චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරිවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික‍්‍රමසිංහ 2001 දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ මාවතේ නොගිහින් LTTE සංවිධානය සමග සටන් විරාමයකට එළඹීම, සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම වැනි යම් ඉදිරිගාමී පියවර කීපයක් ඔහු ගත්තද අගමැති ධුරය දැරූ දෙවසරක කාලය තුළ, 2004දි චන්ද්‍රිකාගේ බලය යළි තහවුරු වීම සහ 2005 දි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම සමග ඒ අධිකාරිවාදී ගමන යළි ඇරඹුණා. විශේෂයෙන්ම 2005 – 2014 අතර පැවති රාජපක්ෂ පාලන සමය මේ රටේ ජනතාවගේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළේ බලවත් තර්ජනයක්.
මේ තත්ත්වයට එරෙහිව රටේ ජනසමාජයේ විරෝධයක් මෝදු වෙමින් ඇවිල්ල 2015දි එය උතුරා ගියා. ඒ තමයි යහපාලන ප්‍රොජෙක්ට් එකේ ජයග්‍රහණය. ඒ ව්‍යාපෘතියේ අයිතිකරු රනිල් වික‍්‍රමසිංහ. යහපාලනය good governance කියන්නෙ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් පාලන ක්‍රමයක්. ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය පිටුදැක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීමයි රනිල්ගේ යහපාලන ව්‍යාපෘතියෙ මූලිකාංගය වුනේ. ඉතින් රනිල් වික‍්‍රමසිංහ තමයි එදා ප්‍රජාතන්ත්‍රවාදයේ චැම්පියන් වුනේ.
විශේෂයෙන්ම ඒ කාලයේ මහින්ද ගෝඨාභය දෙබෑයන්ගෙ සුදු වෑන් මාෆියාව නිසා රාජපක්ෂවාදීන් නොවන සියලු දෙනාට ම විශාල තර්ජනයක් එල්ලවෙලා තිබුණෙ. විවේචනාත්මක අදහස් පළ කරන මාධ්‍යවේදීන් තමයි ඍජු ඉලක්කය වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ බලයට පත් වෙලා වසර දෙකයි මාස තුනක් ඉක්ම යන්නට පෙර එවකට රටේ හිටිය ජ්‍යේෂ්ඨතම මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග මහ දවල් ඝාතනය කෙරෙනවා. මේ ඝාතනය කොයිතරම් රට එහෙම නැත්නම් රාජපක්ෂ විරෝධී කොටස් කම්පනයට පත්කළාද කිව්වොත් නිදහස අගය කරන සියළු කොටස් එක ගොනුවකට ආයුතු බවට සමාජ මතයක් ගොඩනැගුනා. ඒ නිසා තමයි ‘නිදහසේ වේදිකාව’ ගොඩනැගුනෙ. රනිල් වික‍්‍රමසිංහ එහි කේන්ද්‍රීය චරිතයක් වුනා.
මේ නිදාන කතාව කිව්වෙ දැන් ජනාධිපති ධුරයට අරක්ගෙන සිටින රනිල් වික‍්‍රමසිංහගේ වත්මන් කතාවට පසුබිමක් සපයාගන්න. 2015 දක්වා මේ රටේ හිටපු මහා ප්‍රජාතන්ත්‍රවාදියා දැන් අඳින්නෙ හිට්ලර්ට බව කවුරුත් දන්නව. ගිය අවුරුද්දෙ ජූලි 22දා පාර්ලිමේන්තුවේ 134ක ඔළු ගෙඩි ගණනින් මේ ධුරයට පත්වුනා මිසක කිසිදු ජනවරමක් නැති රනිල් දැන් වැඩකරන්නෙ ඒකටම හරියන විදියට බව පැහැදිලියිනෙ. ගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමටවත් නුසුදුසු බවට ජනයා විසින් තීන්දු කරනු ලැබීම නිසා ජනතාවගෙන් පළිගන්න ආකාරයකටයි ඔහු දැන් වැඩකරන බව පේන්නෙ. ඔහු ජනාධිපති ධුරයට පත්වෙලා පැය 24ක් ගතවෙන්නටත් කලින් ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල සිටි අරගලකරුවන්ට මහ අමානුෂික ලෙස පහරදුන්න. එයින් පස්සෙ ඔහුගේ පාලනයේ දුර්දාන්ත ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කරපු කොටස් විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය නිරන්තරයෙන් ම මර්දනය කළා. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා දින 167ක් පුරා ත්‍රස්තවාදයි වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්න ක‍්‍රියා කළේ ඉතාම නිර්ලජ්ජිත විදියට. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසන්ත නිදහස් කරමින් දුන් නියෝගයේ සඳහන් ආකාරයට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබා ගැනීමට තබා අත් අඩංගුවට ගැනීමටවත් කරුණු නොතිබියදී තමයි රනිල් වික‍්‍රමසිංහ ආරක්ෂක ඇමති හැටියට ඔහුව දින 90ක් රඳවා තබාගැනීම සඳහා නියෝගයට අත්සන් කළේ. ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පළිගන්නත්, වසන්ත මුදලිගේ බිල්ලට ගන්නටත් රනිල් වික‍්‍රමසිංහ මොනතරම් පල්ලෙහාට බැස්සද කියල මෙයින් පෙන්නුම් කෙරෙනව.
