ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ පාලන බලය දිගටම පවත්වා ගැනීමට අපේක්ෂා කරන එහි අනුගාමීත් පසුගිය දිනවල කිසියම් ආකාරයක එකඟතාවයක් පැවති ආකාරයට විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කිරීමට සූදානම් නැති බව දැන් පැහැදිලි ය. ඔවුන්ගේ තර්කය වන්නේ දැනට රට මුහුණ දී ඇත්තේ ආර්ථික අර්බූදයකට නිසා දේශපාලන බලය වෙනස් කිරීම ඊට විසඳුමක් නොවන්නේය යන්නයි. ප්‍රමුඛත්වය විය යුත්තේ ආර්ථික අර්බුදය ජය ගැනීමට සියලු දෙනා එකතුවීම ය.
බැලූ බැල්මට මෙහි සත්‍යතාවයක් පවතින්නේ යැයි දේශපාලන අවබෝධයක් නැතියකුට පෙනෙනු ඇත. රට පුරා පවතින සැතපුම් ගණන් දිග පෝලිම්, අහස උසට ගොස් ඇති අත්‍යවශ්‍ය ආහාර මිල සහ ඒවායේ උග්‍ර හිඟය, ඉහළ යන ළමා මන්දපෝෂණය, රෝහල්වල ඖෂධ හිඟය යන සියල්ල ආර්ථික කළමනාකරණයේ අසාර්ථකවීම් ය. මේවාට විසඳුම් නැතිව විධායක බලය වෙනස් කිරීම ප්‍රමාණවත් නැතැයි පොහොට්ටුවේ මැති ඇමතීන් ගේ තර්කය යි.
ඔවුන් අමතක කිරීමට හෝ යටපත් කිරීමට උත්සාහ ගන්නා යථාර්ථය ආර්ථිකයේ පිරිහීම, නැතිනම් වඩාත් නිවැරදිව ආර්ථිකයේ කඩා වැටීම වැරදි දේශපාලනයේ ප්රතිඵලයකි යන්නයි. ආර්ථිකය හසුරුවන්නේ, නැතිනම් ආර්ථිකය තමන්ගේ පටු වුවමනාවන්ට යොමු කරන්නේ බලයේ සිටින දේශපාලකයන් ය. අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග තැනීම සඳහා මුදල් වෙන් කරන්නේත්, යුද්ධයක් නැති වුවත් එන්න එන්නම ආරක්ෂක වියදම් වැඩි කරන්නේත් දේශපාලකයන් ය. කිසිම ශක්‍යතා අධ්‍යයනයක් නැතිව ගුවන් තොටුපොළ වරාය සහ වරාය නගර ඉදිකරන්නේ ද දේශපාලන තීරණ අනුව ය. ඊනියා ‘‘සංවර්ධන’’ කටයුතු සඳහා දේශීය වශයෙන් අරමුදල් රැස් කර ගත නොහැකිනම් වැඩි පොලියට විදෙස් රටවලින් ණය ගැනීමට තීරණය කරන්නේත් දේශපාලකයන් ය. සරලව රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ දේශපාලන වුවමනාව මතය. රාජ්‍ය බලය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වශයෙන් වෙන් කිරීමක් පැවතුණ ද විධායකයාගේ අවශ්‍යතාවය අනුව ඒ සියල්ල එකක් බවට කැටි කර ගනී.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි මුල් දිනවලම ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය තම වැඩ කටයුතුවලට බාධා නොකළ යුතු යැයි අනතුරු හැඟවීම් කෙළේ මෙවැනි පසුබිමක් තුළය. ඊට පෙර ඔහුගේ වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂ එවකට සිටි අග්රවිනිශ්චයකාරවරිය, ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර ගෙන ගෙදර යැව්වේ ද දේශපාලන තීන්දු අනුවය. එම නිසා වත්මන් ආර්ථික අර්බුදය සාවද්‍ය ප්‍රෝඩාකාරී සහ වංචාකාරී දේශපාලනයේ ප්‍රතිඵලයක් බව සිහි බුද්ධියක් ඇති කිසිවෙකුට ප්‍රශ්නයක් නොවේ.
මෙම ප්‍රෝඩාකාරී වංචා සහගත දේශපාලනය ගැන අපමණ නිදසුන් දැක්විය හැකි නමුත් රාජපක්ෂ (අයියා සහ මල්ලී) පාලනය යටතේ ස්වාර්ථය සඳහා ම ක්‍රියාත්මක කළ ව්‍යාපෘති දෙකක් ගැන පමණක් කරුණු දැක්වීම ප්‍රමාණවත් යැයි හැඟේ. පළමු වැන්න අයියාගේ පාලන සමයේ ඉදි කළ මත්තල ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරායයි. ඉහළ පොලී අනුපාත යටතේ චීනයෙන් ලබා ගත් ණය යටතේ ඉදි කරන ලද මෙම ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරාය පැහැදිලිව ම සුදු අලීන් ය. හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනයෙන් ලබා ගත් ණය සඳහා පොලී සහ වාරික ගෙවීමට නොහැකි වූ නිසා වරායත් ඒ අවට ඉඩම් හෙක්ටෙයාර් දහස් ගණනක් චීනයට ම බදු දීමට සිදු විය. අද එම වරාය චීන ව්‍යවසායකයන්ට ධන උල්පතකි.
