ලෝක පූජිත ලේඛකයෙකු වන චාර්ල්ස් ඞීකන්ස් ප්‍රංශ විප්ලව සමය පසුබිම් කොට රචනා කරන ලද Tale of Two Cities (මෙම කෘතිය දෙනුවර අන්දරය නමින් සිංහලට ද නගා ඇත.) තවමත් ජනප්‍රිය කෘතියකි. එය ඇරඹෙන්නේ මෙසේය:
‘‘එය සෞභාග්‍යමත් සමයකි. එය දුර්භික්ෂ සමයකි. එය ඥානෝදයේ යුගයකි. එය මුග්ධ භාවයේ යුගයකි.’’
යනාදි වශයෙනි. ඔහු ප්‍රංශ විප්ලව සමයේ එංගලන්තයේත් ප්‍රංශයේත් පැවති අන්තයන්ට පත්ව ඇති සමාජය දුටුවේ එසේය.
අපේ රටේ වත්මන් ඉතිහාසය පදනම් කොට නවකතාවක් රචනා කරන ලේඛකයෙකුට ද එවැනිම වර්ණනාවකින් පටන් ගත හැකිය. එක අන්තයක සමෘද්ධියක් පවතින අතර අනෙක් අන්තයේ ඇත්තේ සාගින්නේ තැවෙන මිනිස් සැකිලිය. එක අන්තයක ලෝක පූජිත බුද්ධිමතුන් සිටින අතර අනෙක් අන්තයේ රට පාලනය කරන්නේ මෝඩ තකතිරුවන් ය.
එක අතකින් රටම ආර්ථික අගාධයකට ගිලෙමින් පවතින විට මෙම අඥාන පාලකයන් මහජන සම්පත් විනාශ කරන්නේ දිය රත්වන තෙක් කෙළි දෙළෙන් පසුවන කකුළුවන් සේය.
මහජන නියෝජිතයන් යනුවෙන් හඳුන්වා ගන්නා මෙම පුද්ගලයන් ගේ අමනෝඥ ක්‍රියාවලින් බිඳක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ලයනල් ගුරුගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකින් සාමාන්‍ය ජනතාවට දැන ගැනීමට අවස්ථාව ලැබිණ. මුළින්ම ඉල්ලීම කළ විට මෙම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ ද පසුව තොරතුරු දැනගැනීමේ කොමිසම මගින් නිකුත් කරන ලද නියෝගයක් අනුව අකමැත්තෙන් වුවද නිකුත් කිරීමට ජනාධිපති කාර්යාලයට සිදුවිය.
ඒ අනුව රට බේරා ගත් වීරයා වශයෙන් හඳුන්වා ගන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස 2010 සිට 2014 දක්වා කාලය තුළ 2578ක් වූ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 630ක් වැය කෙළේය. එය ජනාධිපති කාර්යාලය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සියයට 43 කි. රජයේ කාර්යාලවල සහ දෙපාර්තමේන්තුවල සේවක අතිරික්තයක් තිබිය දී මෙතරම් විශාල සේවක සංඛ්‍යාවක් පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවා ගෙන ඇත්තේ ඇයි ද යන්න රාජ්‍ය මුදල් පරිහරණය ගැන වගකීමක් ඇති කිසිවෙකු මෙතෙක් හෙළි කර නැත.
ඔහුගෙන් පසුව යහපාලනයක් ඇති කිරීමට සපථ කර බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන සමය ද ඊට නොවෙනස් ය. 2015 සිට 2019 දක්වා ඔහු ජනාධිපති තනතුරේ සිටි අතර 1317ක් වූ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වැය කර ඇති මුදල රුපියල් දශ ලක්ෂ 850කි. එනම් ජනාධිපති කාර්යාලයට වෙන් කර තිබු මුදලින් සියයට 57කි. මෛත්‍රිපාල සිරිසේන ගේ කාර්ය මණ්ඩලය රාජපක්ෂ යුගයට වඩා අඩු වුවද වැය කළ මුදල ප්‍රතිශතයක් වශයෙන් සියයට 35කින් ඉහළ ගොසිනි. ඔහු යහපාලකයෙකු නිසා තම අන්තේවාසික සේවකයන්ට වැඩි වැටුපක් දීමට කාරුණික වන්නට ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා කන්තලේ සීනි කම්හල පරණ යකඩවලට විකිණීම සඳහා අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබු බවද සිහිපත් කළ යුතුය. ආරේ ගුණ නෑරේ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත්තේ හොරකමට පුරුදු වූවෙකු වැඩි වැටුපක් සහ වරප්‍රසාද ලැබුණ ද පැරණි පුරුදු අත නොහරින්නේය යන්නටය.