මේ විදියට තමා කලක් පැළඳ සිටි ලිබරල් වෙස් මුහුණ ගලවල හිට්ලර්ගෙ ඇඳුම් අඳින්න රනිල් දැන් නොපැකිළව ඉදිරිපත් වී සිටින්නෙ ඔහුගේ නව ලිබරල්වාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට එසේ නැතිව බැරි නිසා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අණ පරිදි ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්න නම් මේ වෙලාවෙ මැතිවරණයක් පැවැත්වීම අතිශය හානිකරයි. මොකද රනිල් වික‍්‍රමසිංහ සහ ඔහු පයගසා සිටින පොහොට්ටු කණ්ඩායම මැතිවරණයෙන් පරදින්නෙ ආයිත් ගොඩගන්න බැරි විදියට. ඒ නිසා තමයි රනිල් කියන්නෙ ‘ආර්ථිකය ගොඩදාල නීතිය සහ සාමය law and order තහවුරු කරල ලබන අවුරුද්දෙ ඔබට ඡන්දය පාවිච්චි කරන්න දෙන්නම්’ කියල. එයාගෙ න්‍යාය පත‍්‍රය අනුව මේ වසරෙදි මේ වනවිට නියමිතව තියෙන පලාත් පාලන මැතිවරණය තියෙන්නෙ නැහැ.
එතකොට මේ රටේ ජනතාවට මැතිවරණ ලැබෙන්නෙ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා තීරණය කරන දවසට. එයා බලයට පත්වූ අවස්ථාවෙ බොහොම ඉහළින් හුවා දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ස්වාධීන මැතිවරණ කොමිසම් වැඩක් නැහැ. මට ඕන වෙලාවට මට වාසි වෙලාවටයි මැතිවරණ තියෙන්නෙ ඒ නිසා උඹලා කට වහගෙන කර බාගෙන ඉඳපල්ලා කියල මේ පිං ජනාධිපතිවරයා කියන කතාව අහගෙන පිනක් දහමක් කරගෙන ඉන්නයි පොදු ජනයාට සිද්ද වෙන්නෙ.
බලය රහ වැටුනු ලෝකයේ සියළු නායකයෝ හිතන්නෙ ඒ විදියට තමයි. පහුගිය අවුරුද්දෙ පෙබරවාරි 1 දා බලය ඩැහැගත්ත මියන්මාරයේ හමුදා පාලකයන් ඒ වෙලාවෙ කිව්වෙ වසරක් ඇතුළත මැතිවරණ පවත්වනව කියල. දැන් වසරක් ඉකුත් වෙලා මාසයකුත් ගතවෙලත් මැතිවරණ පවත්වනවා තබා ඒ ගැන කිසිදු කතාවක්වත් නැහැ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ තරම් ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තියෙද්දී පවා රනිල් වික‍්‍රමසිංහ මේ මාස ගණනාවට ම මැතිවරණයක් ගැන කිව්ව පළවැනි වතාව මේකයි. රටේ ලෝකෙ සිදුවන හැම දෙයක් ගැනම කතා කරන රනිල් මෙච්චර කාලයක් මැතිවරණයක් ගැන වචනයක්වත් කතා කළේ නැහැ. මෙතනදිත් ඡන්දය කියල පොදුවේ කතා කළා මිසක් මේ පළාත් පාලන මැතිවරණය ගැන නිශ්චිතව කිව්වෙ නැහැ. එහෙම නොකිව්වෙ මේ පිං ජනාධිපතිට මේ මැතිවරණය මේ අවස්ථාවෙ තියෙන්නෙ නැහැ කියල කෙලින් කියන්න තරම් කොන්දක් නැති නිසයි.
