පාකිස්ථානයේ ඉතිහාසයේ වඩාත්ම දූෂිතයැයි හඳුන්වන මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල දැන් නිකුත්ව අවසන් ය. ඉම්රාන් ඛාන් ගේ පක්ෂයේ ආධාරකරුවන් ට දිගින් දිගටම හිරිහැර කිරීම, ඡන්ද විමසීම පැවැත් වූ දින අන්තර්ජාල සබඳතා ඇතුළු සියලු සන්නිවේද මාර්ග අවහිර කිරීම සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට අසාමාන්‍ය කාලයක් ගතවීමත් නිසා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දූෂිතයැයි නගන චෝදනාව බරපතළ එකකි. ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඒ ගැන සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබිණ.
ජනතාවගේ වැඩි උනන්දුවක් නොතිබු නිසාම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වන ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව වඩාත් පහත වැටෙනු ඇතැයි නිරීක්ෂකයෝ අපේක්ෂා කළහ. පාකිස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් ලියා පදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට පනහ ඉක්මවන්නේ කලාතුරකිනි. දැනට සිර ගත කර සිටින පාකිස්ථාන තෙහ්රික් ඉ ඉන්සාප් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අගමැති තනතුරට පත් 2018 මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 51 කි. මෙවර එම ප්‍රතිශතය සියයට 48 කි. එමනිසා ඡන්ද දායකයන්ගේ උනන්දුව මීට පෙර පැවති මැතිවරණ හා සසඳන විට බරපතළ ආකාරයට වෙනස්ව නැත. සමහර විට එයට හේතුව ජනප්‍රිය නායකයෙකු වන ඉම්රාන් ඛාන් ගේ ඡන්ද ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට බලධාරීන් ගත් උත්සාහයට ජනතාව ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වීම වන්නට ඇත.
පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවකින් බලයෙන් ඉවත් කළ ඉම්රාන් ඛාන් ජනවරමකින් නැවත බලයට පත්වීම වැළැක්වීමට පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලක පක්ෂ දෙක වන නවාස් ෂරීප්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන මුස්ලිම් ලිගය සහ අසිප් සර්දාරි සහ බිලවාල් බූතෝ සර්දාරි ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථානු ජනතා පක්ෂයට දැඩි අවශ්‍යතාවයක් තිබිණ. ඒ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන නායකත්වය පාකිස්ථාන දේශපාලනයේ මෙතෙක් ප්‍රධාන ක්රියාකාරිකයන් වූ නවාස් ෂරීප් ගේ මුස්ලිම් ලීගයට සහ බූතෝ උරුමය මත පදනම් වූ පාකිස්ථාන ජනතා පක්ෂයට ප්‍රබල අභියෝගයක් වීමය. එහෙත් ඒ දෙකටම වඩාත් ප්‍රබල සාධකයක් වූයේ පාකිස්ථාන දේශපාලන තිරය පිටුපස බලවේගය වන ආරක්ෂක අංශ ඉම්රාන් ඛාන් නැවත වරක් බලයට පැමිණීම කිසිසේත් නොඉවසීම ය.
ඇත්තෙන්ම පාකිස්ථාන දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වන්නේ ආරක්ෂක හමුදාවල කැමැත්තයි. සමහර විචාරකයන් පවසන ආකාරයට 2018 මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනා ගත නොහැකි වුවද සභාග රජයක් පිහිටුවීමට හැකි වූයේ ආරක්ෂක අංශවල අනියම් අනුග්‍රහය ලැබුණ නිසාය.
ඉම්රාන් ඛාන් ආරක්ෂක අංශවල අනුග්‍රහයෙන් බලයට පත් වුවද රාජ්‍ය පාලනයේ දී හමුදාව අනුමත නොකළ පියවර ගැනීමට පෙළඹුනේය. ඉන් එකක් වන්නේ යුක්රේන යුද්ධයේ දී රුසියානු ආක්‍රමණය හෙළා දැකිමට ඉදිරිපත් නොවීමය. ඊට අමතරව ආර්ථික කටයුතුවලදී චීනයේ ආර්ථික දේශපාලන සැලැස්ම වූ තීරුව සහ මාර්ගය මුලපිරුමට (BRI) එක් වීම ය. මෙම පියවර දෙකම ඇමරිකාවේ උදහසට ලක් වූ අතර ඇමරිකාව සමග සමීප සබඳතා පවත්වන පාකිස්ථාන ආරක්ෂක අංශ ද කලබලයට පත් කිරීමට හේතු විය. එමනිසා තමා බලයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය කුමන්ත්‍රණය කෙළේයැයි ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධියේම චෝදනා කෙළේය. එම ප්‍රකාශය රාජ්‍ය රහස් හෙළි කිරීමක් සේ සලකා ඉම්රාන් ඛාන් වසර දාහතරකට සිරගත කෙරිනි. ඊට අමතරව තවත් චෝදනා දෙකක් සඳහා ද ඔහුට සිරදඬුවම් නියම විය.
