සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ ආර්ථිකය තවමත් හැසිරවෙන්නේ වටිනාකම් පිළිබඳ න්‍යායෙන් (law of value) නොව රාජ්‍ය සැලසුමකින් වීම මීට හේතුවිය හැක.
තවත් පිරිසකට අනුව චීනයේ හෝ වියට්නාමයේ හෝ ඉතිරිව ඇති සමාජවාදයක් නැත. ඒවා ධනේශ්වර රාජ්‍යයන් ය. ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය නොකඩවා ක්‍රියාත්මක වන්නේ ය. මේ විවාදය අතිශයින් අනුරාගික එකක් වුවද, එහි පැටලීමට මා මේ සටහනේ දී බලාපොරොත්තු නොවෙමි.
කෙසේ වුවද, මෙතනදී මග නොහැරිය හැකි ප්‍රශ්න දෙකක් අපට මුණ ගැසේ. විශේෂයෙන් ඒ දෙවන ආස්ථනයේ සිට චීනය දෙස බලන විට ය. ඒ ප්‍රශ්න දෙක මෙසේ සාරාංශකළ හැක.
1.චීනය අධිරාජ්‍යවාදී ලෝකයට ප්‍රමාද ව ප්‍රවිෂ්ඨවන රටක් ලෙස නාමකරණය කළහොත් අප ජීවත්වන්නේ, පූර්‍ව දෙවන ලෝක යුද අවධියට සමාන වූ කාලවධියක ද? එනම්, ලෝකය යළි බෙදා ගැන්මට පැරණි (ඇමරිකාව, බටහිර යුරෝපය වැනි) හා නව ධනේශ්වර (චීනය සහ රුසියාව) බලගතු රාජ්‍ය පොරබදන අවධියක ද?
2. සමීර් අමීන් පශ්චාත් නිරවි යුද අවධියේ ගෝලීය බලව්‍යුහය සූත්‍රගත කරන්නේ තුන් ඈදුතුව (Triad) විසින් සමස්ත ලෝකය තම ග්‍රහණයට ගැනීමට කෙරෙන උත්සාහයක් ලෙස ය. Triad එකට අයත්වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපය, ජපානය සහ ඔවුන්ගේ පරිවාර රාජ්‍යයන් ය. සමීර් අමීන්ට අනුව, මෙය වර්‍තමාන ප්‍රධාන ගෝලීය ප්‍රතිරෝධය වේ. මේ ප්‍රහාරයට එරෙහි බලයයන් ලෙස චීනය සහ රුසියාව දැක්විය හැක. එවන් සන්ර්භයක් තුළ ධනේශ්වර වුවද, චීනය හා රුසියාව ක්‍රියාත්මක වන්නේ ලෝකය යළි බෙදාගැන්මකට නොව Triad ප්‍රහාරයට බාධකයක් ලෙස නොවන්නේ ද? ඒ නිසා පශ්චාත් නිරවි යුද අවධිය පළමුවෙනි සහ දෙවැනි ලෝක යුද අවධි හා සැසදීම වරදක් නොවේද?
මෙම දෙවන තර්කය පරස්පරයන් ගෙන් ගහණ ය. Triad රටවල් හා බහුජාතික මූල්‍ය සංවිධාන උත්සාහ කරන්නේ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට ගෝලීය දකුණේ රටවල් යටත් කර ගැන්මට ය. එය කළ නොහැකිවන අවස්ථාවන්හි Triad කළේ ගෝලීය දකුණේ රටවල් ආක්‍රමණය කිරීම හෝ ඒ රටවල පාලනතන්ත්‍ර වෙනස් කිරීම ය.

ගෝලීය දකුණේ රටවල් තම ප්‍රාග්ධනයට යටත්කර ගැන්මට චීනය ද උත්සාහ කරන්නේ යැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිවේ. එසේ වුවද, චීනය මෙහිලා සන්නද්ධ බලය යොදන්නේ යැ යි කිසිවෙකුට කිව නොහැකි වේ.
මේ විවාදය හඳුන්වා දීම මා කළේ චීනය කිසියම් සම්පරීක්ෂණයකට ලක් කිරීම සඳහා පෙරවදනක් ලෙස ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 2.9 ක සොච්චමක් දීමටනම් ශ්‍රී ලංකාව දොළ පිදේනි දෙකක් පිදිය යුතු ය.
පළමුවැන්න, එහි කොන්දේසිවලට අනුව ජාතික ආර් ථිකය හැසිරවිය යුතු ය. මේ පියවරයන් ආර්ථිකය සංකෝචනය කිරීමට යොමුකරන ඒවා ය.
දෙවැන්න, ශ්‍රී ලංකා ආණ්ඩුව තම ණය ප්‍රතිව්‍යුහගත කරගැන්මට චීනය, ඉන්දියාව සහ ජපානය කැමතිකරගත යුතු ය. චෝදනාව එල්ල වී ඇත්තේ චීනය ට ය. ආණ්ඩුවට අනුව චීනය ප්‍රමාණවත් ප්‍රතිව්‍යුහහගත කිරීමකට එකඟ නැත.
මා හිතන විධියට, චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවිය යුතු වේ. එහෙත් ඒ වෙනස් මානවවාදී ප්‍රවේශයකිනි. එනම් චීනය එසේ කළ යුත්තේ, ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජන ප්‍රතික්ෂේප කර, ජනතාව මත පැටවූ බර අඩුකිරීමට, ඉහළ දැමූ සේවා මිල පහළ දැමීම, පොලිය අඩුකිරීම වැනි පියවරයන්ට එකඟවන්නේ නම් පමණක් විය යුතු ය. ආර්ථිකය සංකෝචනය කරන පියවර වෙනුවට ජනහිතකාමී ප්‍රසාණාත්මක පියවර ගැන්මට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කිරීමෙනි.
මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සිය මුහුණු පොතේ ලියන ලද සටහනකි.
ස්තූතිය: jana.lk
- සොබාදහම, නිෂ්පාදන බලවේග, සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව! - December 17, 2025
- සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග.. - November 14, 2025
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ.. - August 21, 2025