කොළඹ වරාය නගරය ද මහජන විරෝධය මැද පරිසරයට හානි සිදු කරමින් නිම කරන ලද තවත් ආර්ථික ව්‍යාපෘතියකි. මෙය ඉදි කරන විට රාජපක්ෂලා පාරම් බෑවේ එය ආසියාවේ මූල්‍ය කේන්ද්‍රය බවට පත් කරවන්නේය යනුවෙනි. එහෙත් එහි ආයෝජනය කිරීමට ව්‍යවසායකයන් රොත්ත පිටින් ආවේ නැත. එම නිසා රජයට ආයෝජකයන්ට තව තවත් බදු සහන සැලසීමට සිදුව ඇත. සමස්තයක් වශයෙන් නොරොච්චෝලේ, හම්බන්තොට වරාය, මාතර අධිවේගි මාර්ගය, මත්තල ගුවන් තොටුපොළ, කටුනායක අධිවේගී මාර්ගය සහ නෙළුම් පොකුණ යන ‘‘සංවර්ධන’’ ව්‍යාපෘති සඳහා ලබා ගත් මුළු ණය ඩොලර් බිලියන 1179 කි. අද ඉන්ධන, ඖෂධ, ආහාර සහ කෘෂි රසායන ආනයනය සඳහා විදෙස් විනිමය නැති වූයේ මෙම ව්‍යාපෘති සඳහා ලබා ගත් ණයවලට පොලී සහ වාරික ගෙවීමට සිදුවීම නිසා ය. එම නිසා ආර්ථිකය ගොඩ ගැනීමට පළමුවෙන්ම කළ යුත්තේ මෙවැනි නාස්තිකාර වියදම් සහ අපයෝජන කළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමය. ගෝල්ෆේස් භාෂාවෙන් නම් සිස්ටම් චේන්ජ් එකක් කළ යුතුය.
රටක ආර්ථිකය සම්පුර්ණයෙන් ම රඳා පවතින්නේ දේශපාලනය මතය. ඇත්තෙන්ම මුල්ම අවධියේ ආර්ථික කළමනාකරණය හැඳින් වූයේ දේශපාලන ආර්ථිකය යනුවෙනි. පසුකාලිනව ආර්ථිකය වෙනම විද්‍යාවක් වශයෙන් ප්‍රගුණ කළ ද එහි දේශපාලන සම්බන්ධතාවය යටපත් කළ නොහැකිය.
අනිත් අතට දේශපාලනය යනු පාර්ලිමේන්තුවෙන් අණ පනත් සම්මත කර ගැනීම පමණක් නොවේ. සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීම පැහැදිලි කළ හැකි වන්නේ දේශපාලනයෙනි. අධිකරණය පවා සීමා වන්නේ දේශපාලන තීන්දු මතය. එම නිසා රටක සාර්ථක අසාර්ථක භාවය තීරණය වන්නේ එහි දේශපාලනය අනුවය.
අපේ රටේ දේශපාලනය යනු පාලකයාගේ කැමැත්ත බව පසු ගිය වසර කීපය තුළ හොඳින් ම සනාථ කර ඇත. අධිකරණයෙන් මිනීමරුවන් සේ තීරණය කරන ලද අයට ජනාධිපති සමාව ලබා දී එම පුද්ගලයාගේ ජම්පරය ගැලවීමටත් පෙර රජයේ ඉහළම තනතුරුවලට පත් කළ හැකිය. කප්පම් ගැනීම ගැන අධිකරණයෙන් වැරදිකරු සේ නම් කොට දඩ මුදල් ගෙවීමට නියම වූ පුද්ගලයෙකු ගේ ගරු මංත්‍රී තනතුර සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් පවත්වා ගත හැකිය. අයථා ලෙස මහා ධනයක් උපයා ගත් අයෙකු ආණ්ඩුවේ බලවතුන්ගේ ඥාතියෙකු වීම නිසා පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කළ ගනුදෙනු සියල්ල අමතක කර දැමිය හැකිය. අල්ලස් ගැනීම සහ දූෂණ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වැරදි නොවේ. වැරදීමකින් හෝ එවැනි කරුණු සම්බන්ධයෙන් නඩු පැවරුව ද ඒ නිදොස් කොට නිදහස් කිරීමට ඉඩ ලැබෙන සේය.
