ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමිත පරිදි මෙම වසරේ අග භාගයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ ද නැති ද යන්න අද නිතර කතා බහට ලක් වෙන මාතෘකාවකි. එය උණුසුම් මාතෘකාවක් වී ඇත්තේ භාණ්ඩාගරයේ මුදල් නැතැයි පවසමින් පළාත් පාලන ඡන්ද විමසීම රනිල් රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන් ද නොතකා නොපැවැත්වීමට තීරණය කළ නිසාය. පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු මැතිවරණ කොමිසම සූදානම් කළ ද මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසා ඡන්ද විමසීම ගබ්සා විය. එවැන්නක් නැවත සිදු නොවේයැයි කිසිම කෙනෙකුට සහතිකයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද එය නොසලකා ක්‍රියා කිරීමේ භාවිතයක් සහ නැඹුරුවක් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරයි.
මෙවැනි උණුසුම් විවාදයක් රට තුළ පවතින අතර මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් විපක්ෂය පවසන ආකාරයට අසීමිත ආකාරයෙන් වැඩි කර ගෙන ඇත. සමහර උසස් නිලධාරීන්ගේ වැටුප ලක්ෂ ගණනාවකින් වැඩි කර ඇතැයි චෝදනා නැගේ. තවත් වාර්තාවක සඳහන් වන ආකාරය ට මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායෙකුගේ වැටුප සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයෙකුගේ ආරම්භක වැටුපටත් වඩා වැඩිය.
භාණ්ඩාගාරයේ මුදල් නැතැයි පවසමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් වූ ඡන්ද අයිතිය පවා අහිමි කරන රටක පවතින ආර්ථික අර්බූදය නොසලකා මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් පමණක් ඡන්ද දායකයන්ට තරු පෙනෙන ආකාරයෙන් වැඩි කිරීමට හැකි වන්නේ කෙසේද? රට බංකොළොත්විම නිසා (ඇමතිවරුන්ගේ හැර අන් සියලු) රාජ්‍ය වියදම් කපා හරින ලද අවස්ථාවක රජයේ බැංකුකරු වන මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කිරීමට මුදල් ප්‍රතිපාදන සපයා ගන්නේ කෙසේද?
පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් නැතැයි කී ආණ්ඩුවේ මැති ඇමතිවරු මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හේතු යුක්ති කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ඉදිරිපත්ව වෙති. මුදල් ඇමති වන ජනාධිපති මෙවැනි ගැටලුවලදී සුපුරුදු ආකාරයෙන් මුනිවත රකී. ඔහුගේ ගෝල බාලයෝ පන්දු රැකීමත් පන්දුවට පහර දිමටත් ඉදිරිපත්ව සිටිති. අස්වනු නෙලා ගත් කුඹුරක පොල්පිති බැට්වලින් සෙල්ලම් කරන ළමයින්ටත් වඩා දුර්වල මෙම ක්‍රීඩකයන් ගැන කතා කිරීම ඵලක් නැති වුවද සමහර නොමග යවන ප්‍රකාශ සැලකිල්ලට ගැනීම වැදගත් ය.
මෑතක දී රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත ගත් පනතක් අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා වැටුප් වැඩි කර ගැනීම ඇතුළත් එහි වැඩ කටයුතුවලට රජයට මැදිහත් විය නොහැකිය. දෙවැනිව එහි කාර්යාල කාර්ය සහායකයන් ඇතුළත් සියලු සේවකයන් ඉහළම සුදුසුකම් ලබා ඇති නිසා විශාල වැටුපක් ගෙවන්නේනම් පමණක් ඔවුන් ලංකාවේ රඳවා ගත හැකිය. නිදසුනක් වශයෙන් දැනට මහ බැංකුවේ අධිපති වන ආචාර්ය නන්දලාල් වීරසිංහ බැංකුවෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාවේ විවේක සුවයෙන් සිටින විට බංකොළොත් වූ රට ගොඩ ගැනීමට ගෙන්වා ගත් අයෙකි. තුන් වැනිව වැඩි කළ වැටුප් ගෙවීමට මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු නැත. ඒවා මහ බැංකුවම උපයා ගන්නා සොයා ගන්නා මුදල් ය. ඊට අමතරව මහ බැංකුව සහ සේවකයන් අතර ඇති කර ගත් සාමුහික ගිවිසුමක් අනුව ද එවැනි වැටුප් වැඩි වීමක් ලබා දීමට බැඳීමක් පවතී..
