You are currently viewing යුක්‍රේන- රුසියන් යුද්ධයෙන් ජය ගන්නේ කවුද?

යුක්‍රේන- රුසියන් යුද්ධයෙන් ජය ගන්නේ කවුද?

එක්සත් ජනපදය සහ නේටෝ රටවල් යුක්‍රේනයට නවීනතම සහ අතිශය විනාශකාරී බලයෙන් යුත් අවි ආයුධ ලබා දුන් නමුත් ආක්‍රමණික රුසියන් හමුදාව ඉදිරියේ ඒ කිසිත් ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වූයේ නැත. ඉදිරියට එන රුසියානු හමුදාවට බියෙන් උන් හිටි තැන් අත හැර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පෝලන්තයට පලා ගොස් ඇති බව වාර්තා වේ. සටන්වලින් මිය ගිය සහ තුවාල ලැබු හමුදා භටයන් සහ සිවිල් වැසියන් ගැන තවමත් නිශ්චිත වාර්තා ලැබී නැති වුවත් එම සංඛ්‍යාවත් දහස් ගණනක් වනු නිසැක ය. දේපොළ විනාශය ගණන් බැලීමට තවම කාලය එළඹී නැත.

බටහිර ජනමාධ්‍ය රුසියානු ආක්‍රමණයක් ගැන අනාවැකි කීවේ මාස ගණනාවකට පෙර සිට ය. එවැනි අනාවැකි පළ කෙළේ යුද්ධය ගැන අනතුරු හැඟවීමටත් වඩා යුක්‍රේනයේ ආරක්ෂක/ ප්‍රහාරක ශක්තිය වැඩි කිරීමට බව පැහැදිලි ය. ඇමරිකානු විශේෂ භට කණ්ඩායම් වසර ගණනාවක සිට යුක්‍රේනයේ හමුදාව පුහුණු කිරීමේ කටයුතුවල යෙදුණ බව ද ප්‍රසිද්ධ රහසකි. යුද්ධය කෙරී ගෙන යන අතර ඩොලර් දශ ලක්ෂ 350ක යුද අවි යුක්‍රේනයට ලබා දෙන බව ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේය. නේටෝ සංවිධානය හදිසි මෙහෙයුම් භටයින් 40,000ක් යුක්‍රේනය අසළ රැඳවීමට තීරණය කර ඇත. එමෙන්ම යුක්‍රේනයේ ගුවන් කලාපය තහනම් ප්‍රදේශයක් කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් ව ඇත. රුසියානු යුද ගුවන් යානාවල මෙහෙයුම් වැළැක්වීම අරමුණු කර ගත් මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් නේටෝ හමුදා සහ රුසියානු හමුදා අතර ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. එය බොහෝ දුරට යුරෝපයත් සමහර විට පෘථිවි තලයත් වසා ගන්නා න්‍යෂ්ටික යුද්ධයක් කරා වර්ධනය වීමේ අනතුර පෙර කවදාටත් වඩා වැඩිය. යුද්ධයෙන් සියලූ ප්‍රශ්න විසඳා ගැනීමට බලාපොරොත්තුවන යුදවාදීන් එවැනි අනතුරක් ගැන තැකීමක් කරන බවක් නොපෙනේ.

යුරෝපයත් සමහර විට මුළු ලෝකයමත් වසා යන යුද ගිනි දැල් ඇවිලීමට හේතු සාධක ආරම්භ වූයේ මීට වසර අටකට පෙර 2014 දීය. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හරින විට සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව් එක්සත් ජනපදයෙන් ලබා ගත් සහතිකයක් වූයේ නේටෝ යුද හවුල අඟලක් හෝ නැගෙනහිරට ව්‍යාප්ත නොකරන්නේය යන සහතිකයයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග වෝර්සෝ යුද ගිවිසුම අහෝසි වන නිසා නේටෝ යුද හවුලක අවශ්‍යතාවයක් ද නොතිබිණ. සීතල යුද්ධය අවසන් වනු ඇතැයි බලාපොරොත්තුවක් සාමයට ලැදි ජනතාව තුළ ඇති විය. එහෙත් බටහිර රටවල් විශේෂයෙන්ම එක්සත් ජනපදයට නේටෝ යුද හවුල තවත් ශක්තිමත් කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය විය. වෝර්සෝ යුද හවුලට අයත් රටවල් 14ක් නේටෝ යුද හවුලට ඇතුළත් කර ගත් අතර පෝලන්තය, හන්ගේරියාව, සහ චෙක් ජනරජය එක් වූයේ 2020 වසරේ දීය. එහෙත් නේටෝවේ ඉලක්කය වූයේ යුරෝපයේ දෙවන විශාල රටවන මෙන්ම රුසියාවේ දොරකඩ වන යුක්‍රේනය ඊට ඇතුළත් කර ගැනිම ය.

