You are currently viewing කැලේ මාරු වුනාට පුල්ලි මාරු වන්නේ නැහැ.

කැලේ මාරු වුනාට පුල්ලි මාරු වන්නේ නැහැ.

”අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ..”

”සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කරයි..”

පසු ගිය සතියේ මෙම පුවත් දෙකට ම ප්‍රධාන මාධ්‍යයේත්, සමාජ මාධ්‍යයේත් ඉමහත් ප්‍රචාරයක් ලැබිණ. සෞඛ්‍ය තත්වය පැහැදිලිව ම පිරිහී ඇති මහින්ද රාජපක්ෂ මහතාට තනතුරේ වගකීම් ඉටු කිරීමට නොහැකි නිසා ඉවත් විය යුතුයැයි කතා බහක් විවිධ ක්ෂේත්‍රවල තිබිණ. පිළිගත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රම අනුව සුව කළ නොහැකි රෝගි තත්වයක් පවතින නිසා ඉන්දියාවේ තිරුපති දෙවියන්ගේ පිහිට යැදීමට සිදු වූ බව ද සමාජ මාධ්‍යයේ සඳහන් විය. ලංකාවේ සිටින දෙව්වරුන්ගෙන් පිහිටක් නොලැබෙන නිසා හෝ ඔවුන්ට පිහිටවීමට නොහැකි තරම් බරපතළ තත්වයක් නිසා හෝ පිටරටක දෙවියෙකුගේ පිහිට පතන්නට ඇත. එහෙත් ඒ ගැන සැලකිල්ලක් නොදැක් වූ ජනතාව වඩාත් උනන්දු වූයේ ඔහුට සහ පවුලේ අයටත් හිත මිතුරන්ටත් මෙම ගමන යෑමට පුද්ගලික ගුවන් යානයක් ලැබුණේ කෙසේද යන්න ගැන ය. කෙසේ වුවත් විධායක ජනාධිපති ඔහු ඉවත් කරන තෙක් අගමැති තනතුරේ සිටින නිසා ඒ කිසිත් වැදගත් නැත. 

සුසිල් ප්‍රේම්යන්ත මහතා නියෝජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කිරීම ඔහු ද ඡන්දය දී සම්මත කර ගත්  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ලැබී ඇති විධායක බලතල අනුව සිදු කරන ලද නිසා එහි ව්‍යවස්ථානුකූලභාව භාවය ගැන ප්‍රශ්නයක් නැත. ජනතාවගේ අවධානයට ලක් වන්නේ නිල රථ ඇතුළත් තනතුරට හිමි සියලු වරප්‍රසාද භාර දීමෙන් පසු ආපසු සිය නිවසට යෑමටවත් ඔහුට වාහනයක් නොමැති වීම ය. එම නිසා ඔහුට අවසානයේ දී ආතක් පාතක් නැති පුද්ගලයන්ගේ වාහනය වූ ත්‍රිරෝද රථයක පිහිට පැතීමට සිදු විය. ත්‍රිරෝද රථයට නැගීමට පෙර අවට පොදි කමින් සිටි ජනමාධ්‍යකරුවන් ඇමතූ ඔහු ඉදිරියේ දී ගමන් බිමන් යෑම සඳහා කල්බදු ක්‍රමයට ( ඔහු පාවිච්චි කළ වචනය ලීස් කිරීම ය) වාහනයක් ගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය. දැනට දශක තුනකට අධික කාලයක් දේශපාලනයේ යෙදී සිටි ඔහුට තමාගේ ම වාහනයක් නොතිබීම රටේ සංවර්ධනයේ මහිමය පෙන්වයි.

ප්‍රේම්ජයන්ත මහතා තනතුරෙන් ඉවත් කිරීමෙන් ආශ්වාදයක් ලත් සමගි ජන බලවේගයේ එස්.එම් මරික්කාර් මංත‍්‍රීවරයා ඔහුට විපක්ෂයට එක් වන ලෙස ආරාධනය කෙලේය. සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද තනතුරෙන් ඉවත් කිරීම වෙස්වළාගත් ආශීර්වාදයක් යැයි පැවසීම කිසියම් ආකාරයක ගනුදෙනුවක් සිදු විය හැකි බවට ඉඟියකි. ගිලෙන නැවෙන් පැන යන මීයන් මෙන් උසස් යැයි කියන තනතුරු දරන සමහර අය සිය කැමැත්තෙන් ම ඉල්ලා අස්වන අතර තුර විධායක බලය යොදා ඉවත් කිරීම ආශීර්වාදයක් වන්නේ ගනුදෙනුවක් තුළින් පමණි.

පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉවත් වන්නේය යන බොරු ආරංචිය පැතිරවීමට දායක වූයේ කවුද යන්න අපට වැදගත් නොවේ. කෙසේ වුවත් එවැනි ආරංචියකට මුල පිරු පුද්ගලයා හෝ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා ගැන කිසිත් නොදන්නා අය බව නිසැක ය. ධුර කාලය වාර දෙකකට සීමා කර තිබූ ජනාධිපති පදවියට තෙවැනි වරටත් තරග කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඔහු ගෙන ආවේ තනතුරකින් ඉල්ලා අස්වීමේ කිසිම බලාපොරොත්තුවක් නැති නිසාය. අනතුරුව ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර යෑමට සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා මෙන් ත‍්‍රිරෝද රථයක් නොව ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ලබා ගත්තේ කුමන තත්වයක් යටතේ වුව ද වරප්‍රසාද අත් හැරීමේ සූදානමක් නැති නිසා ය.

ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී මංත‍්‍රී තනතුරක් සඳහා තරග කෙළේ ද බලයට ඇති කෑදරකමෙනි. මෙම කෑදරකම ඔහුට පමණක් නොව ඔහුගෙන් පසුව ජනාධිපති තනතුරට පත් මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ඇති බව සිහිපත් කළ යුතුය. එමනිසා මෙවැනි පුද්ගලයන් පණ නළ රැකෙන තාක් තනතුරෙන් ඉල්ලා අස්වන්නේයැයි කීම අඳ බාල කතා ය. ජනතාව තවත් වරක් මුළා කිරීමේ දුර්වල උත්සාහයන් ය.

ජනාධිපති තනතුරට පත්වන තෙක් දේශපාලන පොර පිටියට නොපැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මොවුන්ගේ හැසිරීම හොඳින් දනී. යුගදනවි ගනුදෙනුව ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ඇමතිවරුන් තිදෙනා ගැන සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම භාර ගැනීමට නොහැකිනම් ඔවුන් කළ යුත්තේ නාමිකව හෝ පවරා ඇති ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වීම බව අවධාරණය කෙළේය. ඔහු ඒ සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ද උපහැරණයක් වශයෙන් ගෙනහැර දැක් වූයේය. එහෙත් ඒ ඇමති තිදෙනා මෙතෙක් ඉල්ලා අස්වි නැත. සමහර විට විධායක බලය පාවිච්චි කර ඉවත් කරන තෙක් තනතුරේ සිටීම වෙස් වළාගත් ආශීර්වාදයක් යැයි සිතනු හැකිය. 

ප්‍රහසනයක් සේ පෙනෙන මෙම නාටකයෙන් පැහැදිලි වන කරුණු දෙකක් ඇත. පළමු වැන්න රටේ පවතින නීති සහ සම්ප‍්‍රදායන් කඩ වුවද කැබිනට් තීරණවලට ඇමතිවරු සහාය දැක්විය යුතුය යන න්‍යායයි. ඒ අනුව කිසියම් යෝජනාවක නීත්‍යනුකූල භාවය නො සලකා කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූයේ යැයි පැවසීම සාමූහික වගකීමේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ය. මෙම ඇමතිවරුන් පවසන ආකාරයට යුගදනවි විදුලි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වී නැත. ඔවුන් විරුද්ධ වූයේ එම නිසා ය. එහෙත් වැදගත් වන්නේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූයේ ද නැත්ද යන්න නොවේ. විධායක ජනාධිපති එම යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූයේ යැයි පැවසීම ප්‍රමාණවත් ය. තමා කියන දෙය නීතිය ලෙස පිළිගන්නා මෙන් මීට පෙර අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගමත් සමග පිළිසඳර’ වැඩ සටහනක දී නිලධාරීන්ට නියෝග කෙළේය. ඇමතිවරුන් ද එම නියෝගයෙන් ආවරණය වන බව සිහි තබා ගත යුතුය.

හුදී ජනයා වශයෙන් අපට ප්‍රශ්නයක් ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ම අවධාරණය කරන පරිදි සියලු දෙනාම විනයානුකූලව වැඩ කළ යුතු ය. විනය කඩ කරන විට ඊට අනිවාර්යයෙන් ම දඬුවම් ලැබෙනු ඇත. සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට ත්‍රිරෝද රථයෙන් ගෙදර යෑමට සිදු වූයේ ඒ නිසාය.

යුගදනවි විදුලි බලාගාරය ද්‍රව පැට්‍රෝලියම් වායුවෙන් ක්‍රියාකරන බලාගාරයක් බවට පත් කිරීමට සැලසුමක් දිගු කලක් තිස්සේම තිබිණ. ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් ලිපි ලේඛන සකස් කොට ප‍්‍රසම්පාදන ක්‍රියාවලියක් ද ආරම්භ කර තිබිණ. එහෙත් හදිසියේම ඒ කිසිත් නොසලකා තමන් ද කලකට පෙර පුරවැසි භාවය ලබා සිටි ඇමරිකාවේ ලියා පදිංචි, සමහර විවේචකයන් පවසන ආකාරයට බංකොළොත්වීමට ආසන්න සමාගමකට එම කටයුත්ත පැවරීමට තීරණය කිරීම සාධාරණය කරන්නේ කෙසේද?. කැබිනට් මණ්ඩලයෙන් සම්මත වීම නිසාම රටේ නීතියක් වන ප‍්‍රසම්පාදන ක්‍රියාවලිය නො සලකා කටයුතු කිරීමට බලයක් අධිකාරියක් ලැබෙන්නේ කෙසේ ද?. එසේ කටයුතු කිරීම විනය කඩ කිරීමක් නොවන්නේ ද?. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතුය. 

