You are currently viewing නව සමාජයකට මුල පුරමු..

නව සමාජයකට මුල පුරමු..

අප රටට නිදහස ලැබී අවුරුදු 74 ක් වෙමින් පවතී. වයස 74 ට වැඩි සියලු දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50 ට වැඩි අය නිදහස් රටක ඉපදුණත් බේත් හේත් නිසාම දිවි රැකගෙන සිටිති. බාලයන් නොවන සෙසු පිරිස ජන සමාජයේ පැවැත්ම සඳහා උපයමින් සිටිති. ඔවුන් එය කොතරම් තෘප්තියකින් කරත් ද යනු සමීක්ෂණයකින් එළි විය යුතු ය. බාල පරපුර මේ සමස්ත ජීවිතයට පුරුදු පුහුණු වෙමින් සිටිති.

අපේ රටට නිදහස ලැබී මෙතරම් කල් ගෙවී ඇතත් රටම විවිධ ලෙඩ රෝගවලින් පිරී ඇත. එනම් සෞඛ්‍යයෙන් අප නිදහස් නැත. වැඩි දෙනා දිවි රැක ගැන්මට අධික ලෙස බෙහෙත් පාවිච්චි කරන බව බොරු ද? සමහරුන් උපයන දේ බෙහෙත්වලට මදි බව අසත්‍ය ද? ඒ මෙතෙක් අපට ලබා දී ඇති සෞඛ්‍ය තත්වය නොවේ ද? ඒ සඳහා කී වරක් අප ඡන්දය ලබා දී තිබේ ද? අවුරුදු 74ක් නැත්නම් උපන් දා සිට රැවටිල්ලට අසුවී සිටින බව අපට නොදැනේ.

මේ වන විට රට දිළිඳු කමින් ඉහළ ගොස් ඇති බව පසුගිය සමයේ රුපියල් 5000 දීමනාව පවුල් කීපයකට දෙන්න සිදුවුණා ද යන කරුණෙන් පැහැදිලි විය යුතුය. එතරම් ලක්ෂ ගණනකට රු. 5000 දුන් බව උජාරුවෙන් පවසන අය ඒ නැති බැරිකම 1948 සිට ඇති කරපු අය බව කී දෙනෙක් සිතා බලත් ද? සමහරු ඒ ගැන පින් දුන් බව සැබෑ ය. එහෙත් ඒ පින ලැබෙන්නේ අප දිළිඳු බවට පත්කළ අයටම ය. එය මේ යුගයේ ඛේදවාචකය යි. එනම් රට පරිහානියට පත් කළ, අපට මේ විපත්තිකර ජීවිතය උදා කළ අයට පින් දෙන තත්වයට පත්වීම යි. දිළිඳුකම, නැතිබැරිකම ඇති වන්නේ කෙසේ ද? අසමානත්වය, අසාධාරණත්වය පවත්වා ගැනීම ඊට මූලික හේතුව ය. ලෝකයේ හෝ රටක නිපදවිය හැකි ආහාර ප‍්‍රමාණය, ලෝකයේ හෝ ඒ රටේ ජනතාවට ප්‍රමාණවත් ය. එය බෙදා හදා ගන්නා ක්‍රමයක් නැත. ඇත්තේ බදා ගන්නා ක්‍රමයකි. මේ තත්වය ගැන එක වචනයක් කතා නොකර කර බාගෙන සිටින තුරු සුළු කොටසක් තිබෙන තරම් සම්පත් බදා ගෙන කනු ඇත.

මේ තත්වය නැති කිරීමටය කියා ඇති කළ යම් ක්‍රියා මාර්ග පැලැස්තර වැඩ පමණි. එනම් ජනසවිය, සමෘද්ධි ආදිය විරෝධය මැඩ නිහඬ කිරීමට යෙදුණ වැඩ මිස ප්‍රශ්නයට තිරසාර පිළියමක් නොවේ. එම වැඩ සටහන් පටන් ගෙන අවුරුදු කීයක් ගතවී ඇද්ද? එම ‘සහන’ ලැබු අය එම තත්වයෙන් මිදී සිටිත් ද? ඒ අතර සමාජයේ වරප්‍රසාද ලත් පන්තියේ අයට අඩු පාඩු සිදුවී තිබේ ද? එය මේ බදාගෙන කෑමේ ක්‍රමය පවත්වා ගෙන යාමට ඇටවූ උගුලක් බව වටහා ගැනීමට එය පැවතුණු අවුරුදු ගණනේ ප්‍රතිඵලය ගණනය කළ යුතුයි.