මේ රටේ ජනයා මැතිවරණයක් ඉල්ලල රනිල්ට පිංසෙන්ඩු වෙන්නෙ නැහැ කවදාවත්. මොකද මේ ජනාධිපතිවරයයි මියන්මාරයේ හමුදා පාලකයයි අතර තියෙන්නෙ සියුම් වෙනසක්. මියන්මාරයේ හමුදා පාලකය හමුදා යොදවල මහජන ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුවක් පෙරළා දමා දැන් හමුදා තන්ත්‍රය මත පදනම් වී පාලනය ගෙනයන්නෙ. අපේ රටේදි වුනේ ජනතාව විසින් අධම දුර්දාන්ත පාලනය ජන බලයෙන් පලවා හැරි පසු ජනතාවගේ මතය නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස තෝරා පත්කරගත් පාලකයෙක් හමුදා තන්ත්‍රය මත පදනම් වී පාලනය ගෙනයාමයි. ඒ නිසා රනිල්ගෙන් ඡන්ද ඉල්ලන්නෙ නැහැ අපි. අප, පොදු ජනයා ඉල්ලන්නෙ උන්ගෙම ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි මැතිවරණයයි. දැන් වනවිට කල්දමා වසරක් ගතවී ඇති මේ පළාත් පාලන මැතිවරණය ජනයාගේ අයිතියක්. උන්ගේ ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි බව කියන පරමාධිපත්‍යයේ අංගයක් ඡන්ද බලය. ඒ නිසා නිසි කලට පැවැත්විය යුතු මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමෙන් තමයි මහජනයා පරමාධිපත්‍යය භුක්ති විඳින්නේ. රනිල් වික‍්‍රමසිංහ දැන් හදන්නෙ ජනතා පරමාධිපත්‍යය කියන එක ඔහුගේ අත පල්ලෙන් වැටෙන දෙයක් බවට පත්කරන්න. ඔහුගේ ඒ අපේක්ෂාවට මෙරට ජනතාව කිසි විටෙකත් අවනත නොවන බව නිසැකවම කියන්න පුළුවන්.
මේ තුළින් අප තේරුම් ගන්න ඕන කාරණය තමයි රනිල් වික‍්‍රමසිංහගෙන් ජනතා අයිතියට මේ එල්ල වී ඇති තර්ජනය හුදෙක් මේ අවස්ථාවට සීමා වූ හෝ ඔහුට විතරක් ආවේනික වූ එකක් නොවන බවයි. ආර්ථික වශයෙන් බංකොලොත් වී ඔවුන්ගේ සමස්ත ක‍්‍රමයම අභියෝගයට ලක්වී ඇති මේ අවස්ථාව රනිල් වැනි උග‍්‍ර ධනේශ්වර නායකයන් සලකන්නෙ do or die අවස්ථාවක් හැටියට. ඒ කියන්නෙ ජන කොටසක් හෝ සමාජ තීරුවක් විනාශ කරල හෝ තමාට ඕන කරන දේ කළයුතුයි කියන එක. උග‍්‍ර දක්ෂිණාංශිකයෙක් වන රනිල් වික‍්‍රමසිංහ ලෝක ධනේශ්වරයේ මේ කලාපයේම නියෝජිතයායි. ඒ නිසා මේ කලාපයේ ධනේශ්වරයේ ග‍්‍රහණය සහ ආධිපත්‍යය තහවුරු කිරීම තමයි මේ මොහොතේ ඔහුගේ අවශ්‍යතාව. ඒ වෙනුවෙන් ධනේශ්වර සාරධර්ම සහ වටිනාකම් බිල්ලට දිය යුතු නම් රනිල් එයටත් සූදානම්. ඔහුට අනුව මේ එළඹිලා තියෙන්නෙ එවන් මොහොතක්. ඒත් රනිල් වික‍්‍රමසිංහගේ මේ ව්‍යාපෘතියට අනුගත නොවන බවත් එයට එරෙහිව සටන් කරන බවත් මේ රටේ කම්කරු පංතිය ප‍්‍රමුඛ ජනයා පසුගිය දින කීපය තුළදි මැනවින් පෙන්නුම් කරල තියෙනවා.
- කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය.. - November 13, 2023
- රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ - March 24, 2023
- රනිල් මහත්තයා දැන් වෙනස් වෙලා..? - November 4, 2022