අවසාන කරුණ ගැන පළමුවෙන්ම සඳහන් කරන්නේ නම් මේ රටේ සාමුහික ගිවිසුම් ඇති කර ගත් වෙනත් වෘත්තීය සමිතිවලට වැටුප් සහ වෙනත් දිමනා ලබා ගැනීමට බලවත් අරගලයක් කිරීමට සිදුව ඇත්තේ රටේ බංකොළොත් භාවය නිසා එම ගිවිසුම් අනුව කටයුතු කිරීමට මූල්‍යමය ශක්තියක් නැතැයි එම ආයතන පැවසීම නිසාය. එහෙත් රට බංකොළොත්වීම මහ බැංකුවට බලපාන්නේ නැත.
රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතීන් පවසන ආකාරයට මහ බැංකුව ස්වාධීන ආයතනයකි. එසේ නම් රටේ වලංගු නීතියෙන් ස්වාධීනත්වය ලබා දී ඇති අනෙකුත් ආයතනවලටත් එම අයිතිය ලබා නොදෙන්නේ ඇයි ද යන්නත් ඔවුන් පැහැදිලි කළ යුතුය. මෙම ආයතනවලට කෙරෙන පත්වීම් විධායක ජනාධිපති විසින් කරන නිසා ඔවුන් ජනාධිපතිට යටත් විය යුතුයැයි තර්ක කරන්නේ ද මේ අයයි. මෙම විධායක බලය නිසා ස්වාධීන කොමිසම් සභාවලට ජනාධිපති නිර්දේශ කරන පුද්ගලයන් අනිවාර්යෙන්ම පත් කළ යුතුයැයි පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශයට පත් කළ ආඥාවක් වැනි ලියවිල්ලක සඳහන් විය. හේතුව ව්‍යවස්ථා සභාවට පත්වීම් කරන්නේ විධායක ජනාධිපති නිසාය. එම තර්කය අනුව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කරන්නේ ද විධායක ජනාධිපති නිසා නඩු තීන්දු ද ජනාධිපතිට අවශ්‍ය ආකාරයට ලබා දිය යුතුයැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඒ අනුව මෙම රටේ එකම ස්වාධීන පුද්ගලයා විධායක ජනාධිපති පමණි. අලුත්ම තර්කය අනුව ඔහුගෙන් ස්වාධීන වන්නේ මහ බැංකුව පමණි.
මේ රටේ මූලික නීතිය යි හැඳින්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් ලියවිල්ලේ XVII පරිචේදයේ 148 ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට නම් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනය හිමි වන්නේ පාර්ලිමේන්තුවට ය. මහ බැංකුවේ ඇත්තේ ද රාජ්‍ය මුල්‍ය නම් එහි පාලනය ද පාර්ලිමේන්තුවේ පාලනයට යටත් විය යුතුය. මුදල් ඇමති රනිල් ගේ ගෝලයන් අනුව එසේ විය නොවේ. ඒ මහ බැංකුවේ ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පොලියට ලබා ගත් ණය මුදල් නිසා විය යුතුය. එසේ වුවත් ණය ගෙවන්නේ මේ රටේ ජනාතාව බව අමතක නොකළ යුතුය.
දෙවැනිව මහ බැංකුවේ ඉහළ මට්ටමේ සේවකයින් ඉහළම සුදුසුකම් ලබා ඇති නිසා ඔවුන්ගෙන් ආර්ථිකයට ඉමහත් සේවයක් වන්නේය යන තර්ක කෙරේ. ආරම්භයේ දිම එක කරුණක් පැහැදිලි කර ගත යුතුය. මහ බැංකුවේ ඉහළ ශ්‍රේණිවල බොහෝ දෙනකු ආචාර්ය උපාධි සහ ඊට අමතරව තවත් බොහෝ වෘත්තිය සුදුසුකම් ලබා ගෙන ඇති බව සැබවි. ඒ බොහෝ දෙනා එම සුදුසුකම් ලබා ගත්තේ මහ බැංකුවේ සේවයේ සිටිය දී මහ බැංකුවෙන්ම ලබා දුන් අධි ශිෂ්‍යත්ව තුළින් බව ද අමතක නොකළ යුතුය. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් ඒ කාලය තුළ ජීවන වියදමත් ලබා දෙන්නේ මහ බැංකුවේ මුදල් වලිනි. සමහරවිට විදේශ ප්රදානක ආයතන එම වියදම දැරුවත් ඒ ලංකාවට කරන ආධාරයක් වශයෙනි. එමනිසා ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කර ගැනීමට මහ බැංකුව හරහා මේ රටේ ජනතාව කරන කැපවීම අමතක කළ හැකි ද?