දෙවන කාරණය වන්නේ ආණ්ඩුවෙන් ඉවත් කරන හෝ ඉවත්වන මැති ඇමතිවරුන් සමගි ජන බලවේගය හෝ වෙනත් විපක්ෂ කණ්ඩායමකට එක් කර ගත් පසු ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් වන්නේ ද යන්නයි. ඇත්තෙන්ම රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන්නේ නම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වැනි දේශපාලනයේ පරිණත පුද්ගලයෙකු ඔහුට වඩා බෙහෙවින් කණිෂ්ඨයෙකු වූ විජේදාස රාජපක්ෂ මංත්‍රීවරයා අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ කැබිනට් ඇමතිකමක් හෝ නොවන රාජ්‍ය ඇමතිකමක් භාර ගන්නේ ද?. යාන වාහන ගරු සම්මාන ලැබෙන්නේ නම්  ඕනෑම දෙයක් භාර ගැනීමට මෙම පුද්ගලයන් සූදානම් බව නැවත නැවතත් පැවසිය යුතු නොවේ.

යහ පාලනයේ පස් වසරක් තිස්සේ ජනතාවගේත් රටේත් අභිවෘද්ධියට කිසිත් නො කළ පුද්ගලයන් නැවතත් ජනතා වරම් පතන්නේ තමන්ගේ ම අභිවෘද්ධිය සඳහා බව ජනතාව අවබෝධ කර ගත යුතුය.

එහෙත් අද රට, දේශපාලන සහ ආර්ථික වශයෙන් පත්ව ඇති අගාධයෙන් ගොඩ ඒමට අවස්ථානුකූල ව පක්ෂ මාරු කරන දේශපාළුවන්ට නොහැකි බව බලය අත් කර ගැනීමේ සිහින දකින්නන් සිහි තබා ගැනීම වැදගත් ය. මෙම ආසාදනය ඇති වූයේ ඇත්තෙන්ම 1948 නිදහස ලබන්නටත් පෙර ඩොනොමෝර් ආණ්ඩුක‍්‍රම සමයේ සිටය. ඒ මුල්ම කාලයේ වුවද සංවර්ධන කටයුතු, බලයේ සිටි අයගේ බල ව්‍යාපෘතියේ කොටසක් විය. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් වියලි කලාපයේ ගොවි ජනපද පිහිටු වූයේ පටු ජාතිවාදය ඔස්සේ දේශපාලන අරමුණු ඇතිවය. බ්‍රිතාන්‍යයන් ඉවත්ව යන විට තිබු විදේශ මුදල් සංචිත වැය කෙළේ ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැන කිසිම අධ්‍යයනයකින් තොරව ය. මේ නිසා විදෙස් සංචිත හීන වීමෙන් හැට ගණන් වන විට ආනයන පාලනය කොට වගා සංග්‍රාම කිරීමට සිදු විය. ශතකය අවසන් වන විට වගා සංග්‍රාමය වෙනුවට බර අවි යොදා කෙරෙන අවි සංග්‍රාමයක් විය. ඒ සියල්ලට දැනට බලයේ සිටින අයත් විපක්ෂයේ සිටින අයත් අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

මෙම විෂම චක්‍රයෙන් මිදීමට නම් ජනතාවට පැහැදිලි නිරවුල් දේශපාලන වැඩ සටහනක් ඉදිරිපත් කොට මහා මැතිවරණයක දී හෝ ජනාධිපතිවරණයක දී අනුමැතිය දිනා ගත යුතු ය. එහෙත් දෙන පොරොන්දු කඩ කිරීමේ පිළිකුල් සහගත අත්දැකීම් ඇති අපට ඡන්ද විමසීම්වලින් පමණක්  සෑහීමට පත්විය නොහැකිය. එම නිසා පොරොන්දු ඉටු කරන, ඉටු නොකරන්නේ නම් බලයෙන් ඉවත් කළ හැකි දේශපාලන වැඩ පිළිවෙළක් තිබිය යුතු ය.

විපක්ෂයත් ආණ්ඩුව විවේචනය කරන සෙසු අයත් එවැන්නකට සූදානම් ද?. අපේ ප‍්‍රශ්නය එයයි..

Leave a Reply