්පත්, සමාජ හිමිකාරිත්වයක් දක්වා පරිණාමය වී, විකාශනය වන්නේය යන පැරණි අදහසින් කැඞී ඉවත්වීම අපේ යුතුකමකි. දැන් නව තාක්ෂණය ප‍්‍රාථමික ශ‍්‍රම ගිවිසුම්වලින් බැඳුණු සමාජයන් මත මුදා හැරි විට මහා පරිමාණයෙන් අසරණ භාවය පැතිරෙනු ඇත. ‘‘මෙවැනි දැවැන්ත නිෂ්පාදන සහ හුවමාරු මාධ්‍යය මුදා හරින ලද සමාජය, තම මන්ත‍්‍රවලින් අපායෙන් කැඳවා ගත් භූතයෙකු පාලනය කර ගත නොහැකි වූ යකැදුරෙක් මෙන් වනු ඇතැයි’’ කොමියුනිස්ට් ප‍්‍රකාශයේ අමතක නොවන ආකාරයෙන් සටහන් කර ඇත.

තම ඇප්ස්, සර්ච් එන්ජින්, රොබෝ සහ ජාන වෙනස් කළ බීජ, සෑම දෙනාටම හැම විට ධනය සහ සැපත ගෙන දෙනු ඇතැයි එම යකැදුරා හැම විටම සිතනු ඇත. එහෙත් මෙම තාක්ෂණ විස්මයන්  සමාජයට මුදා හැරි විට, වැටුප් සහ මිල ගණන් බොහෝ ව්‍යාපාරවල ලාභ පහත වැටෙන මට්ටමකට තෙරපනු ඇත. මහා තාක්ෂණ සමාගම්, මහා ඖෂධ සමාගම් සහ ජනතාව මත සුවිශේෂී දේශපාලන හා ආර්ථික බලයක් පවත්වා ගන්නා සමාගම් කිපයක් පමණක් සැබැවින්ම ප‍්‍රතිලාභ ලබා ගනු ඇත. අප සේව්‍ය සේවක කම්කරු ගිවිසුම් දිගටම පවත්වා ගන්නේ නම් පුද්ගලික දේපොළ පිළිබඳ අයිතිය බලපැවැත්වෙන අතර ප‍්‍රාග්ධනය අමානුෂික අන්තයකට යොමු කෙරේ. සමුහ නිෂ්පාදන උපකරණවල පුද්ගලික අයිතිය අහෝසි කිරීමෙන් සහ එය නව තාක්ෂණය සමග එක්ව වැඩ කරන නව ආකාරයේ පොදු අයිතියක් ඇති කිරීමෙන් පමණක් අසමානතාවය අඩු කර සාමුහික සතුට ලබා ගත හැකිය.

මාර්ක්ස් සහ එංගලස්ගේ ඉතිහාසය පිළිබඳ න්‍යාය අනුව කම්කරුවා සහ හාම්පුතා අතර දැනට පවතින බෙදීම හැම විටම පවතිනු ඇත. එසේම ‘‘ධනේශ්වරයේ බිඳ වැටීමත් නිර්ධනයාගේ ජයග‍්‍රහණයත් අනිවාර්ය’’ යැයි කොමියුනිස්ට් ප‍්‍රකාශය සඳහන් කරයි. මෙතෙක් ඉතිහාසය මෙම අනාවැකිය තහවුරු කර නැත. එහෙත් එහි විවේචකයෝ  ඕනෑම ප‍්‍රචාරක අවියක මෙන් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ ද අනිවාර්ය අපේක්ෂාවක් තිබිය යුතු බව අමතක කරති. නෙල්සන් සාමිවරයා ට‍්‍රැෆල්ගාර් සටනට තම හමුදාව මෙහෙයවීමට පෙර (ඇත්තෙන්ම ඔවුන්ට එය කළ හැකිදැයි ඔහු තුළ සැකයක් පැවති නමුත්* එංගලන්තය ඔවුන් තම යුතුකම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසුවේය. ඒ ආකාරයටම කොමියුනිස්ට් ප‍්‍රකාශනය නිර්ධන පංතිය එක්සත්ව ඔවුන් වැටුප් දාස භාවයෙන් විමුක්තිය ලබා ගැනීමේ තම යුතුකම ඉටු කරනු ඇතැයි යන අපේක්ෂාව ප‍්‍රදානය කරයි.