ඒ ආර්ථික පිරිහීම ය. සංස්කෘතික පිරිහීම අතිශය භයානක ය. මක්නිසාද? බාල, මහලු, තරුණ සියලු දෙනාම එහි ගොදුරු බවට පත්ව ඇති නිසා ය. අනාගත පරපුර, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම අධික අතර, හොරකම්, මංකොල්ල ආදියට ද යොමුවෙති. කීප දෙනකුට නීතියෙන් දඬුවම් දීමෙන් පලක් නැති බව මේ වනවිට ඔප්පු වී ඇත. නීතියට බියෙන් මත්ද්‍රව්‍ය නවත්වනවානම් මේ වනවිට මත්ද්‍රව්‍ය තුරන් වී තිබිය යුතු ය. දිනපතා තොග ගණන් අල්ලන්නේ එය කෙළවරක් නැතිව සිදුවන දෙයක් වී ඇති නිසා ය.

හොරකම්, මිනී මැරුම්, කොල්ලකෑම් නීති මගින් නැති කළ නොහැකි ය. එය කුඩා කාලයේ සිට දෙන අධ්‍යාපනයෙන්, හැදියාවෙන් එම විසම ආකල්ප නැති කිරීමේ පුරුදු මගින් පටන් ගත යුතු ය. නිවෙස්වල සිට මේ පුරුදු ඇති කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සංවර්ධනය කිරීමට දැන් කාලය පැමිණ ඇත. පාසල් අධ්‍යාපනයෙන් සිදු වන්නේ කුමක් ද? පුරාණයේ නම් ‘‘ශික්ෂණය’’ මුල් කොට ගත් ක්‍රමය අද වන විට ‘‘අධ්‍යාපනය’’ බවට පත්ව ඇත. එයින් හැදෙන්නේ ‘‘හොඳ වැටුප් ලැබෙන වහලුන්’’ ය. දූෂණය, වංචාව ඔවුන්ගේ කොල්ලකෑම ය. විභාග සමත් නොවී අතර මග පාසල් හැර යන්නන් හොරකමට, කොල්ලකෑමට, අවශ්‍ය අධ්‍යාපනයක් ලබා ඇත. මුදල් දේවත්වයෙන් සැලකෙන සමාජයක ඔවුන් මුදල් ඉපයීමේ පහසු මං සොයා යෑම පුදුම ද? වැඩි මහන්සියක් නැතිව විශාල මුදල් උපයන සුළු පිරිසක් සිටිනු දකින විට දිළිඳු, අධ්‍යාපනය අඩු තරුණයන් සමාජය කෙරෙහි වෛරයක් ඇති කර ගැනීම මේ සමාජ ක්‍රමයේම ප්‍රතිඵලයකි.

අනෙක් කරුණ සමාජයේ පවතින දරුණු දේශපාලන පරිහානිය යි. දැන් අවුරුදු 74 ක් රට මේ තත්වයට ඇද හෙලූවෝ දේශපාලකයෝ ය. ඔවුන් පිල් බෙදී ජනතාව තම තම පිල්වලට බෙදාගෙන රට මේ තත්වයට ගෙන ආ බව බොරුද? රටේ ජනතාව සුඛිත මුදිත කරන බවට දහසක් පෙරොන්දු දෙති. දහසක් ව්‍යාපෘති පටන් ගනිති. කී සියයක් නම් විදේශ ආයෝජන සහිත කර්මාන්ත පටන් ගැනුණා ද? ඒ හැම එකකින්ම සුළු සංවර්ධනයක් ලැබී ඇත. 1978 න් පසු ආයෝජන කලාප නමින් ඇති කළ සංවර්ධනයෙන් ටික දෙනකු ජීවත්වන බව ඇත්ත ය. එහෙත් පවුල් ලක්ෂ ගණන් රු.5000 හිඟාකෑමේ තත්වයට පත්ව ඇත්තේ මක්නිසා ද?

