You are currently viewing අහිංසක සිසුන් බිලි ගැනීම ඇමරිකානු සමාජ ව්‍යාධියේ ම ලක්ෂණයකි.

අහිංසක සිසුන් බිලි ගැනීම ඇමරිකානු සමාජ ව්‍යාධියේ ම ලක්ෂණයකි.

පසු ගිය සතියේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට කඩා වැදුණු අවි ගත් දහ අට හැවිරිදි තරුණයෙකු සිසුන් 19ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමීම නැවත වරක් එක්සත් ජනපදයේත් ලොව සෙසු රටවලත් අවධානයට ලක් වූ සංවේදී සිද්ධියකි. මෙහි විශේෂත්වය වන්නේ ඊට දින දහයකට පෙර බෆලෝ නගරයේ සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු පුද්ගලයෙකු 13 දෙනකුට වෙඩි තැබීමත් සමග මෙය වාර්තාවීම යි. මෙම ඝාතන සුපුරුදු පරිදි එක්සත් ජනපද ජනාධිපති සිය ශෝකය පළ කොට හෙළා දුටු නමුත් ඊට වැඩි දෙයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මීට පෙර 2012 දී සැන්ඩි හූක්ස් හි පාසලකට කඩා වැදුණු පුද්ගලයෙකු සිසුන් 26 දෙනකුට වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ ද තුවක්කු සංස්කෘතිය ගැන විරෝධයක් මතු වුවද ගිනි අවි ගෙන යෑම සහ අලෙවිය සීමා කිරීමට නීතියක් සම්මත කර ගැනීමට නොහැකි විය. ඊට මූලික වශයෙන් ම හේතු වූයේ ගිනි අවි නිපදවන්නන්ගේ එකතුවක් වන ජාතික රයිෆල් සංගමය (NRA) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති වගන්තියක් පදනම් කර ගෙන විරුද්ධ වීමය.

ජනාධිපති ජෝ බිඩෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන්, රොබ් [ROBB] ප්‍රාථමික පාසල් අනුස්මරණයේදී ඔවුන්ගේ ගෞරව දැක්වීය..

වරින් වර පාසලකට හෝ සුපර් මාකට් වැනි ජනතාව ගැවසෙන ස්ථානයකට කඩා වැදී වෙඩි තැබීම එක්සත් ජනපදයේ විශේෂ ප්‍රවෘත්තියක් වුවද ඇමරිකානු ජන ජීවිතයේ එය සාමාන්‍ය දෙයකි. තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංරක්ෂණාගාරය (Gun Violence Archives ) පළ කර ඇති සංඛ්‍යා ලේඛන අනුව පුද්ගලයන් හතර දෙනකු හෝ ඊට වැඩි ගණනකට තුවාල සිදු කළ හෝ මරණයට පත් කළ සිද්ධීන් 692ක් 2021 වසරේ දී වාර්තා විය. 2020 වසරේ එම සංඛ්‍යාව 610 කි. මෙම වසරේ මුල් මාස හතර ඇතුළත සිදු වූ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 213කි. ඉන් පෙන්නුම් කරන්නේ අවි යොදා කෙරෙන ප්‍රචණ්ඩත්වයේ ඉහළ යෑමකි.

ඒ ඇමරිකානු සමාජයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවල එක පැත්තකි. නීතිය හා සාමය රැකීමට ඇති පොලිසියෙන් ද කෙරෙන ඝාතන දිනෙන් දින ඉහළ යමින් පවතී. පොලිස් වයලන්ස් වෙබ් අඩවිය (Policeviolence.org) වාර්තා කරන ආකාරයට 2021 වසරේ දී පොලිස් වෙඩි තැබීම්වලින් මිය ගිය සංඛ්‍යාව 1144කි. 2020 වසරේ එම සංඛ්‍යාව 1132කි. එම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට 2021 වසරේ පොලිස් වෙඩි තැබීම්වලින් කිසියම් හෝ මරණයක් වාර්තා නොවුයේ දින 15ක් පමණි. සාමාන්‍යයෙන් දිනකට පොලිස් වෙඩි තැබීම්වලින් මරණ තුනක් පමණ වාර්තා වේ. එහෙත් විශේෂ ලක්ෂණය වන්නේ මෙම අපරාධ සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරුව ද දඬුවම් ලබන ප්‍රමාණය සියයට එකටත් වඩා අඩු වීම ය. ගෙල සිර කොට මරණයට පත් කළ ෆ්ලොයිඩ් පැටර්සන් වැනි සිද්ධිවලදී යුක්තිය ඉෂ්ට වන බවත් පෙන්වුවත් චෝදනා ලබන අයට බොහෝවිට දඬුවම් ලැබෙන්නේ නැත.

