කාන්තාවකගේ දිවිය පුරා ඇයට සෙවණ සදන දැවැන්ත සෙවණැල්ල තමන්ගේ පියා වේ. මවකගේ ආදරය, කරුණාව, සෙනෙහස මැද වැඩෙන ගැහැණු සිතකට; සිතුවිලි ජනිත වන බාල අවධියේ සිට ඉතා දැඩි ආරක්ෂාවක්, රැකවරණයක්, විශ්වාසයක් දැනෙන්නේ පියාගේ ඇසුරේදීය, පියාගේ සෙවන යටදීය. කුඩා කලදීම මව අහිමි වූ දැරියක් වෙත පියකුගේ බැඳීම කෙතරම් සමීප විය යුතුද, ඒ බැඳීම කෙතරම් උත්තරීතර විය යුතුද.? මවකගෙන් ලැබිය යුතු සෙනෙහස, ආදරය, කරුණාව නොඅඩුව තම දරුවා වෙනුවෙන් පුද කල යුතුය. එවන් පියකු හට තම දරුවා ගෙන් තොර වෙනත් ලෝකයක් නොමැත. රැකියාවේ නිරත මොහොතේ වේවා, මග තොට යන එන මොහොතේ වේවා නිතරම සිහියට නැගෙන්නේ තනිවූ තම දියණිය පිළිබඳව ය. තමාගේ මුළු ලෝකයම තම දියණිය ලෙස සැලකූ එවන් පියකුට, අකීකරු වූ දියණියක් තම පියාගේ අභාවය හා තමා ගත් වැරදි තිරණ ගැන පශ්චාත්තාප වෙමින් නගන සිතුවිලි දාමයක් “ මල සහ මුල “ පද්‍ය පන්තිය තුලින් යමුනා මාලනී පෙරේරා කිවිඳිය අපට පෙන්වා දෙන්නීය.
ජීවත්ව සිටින කාලය තුල තම කලා නිර්මාණ වෙනුවෙන් බුහුමන් ලැබීම වාසනාවකි. එය සම්මානයක් වී නම්, එපමණක් නොව එය රාජ්‍ය සම්මානයක් වී නම්, එයිනුත් සීමා නොවී එසේ රාජ්‍ය සම්මාන දිනාගත් පළමු කිවිඳිය වී නම් එය කෙතරම් නම් වාසනාවක්ද ? වාසනාව පමණකුද නොව ඒ ඇයගේ දක්ෂතාවයි. කව් පද, ගී පද, කෙටි කතාව, නව කතාව තම ජීවිතයේ රිද්මය කර ගත් ඇය යමුනා මාලනී පෙරේරා නම් වූ ප්‍රතිභාපූර්ණ ලේඛිකාවයි. කුඩා කල “ හඳමාමා “ ගුවන් විදුලි වැඩසටහනට කවි ලියමින් නිර්මාණ සාගරයට බට ඇය, දැන් නිරායාසයෙන් එහි ශිල්ප දක්වන්නීය. 1993 දී රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ “ තිත්ත මකරන්දය “ කාව්‍ය සංග්‍රහයේ මෙම “ මල සහ මුල “ පද්‍ය පන්තිය ඇතුලත් විය.