ඔවුන්ට එය කළ හැකි ද? දැනට පවතින ආකාරයෙන් එය කළ හැකි බවක් නොපෙනේ. එහෙත් නැවත වරක් ප‍්‍රාග්ධනයේ පුර්ණ හැකියාවන් විකසිත වන තෙක් 1990 ගණන්වලට පෙර අප බලාපොරොත්තු සහගතව සිටි ආකාරයට අපට තවත් කලක් බලා සිටීමට සිදු වේ. කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙන් අපේක්ෂා කරන ඓතිහාසික භූමිකාව ඉටු කිරීමට පෙර ගෝලිය වූ, වඩ වඩාත් අවදානම් තත්වයට පත්වන නව නිර්ධනයා තවත් කාලයක් අපේක්ෂාවෙන් සිටිය යුතු නොවේද? ඒ ගැන විනිශ්චයක් ලැබීමට පෙරම විප්ලවයේ ඝෝෂාවට බිය වන්නේ නම් ධනවාදය විසින් මානව ආත්ම ගුණය සම්පූර්ණයෙන්ම සෝදා හරින, මිනිසා වික්ෂිප්ත කරවන තරගයකට ලක් කෙරෙනු ඇතැයි මාර්ක්ස් සහ එංගල්ස් පවසයි. ප‍්‍රාග්ධනය සමාජයීයකරණය නොවන්නේ නම් අපට සහතික විය හැකිවන්නේ අගාධයට පත් කෙරෙන වර්ධනයන් ගැන පමණියැයි කොමියුනිස්ට් ප‍්‍රකාශනය පෙන්වා දේ.   

සැකමුසු පාඨකයෙකුට අගාධයකට පත් කිරීම පිළිබඳව මෙසේ විමසිය හැකිය: ‘‘අත්තනෝමතික පාලනයන් සහ වහල් කඳවුරු පවත්වා ගැනීම සුජාත කිරීමට කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ සම්බන්ධතාවයක් නැද්ද?’’ ඒ පිළිබඳව ආරක්ෂාකාරීව පිළිතුරක් දීම වෙනුවට මෙසේ ඇසිය හැකිය. වෝල් ස්ට්‍රීට් හි සිදුවන අකටයුතු ගැන ඇඩම් ස්මිත්ට හෝ ස්පාඤ්ඤ ධර්මාධිකරණය (Spanish Inquisition ) පිළිබඳව නව තෙස්තමේන්තුවට දොස් කීමට හැකිද? ප‍්‍රකාශනයේ කතුවරුන් මෙම චෝදනාවට පිළිතුරු දිය හැකි ආකාරය අපට සිතා ගත හැකිය. මාර්ක්ස් සහ එංගල්ස් තම විශ්ලේෂණයේ බරපතළ වැරැුද්දක් – ප‍්‍රමාණවත් පසුවිපරමක් නොමැතිවීම – ගැන පසුතැවෙනු ඇතැයි මට විශ්වාස ය. ඉන් අදහස් වන්නේ ඒ ගැන ප‍්‍රමාණවත් සිත් යොමු කිරීමක් නොවීම සහ තමන් විශ්ලේෂණය කරන ලෝකය කෙරේ එම විශ්ලේෂණයේ බලපෑම ගැන සිතා මතාම නිහඬවීම ය.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය එහි පාඨකයන් නිද්‍රාවෙන් මුදා ගැනීමට ව්‍යක්ත භාෂාවකින් ප‍්‍රබල කතාවක් පවසා ඇත. ප‍්‍රකාශනයේ ප‍්‍රබල නිර්දේශාත්මක පාඨයන් තුළින් ජනිත වෙන බලයෙන් අනුගාමිකයන්, බැතිමතුන් පමණක් නොව ඒ තුළින් පූජ්‍යත්වයට පත් වුවන් බිහි කිරීම සහ ඔවුන් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තමන්ගේම වාසියට යොදා ගත හැකි බව දැකීමට මාර්ක්ස් සහ එංගලස් අසමත් වූහ. එවැනි අය අනෙකුත් සහෝදරයින් අයථා ලෙස යොදා ගෙන තමන්ගේම බල පදනමක් ගොඩ නගා ගනිති. ඉන් පසුව තම බලමහිමය පතුරුවා ගෝල පරම්පරාවක් බිහි කොට දේශපාලන මණ්ඩලයේ පාලන බලය අත් කර ගෙන ඔවුන්ට විරුද්ධවන  ඕනෑම කෙනෙකු සිර ගත කරති. 

ඒ ආකාරයටම මාර්ක්ස් සහ එංගලස් ධනවාදය ගැන කරන තම විවේචනය, ධනවාදය තුළම ඇති කරන බලපෑම තක්සේරු කිරීමට අපොහොසක් වූහ. කොමියුනිස්ට් ප‍්‍රකාශනය සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපීය පරිවාර රාජ්‍යයනුත්, කැස්ට්‍රෝගේ කියුබාවත්, ටිටෝගේ යුගොස්ලාවියාවත් බටහිර සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර රාජ්‍යයන් කීපයකුත් හැඩ ගැසීමට ඉවහල් වූ ආකාරයටම මෙම වර්ධනයන් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ පුරෝකතනයන් සහ විශ්ලෙෂණ බිඳ දැමීමේ ප‍්‍රතික‍්‍රියා දාමයක් ඇති කිරීමට හේතු වූයේ නැද්ද? රුසියන් විප්ලවයෙන් සහ ඉන් අනතුරුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව කොමියුනිස්ට්වාදයේ ව්‍යාප්තියෙන් බියට පත් ධනේශ්වර පාලකයන්ට ජනතාව සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රම හඳුන්වා දීමට, ජාතික සෞඛ්‍ය සේවාවන් පමණක් නොව ධනවතුන් දුප්පතුන් නඩත්තු කළ යුතුය යන අදහසත්, සුළු ධනේශ්වර ශිෂ්‍යයන්ට ලිබරල් විශ්ව විද්‍යාලවලට පිවිසීමටත් අවස්ථාවක් ලැබුණේ නැද්ද? මේ අතර තුර සෝවියට් සංගමයට එරෙහිව පැවති දැඩි සතුරු ආකල්පය සහ භීතිය ඇති කිරීමේ වාතාවරණය ජෝසප් ස්ටාලින් සහ පොල්පොට් වැනි පුද්ගලයන් බිහිවීමට හේතු විය.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය පදනම් කර ගෙන බිහි වූ කොමියුනිස්ට් පක්ෂ කෙරේ ඉන් ඇති කළ බලපෑම ගැන තක්සේරුවක් නොකිරීම ගැන මාර්ක්ස් සහ එංගලස් දුක් වනු ඇතැයි මම විශ්වාස කරමි. කම්කරු රාජ්‍ය, ධනේශ්වර රටවලින් එල්ල විය හැකි ආක‍්‍රමණයට ප‍්‍රතිචාර වශයෙන් වඩ වඩාත් ආඥාදායක තත්වයට පත්වීමත්, කොමියුනිස්ට් වාදයට බියෙන් ධනේශ්වර රාජ්‍ය වඩ වඩාත් ශිෂ්ට වූ ආකාරයේ ද්විඝටනාත්මක තර්කනය නොසැලකා හැරීම ගැනත් ඔවුන් දුක්වනු ඇත.

