‘කැසියස් ඇස්වලින් පමණක් දැකිය නොහැකිය. අනිත් දේවල පිළිබිඹුවත් ඊට අවශ්‍ය යයි” ෂෙක්ස්පියර් ජූලියස් සීසර් නාට්‍යයේ සඳහන් කෙළේය. අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මතු පිටින් පෙනෙන දේ පමණක් දකින පුද්ගලයෙකි. පසුගිය දා අරගලයේ දී දිවි පිදුවන් සැමරීමට එක්වූ පිරිසට ඔහුගේ අණසක යටතේ පවතින පොලීසිය ලවා පහර දී පලවා හැරීමට කළ උත්සාහයේ දී ඔහු දුටුවේ ගාලූ මුවදොර පිටියේ දරුවන් රැගත් මවුවරුන් පැමිණ සිටි ආකාරයයි. එම මවුවරුන් පොලීසියේ අත් අඩංගුවට ගැනීමට තැත් කිරීමේ දී දරුවන් වැළපුන ආකරය සමහර විට පොලීසියේම වාර්තාකරුවන්ගේ රූප රාමුවලින් දුටු ඔහුට ගැටලූවක් වූයේ එම මවුවරුන් දරුවන් රැගෙන ආවේ ඇයිද යන්නයි. ඔහු දකින ආකාරයට ගාලූ මුවදොර පිටියට ඉරිදා සවස පැමිණෙන මවුවරුන් දරුවන් රැගෙන ඒම වැරදිය. එය නීතියෙන් තහනම් කළ යුතුය. ඒ සඳහා දැනට පැන වූ නීති නැත්නම් ජනාධිපති නියෝගයක් නිකුත් කරනු ඇත.
ඔහු දරුවන් රැගෙන ඒම රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි බව පෙන්වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් උපුටා ගත් කොටස් ළමයින්ගේ සුභ සාධනය සඳහා වූ රජයේ (උසස්) නිලධාරීන්ගේ රැස්වීමක දී කිය වූයේය. ඔහුගේ උපදෙස් අනුව ඉදිරියට එවැනි දෙයක් සිදුවීම වැළැක්වීමට එම නිලධාරීන් පියවර ගත යුතුය. ඔහු උපුටා දැක් වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි ව්‍යවස්ථාවේ 13 අනු ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.
‘ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්” මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්” ආගමික වශයෙන් හා සාමාජික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්” ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත‍්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ‍්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය.’
රනිල් වික‍්‍රමසිංහ උපුටා දැක් වූ ආකාරයට ළමයින්ගේ සහ යෞවනයන්ගේ ශුභ සිද්ධිය වර්ධනය කිරීමට රජය විශේෂ පරිශ‍්‍රමයක් ගත යුතුය. අරලයේ දී මිය ගිය අය සැමරීමේ දින ගාලූ මුවදොර පිටියට ළමයින් රැගෙන ඒමෙන් මවුවරුන් කර ඇත්තේ කායික” මානසික සහ සදාචාරාත්මකවත් ළමයින්ගේ පූර්ණ වර්ධනයට බාධා කිරීම සහ ආත්මාර්ථය වෙනුවෙන් යොදා ගැනීමකි. එය ළමයින්ගේත් යෞවනයන්ගේත් සුභ සිද්ධිය වර්ධනයට හානියක් වන නිසා ඒවා වැළැක්වීම රජයේ අයිතියක් මෙන්ම යුතුකමක් ද වන්නේය. ව්‍යවස්ථාවේ 13 අනු ඡේදය දුටු රනිල් විත‍්‍රමසිංහට අනෙක් දේවල් හෝ එහි පිළිබිඹු පෙනුනේ නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඔහු උපුටා දැක් වූ ව්‍යවස්ථාවේම (2) ව්‍යවස්ථාවේ (ඇ) ඡේදය ඔහු දැක්වූයේ නැත. එහි සඳහන් වන්නේ මෙසේය.
‘‘ප‍්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප‍්‍රස්තා නිසි පරිදි ප‍්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප‍්‍රමාණවත් ජීවන මට්ටමක් සියලූ පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම’
එම ඡේදයේ සඳහන් වන ආකාරයට ජනතාවගේ ජීවන තත්වය නිරන්තරයෙන්ම වර්ධනය කිරීමත් විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප‍්‍රස්තා ප‍්‍රයෝජනයට ගැනීමට අවස්ථාව රජයෙන් ලබා දිය යුතුය. සියලූ පුරවැසියන් වන ජනතාවගේ ජීවන තත්වය වර්ධනය කිරීම යන්නෙන් අදහස් වන්නේ ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එම තත්වය ලබා දීමය. මෙම ඡේදයේ සඳහන් කරුණු අතරින් ප‍්‍රමාණවත් ආහාරපාන සහ විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප‍්‍රස්තා විශේෂයෙන් වැදගත් ය. ආහාරපාන ගැන කතා කිරීම පසුවට තබා විවේකය සහ සහ සමාජයීය ඉඩ ප‍්‍රස්තා ගැන විමසීම කරුණු තේරුම් ගැනීමට පහසුය.