ස්වොබෝදා – දක්ෂිණාංශක අංශය (Right Sector) සමාජිකයින්

සාර් පාලන සමයේ සිට රුසියාවට අයත්ව තිබු යුක්‍රේනය ස්වාධීන රටක් වශයෙන් ප්‍රකාශයට පත් වුවද ආර්ථික හා සංස්කෘතික වශයෙන් රුසියාව සමග තිබු සබඳතා බිඳ වැටුණේ නැත. එකම රටක් වුවද යුක්‍රේනය, රුසියන් බස කතා කරන නැගෙනහිර සහ ජර්මනිය වැනි බටහිරට රටවලට ලැදි බටහිර වශයෙන් පැහැදිලි බෙදීමක් තිබිණ. 2008 පැවති ජනාධිපතිවරණයෙන් සහ ඉන් පසුව පැවති ඡන්ද විමසීම් කීපයකින් වික්ටර් යනුකොවිච් ජයග‍්‍රහණය කිරීමත් සමග මෙම බෙදීම වඩාත් තීව‍්‍ර විය. යනුකොවිච් යුරෝපා සංගමය වෙනුවට රුසියාව සමග සමීප ආර්ථික සබඳතා ඇති කර ගැනීමට තීරණය කිරීමත් සමග මෙම බෙදීම විවෘත විරෝධයක් සහ පසුව සන්නද්ධ ගැටුම් දක්වා උත්සන්න විය. ස්වොබෝදා සහ දක්ෂිණාංශක අංශය (Right Sector) වැනි කණ්ඩායම් වීදි බැස කළ මයිඩාන් නමින් හැඳින් වූ උද්ඝෝෂණය යනුකොවිච්ගේ පාලනය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමට සමත් විය. නාසිවාදී කණ්ඩායම් පෙරමුණ ගත් එම අරගලයට එක්සත් ජනපදයේ විවෘත සහාය පළ කෙළේය. පසුව ප‍්‍රකාශයට පත් වූ දුරකතන සංවාදයක් අනුව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, යනුකොවිච් ගේ පාලනය පෙරළා දැමිය යුතු බව ස්ථිරවම කීවාය. ඇමරිකානු සෙනේට් සභික ජොන් මැකේන් කීෆ් නගරයට පැමිණ විරෝධතාකරුවන් සමග පෙනී සිටියේය. විරෝධතාකරුවන්ට ඩොලර් බිලියන පහක ආධාර මුදල් ලබා දුන් බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිගත්තේ ය. සාමකාමී විරෝධතාවයක් ලෙස ආරම්භ වූ උද්ඝෝෂණය පසුව අවි ගැටුමක් දක්වා වර්ධනය විය. කෙසේ වුවත් මෙම විරෝධතාවය අවසන් වූයේ යනුකොවිච් රටින් පිටව ගොස් රුසියාවේ රැකවරණය ලබා ගැනීමෙනි.