මේ සියල්ල රටක ආර්ථිකයටත් එහි ප්‍රතිරූපයටත් පැහැදිලිව ම බලපායි. නීතියේ ආධිපත්‍යය, නැතිනම් නීතිය සාධාරණ ව සැමට ක්‍රියාත්මක නොවන රටකට තම ධනය විනාශ කර ගැනීමට අකමැති කිසිම ආයෝජකයකු පැමිණෙන්නේ නැත. යම්හෙයකින් හෝ ආයෝජකයකු පැමිණෙන්නේ නම් ඒ පාලකයන් සමඟ ඩීල් ඇති කර ගත් පුද්ගලයන් ය. කොළඹ වරාය පර්යන්තය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මිල ගණන් නොකැඳවාම භාර දුන් ගෞතම් අද්වානි ඉන්දියානු අගමැති මෝදි සමග එක්ව ජාවාරම් කිරීමෙන් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මහත් ධනයක් උපයා ගත් පුද්ගලයෙකි. මෙවැනි අයගේ ආයෝජනවලින් රටට සිදු වන්නේ අනර්ථයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.
මෙවැනි පසුබිමක පත්ළටම ගිලා බැස ඇති ආර්ථිකය ගොඩ ගැනීමට හැකි වන්නේ දේශපාලනය නිවැරදි කිරීමෙන් පමණි. ඒ අප මෙම අගාධයට පත්ව ඇත්තේ වැරදි දේශපාලනයක් නිසා හෙයිනි. ජනතාවට බත සපයන කෘෂිකර්මය කඩා වැටී ඇත්තේත් රටට විදේශ විනිමය උපයන උල්පත් සිඳී ගොස් ඇත්තේත් වැරදි දේශපාලනය නිසා ය. වසර හැත්තෑ හතරක් පවත්වා ගත් මෙම දේශපාලනය තව දුරටත් වලංගු නොවන බව පොහොට්ටුවේ උදවිය මෙන් ම සෙසු දේශපාලකයන් ද තේරුම් ගත යුතු ය.
පළමුවෙන්ම මෙම ආබාධයට හේතු කර ගත්තේ බ්‍රිතාන්‍යන් දායාද කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය දෙවරක් ම වෙනස් කොට විසි වතාවක් සංශෝධනය කළ ද රෝගය සුව වූයේ නැත. එය වඩාත් උග්‍ර වී අද රෝගියා සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය. රෝහල්වල පවතින ඖෂධ හිඟය නිසා රෝගියාගේ තත්වය බෙහෙවින් අවදානම් ය.
ජාතීන් සහ ආගම් අතර වෛරය පැතිරවීම රෝගය උග්‍ර කරවීමට විනා සුව වීමට හේතු නොවන බව මෙම දේශපාලකයන් ප්‍රමාද වී හෝ අවබෝධ කර ගත යුතු ය.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූල්‍ය ආයතන ණය ලබා දීමට පෙර දේශපාලන ස්ථාවරත්වය සුරක්ෂිත විය යුතු යැයි පවසන්නේ මෙම රෝගයේ පවතින බරපතළකම නිසා ය. එම නිසා කෙතරම් සාකච්ඡා පැවැත් වුවත් නියෝජිත කණ්ඩායම් එතෙර මෙතෙර ගියත් රෝගය හොඳ අතට හැරෙන ලකුණු පහළ වන තෙක් ණය ලැබෙන්නේ නැති බව බලයේ සිටින දේශපාලකයන් තේරුම් ගත යුතුය. රෝගී තත්වය බරපතළ නිසා පැළැස්තර ඇලවීමෙන් ඔබ්බට යන වෙනස්වීම් සිදු විය යුතු ය.
රටේ පුරවැසියන් වශයෙන් අපට වැදගත් වන්නේ මූල්‍ය සංවිධානවලට අවශ්‍ය විසඳුම් පමණක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලට වැදගත් වන්නේ තමන් ලබා දෙන ණය අවදානමක් නැතිව ආපසු ලබා ගැනීම සහ රෝගියා දිගටම ඔවුන් නිර්දේශ කරන ප්‍රතිකාර ක්‍රමය යටතේ පවත්වා ගැනීමය. ඇත්තෙන්ම අපේ දේශපාලන ව්‍යුහයේ ඇති ව්‍යාධිය සුව නොකර ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ වහල් භාවය දිගටම පවත්වා ගැනීම ය. රටේ ස්වෛරීත්වය, ජාතික ස්වාධීනත්වය සහ ජාතික සමගිය පවත්වා ගැනීමටත්, කිසිම ආකාරයේ වෙනස් කිරීමකින් තොරව සියලු වැසියන්ගේ අනන්‍යතාවයට සහ අභිමානයට ගරු කිරීමට සමත් නිවැරදි දේශපාලනයක් නැතිව කෙතරම් ණය ලැබුණත් ප්‍රමාණවත් නැත. දේශපාලනය නිවැරදි කර ගත හැකි වන්නේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් තුළින් පමණි.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024