ඊළඟට වැදගත් වන්නේ මෙවැනි උසස්ම අධ්‍යාපනික සහ වෘත්තීමය නිපුණත්වයක් ඇති ඉහළම වැටුප් ලබන සේවකයන්ගෙන් යුත් මහ බැංකුවෙන් රටේ ආර්ථිකයට ලැබී ඇති දායකත්වය කුමක් ද යන්නයි. කිසිම වග විභාගයක් නැතිව දේශීය සහ විදේශීය වශයෙන් ගත් ණය නිසා රට බංකොළොත්විමට මහ බැංකුවේ නිලධාරීන් ගේ වගකීමක් සහ වගවීමක් නැත් ද? සියලු වැරදි දේශපාලකයන් මත පැවරීම වගකීමෙන් නිදහස්විමට හේතුවක් නොවේ. අජිත් කබ්රාල් සහ වෙනත් දේශපාලකයන් වැරදි තීරණ ගත් විට මහ බැංකුවේ නිලධාරීන් නිහඬව සිටීමෙන් අවසානයේ දි වන්දි ගෙවීමට සිදු වූයේ ජනතාවටය. අනතුරු හැඟවීම් කළත් ඒවා ගණන් ගත්තේ නැතැයි කීම නීතිය නොදත්කම නිදහසට කාරණයක් නොවන්නාක් වැනි අඳ බොළඳ කතාවකි.
රටක ආර්ථිකය ගොඩ නැගීමට මහ බැංකුවක් අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව සිංගප්පූරුව අපූරු ලෙස දක්වා ඇත. 1965 දී සිංගප්පූරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන විට මුදල් නෝට්ටු නිකුත් කිරීමට සහ මුදල් මැවීමට මහ බැංකුවක් අනවශ්‍ය බව අගමැති ලී කුවාන් යූ සහ ඔහුගේ මුදල් ඇමති කෙන්ග් ස්වී තීරණය කොට සිංගප්පූරු ඩොලරයේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට මුදල් මණ්ඩලයක් සහ මූල්‍ය අධිකාරියක් පිහිටුවූහ. එම ක්‍රියා මාර්ගය තුළින් සිංගප්පූරු ඩොලරය ශක්තිමත්ව පවත්වා ගැනීමට සමත් ඔවුන් ට අතර වසර කිපයක් ඇතුළත සිංගප්පූරුව කලාපයේ පමණක් නොව ලෝකයේ ප්‍රබලම මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හැකි විය. භූගෝලීය පිහිටීම හැර වෙනත් කිසිම ස්වභාවික සම්පතක් නැති සිංගප්පූරුව තුන්වැනි ලෝකයේ සිට පළමු ලෝකයට පිවිසීමට වැඩි කලක් ගත වූයේ නැත. ඒ සඳහා මහ බැංකුවක් ඔවුන්ට අවශ්‍ය වූයේ නැත.
අපේ රටේ මහ බැංකුව රටේ ආර්ථිකයට කළ හානිය ගැන කිසියම් අදහසක් ඇති කර ගැනීමට හොඳ අවස්ථාවක් වන්නේ 2015 බැඳුම්කර වංචාව පිළිබඳව කරුණු පරික්ෂා කොට වාර්තා කිරීමට පත් කරන ලද වොහාරික විගණන වාර්තාවයි. එම වාර්තාවේ සඳහන් කරුනු ගැන සවිස්තරාත්මකව කතා කිරීමට මෙවැනි ලිපියක් ප්‍රමාණවත් නොවන නමුත් කරුණු කීපයකින් මහ බැංකුවේ උසස්ම නිලධාරීන් සිදු කළේයැයි කියන සාවද්‍ය ගනුදෙනු ගැන අදහසක් ඇති කර ගත හැකිය.
එහි සඳහන් වන ආකාරයට 2007 ජනවාරි සිට 2015 පෙබරවාරි දක්වා ද්වීතීය වෙළඳ පොළ කරන ලද ආයෝජනවලින් මහ බැංකුවට සිදුව ඇති පාඩුව රු.දශ ලක්ෂ 8716.48 කි. රු. බිලියන 49.95කට අදාලව සිදු කරන ලද ගනුදෙනු 102 කින් 98ක් සඳහාම නියමිත ආකාරයට පූර්ව අනුමැතිය ලබා ගෙන නැත. මේ ආකාරයටම ද්වීතීය වෙළඳ පොළේ කරන ලද ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති පාඩුව රු. දශ ලක්ෂ රු. 620.81කි. මෙවැනි අවස්ථා විශාල සංඛ්‍යාවක් එම වාර්තාවේ සවිස්තරාත්මකව දක්වා ඇත. වාර්තාවේ සඳහන් වන ආකාරයට සමහර ගනුදෙනු සිතා මතාම කරන ලද වංචා ය. රටේ ඉහළම වැටුප් ලබන ආයතනයක මෙවැනි වැරදි සිදු කිරීම ගැන වගකියන්නේ කවුද? ඔවුන්ගේ වැටුප් සුපිරි මට්ටමකින් පවත්වා ගැනීමෙන් වංචා දූෂණ වළක්වා ගැනිමට නොහැකි වූයේ ඇයි?
මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් පෙනි සිටින අය මේවාට පිළිතුරු දිය යුතුය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024