මෙම දඬුවම් නිසා ඉම්රාන් ඛාන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වූවා පමණක් නොව ඔහුගේ පක්ෂයට මැතිවරණයට සහභාගිවීමට සාධාරණ අවස්ථාවක් ලැබුනේ ද නැත. ඔහුගේ පක්ෂයේ ඡන්ද සලකුණ වන ක්‍රිකට් පිත්ත ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් කිරීම නිසා පක්ෂයේ නියෝජිතයන්ට මැතිවරණයට ඉදිරිපත්වීමට සිදු වූයේ ස්වාධීන අපේක්ෂකයන් සේය. තෙහ්රික් ඉ ඉන්සාප් පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට අවහිර කිරීම, අපේක්ෂකයන් විවිධ චෝදනා යටතේ අත් අඩංගුවට ගැනීම, ආරක්ෂක බලධාරීන් පක්ෂයේ කාර්යලවලට කඩා පැනීම වැනි හිරිහැර කිරීම් නිසා ඉම්රාන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් තිබු බව පැහැදිලි ය.
පාකිස්ථානයේ ඡන්ද දායකයන්ගෙන් සියයට පනහකට ආසන්න සංඛ්‍යාවකට සාක්ෂරතාවයක් නැති නිසා ඉම්රාන් ඛාන්ගේ ඡන්ද සලකුණ ඉවත් කිරීම ඔහුගේ ඡන්ද පදනම අහෝසි කිරීමේ උත්සාහයකි. ඒ අනුව ඡන්ද විමසීම නවාස් ෂරීප් හා බූතෝ පවුලේ අනුප්‍රාප්තිකයා වූ බිලවාල් බූතෝ අතර සටනක් වනු ඇතැයි බොහෝ දෙනා ගේ විශ්වාසය විය. ආරක්ෂක අංශ සහයෝගය විශේෂයෙන් ලැබුනේ ද නවාස් ෂරීප් ගේ මුස්ලිම් ලීගය ටය. හමුදාව පාකිස්ථානයේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වන නිසා නවාස් ෂරීප් ගේ ජයග්‍රහණය ගැන සැකයක් තිබුණේ ද නැත.
එහෙත් අවසානයේ දි ඉම්රාන් ඛාන්ගේ සහාය ලත් ස්වාධීන අපේක්ෂකයන් ලබා ගත්තේ විශිෂ්ට ජයග්‍රහණයකි. නවාස් ෂරීප්ගේ මුස්ලිම් ලීගය ට ඡන්දය පැවැත් වූ ආසන 266කින් දිනා ගත හැකි වූයේ ආසන 72 කි. බිලවාල් සහ ඔහුගේ පියා අසිප් සර්දාරි නායකතවය දුන් පාකිස්ථාන ජනතා පත්ෂයට හිමි වූයේ ආසන 53 කි. ඉම්රාන් ගේ සහාය ලත් ස්වාධීන අපෙක්ෂකයන් දිනා ගත් ආසන සංඛ්‍යාව සියයට ආසන්නය.
මෙම ප්‍රතිඵලය අනුව පැහැදිලි වන ප්‍රධාන කරුනු දෙකකි. ඉන් පළමු වන්නේ පාකිස්ථානයේ ඉතිහාසයේ පළමු වරට හමුදාවේ බලපෑම සහ බලහත්කාරය ඉක්මවා කටයුතු කිරීමට ජනතාව පෙළ ගැසිම ය. හමුදාවත් රාජ්‍ය පාලනයත් ක්‍රියා කළ ආකාරය නිසා ඡන්ද සටන ඉම්රාන් ඛාන් සහ සෙසු අය අතර සටනක් බවට පත් විය. මෙම ස්වාධීන අපේක්ෂකයන්ට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව විවාදයට තුඩු දෙන කරුණක් වුවද ඡන්ද ප්‍රතිඵලය ප්‍රබල දේශපාලන අභියෝගයකි. විශේෂයෙන් වැදගත් වන්නේ ජනතාව සිය විරෝධය පල කිරීමට එය අවස්ථාවක් කර ගැනීම ය.
දෙවැනි කාරණය වන්නේ මුස්ලිම් ලිගයට හෝ පාකිස්ථාන ජනතා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබා ගත නොහැකිවීමෙන් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වීම ය. දේශපාලනයේ බද්ධ වෛරක්කාරයන් වූ නවාස් ෂරීප්ට සහ සර්දාරිට ඒවා අමතක කර සභාගයක් පිහිටුවීමට අවස්ථාව බල කරන නමුත් එවැනි රජයක් කල් පවතින හා ස්ථාවර ද යන්නත් සැක සහිතය. තීරණාත්මක සාධතය වන්නේ එවැනි සභාගයකට පාකිස්ථානය දැනට මුහුණ දී ඇති ආර්ථික අභියෝගයට විසඳුම් ලබා දිය හැකි ද යන්නයි.