මෙම තොරතුරු හෙළිවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මංත්රීවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති පැවසුවේ එතරම් විශාල මුදලක් වැය කර ඇත්තේ වකුගඩු රෝගීන්ගේ සුභ සිද්ධිය සඳහාය යනුවෙනි. එමනිසා තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු සාවද්‍ය ය. මෙම සාවද්‍ය තොරතුරු ලයනල් ගුරුගේ විසින් නිර්මාණය කළ ඒවා නොව ජනාධිපති කාර්යාලයෙන්ම ලබා දුන් බව හිටපු ජනාධිපති අමතක කර ඇත. ඉන් පෙනී යන්නේ ජනාධිපති කාර්ය මණ්ඩලය නිවැරදි තොරතුරු ලබා දීමට අසමත් බවය. ඒ ගැන ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
තොරතුරුවල නිරවද්‍යතාවය කෙසේ වුවත් ජනාධිපති කාර්ය මණ්ඩලය රාජකාරිමය අවශ්‍යතාවලට වඩා බලයේ සිටින ජනාධිපතිගේ දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යොදා ගන්නා පුද්ගලයන් බවට කිසිදු සැකයක් නොවේ. ජනාධිපති කාර්ය මණ්ඩලයේ තනතුරු ඇති කරන්නේ නියමිත වැඩ පිළිබඳ තක්සේරුවකින් නොව, හිතුමතේය. කිසියම් පුද්ගලයෙකුට ‘‘සැලකීමට’’ අවශ්‍යනම් තනතුරක් ඇති කොට වැටුප් සහ වරප්‍රසාද ලබා දීමට ජනාධිපතිට කිසිදු සීමාවක් නැත. වත්මන් ජනාධිපති ද එවැනි තනතුරු නිර්මාණය කර හිතවතුන්ට සලකයි.
ජනාධිපතීන්ගේ විදේශ සංචාර ද ඉවක් බවක් නැතිව මහජන මුදල් කාබාසිනියා කිරීමේ තවත් ව්‍යාපෘතියකි. තොරතුරු දැන ගැනීමේ වෙනත් ඉල්ලූම් පත්‍රයක් අනුව 2021 දී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයට සහ ඉතාලියට ගිය ගමන්වල විය පැහැදම් ද හෙළි විය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති යනු ජනාධිපතිගේ කැමැත්ත පවතින තාක් රැඳී සිටින නිකම්ම නිකම් තනතුරකි. කැබිනට් මණ්ඩලයේ සභාපති තනතුර ද ඔහුට හිමි නැත. විදෙස් රටවල් සමග ගිවිසුම් එකඟතා ඇති කර ගැනීමේ වගකිමක් ද නැත. එහෙත් ඔහුගේ බංග්ලදේශයේ සංචාරය වෙනුවෙන් රු. 10,568,962ක් වැය කළ බව සඳහන් වේ. එම වසරේම ඉතාලියට ගිය ගමනට වැය වු මුදල රු. 26,401,901කි. කිසිම නිල කටයුත්තක් නොවන මෙම ගමන් සඳහා දශ ලක්ෂ ගණනින් මහජන මුදල් වැය කර ඇත්තේ රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ සහ ආහාර ආනයනය කිරීමට විදෙස් මුදල් නැති තත්වයක් යටතේය. ඇණවුම් කරන ලද ඉන්ධන නැව් වරායට පැමිණ සති ගණනක් යන තෙක් ඒවාට ගෙවීමට විදෙස් මුදල් සොයා ගත නොහැකිව භාණ්ඩ මිලට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වශයෙන් විදෙස් මුදල් වැය කරන තත්වයක් යටතේය. රටත් ජනතාවත් දරිද්‍රතාවයෙන් පෙළෙක නමුත් පාලකයන්ට සෞභාග්‍යමත් සමයකි.
ඒ අත දිගහැර වියදම් කිරීම ය. අනෙක් අතට රජයට අයවිය යුකු ආදායම් සම්බන්ධයෙන් පවතින්නේ ද එවැනිම නොසැලකිලිමත් කමකි. විගණකාධිපති ඉදිරිපත් කර ඇති වාර්තාවක් අනුව මෙම වසරේ ජුනි මස 30 වන විට හිඟ ආදායම් බදු සහ ඊට එකතුවිය යුතු පොලී ප්‍රමාණය බිලියන 774කි. එමෙන්ම බිලියන 201ක් හිඟ බදු මුදල්ය. එම වාර්තාවේම සඳහන් වන ආකාරයට වසර තුනක් පැරණි අගරු චෙක් පත් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැත. මෙය සිදු වන්නේ රජයේ බදු ආදායම වැඩි කිරීම සඳහා අමතරව නොයෙකුත් බදු පනවන තත්වයක් යටතේය. අලූතින් බදු පැනවීමට පෙර පැන වූ බදු සඳහා මුදල් රැස් කර ගැනීම කළ යුතුව තිබිණ. එසේ නොවීමට දේශපාලන හේතු තිබිය හැකිය.