මෙම මිනී මැරුම් පිළිබඳ තවත් ලක්ෂණයක් වන්නේ වින්දිතයන් බහුතරය කළු ජාතිකයන් හෝ වෙනත් සුළු ජන කොට්ඨාශයකට අයත්වීම ය. කළු ජාතිකයෙකු වූ බරක් ඔබාමා ජනාධිපති තනතුරේ සිටිය දී පවා මෙම ප‍්‍රවනතාවය වෙනස් වූයේ නැත. වෙනස් කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ ද නැත. කළු ජාතිකයෙකු වූ තමා ද වෙනත් තත්වයක් යටතේ පොලිස් වෙඩි පහරකට ලක්වීමට ඇති ඉඩ ප්‍රස්ථා බැහැර කළ නොහැකියැයි ඔබමා වරක් ප‍්‍රකාශ කෙළේය. සමේ වර්ණය සහ සම්භවය අනුව වෙනස් කොට සැලකීම නීතියෙන් තහනම් වුවද සමාජ භාවිතයේ පවතින්නේ හාත් පසින්ම වෙනස් වූ තත්වයකි.

තුවක්කු සංස්කෘතියෙන් ඇමරිකාවට ගොඩ ඒමට බැරි ඇයිද යන්න ඇසිය යුතු ප‍්‍රශ්නයකි. තුවක්කු සන්තකයේ තබා ගැනීම පිළිබඳ ව බෙහෙවින් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන තවත් රටවල් ද ඇත. නිදසුනක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ද කලකට පෙර පැවතියේ එවැනි තත්වයකි. එහෙත් 1996 අප්‍රේල් මාසයේ දී ටැස්මේනියාවේ පෝර්ට් ආතර් නගරයේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 35ක් මිය ගිය අතර 23ක් තුවාල ලැබූහ. තත්වය සැලකිල්ලට ගත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ගිනි අවි තබා ගැනීම සහ ප්‍රසිද්ධියේ එහා මෙහා ගෙන යෑම දැඩිව සීමා කරන නීති සම්මත කෙළේය. ඉන් පසුව එවැනි සිද්ධීන් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ නැත. 

ප‍්‍රශ්නය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට එවැනි නීති සම්මත කර ගත නොහැකි ඇයි ද යන්නයි. ‘ජොර්ජ් ෆ්ලොයිඩ් පනත – පොලිස් කටයුතු කිරීමේ දී යුක්තිය සැලසීම’ යනුවෙන් ඇති පනතක් ඇමරිකානු සෙනේට් මණ්ඩලයෙන් සම්මත වී නැත. සාමාන්‍යයෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය සීමා කෙරෙන පනත් එක්සත් ජනපද කොංග්‍රසයෙන් සම්මත කිරීම අසීරු කටයුත්තකි. අණ පනත් මගින් පොලිස් ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට පියවර ගත නොහැකිවීම නිසා නගර සභා ගණනාවකින් පොලීසියට අරමුදල් සැපයීම නතර කිරීමට පියවර ගෙන ඇත. එහෙත් එවැනි පියවරවලින් පොලිස් ප‍්‍රචණ්ඩතා මර්දනය කිරීමට හැකි වූයේ නැත.

ඇමරිකානු ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් දැකීමට අකමැති සත්‍යය නම් ප්‍රචණ්ඩත්වය ඇමරිකානු සමාජය තුළට ම කිඳා බැස තිබීම ය. මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන නිතර කතා කළ ද ප්‍රචණ්ඩත්වය එම සමාජ ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණයකි. එක් විශ්ලේෂකයෙකු පෙන්වා දුන් ආකාරයට ශතක දෙක හමාරක් පමණ වන ඇමරිකානු ඉතිහාසයේ යුද්ධයකින් තොර ව ඇත්තේ වසර 15 ක් පමණි. ඉතිරි මුළු කාලය තිස්සේම ලොව කොතැනක හෝ යුද්ධයකට ඇමරිකාව මැදිහත්ව සිටී. යුක්‍රේනයේ යුද්ධයට ඇමරිකාව තවම සෘජුවම මැදිහත් ව නැති නමුත් අවි ආයුධ සැපයීම සහ හමුදා පුහුණුව නොඅඩුව සිදු කරයි. මෙම යුද්ධය දිග් ගැසීමෙන් රුසියාව සමග න්‍යෂ්ටික ගැටුමකට යෑමේ දැඩි අනතුරක් පවතින නමුත් ඇමරිකානු සැලසුම්කරුවන්ට එය වැදගත් නොවේ.