ඇත්තෙන්ම යොදා ගත් වචනවල ප‍්‍රබලත්වයෙන් හට ගත් වැරදි එම කතුවරුන්ට ආශීර්වාදයකි. වඩාත් බලවත් ආශීර්වාදයක් වන්නේ තමන්ගේ වැරදි තමන් විසින්ම නිවැරදි කර ගැනීම ය.  කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙන් බිහි වූ කම්කරු රාජ්‍ය සියල්ලම පාහේ අද දක්නට නැත. කොමියුනිස්ට් පක්ෂ විසිර ගොසිනි, නැතිනම් අවුල් වියවුල්ව ඇත. කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ ආනුභාවයෙන් බිහි වූ රාජ්‍යයන් ගේ තරගයෙන් විමුක්තිය ලැබ ගෝලීයකරණය වූ ධනවාදය, ප‍්‍රතාශනයේ නිවැරදිව විස්තර කෙරෙන ලෝකය නිර්මාණය කිරීමට අධිෂ්ඨාන කර ගත් සේය.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය අද අප ප‍්‍රබෝධමත් කරවන්නේ අප ජීවත්වන නූතන ලෝකය සඳහා වූ නිර්දේශ නිසාය. මාර්ක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනයට කලින් පළ කළ ආර්ථිකය සහ දාර්ශනික ලිපි (Economic and Philosophical Manuscripts ) කෘතියෙන් අපගේ ජීවිත නිරන්තරයෙන්ම හැඩ ගැස්වෙන බලය මෙසේ විස්තර කෙළේය. ‘‘ සෑම සීමාවකින්ම සහ බැඳීමකින්ම බිඳී වෙන් වන විශ්වීය ශක්තියක් එකම ප‍්‍රතිපත්තිය, එකම විශ්වීය භාවය සහ එකම බැඳීම ලෙස ස්ථාපනය වනු ඇත.’’ උබර් රියැදුරා සහ මුදල් ඇමතිවරුන් ගේ සිට බැංකු විධායකයා සහ අන්ත අසරණ දුප්පතා දක්වා වූ අපි සියල්ලන්ම මෙම ‘‘ශක්තියෙන්’’ මුසපත්ව සිටිමු. ධනවාදය කෙතරම් බලවත් ද යත් අපට ඉන් තොර ලෝකයක් සිතා ගත නොහැකිය. එය බෙලහීනත්වයේ සිට කිසිම විකල්පයක් නැතැයි යන හැඟීම දක්වා පිරිහීමට ඇති කෙටි පියවරක් පමණි. එහෙත් පුදුමයට මෙන් ( ප‍්‍රකාශනයේ සඳහන් වන ආකාරයට) මෙම හැඟීම තහවුරු වන මොහොතේම විකල්පයන් බහුලව පවතී.

මේ අවස්ථවේ දී අවශ්‍ය වන්නේ සියල්ලන්ටම සිදුවන අසාධාරණය, සමාජ විෂමතාවය හෙලා දැකීම හෝ නැතිවෙමින් යන ප‍්‍රජාතන්ත‍්‍රීය ස්වෛරීත්වය ගැන දේශනා නොවේ. අපට අවශ්‍ය ජාතිවාදයට තුරුළු විය හැකි පූර්ව නූතන, පූර්ව තාක්ෂණ යුගයට ආපසු යන, ප‍්‍රතිගාමී ධනේශ්වරයෙන් පලා යෑමේ හිතුවක්කාර කි‍්‍රයා නොවේ. මෙවැනි අවිනිශ්චිත මොහොතක, කොමියුනිස්ට් ප‍්‍රකාශනය පෙන්වා දෙන ආකාරයට අප විසින් කළ යුතු වන්නේ ධනවාදයේ දුෂ්විපාක තියුණු පැහැදිලි තාර්කික ඥානයෙන් හා සන්සුන් මනසකින්, වාස්තවිකව තක්සේරු කිරීම ය. 

ධනවාදයේ ගැටලූව වන්නේ ඉමහත් තාක්ෂණයක් නිෂ්පාදනය කිරීම හෝ අසාධාරණවීම නොවේයැයි කොමියුනිස්ට් ප‍්‍රකාශනය පෙන්වා දේ. ඒකරාශී කිරීම සඳහාම ඒකරාශි කිරීමේ හේතුවෙන් ප‍්‍රාග්ධනය අස්සක් මුල්ලක් නෑර පැතිරීම නිසා කම්කරුවන්ට සොච්චම් වැටුපකට යන්ත‍්‍රමෙන් වැඩ කිරීමට සිදු වේ. කම්කරුවන්ට කළ නොහැකි කාර්යන් සඳහා රොබෝ යන්ත‍්‍ර යොදා ගන්නා නමුත් එම යන්ත‍්‍රවලට කෑම බීම අවශ්‍ය නැත. ප‍්‍රාග්ධනය එය නිපදවන අගනා යන්ත‍්‍ර තාර්කිකව යොදා ගැනීමට අපොහොසත් ය. ප‍්‍රාග්ධනය පරිසරය පරිහානියට ලක් කොට, විරැකියාව සහ රැුකියාවෙන් පසු කිසිම විවේකයක් නොමැතිවීම සහ පොදු පැවැත්මක් නොමැතිවීම නිසා පරම්පරා ගණනාවක්ම අසරණ කොට අනතුරට පත් කරයි. ධනපතියන් පවා ස්වයංක‍්‍රීයකරණයෙන් දුකට පත් වේ. තම සහෝදර ජනතාව වෙළඳ භාණ්ඩ බවට පත් නොකරන්නේ නම් ඔවුන්ට පැවැත්මක් නොමැති නිසා ධනපතීන් ජීවත් වන්නේ නිරන්තර බියෙනි.