2022June17[1]_poverty

එසේ ඇති කළ ව්‍යාපාරවලින් රට සංවර්ධනය වුණා නම් මෙතරම් දිළින්දන් සංඛ්‍යාවක් ඇතිවේ ද? දැන් කියන වරාය නගරය සංවර්ධනයෙන් ද ඉදිරියට ඇති වන්නේ එවැනිම තත්වයක් බව නිසැක ය. එහෙත් සමාජයේ ටික දෙනකු තට්ටු ගෙවල් යාන වාහන, සැප සම්පත් ඇතුව ජීවත් වෙති. දේශපාලකයෝ ද ඒ අතර වෙති. එහෙයින් ඔවුන්ට මේ දේශපාලනය සදාකාලික සම්පතකි. ඔවුහු එකිනෙකාට බැණ ගනිති. පාලන බලය ලැබීමට සුදුස්සෝ තමන්යයි කියති. අපි රැවටෙමු. අවුරුදු 74 ක්ම රැවටුණෙමු. තව දුරටත් රැවටීමට නියමිත ය.

ආගමික වශයෙන් ද අපි අන්තයට ම පිරිහී සිටිමු. අතළොස්සක් සංඝයා හැර බහුතර හාමුදුරුවරු දහම අතින් පිරිහුණෝ වෙති. ඒ පිරිහුණු පිරිස රටේ පාලන බලය, රටේ සම්පත් හොරාකන අයට දීමට අනුශාසනා කරති. සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කරමින් ගිහියන්ට වැදි බණ දෙසති. මේ රටේ පිරිහීමට මූලික වූ දෙදෙනා පූජකයා ද දේශපාලකයා ද වෙති. යහපත් දේශපාලකයන්, පූජකයන් සිටිතත් ඒ සුළු පිරිසට බලය නැත. ඔවුන්ට එසේ බලය නැතිවීම ගැනත් මෙරට ඡන්ද දායකයන් වගකිය යුතුය. බත් පැකට්ටුවකට, ටකරමට නොරැවටෙන ඡන්ද දායකයන්, සූකිරි වචන වලට බරසාර පොරොන්දුවලට රැවටෙති.

එසේ නැත්නම් මේ භෞතික ලෝකයේ නොපවතින ජාතිවාදයට හෝ පරලොව සැපයට රැවටෙති. ජාතිවාදයට රැවටුණු සිංහල, දෙමළ සියල්ලෝ අපට තිස් අවුරුදු යුද්ධයක් ලබා දුන්හ. නිදහසින් පසු ඔවුන් නිර්මාණය කළ වැදගත්ම දේශපාලනය විනාශකාරී යුද්ධය යි.

විනාඩියට ලක්ෂයක් වියදම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීත් හැසිරෙන ආකාරය අතිශය පිළිකුල් සහගත ය. කුණු හරුප පිරුණු කතාවෙන් එකිනෙකාට අපහාස කෙරෙමින් මොවුන් කරන්නේ ජනතාව සතු සම්පත් කාබාසිනියා කිරීම ය. ආණ්ඩුව විපක්ෂය යන දෙකටම මෙවැනි මන්ත‍්‍රීන් තව දුරටත් තෝරමු ද?

මේ වන විට ඉතා පැහැදිලි විය යුතු කරුණක් ඇත. එනම් යහපත් ජීවිතයක්, සරුසාර රටක් ගොඩ නැගීම උදෙසා අප හැම දෙනාටම ඉතා සුළුවෙන් හෝ කළ යුතු දෙයක් ඇති බවය. ඒ අනිකක් නොවේ. මෙවන් කාළකණ්ණි පිරිසකට රටේ බලය නොදිය යුතුය. අප අලුත් සමාජ නිර්මාණයකට යා යුතුය.

Leave a Reply