මෙවැනි යුද මානසිකත්වයක් පැවතීම සන්නද්ධ හමුදාවලට පමණක් සීමා නොවේ. ඇමරිකානු සංස්කෘතියට ද එය කිඳා බැස ඇත. කලාව සහ සාහිත්‍යයෙන් පිළිබිඹු වන්නේ ප්‍රචණ්ඩත්වය යි. හොලිවුඩ් හි නිෂ්පාදනය කරන බොහෝ චිත්‍ර පටිවලට පසුබිම් වන්නේ ගැටුම් සහ යුද්ධයි. මෙම තත්වය එක ලේඛකයෙකු හඳුන්වා ඇත්තේ විනෝදාස්වාදය නොව රණකාමිත්වය විදහා දැක්වීමක් සේය. ඔහු යොදා ගෙන ඇත්තේ Entertainment නොව Militainment යන්නයි. ඇමරිකානු හමුදාවට තරුණයන් ආකර්ෂණය කර ගැනීමට මෙවැනි උපාය මාර්ග යොදා ගත යුතුය. එහි ප‍්‍රතිඵලය වන්නේ විකෘති මනසකින් යුත් ජන සමාජයක් බිහි වීම ය.

ටෙක්සාස් හි වෙඩි තැබීම කළ තරුණයා පළමුවෙන්ම මරා දමා ඇත්තේ සිය මිත්තණිය යි. පාසලට පැමිණ ඇත්තේ ඉන් පසුව ය. බෆලෝහි ඝාතන ගැන සැක කරන පුද්ගලයා ද මානසික රෝගී තත්වයෙන් පසු වූ බවට වාර්තා ඇත. ඉවක් බවක් නැතිව කුඩා දරුවන් මරා දැමිය හැක්කේ වෛරය නිසා පමණක් නොව මානසික විකෘතිය නිසා බව පැහැදිලි ය. විකෘති මානසිකත්වයක් ගොඩ නැගීමට එරට කලාව සහ සාහිත්‍යය ද ඉවහල්ව ඇත. 

අනෙක් අතට එරට ආර්ථිකය පදනම්ව ඇත්තේ ද අවි ආයුද නිෂ්පාදනය සහ අලෙවිය මත ය. සිප‍්‍රි (SIPRI ) ආයතනය ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව ලොව වැඩියෙන්ම අවි ආයුද නිෂ්පාදනය සඳහා මුදල් යොදවන්නේ එක්සත් ජනපදය යි. එය වසරින් වසර ඉහළ යයි. 2016 වසරේ දී ඩොලර් බිලියන 639.9 ක් අවි නිෂ්පාදනය සඳහා වැය කළ එක්සත් ජනපදය 2020 වසරේ දී එය ඩොලර් බිලියන 778.2ක් දක්වා වැඩි කෙළේය. මෙය ලොව අවි නිෂ්පදනයේ යෙදී සිටින ප‍්‍රධාන රටවල් පහක මුළු වියදමටත් වඩා වැඩිය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අවි නිෂ්පාදනය සඳහා ලොව වැය කරන සාමාන්‍යය වසරකට ඩොලර් බිලියන 14,559.8ක් වන අතර ඇමරිකාවේ සාමාන්‍යය ඩොලර් බිලියන 83007.8කි. 

රට තුළ ගිනි අවි අලෙවි කිරීම පිළිබඳ ප්‍රතිපත්ති පාලනය කරන්නේ අවි නිෂ්පාදනයේ යෙදී සිටින ලොක්හීඩ් සහ බොයිං ඇතුළත් සමාගම පහකි. ඔවුන් එක්සත් ජනපදයේ කොංග්‍රසයේ සිය බලය තහවුරු කර ගන්නේ තමන්ට සහාය දෙන අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීමෙනි. ඒ සඳහා එක්සත් ජනපද ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ තුළ සම්පූර්ණ අවකාශයක් පවතී. තමන්ට අවශ්‍ය අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම මෙන්ම ඔවුන්ගේ මතයට එරෙහිට වන අපේක්ෂකයන් පරාජය කරවීමට ද ඔවුන්ට හැකියාව ඇත.

මෙවැනි පසුබිමක අවිගත් මානසික රෝගීන් රට තුළ කරන මරණ සංඛ්‍යාව වැඩිවන අනුපාතයට පිටරටවල යුද උණුසුම උත්සන්න කිරීමේ ප‍්‍රවනතාවය ඇමරිකානු සමාජය තුළ ම පවතින ව්‍යාධියකි. සාමය ගැන කතා කිරීම ජාතික වුවමනාවට පටහැනිව යාමකි. ගිනි අවි ප්‍රශ්නය විවෘත සමාජයේ සාකච්ඡාවට ලක් වූ විට විසඳුම් ඉදිරිපත් වන්නේ ද ප්‍රචණ්ඩ සංස්කෘතිය වඩාත් ශක්තිමත් වන ආකාරයට ය. හිටපු ජනාධිපති සහ ඉදිරි ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා විය හැකි ඩොනලඩ් ට‍්‍රම්ප් මෙම ගැටලූවට විසඳුම වශයෙන් යෝජනා කරන්නේ ගුරුවරුන්ට ගිනි අවි ලබා දීම ය. ඇත්තෙන්ම ඇමරිකානු සමාජ ව්‍යාධියේ පත්ළටම කිඳා බැස ඇති ඔවුන්ට වෙනත් විසඳුමක් ගැන සිතීමට පවා නොහැකිය.   

Leave a Reply