ධනවාදය අසාධාරණ වන්නේ ඉන් සෑම කෙනෙකුම, ධනවතුන් මෙන්ම දුප්පතුන් වහල් භාවයට පත් කොට මානව සහ ස්වභාවික සම්පත් නාස්ති කරන හෙයිනි. ඉමහත් ධනයක් නිපදවන නිෂ්පාදන කි‍්‍රියාවලියෙන්ම අසතුට සහ අසහනය මහා පරිමාණයෙන් ජනනය කරවයි. කොමියුනිස්ට් ප‍්‍රකාශනය අනුව අපගේ කාර්ය වන්නේ තමා විසින්ම විනාශය කරා ගෙන යන සියල්ල ජය ගන්නා ‘‘ශක්තියේ’’ මෙම ප‍්‍රවනතාවය හැඳින ගැනීම ය.

අද ධනවාදයට බරපතළම තර්ජනය වන්නේ කවරෙක්ද, නැතිනම් කුමක්දැයි ජනමාධ්‍යවේදීන් ප‍්‍රශ්න කරන විට මගේ පිළිතුරවන්නේ ‘‘ධනවාදය’‘ යන්නයි. ඇත්තෙන්ම දශක ගණනාවක් භාවිතා කරන එම අදහස මා සොරා ගත්තේ කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙනි. ධනවාදයේ ‘‘ශක්තිය’’ අහෝසි කර දැමීමට ඊට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැති නිසා කළ යුතු වන්නේ එහි වර්ධනය වේගවත් කිරීමට සහාය වී එහි විනාශය කැඳවීමෙනි. ( උල්කාපාතයක් වායුගෝලය හරහා ගමන් කිරීමෙන් වේගවත්ව  විනාශ වී යන්නාක් මෙනි.) අනෙක් අතට ඊට එරෙහිවීමෙන් අපගේ මානව ජීව ගුණය යටපත් කිරීමේ ප‍්‍රවනතාවයක් පවතී. කෙටියෙන් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ නිර්දේශය වන්නේ ධනවාදයේ ආදිනව සීමා කරමින් සහ එය සමාජයීය කරණයට සූදානම් වෙමින් එහි අන්තය කරාම තල්ලූ කිරීමය.