ගාලු මුවදොර පිටියට මවුවරුන් ඇතුළු අනෙක් ජනතාව යන්නේ සති අන්තයේ විවේක සුවය විඳීමට ය. මහින්ද රාජපක්ෂගේ යුගයේ ඔහුගේ ආත්ම සංවර්ධනය සඳහා චීන ආධාරවලින් පෝර්ට් සිටිය ඉදි කිරීමට පෙර සවස් කාලයේ විවේකයෙන් සහ විනෝදයෙන් කාලය ගත කිරීමට කදිම තැනකි. ගාලූ මුවදොර වෙරළේ තිබු සුන්දරත්වය අද නොමැති වුවද කොළඹ නගරයේ තද බදයෙන් පෙළෙන ජනතාවට විවේකයෙන් ගත කිරීමට ඇත්තේ එතැන පමණි. රනිල් වික‍්‍රමසිංහ පැළැන්තියේ අයට නම් සති අන්තයේ මාලදිවයිනට ගොස් විවේකයෙන් කාලය ගත කළ හැකිය. එහෙත් වත්කමක් නැති ජීවිතයේ බර පීඩාවෙන් පෙළෙන ජනතාවට වෙනත් විකල්පයක් නැත. එවැනි තැනකට සවස් කාලයේ සිය දරුවාත් සමග පැමිණෙන අම්මා කෙනෙකු අරගලයට සහායට පැමිණෙන අම්මා කෙනෙකුගෙන් වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද? අරගලයට සහාය දුන් අම්මලා සෙසු අම්මලාගෙන් වෙන් කොට හඳුනා ගත නොහැකි නිසා දරුවන් සමග එහි පැමිණි සියලූ අම්මලා අත් අඩංගුවට ගැනීම හැර රනිල් ගේ පොලීසියට වෙනත් විකල්පයක් නැත. දරුවන් ඉදිරියේ අත් අඩංගුවට පත්වීමට අකමැති අම්මලා කළ යුත්තේ දරුවන් සමග ගෙදරට වී සිටීම ය. එය නොසලකා කටයුතු කරන අම්මලා රනිල්ට පෙනෙන ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරති. මෙවැනි තීරණ ගැනිම කැකිල්ලේ රජ්ජුරුවන්ට පවා නොහැකියැයි අනාගතයේ ඉතිහාසය ලියන කෙනෙකු සටහන් කරනු ඇත.
කැකිල්ලේ රජ්ජුරුවන් පවසන ආකාරයට එම අම්මලා වරදක් කළත් ඔවුන් අත් අඩංගුවට ගැනීමේ දී පොලීසිය හැසුරුණ ආකාරය කැකිල්ලේ රජ්ජුරුවන් අනුමත කළත් සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ ඔහුගේ සෙලූව පමණි. ඒ සඳහා ගත යුතු සහ ගත හැකි පියවර රැසක් පවතින බව ලිච්ඡවී රජවරුන් ගැන සඳහන් නොකළත් සාමාන්‍ය බුද්ධියෙන් යුත් අයෙකුට පවා සිතා ගත හැකිය. එදින එම පොලිස් නිලධාරීන් හැසුරුණේ අමනෝඥ අප‍්‍රසන්න ආකාරයට බව පාලකයන්ට නොතේරුණත් රටේම ජනතාවට තේරුම් ගැනීමේ බුද්ධි මහිමයක් ඇති බවට සැකයක් නැත. රනිල් ගේ එකම ආරක්ෂාව වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වන ආකාරයට තමන්ගේම ඡන්දයෙන් තේරී පත් වූ (රනිල් මහජනතාව තෝරා පත් කළ අයෙකු නොවන බව ද මුළු රටේම ජනතාව දනිති) මහජන නියෝජිතයන් ජනතාවගේ භාෂාවෙන්ම පවසන්නේ නම් පිස්සු කෙළින විට” ඊට විරෝධය පෑමට ජනතාවට අයිතියක් ඇත. ගාලූ මුවදොරත් දිවයිනේ සෙසු ප‍්‍රදේශවලත් ජනතාව විරෝධය පෑවේ සටන් පාඨ හඬ නගා කීමෙන් සහ රැස්වීමෙන් ය. එයට නීතියෙන් බාධාවක් නොවන බව මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මංත‍්‍රිවරයෙකුව සිටිය දී කොළඹ සිට කතරගමටම දහස් ගණනක් පිරිවරා ගෙන පයින්ම ගොස් ඔප්පු කර පෙන්වූයේය. එම පාඩම් අමතක කළ හැක්කේ කපටි දුෂ්ට පාලකයෙකුට පමණි.