නුඹ මුල් පොකුර වී ගියදා පොළොව යට
මම මල් පොකුර වී පිපුනෙමි තුරු හිසක
පොහොර ද ජලය උරමින් මා පොහොණි කොට
නුඹමයි පිබිදුවේ සුවඳැති මල් මහිස
වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංගාර්ථ මතු කරමින් කථිකාවිය කවිය ආරම්භ කරන්නීය. මෙහි පළමු පදයෙන් තම පියා මිය ගොස් ඇති බව හඟවයි. එහි දෙවන පදයෙන් ගම්‍ය වන්නේ එදිනම ඇය වෙනත් පුරුෂයකු හා විවාහ වී ඇති බවයි. තම පියාගේ අවමංගල්‍යය දිනය තමාගේ මංගල්‍යය දිනය බවට පත් කරගැනීමට දියණියකට හැකිද ? විශේෂයෙන්ම තමා වෙනුවෙන් දිවිය පුරා කැපකිරීම් කරන ලද මවගේ භූමිකාව ද රඟපෑ පියා ගේ අවමගුල් දින තම මගුල් දිනය බවට පත් කර ගත නොහැක. එබැවින් එහිදී තව දුරටත් සහෘද විඥානය ප්‍රසාරණය කිරීමට කිවිඳිය සමත් වේ. තම පියාගේ සෙවණේ ජීවිතය විඳමින් සිටි දියණිය, පියාට අකීකරු වෙමින් පියාගේ සෙවණින් මිදී තම පෙම්වත් පුරුෂයා සමග පිටව ගොස් ඇත. තම දිවි සේ රැකගත් මව්ද අහිමි තම දියණිය තමාට අකීකරු වී මෙසේ පිටවීම පියාගේ සිත කෙසේ වාවන්නද. එය කණ වැකුණු මොහොතේම පියා හදිසියේ මිය ගොස් ඇත. මෙය නොදත් දියණිය තම පෙම්වතා සමග ප්‍රේමයෙන් වෙලී ඔහු හා විවාහ වී අවසන්ය. ඇයට එම පුවත ආරංචි වූ විට ඇය බොහෝ පසුතැවෙන්නීය. ‘නුඹ මුල් පොකුර වී ගියදා පොළොව යට- මම මල් පොකුර වී පිපුනෙමි තුරු හිසක‘ කිවිඳිය ඉතා අපූරුවට එම සිදුවීම සහෘදයාට හඟවන්නීය. එම අවසන් දෙපදයෙ හි ද වක්‍රෝක්තියෙන් කිවිඳිය හඟවන්නේ තමා පෝෂණය කිරීමට තම පියා විසින් කරන ලද කැපකිරීම් පිළිබඳවය. තමා කුඩා කල සිටම දහදිය, කඳුලු හෙලමින් දුක් වේදනා විඳිමින් තනිකඩව සිටි ඔහුගේ පෞද්ගලික සුවය පිළිබඳව වුව නොසිතා, නොතකා තමා වෙනුවෙන්ම කැපවී සිටි අයුරු පියා හෙලූ දහදිය, කඳුලු පොහොරක් කර ගනිමින් තමා වැඩුනු අයුරු කථිකාවිය සිහි කරන්නීය.
විද විද කටුක පොළොවට මුල් පොකුරු පුරා
නුඹ ඇද දුන්නු සාරය ගෙන දිවිය පුරා
මුදු මල් පිපින තුරු හිස මත සුවඳ අරා
සුසුවඳ විහිදුනිය එකසර දියත පුරා
මෙම කවියේ ආරම්භය කිවිඳිය උත්ප්රාසය මගින් අලංකාර කර ඇත. “ විද විද “ කටුක පොළොවට යන්නෙන් පියා ඉසුලූ නිමක් නැති දුක් ගොන්න කථිකාවිය පහදයි. සකසන ලද ලිහිල් පොළොවක මෙන් නොව කටුක බොරළු පොළොවක මුල් ඇදීම ගසකට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඊට ගස මහත් වෙහෙසක් දැරිය යුතුය. එලෙසින්ම තම පියා ද තම සුබසිද්ධිය පිණිස අප්‍රමාණ වෙහෙසක් ගත්තේය. එම වක්‍රෝක්තිය සහෘදයාගේ මනස් මත්තේ තැන්පත් වී ඇති සිතුවිලි කලම්බනය කිරීමට සමත්ය. පියාගේ නොනිමි කැපකිරීම් මත කථිකාවිය තම දිවියෙහි යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇත. ඇය තම පියාගේ මූලික බලාපොරොත්තු ඉටු කරමින් අධ්‍යාපනය උසස් ලෙස හමාර කරන්නීය. දියණිය ගේ ප්‍රතිඵල තුලින්, තමන් වැපුරූ බීජ වැඩී ඵල දරන අයුරු දකින පියාගේ සිතේ හටගන්නා අහිංසක ප්‍රීතිය, “ මුදු මල් පිපින තුරු හිස මත සුවඳ අරා “ යන පදයෙන් ගම්‍ය වේ. එපමණකුදු නොව සමාජ පිළිගැනීමක් ඇති උසස් රැකියාවකට ද ඇය පත් වන්නීය. එක් වරම ඇයට විශාල ප්‍රසිද්ධියක් ලැබේ. එය “සුසුවඳ විහිදුනිය එකසර දියත පුරා“ යන පදයෙන් මනාව ගම්‍ය වේ. මෙහි ‘ සුසුවඳ ‘ ලෙස යෙදීමෙන් කවියේ මාත්‍රා ගණන සමකර රිද්මය රැක ගැනීම මෙන්ම ‘සු‘ උපසර්ගය භාවිත කර සුවඳ යන්නෙහි වටිනාකම තීව්ර කිරීමෙන් කථිකාවියට සමාජය තුල අති විශාල පිලිගැනීමක් ඇති වූ බැව් හැඟවීමට කිවිඳිය සමත් වී ඇත. උත්ප්රාසය මතින් විත් අනුප්රාසය තුලින් අවසන් වන කවියේ රිද්මයානුකූල බව මනා සේ රැක ගැනීමට කිවිඳිය සමත් වී ඇත.
ඒ මල් සුවඳ වෙත පෙම් සිත් ලොබ බන්දා
මී මැසි බමර කැළ විත් කඳවුරු බැන්දා
සුවඳ උරුමයක්වත් නුඹ නොලදින්දා
මගේ සුවඳ නුඹ හැර ලෝකෙම වින්දා
බුදු සමිඳුන් සක්වළ වාසීන්ට දේශනා කරන ලද්දේ අටලෝ දහමෙහි කම්පා නොවන ලෙසය. එනම් දුක-සැප, නින්දා-ප්‍රශංසා, යස-අයස, ලාභ-අලාභ සම සිතින් විඳ ගන්නා ලෙසය. අධිකව දුක් වීමෙන් හෝ අධිකව තුටු වීමෙන් හෝ සිදු වන්නේ අවැඩක් බවය. කණගාටුවට කරුණ වන්නේද කථිකාවිය එය වටහා ගෙන නොතිබීමය. තරුණ මදයෙන් මත්වී සිටින, රූපශ්‍රීයෙන් යුත්, උසස් රැකියාවක් හිමි, සමාජය විසින් ඔසවා තබන ලද කාන්තාවකට ඇතිවන මනෝභාවයන්තුල ඇය අතරමං වුවහොත් සිදුවන්නේ විනාශයක්ම ය. නිවසේ සිට මහ මගට පිලිපන් විටද, කාර්යාලය තුලද නෙත් කොනින් මුදා හරිනු ලබන අනඟ බැලුම් වලින් ඇයට අඩුවක් නොමැත. මල්සරා අතැති දුන්නේ ඊතල අවසන්ය. පිය සෙනෙහස තුල සිරවී නිවසේ වැඩුනු ඇයට මේ ප්‍රේමණීය ඇරැයුම් නම් ඉතා ආහ්ලාදජනක ය. ඉන් ඈ ප්රමෝදයට පත්වන්නීය. තමාගේ ආරක්ෂාවට මගට එන පියාව දැන් ඇයට රුස්සන්නේ නැත. දැන් ඈ ප්‍රියකරන්නේ තනිකමටය. තම සිතේ ජනිත වන ප්‍රේමණීය සිතුවිලි සමග වෙලී ඒ හා ගනුදෙනු කිරීමට ඈ ප්‍රියය. “ ඒ මල් සුවඳ වෙත පෙම් සිත් ලොබ බන්දා – මී මැසි බමර කැළ විත් කඳවුරු බැන්දා“ අපූරු ව්යංගාර්ථයකින් යුත් මෙම දෙපදය ඇයගේ මෙම මනෝභාවය මොනවට පැහැදිලි කරයි. මී මැසි බමර කැළ මල වෙත එන්නේ මල සිඹින්නට නොව පැණි උරන්නටය. ඇයගේ මව තවමත් ඈ සමග වේ නම් දියණියට මත්බමරුන්ගේ ඇසුරෙන් මිදී සිටිනායුරු කියා දෙනු ඇත. පියා විසින් මෙම තරුණයන් ගැන කරන පැහැදිලි කිරීම් ඇය රුස්සන්නේ නැත. තම පණ මෙන් තමාව රැකගත් පියා ගේ සෙවණින් මිදී ඇයගේ මනෝ රාජ්‍යය තුල තුල රජ වූ කුමරු ගේ අගමෙහෙසිය වීමට කාටත් හොරා ඈ රහසේම පිටවන්නේ ඒ නිසාය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ගේ සිංහබාහු නාටකයේ සිංහයා වැඩියෙන්ම ශෝක වන්නේ බිරිඳවත්, පුතාවත් තමා හැර යාම නිසා නොව තම දියණිය වූ සිංහ සීවලී තමා හැර යාම නිසාය. පියකු හා දියණියක අතර ඇතිවන මානුෂීය බැඳීම එතරම් සොඳුරුය, බලවත්ය. කථිකාවිය ගේ පියා, සිංහයා තරම් දැඩි සිතක් ඇත්තෙක් නොවේ. තම සිතුම් පැතුම් සියල්ල දියණිය වෙනුවෙන්ම කැප කල අහිංසක මනුෂ්‍යයෙකි.
තම පණ වැනි දුවගේ මෙම ආත්මාර්ථකාමී ක්‍රියාව එදිරියේ සිත වාවා ගත නොහැකි වූ ඔහු හදිසියේ මිය යන්නේ ඒ නිසාය. පියාටත් ද්‍රෝහි වී තම රාජධානියේ කිරුළ දැරීමට ගිය කථිකාවිය ගෙන ඇත්තේ වැරදි තීරණයක් බව වැටහීමට ඇයට වැඩි වේලාවක් ගතවන්නේ නැත. ඇයගේ සිතේ පීදුනු නැවුම් පෙම් මල් ඇය පුද දී ඇත්තේ සල්ලාලයකු වෙතය. රවටා කැඳවා ගෙන විත් එම නැවුම් මලෙහි රොන් රිසි සේ උරා බී මල හප කර දැමූ ඒ සල්ලාලයා ඔවුන් ලැගුම් ගත් ලැගුම් හලෙන් පිටත්ව ගොස් ඇත්තේ පැදුරටත් නොකියා ය. ඇයට දැන් කර කියා ගත හැකි දෙයක් නැත. සිය ජීවය දිය කර පොවා තමා පෝෂණය කරන ලද පියාගේ ප්‍රාණය තමන් නිසාම දැන් නිරුද්ධ වී ගොස්ය. තමා සිදු කරන ලද අනුවණ ක්‍රියාව හේතුවෙන් සමාජයට මුහුණ දීමට ශක්තියක් ද නැත. ඇය දැන් බොහෝ අසරණය. මෙවන් අභාග්‍යසම්පන්න අවස්ථාවකට මුහුණ දීමට අසරණ කාන්තාවකට කිසිසේත්ම නොහැක. දැන් ඇය ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එකක් සිය දිවි නසා ගැනීමය එක්කෝ ලිං කටින් ම ගොඩ ඒමය. දැනටමත් ඇය විසින් සිදු කර ගෙන ඇති අකුසල් නම් බොහෝය. අසරණ පියාට ද්‍රෝහි වී ඔහුගේ ජීවිත හානියට සාධකයක් වීම ම ආනන්තරීය පාප කර්මයට ආසන්න වූ පාප කර්මයකි. එබැවින් සිය පණ නසා ගෙන තවත් පව් සිදු කර ගැනීමට ඇය සූදානම් නැත. ලිඳේ වැටුනානම් ගොඩ ආ යුත්තේ ලිං කටින්ම ය. එබැවින් ඈ ජීවත් වීමේ මග තෝරා ගනී. නමුත් ඇය ජීවත් වීමට ද මගක් තෝරා