අපට වඩ වඩාත් රොබෝ යන්ත‍්‍ර, සූර්ය බල ශක්තිය, ක්ෂණික සන්නිවේදනය සහ සංකීර්ණ හරිත ප‍්‍රවාහන ජාල පද්ධති අවශ්‍ය ය. ඒ සමගම අසරණයන් ආරක්ෂා කිරීමට හා බලගැන්විමටත් ධනවාදයේ තකතිරුකම් ආපසු හැරවීමට පදනමක් සූදානම් කිරීමටත් දේශපාලන වශයෙන් සංවිධානය විය යුතුය. ඉන් අදහස් වන්නේ ධනවාදයට විකල්පයක් නැත යන අදහස අවඥාවෙන් බැහැර කරමින් වඩාත් අඩුවෙන් නවීකරණය වූ පැවැත්මකට ආපසු යා යුතුය යන අදහස ප‍්‍රතික්ෂේප කිරීම ය. ධනවාදයේ පැරණි ආකාරයන් යටතේ කිසිම සදාචාරයක් තිබුණේ නැත. ඩොන්ටන් ඇබේ වැනි රූපවාහිනි සන්දර්ශන අප ගෙවි ගිය අතීතය ආශාවෙන් අගය කිරීමට පොළඹවන අතර වෙනස්වීම වේගවත් කිරීමට අප දිරිමත් විය යුතුය.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය, විවිධ අවස්ථාවල අප එකිනෙකාට විවිධ ආකාරයෙන් අමතන, අපගේම වටාපිටාව ආවර්ජනය කරන, ආවේගාත්මක පෙළ පොතකි. කලකට පෙර මා සාවද්‍ය ලිබරල්වාදී මාක්ස්වාදියෙකු ලෙස හඳුන්වා ගත් විට මාක්ස්වාදින්ගේ සහ මාක්ස්වාදී නොවන අයගේ ගැරහීමට ලක් වූයෙමි. ඉන් පසුව ග‍්‍රීක ආණ්ඩුව සහ එහි බලවත්ම ධනවාදීන් අතර තියුණු ගැටුම් හට ගත් සමයේ මම කිසියම් දේශපාලන වශයෙන් වැදගත් තත්වයකට තල්ලූ කරනු ලැබුවෙමි. මෙම හැඳින්වීම ලිවීම සඳහා කොමියුනිස්ට් ප‍්‍රකාශනය නැවත කියවීම අපහාසයට ලක්වීමට සහ සහාය ලැබීමට මාර්ක්ස්ගේ සහ එංගලස්ගේ අවතාර නැවත කැඳවීමක් වැනිය. නිර්දය බලයෙන් (ග‍්‍රීසියේ ණයකරුවන් වෙනුවෙන්) හා මගේම ආණ්ඩුවේ සමහර කොටස්වල සහායෙන්  ග‍්‍රීක වසන්තය මර්දනය කිරීමේ කතාව කීමට, මම 2015 දී ග‍්‍රීක මුදල් ඇමතිව සිටිය දී Adults in the Room රචනා කෙළෙමි. එය මම හැකිතාක් දුරට අවංකව හා නිවැරදිව ඉටු කළෙමි. කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ දැක්මකින් ආපසු හැරී බලන විට එහි ඓතිහාසික ක‍්‍රියාකාරීන් නොවැදගත් දර්ශනයකට හෝ අඩ වශයෙන් නිහඬ වින්දිතයන් බවට සීමා කෙළෙමි. ‘‘ඔබගේ කෘතියේ නිර්ධනීන් කෝ? යනුවෙන් මාර්ක්ස් සහ එංගල්ස් මොර දෙනු මට ඇසේ. ‘‘ඔබ පසෙක සිට සහාය ලබා දෙන අතර ධනවාදයට බලවත්ම අභියෝගය ඉදිරිපත් කරන්නේ ඔවුන් නොවන්නේද?’’ 

කොමියුනිස්ට් ප‍්‍රකාශනය නැවත කියවීමෙන් එය ලිබරල්වාදී පෙළ පොතකි යන මගේ අදහස තහවුරු වීමෙන් කිසියම් සතුටක් ද දැනිණ. කොමියුනිස්ට් ප‍්‍රකාශනය ධනේශ්වර ලිබරල් ගතිගුණ විවේචනයට කරන්නේ ඊට ඇති කැපවීම මෙන්ම ආදරය නිසාය. නිදහස, සතුට, ස්වායත්ත භාවය, පුද්ගලිකත්වය, අධ්‍යාත්මික භාවය හා තමා විසින්ම මෙහෙයවන සංවර්ධනය, අනෙක් සියල්ලට වඩා මාර්ක්ස් සහ එංගල්ස් අගය කළ පුරුෂාර්ථයන් ය. ඔවුන් ධනේශවරයට එරෙහි වූයේ එය බහුතරයට නිදහස්ව සිටීමේ කිසියම් අවස්ථාවක් ලබා දිමට ඉඩක් නොදෙන නිසාය. යමෙකු යදම්වලින් බැඳී සිටින තාක් කිසිවෙකු නිදහස් නොවන්නේය යන හෙගල්ගේ විශිෂ්ට අදහස මාර්ක්ස් සහ එංගල්ස් ආදර්ශ කර ගැනීමෙන් ධනේශ්වරය සමග ඔවුන්ගේ ආරවුල වූයේ ධනවාදී ඒකරාශි කර ගැනීමේ අල්තාරය මත සෑම කෙනෙකුගේම නිදහස සහ පෞද්ගලිකත්වය කැප කරන කිසාය.

