You are currently viewing චිනයේ පැවැත් වූ ෂැංග්හයි සහයෝගිතා නායක හමුව ගෝලීය හැරවුම් ලක්ෂයක්..

චිනයේ පැවැත් වූ ෂැංග්හයි සහයෝගිතා නායක හමුව ගෝලීය හැරවුම් ලක්ෂයක්..

පසුගිය දා චීනයේ පැවති ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ නායක රැස්වීම භූ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒක පාක්ෂික තිරුබදු සහ රුසියාවට එරෙහි නව සම්බාධක ක්‍රියාත්මක විමත් භූ දේශපාලනයේ පැහැදිලි වෙනස්කම් ඇති කිරීමට කෙරෙන බලපෑමකි.

ඇමරිකානු වෙළඳ ආධිපත්‍යය අභියෝගයක් වූයේ චීනයට පමණක් නොවේ.

ජාත්‍යන්තර තලයේ වර්ධනය වෙමින් පැවති මෙම තත්වය නිසා මධ්‍යම ආසියානු කලාපය අරමුණු කර ගත් ෂැංග්හයි සහයෝගිතා සංවිධානය ඩොලරයේ ආධිපත්‍යයට එරෙහි වූ ගෝලීය දකුණේ රටවල මතවාදය විධිමත්ව සහ ප්‍රබලව ඉදිරිපත් කරන ආයතනයක් බවට පත් විය. දැනට ඉන්දියාව, සෞදි අරාබිය, තුර්කිය වැනි රටවල් 20ක් නියෝජනය කරන මෙම සංවිධානයට නව භූමිකාවක් හිමි වූයේ දෙවන වරට ඇමරිකානු ජනාධිපති තනතුරට පත් ට්‍රම්ප් ඒක පාක්ෂිකව නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම නිසාය. ලොව සෙසු සියලු රටවල් ඇමරිකානු වෙළඳ පොළ අත්පත් කර ගෙන ඇමරිකානු සමෘද්ධිය විනාශයට පත් කර ඇතැයි චෝදනා කළ ට්‍රම්ප් එය නිවැරදි කිරීමට තම මිතුරු රටවල් ඇතුළත්ව සියලු රටවල් මත පෙර නොවු විරු තීරු බදු පැන වූයේය. චීනයෙන් ඇමරිකාවට කෙරෙන අපනයනවලට සියයට එකසිය පනහක් ඉක්මවූ බදු අනුපාතයක් නියම වූ අතර ඉන්දියානු අපනයනවලට අගෝස්තු 27 සිට සියයට පනහක තීරු බද්දක් පැනවීය. චීනය මත පැන වූ තීරු බදු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති නමුත් ඉන්දියාවට එරෙහිව පනවන ලද බදු අනුපාතවල වෙනසක් සිදු වූයේ නැත.

ඉන්දියාවට ඉහළ තීරු බද්දක් පැනවීමට හේතු ලෙස දැක් වූයේ දෙරට අතර කෙරෙන වෙළඳ ගනුදෙනුවලින් ඉන්දියාවට විශාල අතිරික්තයක් හිමිවීම පමණක් නොවේ. ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති රුසියානු තෙල් ආනයනය ද ඇමරිකානු උදහසට ලක් වූ තවත් හේතුවකි. රුසියාවට යුක්‍රේන යුද්ධය පවත්වා ගෙන යෑමට හැකි වන්නේ තෙල් අපනයනයෙන් ආදායම් ලබා ගැනීමට හැකිවීම නිසායැයි තර්ක කරන ට්‍රම්ප් යුක්‍රේනයේ සාමය ඇති කිරීමේ පළමු පියවර වන්නේ රුසියානු තෙල් අපනයනය සම්බාධකවලට ලක් කිරීම බව අවධාරණය කරයි. ට්‍රම්ප් ගේ වෙළඳ කටයුතු පිළිබඳ උපදේශක මෙම තත්වය හැඳින්වූයේ ඉන්දියානු අගමැති මෝඩි ගේ යුද්ධයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ඉන්දියාව රුසියානු තෙල් ආනයනය නවත්වන්නේ නම් යුක්‍රේන යුද්ධය අවසන් වනු ඇතැයි යන්නය. යුක්‍රේන යුද්ධය මෝඩිගේ යුද්ධයක්යැයි හැඳින් වූ ඔහු අගමැති මොඩි ඉන්දියානු ජනතාව මත බර පටවා බ්‍රාහ්මණයින්ට අයුතු ලාභ උපයා ගැනීමට සහාය වන්නේයැයි චෝදනා කෙළේය. ඉන්දියානු අගමැති මෝඩි බ්‍රාහ්මණයෙකු නොවන නමුත් මෙම චෝදනාවෙන් පැහැදිලි වන්නේ ඇමරිකානු පද්ධතිය තුළ ඇති ඉන්දියානු විරෝධයයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ..-ටියාන්ජින් හි පැවති SCO සමුළුවේදී

තියාන්ජින් නායක හමුව හැරවුම් ලක්ෂණයක් වන්නේ මෙවැනි පසුබිමකය. ඉන්දියාවේ ආර්ථිකය තරගකාරී මට්ටමක පවත්වා ගැනීමටත් ලෝක වෙළඳ පොළේ තරගකාරී වීමටත් රුසියානු තෙල් ඉන්දියානු ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයකි. නව තීරු බදු පැනවීමෙන් පසුව ද ඉන්දියාව රුසියානු තෙල් ආනයනය සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයකින් නැංවීමට තීරණය කර ඇත්තේ එහි ඇති සුවිශේෂී ආර්ථික වටිනාකම නිසා ය.