ගත යුතුය. සිය රැකියාව ද නැත. යුවතියක සතු වටිනාකම ද සිය ජීවිතයේ නැත. අවසානයේ ඇයගේ අසරණ බව නිසාම ඇයට ගමන් කිරීමට සිදුවන්නේ තවත් සමාජ ඛේදවාචකයක් වූ රැකියාවක පිහිටෙන් ඇයගේ ජීවිතය ගැට ගසා ගන්නට ය. දිවා කල මනාලියක වීමේ සතුට විඳීමට නොහැකි වූ ඈ, රෑ මනාලියක වීමට තීරණය කරන්නීය. ඒ සතුට විඳීමට නම් නොව හුස්ම පවත්වා ගෙන යාමටය. මෙහි අවසන් දෙපදය ම පියා වෙනුවෙන් කථිකාවියගේ සිතේ ඇතිවන පශ්චාත්තාපය පිලිබඳව ය. පියා ට ප්‍රති උපකාර කිරීමට, යුතුකම් ඉටු කිරීමට කථිකාවිය ට නොහැකි වීම කිවිඳිය අවසන් පදයට පෙර පදයෙහි “ සුවඳ උරුමයක්වත් නුඹ නොලදින්දා “ ලෙස වාච්‍යාර්ථයෙන් බැහැර වූ ව්‍යංගයෙන් දක්වන අතර අවසන් පදය වන “ මගේ සුවඳ නුඹ හැර ලෝකෙම වින්දා “ තුලින්වාච්යාර්ථයමඉදිරිපත් කරයි. එනම් තම මහන්සියෙන් පියාට යුතුකම් ඉටුකිරීමට නොහැකි වුවත් තමාගේ සුවඳ, තමාගෙන් සුවය ලෝකයම විඳින බවත් ය.
උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කිවිඳිය කවිය රචනා කරයි. හැඟීම් ජනිතකරවීමට සමත්, මිනිස් මනස් මත ක්‍රියා විරහිත සංවේදී තැන් තදින් කලම්බවන, ව්යංගාර්ථවලින් ගහන එනමුත් සරල බසකින් කවිය ගෙත්තම් කර ඇත. පද්‍ය පන්තියෙ හි පළමුවන කවියේ රිද්මය රැක ගැනීමට සමත් වී ඇති අතර අනිත් කවි ද්විත්වයෙ හි එළිසමය මනා ලෙස පිහිටුවා අනුප්රාසය ඊට සම්බන්ධ කර ගනිමින් සිව්පද කවි ආකෘතිය උපයුත්ක කොට ගෙන ඇති නිසා පද්‍ය පන්තිය පුරාම මනා රිද්මයක් ඉපදවීමට සමත් වී ඇත. වාච්‍යාර්ථයෙන් තොර වක්‍රෝක්ති අලංකාරයෙන් පද්‍ය පන්තිය රස ගන්වා ඇත. කථිකාවිය කෙරෙහි අනුකම්පාව ඇතිවන කරුණ රසය ජනනය කිරීමට පද්‍ය පන්තිය සමත් වේ.
දෘෂ්ටිමය වශයෙන් ගත් කල කවිය ඉතා උසස් මට්ටමක පවතී. ශිෂ්ඨ සමාජය පිළිකෙව් කරන නමුත් සානුකම්පිතව බැලිය යුතු අර්බුදයක් ඉස්මතු කර දක්වයි. සරුව පිත්තල ලෝකය තුල අතරමං වන දියණිය හා අසරණ පියා පිළිබඳ සානුකම්පිත හැඟීමක් පද්‍ය පන්තිය පුරාම කිවිඳිය විසින් ඇති කරනු ලබයි. පශ්චාත්තාප වීමට වඩා ප්‍රවේසම් වීමට සිත පොළඹවමින් සහෘදයා භාව සංවේදී මාර්ගයක් ඔස්සේ බුද්ධිමය වින්දනයකට ගෙන යන “ මල සහ මුල “ සාර්ථක නිර්මාණයකි.
- ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? - December 10, 2024
- යුද්ධයෙන් මිය ගිය අය සැමරීමට ඉඩ දෙන්න.. - November 27, 2024
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024