You are currently viewing පොහොට්ටුවේ මල්ලෙන් එළියට පැන්න PTA බළලා..

පොහොට්ටුවේ මල්ලෙන් එළියට පැන්න PTA බළලා..

දේශපාලකයන් යනු කියන දේ නොකරන, නොකරන දේ කියන පුද්ගලයන් කොටසක් යැයි වරක් මගේ මිතුරෙකු කීවේ ය. සරලව ඔහු ඉන් අදහස් කළේ අපේ රටේ දැනට දේශපාලනය වෘත්තියක් වශයෙන් කරන කිසිම අයෙකු විශ්වාස කළ නොහැකිය යන්නයි. මෙය දෙසිය හැටපහම එපා යැයි කිම තරම් ම සැහැසි දෙයක් වුවද එහි සත්‍යයක් පවතින බව පෙනේ. එහෙත් එම කියමන සියලු දෙනාට ම සියලු අවස්ථාවලට යෙදෙන්නේ නැත. ඉඳ හිට හෝ නොදැනුවත්ව අපේ රටේ සමහර දේශපාලකයන් ඇත්තක් සේ පෙනෙන දේ කීම නිසාය.

කලාතුරකින් දක්නට ලැබෙන එවැන එවැනි අවස්ථාවක් වන්නේ පසු ගිය සතියේ දිනක පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශයකි. ජනමාධ්‍යවේදීන් පිරිසක් ඇමතූ ඔහු දැනට විවාදයට ලක්ව ඇති ත‍්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවෙන් සම්මත ( පොහොට්ටුවේ සහාය ඇතිව එය පාර්ලිමේන්තුවෙන් සම්මත වීම ගැටලුවක් නොවනු ඇත.) වුවහොත් දේශපාලකයන්ට වංචා දූෂණ ගැන කරන අභූත චෝදනා ත්‍රස්තවාදී කටයුතු සේ ගැනෙනු ඇතැයි ද, පනත සම්මත වීමෙන් පසුව එවැනි චෝදනා ඉදිරිපත් නොවනු ඇතැයි ද කීවේය. එවිට ජනාධිපතීන්, ඇමතීන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මංත‍්‍රීන් විවිධාකාරයෙන් උපයා ගෙන ඇති ධනය ගැන ජනතාව ප්‍රශ්න කිරීම ත්‍රස්තවාදි ක්‍රියාවක් වනු ඇත. එවැනි චෝදනා ඉදිරිපත් කරන මිනිසෙකු හෝ ගැහැනියක අඩුම වශයෙන් දින අනූවක් රඳවා ගෙන ප්‍රශ්න කළ හැකිය.

පොහොට්ටුවේ ලේකම් මෙම ප්‍රකාශය කිරීමට දින කීපයකට පෙර වර්තමාන මුදල් ඇමති සහ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඉදිරියේ දී ලංකාව ලෝකයේ හොඳම දූෂණ වැළැක්වීමේ පනත ඉදිරිපත් කරන බවට පාරම් බෑවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා මුදා හැරිය ණය මුදල නිකුත් කිරීමේ දී පැන වූ කොන්දේසියක් වූයේ ලංකාව දූෂණ සහ වංචා සඳහා දඬුවම් දීමට නව පනතක් ඉදිරිපත් කළ යුතුය යන්නයි. ඒ සඳහා 2025 දක්වා කල් ලබා දී තිබිණ. එහෙත් රනිල් වික‍්‍රමසිංහ පවසන ආකාරයට එම පනත ගෙන ඒමට එතරම් කල් ගත කළ යුතු නොවේ. එය කඩිනමින් කළ යුතුය. මෙම කැපවීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත් සතුටු වන්නට ඇත.

මෙතෙක් ප්‍රකාශයට පත්ව ඇති දූෂණ සහ වංචා සියල්ලම පාහේ අල්ලස් හෝ දූෂණ පිළිබඳ ස්වාධීන කොමිසම මගින් විමර්ශනය කර හෙළි කර ගත් ඒවා නොවේ. සමහර දූෂණ කටයුතු මහජනතාව විසින් හෙළි කළ ද එම කොමිසමට හෝ වෙනත් රජයේ වෙනත් අංශයකට ඒවා ගැන විමර්ශනය කර තොරතුරු හෙළි කොට නීති ක්‍රියා මාර්ග ගැනීමට උනන්දුවක් පවතින බවක් ද නොපෙනේ. මීට එක් නිදර්ශනයක් වන්නේ අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට කඩා වැදී එහි අස්සක් මුල්ලක් නෑර සොයා බැලීමේ දී මේස ලාච්චුවක තිබී රුපියල් දශලක්ෂ 17.8 ක මුදලක් සොයා ගැනීමය. ජනාධිපතිවරයා ගේ සියලු අවශ්‍යතා සැපයීමට භාණ්ඩාගාරයෙන් නොමසුරුව මුදල් ලබා දෙන තත්වයක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතරම් මුදලක් මුදල් නෝට්ටුවලින් තබා ගත්තේ ඇයි ද යන්න, සිද්ධියට මාස නමයකට අධික කාලයත් ගත වුවද මේ දක්වා කිසිම පියවරක් ගෙන නැත. එය තවමත් මුදලේ භාරකාරත්වය පිළිබඳව අධිකරණයේ පැවැත්වෙන විභාගයකට සීමා වී ඇත.