මාර්ක්ස් සහ එංගලස් අරාජිකවාදීන් නොවුවද, ඔවුහු එක පංතියක් අනෙක් පංතියක් යටපත් කර ගැනීමේ හැකියාව ඇති රාජ්‍යය පිළිකුල් කළහ. අවසාන වශයෙන් ඔවුහු එය අනාගත පංති රහිත සමාජයක සම්බන්ධීකරණ මෙහෙවර ඉටු කරන පශ්චාත් ධනේශ්වර රාජ්‍යයක පවා පවතින, අවශ්‍ය වූ අදමිටු තත්වයක් ලෙස දුටහ. කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ මෙම කියවීම වලංගු වන්නේ නම් කොමියුනිස්ට්වාදියෙකු වන්නේ ආධිපත්‍යයට එරෙහිවීමෙනි. කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ ‘‘එක්වවු’’ යන සටන් පාඨයට අවනතවීමෙන් ඇත්තෙන්ම දැන් අභාවයට ගොස් ඇති කොමියුනිස්ට් පාලනයන් ගේ අනුරුවෙන් නැවත ලෝකය ගොඩ නැගීමට ස්ටාලින්වාදී පක්ෂයක සාමාජිකත්වය ගැනීම හා සැසඳෙන්නේ නැත.

මේ සියල්ලෙන් පසුව කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ පදනම් රේඛාව වන්නේ කුමක් ද? කිසිවෙකු විශේෂයෙන්ම තරුණ ජනතාව අද ඉතිහාසය, දේශපාලනය හා එවැනි දේ ගැන උනන්දු වන්නේ ඇයි?

ඊට මාර්ක්ස් සහ එංගල්ස් තම ප‍්‍රකාශනය සරල පිළිතුරක් මත, නෛසර්ගික මානව තුෂ්ටියත් ඒ හා බැඳුණු අව්‍යාජ නිදහසත් මත, පදනම් කළහ. ඔවුන් දකින ආකාරයට සැබැවින්ම අර්ථවත් වන්නේ මේ කාරණා ය. ඔවුන්ගේ ප‍්‍රකාශනය අපව කි‍්‍රයාත්මකවීමට දිරිමත් කරවන ඓතිහාසික වගකීමේ ආයාචනය මත පමණක් පදනම් වන්නේ නැත. එහි අවවාද කිරීමක් හෝ ඇඟිල්ල දිගු කිරීමක් නැත. මාර්ක්ස් සහ එංගල්ස් ජර්මානු සදාචාරමය දර්ශනවාදයේ සහ ධනවාදී ලාභාපේක්ෂාවේ බැඳීම් අපගේ පොදු මානව ස්වභාවයේ ඉතාමත් ප‍්‍රාථමික තත්වයට කරන ප‍්‍රබල ආයාචනයකින් ජයගැනීමට උත්සාහ කළහ.

ඔවුන්ගේ විශ්ලේෂණයට මූලික වන්නේ නිෂ්පාදනය කරන්නන් සහ නිෂ්පාදනයේ උපකරණ හිමිකරුවන් අතර දිනෙන් දින පුළුල්වන බෙදීම ය. ප‍්‍රාග්ධනය සහ වැටුප් ශ‍්‍රමය අතර ඇති විවාදාත්මක සම්බන්ධතාවය අපගේ වැඩ සහ අපගේ කලා නිර්මාණ රස විඳීමෙන් වළක්වා සේව්‍යයන් සහ සේවකයන්, ධනවතුන් සහ දුප්පතුන් අපගේ පාලනයෙන් ඔබ්බෙහි වූ බලවේග විසින් නිරර්ථක පැවැත්මක් කරා ඉක්මණින් ගෙන යන සිත්පිත් නැති ඉත්තන් බවට පත් කරයි.