ෂැංග්හයි නායක හමුව තීරණාත්මක වන්නේ ඇමරිකාවේ දේශපාලන සහ ආර්ථික ආධිපතයට අභියෝග කිරීමට ගෝලීය දකුණේ රටවලට දේශපාලන ක්‍රියා මාර්ගයක් සහ නායකත්වයක් සපයන නිසාය. එක්සත් ජනපදයේ නායකත්වයෙන් චීනයට එරෙහිව පිහිටුවා ඇති ක්වොඩ් (QUAD) නමින් හැඳින් වෙන යුද එකතුවේ සිටීම මෙම සංවිධානයට එක් වීමට ඉන්දියාවට බාධකයක් වූයේ නැත. චීනයේ බල ආධිපත්‍යයට මුහුණ දීමට වඩා ආර්ථිකය ස්ථාවර කර ගැනීම ඉන්දියාවට ප්‍රමුඛ වූ බව පෙනේ. ඇත්තෙන්ම මෙම තීරු බදු අභියෝගය චීනයට සහ ඉන්දියාවට ද්වි පාර්ශ්වීය කටයුතු වලදී වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමන කිරීමට පෙළඔවීමකි. රුසියාවේ කසාන් නගරයේ දී දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කිරීමේ මුල් පියවර ගැනීමට හැකි වූ අතර එය දැන් වඩාත් තහවුරු වී ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක කිම් ජොං-උන්

දෙරට අතර වෙළඳ ගනුදෙනු වඩාත් ලිහිල් වෙමින් පවතින අතර දැනට චීනයේ වාසියට ඇති ඩොලර් බිලියන 99ක වෙළඳ ශේෂය නිවැරදි කිරීමට පියවර ගැනීමට චීනය කටයුතු කරනු ඇත. මේ අතර දෙරට අතර නැවත වරක් සෘජු ගුවන් සේවා පටන් ගැනීම වෙළඳ කටයුතුවලට මෙන්ම සමාජ සම්බන්ධතා වර්ධනය වීමට හේතුවකි. සමුළුවට පෙර චීන විදේශ ඇමති වොන්ග් යී නවදිල්ලියට පැමිණ අගමැති මෝඩි සමග ද සාකච්ඡා පැවැත් වූයේය. ජනාධිපති සී ජින්පින් මෙම වර්ධනය හැඳින් වූයේ සංවර්ධනයේ හවුල්කරුවන් වශයෙන් සාමයේ සහ ස්ථාවරත්වයේ මාවත තෝරා ගැනීමන් සේය.

මෙ නායක හමුවට චීනය බටහිර ආධිපත්‍යයට නතුව ඇති ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට අභියෝගයක් වශයෙන් ෂැංග්හයි සහයෝගිතා සංවර්ධන බැංකුවක් ගොඩ නැගීමට යෝජනා කෙළේය. ඊට ආරම්භක ප්‍රාග්ධනය වශයෙන් ඩොලර් බිලියන 1.4ක් ලබා දීමට ද එකඟ වූයේය. මෙම බැංකුව ඇමරිකානු තිරු බදු නිසා අපහසුවට පත් ගෝලීය දකුණේ රටවලට සහනදායී ණය මුදල් ලබා දෙනු ඇත.

රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව්

මෙම අවශ්‍යතාවය ජනාධිපති පූටින් සමග ෂැංග්හයි සමුළුවට සහභාගි වූ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව් පැහැදිලි කෙළේ මෙසේය.

මෙම සමුළුවට නේටෝ සංවිධානයේ සාමාජික රටක් වන තුර්කිය එහි ජනාධිපති රෙසෙප් එර්ඩොගාන් නියෝජනය කිරීම ද වැදගත් ය. ඉන් අදහස් වන්නේ තුර්කිය නේටෝ යුද හවුලට අයත් වුවද එහි දේශපාලන සහ ආර්ථික වුවමනාවන් රුසියාව ඇතුළත් ගෝලීය දකුණ සමග ගැට ගැසී ඇති බවය. එය බොහෝ දුරට ඉන්දියාව ඇමරිකා එක්සත් ජපනදයේ මූලිකත්වයෙන් චිනයට එරෙහිව පිහිටුවා ගත් ක්වොඩ් හවුලට ඇතුළත්ව සිටීමට සමානය.

තුර්කි ජනාධිපති රෙසෙප් එර්ඩොගාන් [Recep-Tayyip-Erdoğan]

මින් තහවුරු වන්නේ එක්සත් ජනපදයේ ඒක පාර්ශ්වීය ලෝක බල අධිකාරියට එරෙහිව ගෝලිය දකුණේ රටවල් පෙළ ගැසෙමින් සිටින බවයි. එම ප්‍රවනතාවය බොහෝ දුරට කලාපීය රටවල් අතර, ව්ශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය අතරත් ඉන්දියාව සහ පාකිස්ථානය අතරත් පවතින විරසකකම් විසඳා ගැනීමේ මුල් පියවරක් ද විය හැකිය. ෂැංග්හයි නායක හමුව ගෝලීය වශයෙන් හැරවුම් ලක්ෂයක් වන්නේ එවැනි අර්ථයකිනි.

Leave a Reply