ආර්ථිකය කඩා වැටී ඇත්තේ මෙවැනි හේතු නිසාය. ආයෝජන වශයෙන් ලබා ගත් විදේශීය ණය යොදවා ඇත්තේ ආදායම් උපදවන ව්‍යාපෘති සඳහා නොව වැඩිම කොමිස් ලබා ගත හැකි ව්‍යාපෘතිවලය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, කොළඹ නගරය මැද ඉදි කර ඇති නෙළුම් කුලූන වරාය නගරය ඊට නිදසුන්ය. මෙම ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය සහ පොලී ගෙවිය යුත්තේ ඩොලර්වලින් හෝ යෙන්වලනි. එම විදෙස් මුදල් ලැබෙන්නේ සංක්රමනිකයන් එවන මුදල්වලින් හෝ අපනයන ආදායම්වලිනි. එහෙත් අපනයනකරුවන් එම ආදායම් රට තුළට ගෙන එන්නේ නැත. පසුගිය වසර 15ක කාලය තුළ පිටරටවල රඳවා ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 35ක්යැයි මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පසුගිය දා පැවසුවේය.
මෙවැනි කරුණුවලින් සහ විගණකාධිපතිගේ වාර්තාවලින් පැහැදිලි වන්නේ මෙම ආර්ථික අර්බුදය අමනෝඥ දේශපාලනය නිසා හටගත් සංසිද්ධියක් බවය. ජනාධිපති කාර්යාලයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දක්වාම පරිපාලනය බිඳ වැටී ඇත. රාජ්‍ය පාලනය ජනතාවගේ අවශ්‍යතාවය සහ සුභ සිද්ධිය සඳහා නොව පාලකයන්ගේ සහ ඔවුන්ගේ ගජ මිතුරන්ගේ සෞභාග්‍යමත් ජීවිතය පහසු කිරීම සඳහා ය. ඊට අවස්ථාව සලසා ගන්නේ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙනි. ජුලි නමවැනිදා ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් සොයා ගැනීමට දක්වන උනන්දුව ජනාධිපති කාර්යාලයේ මේස ලාච්චුවක තිබි අරගලකරුවන් සොයා ගත් දශ ලක්ෂ ගණනක් වු මුදල් සම්බන්ධයෙන් දක්වන්නේ නැත. ජනාධිපති කාර්යාලයේ මෙතරම් විශාල මුදලක් නෝට්ටුවලින් තබා ගැනීම ගැන ජනාධිපති තනතුර අතහැර දා ගිය ගෝඨාභයගෙන් ප්‍රශ්ණ කරන්නේ නැත.
රටේ පාලකයන් නීතිය අවඥාවෙන් සලකන බවට තවත් නිදසුනක් දැනට සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තු විවාදයකට එක් වෙමින් පෙන්වා දුන්නේය. බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා සිටින ඩයනා ගමගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ කෙසේදැයි පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මංත්‍රී මුජිබර් රහ්මන් ප්‍රශ්න කළ විට රනිල් වික්‍රමසිංහගේ පිළිතුර වූයේ සජිත් කණ්ඩායමට තම පක්ෂය ලබා දුන් ඩයනාට රතු ගමන් බල පත්‍රයක් ලබා දීමේ ඇති වැරැද්ද කුමක්ද යන්නය. එනම් රතු ගමන් බලපත්‍රය සංතෝෂමක් වශයෙන් ලබා දීමේ වැරැද්දක් නැති බවය.
නිදහස ලබා ගත වූ වසර හැත්තෑ හතරක කාලය තුළම මෙම දේශපාලකයන් රට පාලනය කර ඇත්තේ තමන්ගේ හිතවතුන්ට සංතෝෂම් ලබා දීම සඳහාය. රටේ සංවර්ධනය සහ ජනතාවගේ සුභ සිද්ධිය දෙවැනි කාරණයකි. රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගත හැක්කේත් අනාගත මං පෙත් හෙළිකර ගත හැක්කේත් මෙවැනි දැක්මකින් යුතු පාලකයන් සහ ආකල්ප වෙනස් කිරීමෙන් පමණි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024