පාකිස්ථානය ද ලංකාව මෙන්ම උග්‍ර ආර්ථික අර්බූදයකට මුහුණ දී ඇති අතර ලංකාව මෙන් බංකොළොත් භාවය ප්‍රකාශ කිරීමෙන් වැළකුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගෙවුම් ශේෂය පියවීමට ආධාර ලැබීම නිසාය. එහෙත් ඉදිරි මාස කීපය තුළ දී නැවත එම අර්බූදයට මුහුණ දීමට සිදු වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත වරක් ණය මුදල් ලබා ගැනීමට රාජ්‍ය සම්පත් විකුණා දැමීම, වියදම් කපා හැරීම සහ බදු අනුපාත ඉහළ දැමීම වැනි පියවර ගැනීමට සිදු වනු ඇත. එහෙත් එවැනි පියවර උද්ධමනය පාලනය කිරීමට හෝ දරිද්‍රතාවය පිටු දැකීමට ප්‍රමාණවත් වන්නේ නැත. එය පාකිස්ථානයේ පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන බොහෝ රටවලට මුහුණ දිමට ඇති යථාර්ථය යි.
එවැනි පසුබිමක පාකිස්ථානයේ පැවති මහා මැතිවරණයෙන් පැහැදිලිවන වැදගත්ම කාරණය වන්නේ ඡන්ද විමසීම්වලින් පමණක් වර්ධනය වන ආර්ථික සහ දේශපාලන අර්බූදයට විසඳුම් ලබා ගත නොහැකිය යන්නයි. බලහත්කාරයෙන් දේශපාලන විසඳුම් සෙවිමේ උත්සාහය ජනතාව විසින් ව්‍යාර්ථ කළ නමුත් ආර්ථික අර්බූදයට විසඳුම් අපේක්ෂා කරන්නේ ජනතාවගෙන් නොවන නිසා එය තවමත් විසඳුමක් නැති අර්බූදයකි. ජනතාව මත වඩ වඩාත් බර පැටවෙන ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ගැනීමට පාකිස්ථානයේ පිහිටුවන කවර ආණ්ඩුවක් හෝ පිහිට පතන්නේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලිනි. ඉදිරි මාර්තු මාසයේ දී නැවත වරක් කෙටි කාලීන ණයක් ලබා ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹිය යුතුය. එවැනි සාකච්ඡා ශක්තිමත් පදනමක් යටතේ පැවැත්වීමට නම් සැබෑ ජනවරමක් ඇති ප්‍රබල ආණ්ඩුවක් තිබිය යුතුය. මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිම සභාගයකට එවැනි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත.
දැනට පවතින තත්වය අනුව නවාස් ෂරීප්ගේ මුස්ලිම් ලිගය සහ අසිප් සර්දාරි ගේ පාකිස්ථාන ජනතා පක්ෂය සභාග ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවයකට එළඹුණ ද මෙම පක්ෂ දෙක අතර පවතින වෙනස්කම් නිසා එවැන්නක් කොපමණ කලක් පවතීද යන්න කිසිවෙකුට නිශ්චිත නැත. එම පක්ෂ දෙක අතර ඇති එකම එකඟතාවය ඉම්රාන් ඛාන් බලයට පත්වීම වැළැක්වීම පමණි. දුර්වල රාජ්‍යයක් පැවතීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ විදේශීය බලවේග සහ ආරක්ෂක අංශ වඩාත් බලපෑම් සහගත තත්වයකට පත්වීම ය.
එවැනි තත්වයක් යටතේ මැතිවරණයේ දී දැඩි පසුබෑමකට ලක් වූ ආගමික අන්තවාදී කණ්ඩායම් වඩාත් සක්‍රීය වීම වැළැක්විය නොහැකිය. ඡන්ද විමසීමට පෙර බැලොකිස්ථානයේ සහ කයිබර් පක්තුන්ක්වා ( කේ පී ප්‍රදේශයේ) ත්‍රස්තවාදි ක්‍රියා උත්සන්නවීම ඊට නිදර්ශනයකි. එවැනි තත්වයකින් හමුදාවේ දේශපාලන බලපෑම වඩාත් ප්‍රබල වනු ඇත.
මෙවැනි පසුබිමක මහා මැතිවරණයෙන් මර්දනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග පරාජය කිරීමට ජනතාව සමත් වුවද අවස්ථාවාදී දේශපාලකයන් සහ ජනතාවාදී නොවන පරිපාලන සහ ව්‍යවස්ථාපිත ව්‍යුහයන් නිසා එය ජනතා ජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත.
ජනතාවට සෘජුවම වගකීමක් ඇති සහ ජනතාවට බලපෑම් කළ හැකි ව්‍යුහයන් ස්ථාපිත නොකරන තාක් ජනතාවට කළ හැකි වන්නේ විරෝධය පෑම පමණි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024