එහෙත් මේ ගැන කටයුතු කිරීමට අපට දේශපාලනයක් අවශ්‍ය වන්නේ ඇයි? දේශපාලනය, විශේෂයෙන්ම සමාජවාදී දේශපාලනය වරක් ඔස්කාර් වයිල්ඞ් පැවසූ ආකාරයට ‘‘සෑම සන්ධ්‍යා කාලයක්ම වැය වෙන’’ අඳ බාල ක‍්‍රියාවක් නොවන්නේ ද? මාර්ක්ස් සහ එංගල්ස්ගේ පිළිතුර වන්නේ අපට තනි තනිව මෙම මූඨත්වය අවසන් කළ නොහැකි නිසාය, මෙම අඥාන භාවය සුව කරන බෙහෙතක් නිෂ්පාදනය කිරීමට කිසිම වෙළඳ පොළකට නොහැකි නිසා ය. සාමුහික ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කි‍්‍රයාකාරිත්වය නිදහස සහ සතුට භුක්ති විඳීමේ එකම අවස්ථාව ය. ඒ සඳහා නිදි වර්ජිත රාත‍්‍රි, ගෙවීමට සිදුවන සුළු මිලක් පමණි.

මානව වර්ගයා ‘‘සියලූ දෙනාට නිදහසේ සංවර්ධනය වීමේ කොන්දේසියක්’’ ලෙස ‘‘එකිනෙකාට නිදහස් සංවර්ධනයකට’’ ඉඩ සැලසෙන සමාජයීය වැඩ පිළිවෙළක් ඇති කිරිමට සමත් වනු ඇත. එහෙත් අප න්‍යෂ්ටික යුද්ධයකින්, පාරිසරික ආපදාවකින් හෝ වේදනාකාරී අසහනයෙන් කෙළවර විය හැකිය. මේ අවස්ථාවේ එය නොවන බවට කිසිම සහතිකයක් නැත. ආශ්වාදය හා බුද්ධිය සහ ශක්තිය ලැබීමට කොමියුනිස්ට් ප‍්‍රකාශනය දෙසට හැරිය හැකි නමුත් තීරණය ගත යුත්තේ අප විසින්ම ය.

-යානිස් වරුෆාකිස් [Yanis Varoufakis]

2018 අපේ‍්‍රල් මස වින්ටේජ් ක්ලැසික්ස් විසින් පළ කරන ලද යානිස් වරුෆාකිස් ගේ කොමියුනිස්ට් ප‍්‍රකාශනයට හැඳින්වීමක් ( Introduction to The Communist Manifesto ) කෘතියන් උපුටා ගෙන ලන්ඩන් ගාඩියන් පුවත් පතේ පළවු ලිපියක් ඇසුරෙනි.       

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ටේ‍්‍රලියාව සහ ග‍්‍රීසියේ විශ්ව විද්‍යාලවල දශක තුනකට අධික කාලයක් ආර්ථික විද්‍යාව ඉගැන් වූ ආචාර්ය වරයෙකු වන යානිස් වරුෆාකිස් ක‍්‍රියාකාරී දේශපාලනයට එක් වූයේ 2014 ග‍්‍රීක ආර්ථික අර්බූදයත් සමගය. ආර්ථික සහ දේශපාලන වශයෙන් බිඳ වැටුණ ග‍්‍රීසියේ 2015 ජනවාරි මස පැවැති මහා මැතිවරණයේ දී සිරිසා පක්ෂයෙන් ඇතැන්ස් නගරයේ ආසනයකට තරග කොට විශාල ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් වූයේය. ඇලෙක්සිස් ට්සිප‍්‍රාස්ගේ නයකත්වයෙන් පිහිටුවන ලද නව රජයේ මුදල් ඇමති ධුරයට පත් ඔහු යුරෝපීය මහ බැංකුව යෝජනා කළ රාජ්‍ය වියදම් කපා හැරීමේ ප‍්‍රතිපත්තියට විරෝධය දක්වමින් එම වසරේම අගොස්තු මස පැවති ජනමත විචාරණයෙන් පසුව තනතුරෙන් ඉල්ලා අස් වූයේය. යුරෝපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් සංවිධානයේ සභාපති වන ඔහු එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස් සහ බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝර්බින් සමග සමීප දේශපාලන සම්බන්ධතා පවත්වයි.                     

Leave a Reply