මේ උදාහරණයෙන් කියවෙන කතා දෙකකි. එකක් ලංකාවේ දිනපතාම සෑම මට්ටමකම සිදුවන දූෂණ හෝ වංචා ගැන නීතියට අනුව කටයුතු කිරීමට ඒ සඳහා කැප වී ඇති ආයතනවලට උනන්දුවක් හෝ  ඕනෑකමක් නැත. ඒවා බොහෝ විට සොයා ගන්නේත් හෙළිදරවු කරන්නේත් රජගෙදරට කඩා වැදුන අරගලකරුවන් මෙන් සාමාන්‍ය ජනතාව විසිනි. ජනතාව උනන්දුවන්නේ නැතිනම් පාලකයන් ගේ දූෂණ වංචා සහ වෙනත් අක්‍රමිකතා ගැන කටයුතු කරන ආයතන නැත. එවැනි ආයතන පිහිටුවා මහජන මුදලින් නඩත්තු වුව දඑම කටයුත්ත කොතරන බව පසුගිය වසර හැත්තෑපහක ඉතිහාසය අපට කියයි. දැන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගැනීමෙන් පසුව එවැනි ‘‘ත‍්‍රස්තවාදී’’ කටයුතු කිරීමට නීතියෙන්ම ඉඩක් නැති බව පොහොට්ටුවේ මහ ලේකම් කියයි.

දෙවැනි කාරණය මෙවැනි දූෂණ හෝ වංචා හෙළි කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ රටේ පාලිතයන්ට ය. එක අතකින් මෙවැනි අකටයුතු නිසා නැතිවන්නේ මහජනයාගේ ධනයයි. සංවර්ධනයේ නාමයෙන් ලබා ගන්නා ණය මුදල්වලින් කොමිස් ලබා ගන්නා විට දේශපාලකයන්ගේ කොහෝ දෝ තිබෙන බැංකු ගිණුමට එම මුදල් බැර වුවද අවසානයේ දී ඒවා පොලිත් සමග ගෙවන්නේ ජනතාවයි. අද රට බංකොළොත් භාවයට පැමිණ ඇත්තේ ලබා ගත් ණය ගෙවීමට ප‍්‍රමාණවත් වත්කම් නොමැති නිසාය.

මෙවැනි දූෂණ සහ වංචා ගැන මහජන මතයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ රටේ ජනතාවයි. ඒ පිළිබඳ නිසි තොරතුරු ඔවුන්ට පහසුවෙන් කාලිනව ලබා ගැනීමේ ක්‍රමයක් නැති නිසා මුලින්ම ඉදිරිපත් වන්නේ චෝදනා වශයෙනි. හම්බන්තොට වරාය ඉදි කිරීමේ දී කෙරවලපිටිය ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීමේ දී වඩාත් මෑතක මන්නාරමේ සුළං බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ඉදි කිරීමේ ගිවිසුමක් ගෞතම් අදානි සමග අත්සන් කිරීමේ දී සිදුව ඇති වංචා හෝ දූෂණ සංඛ්‍යා ලේඛන සහිතව ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා දුර්ලභ ය. කළ හැකි වන්නේ චෝදනා ඉදිරිපත් කිරීම පමණය. මහජනයාට, පාලකයන් තෝරා පත් කළ ජනතාවට, වගකියන රජයක් කළ යුත්තේ එම ගනුදෙනු පාරද්‍රශ්‍ය ආකාරයට විමර්ශනය කොට සත්‍යය පළමුවෙන්ම ජනතාවට ඉදිරිපත් කිරීමයි. එය මෙතෙක් සිදුව නැති බව මේ රජයට මුදල් සපයන විදේශීය මූල්‍ය ආයතන පවා පිළිගත් සත්‍යයකි. ඒ සඳහා පනතක් සම්මත කිරීමට උපදෙස් දී ඇත්තේ එම නිසාය.

එහෙත් ඉදිරියට එවැනි පනත් අවශ්‍ය වන්නේ නැත. දේශපාලකයන්ට දූෂණ හෝ වංචා කටයුතු පිළිබඳව චෝදනා එල්ල කිරීම ත‍්‍රස්තවාදී ක්‍රියාවක් බවට නිර්වචනය කිරීමට නව පනතින් ප‍්‍රතිපාදන සැලසෙන නිසාය. චෝදනා ඉදිරිපත් නොවන්නේ නම් අදහස් වන්නේ එවැනි සමාජ විරෝධී කි‍්‍රයා රටේ සිදු නොවීමය. එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ වෙනත් මූල්‍ය ආයතනයකට ලංකාවට ණය මුදල් ලබා දීමේ දී මෙවැනි කොන්දේසි පැනවීමේ අවශ්‍යතාවයක් ද නැත.