අනිත් කාරණය පෙළපාලි උද්ඝෝෂණවලට දරුවන් සමග එන අම්මලා ය. රනිල්ට පෙනෙන්නේ ඔවුන් දරුවන් රැගෙන එන්නේ ආරක්ෂක පලිහක් සේය. ඉන් සිදු වන්නේ දරුවන්ට අවැඩක් පමණි. නමුත් මේ පාලකයන් ලංකාවේ දරු පරපුර ගැන හෙළන්නේ කිඹුල් කඳුළු බව රට වැසියන් පමණක් නොව ලෝකයාම දකින දෙයකි. ලෝක ආහාර සංවිධානය පවසන ආකාරයට මෙරට ජනතාවගෙන් දශලක්ෂ 8.7ක් එනම් සියයට 39.1කට ප‍්‍රමාණවත් ආහාර ලැබෙන්නේ නැත. පවුල්වල පවතින දරිද්‍රතාවය නිසා රනිල් කඳුළු හෙළන ළමයින්ගෙන් බහුතරයක් මන්ද පෝෂණයෙන් පෙළෙති. ඒ අතින් දකුණු ආසියාවේ දෙවැනි තැනටත් ලෝකයෙන්ම හයවැනි තැනටත් පත්ව ඇත්තේ අපේ ළමයින් ය. තමන්ගේත් තම දරුවන්ගේත් කුස ගිනි නිවාලනු නොහැකි අම්මලා එම දරුවන් සමග පාරට බැසීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නම් රනිල් උපුටා දැක් වූ ව්‍යවස්ථාවේම සඳහන් වන ආකාරයට ප‍්‍රමාණවත් ආහාරපාන ඇඳුම් පැළදුම් සහ නිවාස ලබා දීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන්නේ කෙසේද? මීට එකතු කළ යුතු අනෙක් ප‍්‍රශ්නය නම් රටේ ජනතාවට ආහාරපාන ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුකම් සලසා දිමට රජයේ භාණ්ඩාගාරයේ තිබු මුදල් බැදුම්කර හෝ වෙනත් ආකාරයෙන් සොරා කෑම අත් අඩංගුවට ගත යුතු අපරාධයක් නොවන්නේ ද? එය හොරකමක් පමණක් නොව මානව අයිතිවාසිකම් කඩකිරීමක් බව මෙවර එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමට ඉදිරිපත් වූ වාර්තාවේ සඳහන් වේ.
ඇත්තෙන්ම ගාලු මුවදොර පිටියට අම්මලා දරුවන් සමග පැමිණියේ තමන්ගේත් තම දරුවන්ගේත් සාගින්න ඉන්දියන් සාගරයෙන් හමා එන සුළං පොදක් බීමෙන් සනසන්නට නොවේ. සුළං බීමෙන් කුස ගින්න නිවෙන්නේ නැති බව පාලකයන් නොදන්නා නමුත් දරුවන් සිටින අම්මලාත් තාත්තලාත් දනිති. ඔවුන් ගාලූ මුවදොරටත් දිවයිනේ වෙනත් තැන්වලටත් ඒකරාශි වූයේ ඒ බව හඬනගා කිමට ය. එම අරගලයේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් නීතියක් කඩ කෙළේනම් ඊට වගකිව යුත්තේ සාමකාමී ජනතාව ප‍්‍රකෝප කොට වීදි බැස්සූ පාලකයන් ය. ගෝඨාභය වෙනුවට රනිල් පත්වීමෙන් එම මූලික වැරැද්ද නිවැරදි වන්නේ නැත. පසුගිය මාස කීපය තුළ ඔප්පු කර දැක් වූයේ පාලනය කළ අයට මෙන්ම කරන අයට ද ඊට විසඳුම් නැති බවයි. හැත්තෑහතර වසරක් තුළ නිසි හසරක් නොදුටු ජනතාව මංමුළා කොට ඔවුන් දරිද්‍රතාවයට පත් කළ මෙම පාලකයන්ට කළ හැකි එකම දේ හොරකම සහ වංචාව පමණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් ණය ලබා ගෙන කරන්නේ ද එයම ය.
දරුවන් සමග අම්මලා පාරට බසින්නේ එම සත්‍යය ඇස් නැතියවුන්ට පෙන්වා දීමට ය. එය පාලකයන් දකින්නේ නැතිනම් ඒ ඔවුන්ගේම අභාග්‍යයයි.
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024