මෙහිදී අපට අපේ ගැලවුම්කාරයා වන ඉන්දියාවෙන් අවශ්‍යනම් පාඩමක් ඉගෙන ගත හැකිය. ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයේ සංකේතයක් බවට පත්ව ඇති රාවුල් ගාන්ධි ගේ ලෝක් සභා අසුන පසුගිය දා අහිමි කෙරිණ. ඒ ඔහුට ගුජරාටයේ අධිකරණයකින් සිර දඬුමක් නියම කළ නිසාය. රාවුල් ගාන්ධි එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයත් ඉදිරිපත් කරන නිසා සිර දඬුවමට වහාම යටත් වන්නේ නැත. එහෙත් ඉන්දියානු ලෝක් සභාව නඩුවෙන් වැරදිකරු වූ වහාම ඔහුට ලෝක් සභා අසුන අහිමි කිරීමට පියවර ගෙන ඇත.

රාවුල් ගාන්ධිට සිර දඬුවම නියම වූ නඩුව ගැනද කෙටියෙන් සඳහන් කිරීම වැදගත්ය. ඔහුගේ වරද වූයේ කර්ණාටක ප‍්‍රාන්තයේ පැවති රැස්වීමක දී මෝදිලා මෙතරම් සංඛ්‍යාවක් හොරුන් වි ඇත්තේ ඇයි දැයි ප්‍රශ්න කිරීමය. ඔහු එවැනි ප්‍රශ්නයක් මතු කෙළේ මෝදිලා කිප දෙනෙකුම දුෂණ කටයුතු පිලිබඳව ඉන්දියාවේ අධිකරණයේ විභාගවෙන නඩු මග හැරීමට විදෙස් ගතව සිටීම නිසාය. ගුජරාටයේ අධිකරණයකින් රාවුල් ගාන්ධි වරදකරු කෙළේ මෝදිලාට (අගමැති නරෙන්ද්‍ර මෝදි විශේෂයෙන් අදහස් කර නැත) අපහාස කිරීම නිසාය.

ඉන්දියාවේ එසේ වුනාට අපේ එහෙම නැත. දැනට කැබිනට් ඇමති ධුරයක් හොබවන ප්‍රසන්න රණතුංගට ද ලංකාවේ අධිකරණයකින් දඩයක් සහ සිර දඬුවමක් නියම විය. එහෙත් ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා ඇමති ධුරය හෝ මංත්‍රීධුරය අත් හිටුවීමට හෝ අපේ දේශපාලනය ක්‍රියාත්මක වන්නේ නැත. සම්පූර්ණ අධිකරණ ක්‍රියා පටිපාටිය අවසන් වන තෙක් ඔහුට සියලු වරප්‍රසාද භුක්ති විඳිය හැකිය. ඒ අපේ හැටිය. පොහොට්ටුවේ මහ ලේකම් කතා කරන්නේ මෙවැනි තත්වයන් ගැනය. සමහර විට ප‍්‍රසන්න රණතුංග ඇමතිගේ ඡන්දයත් ඇතිව ත‍්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් දේශපාලකයන්ට එරෙහි බොරු චෝදනා ඉදිරිපත් කිරීම ත‍්‍රස්තවාදී ක්‍රියාවක් වනු ඇත.

අපේ රටේ දේශපාලකයන්ට  ඕනෑම පනතක් ස්වාර්ථය සඳහා යොදා ගැනීමේ මනා පරිචයක් පවතී. එයට තවත් උදාහරණයක් වන්නේ අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සන්ධානය (ICCPR පනත) ලංකාවේ ක්‍රියාත්මක කරන ආකාරයයි. එම සන්ධානය අනුව ජාතීන් අතර අසමගිය, වෛරය සහ කෝපය ඇති කරන ප්‍රකාශ කිරීම නීතියෙන් දඬුවම් දිය යුතු වරදකි. මේ පනත ලංකාවේ දී යොදා ගෙන ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට බව අවස්ථා කීපයක දීම ඔප්පු විය. කෙටිකතාවක් හෝ කවියක් ලිවීම එම පනත යටතේ ඇප නොමැතිව රඳවා ගැනිමට අවස්ථාවක් කර ආකාරය තවමත් අපේ මතකයේ ඇත.

මෙවැනි තත්වයක් යටතේ දූෂණ වැලැක්වීමේ පනතත්, ඉදිරියේ දිි ‘‘ජනතාවට සාධාරණය සහ යුක්තිය’’ඉටුකිරීමට සම්මත කර ගන්නා අනෙක් සියලූ පනත්වලිනුත් අවසාන විග‍්‍රහයේ දී ආරක්ෂා වන්නේ දූෂිත දේශපාලකයන් සහ ඔවුන් මෙහෙයවන දූෂිත ක‍්‍රමයයි. මෙය වෙනස් කිරීමට මෙම පාලකයන්ට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ දූෂණ වංචා හෙළි කරන ‘‘ත‍්‍රස්තවාදීන්’’ මර්දනය කිරීම පමණි. පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් එළියට ඇද දැම්මේ ඒ බළලා ය. 

Leave a Reply