යනුකොවිච්ගේ පාලනය පෙරළා දැමීම නාසිවාදී කොටස්වල සහ ඔවුන්ට සහාය දුන් එක්සත් ජනපදයේ ජයග්‍රහණයක් වුවද රට රුසියානු බස කතා කරන නැගෙනහිර සහ ක්‍රිමියාව වෙන්ව යෑමේ ආරම්භය විය. මෙවැනි බෙදීමකට හේතු වූයේ මයිඩාන් ව්‍යාපාරය රුසියානු විරෝධයක් පෙරට දැමීම සහ රුසියානු බස කතා කරන අයට වෙනස් කොට සැලකීම නිසා ය. එමනිසා නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස් සහ ලූහාන්ස් ප‍්‍රදේශ දෙක කීෆ් පාලනයෙන් වෙන්ව, ස්වාධීන ජනරජ දෙකක් ලෙස ප‍්‍රකාශයට පත් විය. උපාය මාර්ගික වැදගත් කමකින් යුත් ක්‍රිමියාවේ පවත්වන ලද ජනමත විචාරණයකින් එම කොටස රුසියානු සමූහාණ්ඩුවට එක් විය. වෙන් වූ ප‍්‍රදේශ දෙක නැවත අත්පත් කර ගැනීම සඳහා කීෆ් පාලනයේ හමුදා සටන් දියත් කළ ද රුසියානු සහාය ලත් බෙදුම්වාදීහු තම ස්වාධීනත්වය පවත්වා ගැනීමට සමත් වූහ. වසර අටක් තිස්සේ පැවති අවි ගැටුම් නිසා මෙම ප‍්‍රදේශ දෙකේ 14,000කට අධික පිරිසක් මිය ගියහ. මින්ස්ක් හි රුසියාව, ප‍්‍රංශය සහ යුක්‍රේනය අතර පැවති සාකච්ඡා වට කිපයකින් පසු ඇති කර ගත් සටන් විරාම ගිවිසුම අනුව යුක්‍රේන රජය යටතේ එම ස්වයංපාලිත ප‍්‍රදේශ දෙකක් වශයෙන් ඩොනෙට්ස් සහ ලූහාන්ස් පිළිගැනීමටත් රුසියානු බස කතා කරන ජන කොටසේ භාෂා අයිතිවාසිකම් පිළිගැනිමට එකඟතාවයක් ඇති කර ගැනිණ.

එම ගිවිසුම අනුව කිසියම් ආකාරයක සටන් විරාමයක් ඇති වුවද අනෙක් කරුණු කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත. අනෙක් අතට රුසියාව එම බෙදුම්වාදින්ට සහාය ලබා දුන් නමුත් ස්වාධීනත්වය ප‍්‍රකාශ කිරීම පිළිගත්තේ නැත. ඇත්තෙන්ම යුක්‍රේනයේ සාමය ඇති කිරීමට හොඳම පිවිසුම වූ එම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට ප‍්‍රධාන බාධකය වූයේ එක්සත් ජනපදය යි. එම සටන් විරාමය නේටෝ යුද හවුල ව්‍යාප්ත කිරීමේ ඇමරිකානු සැලැස්මට පටහැනි වීම සහ එක්සත් ජනපදයේ සහභාගිත්වයෙන් තොරව ඇති කර ගත් ගිවිසුමක් වීම නිසා එක්සත් ජනපදයට එය වැළැක්වීමේ අවශ්‍යතාවයක් තිබිණ. සටන් විරාමය වෙනුවට යුක්‍රේනයේ හමුදා ශක්තිය වැඩි කිරීමට පියවර ගත් අතර නේටෝ යුද හවුලට ඇතුළත් කර ගැනීමේ උත්සාහය වඩාත් තීව‍්‍ර විය.

නේටෝ යුද හවුලේ නැගෙනහිර ව්‍යාප්තය පැහැදිලිවම රුසියාව දුර්වල කිරීමේ සහ කොටු කර ගැනීමේ උත්සාහයක් බව වටහා ගත් රුසියානු ජනාධිපති පුටින් ඊට තදින්ම විරුද්ධ වූයේය. ඊට ඓතිහාසික හේතු ද තිබිණ. නැපෝලියන් සහ ලෝක යුද්ධ දෙකේදීම ආක්‍රමණික හමුදා රුසියාවට ඇතුළත් වූයේ යුක්‍රේනය හරහා ය. එය වැළැක්වීමට පියවර ගැනීම  ඕනෑම රුසියානු නායකයෙකුගේ වගකීමකි. එමනිසා ආරක්ෂාව පිළිබඳ රතු ඉරක් ගැන සාකච්ඡාව ඉදිරියට ගත් නමුත් එක්සත් ජනපදය ඇතුළත් බටහිර රටවල් ඒ ගැන තැකීමක් කෙළේ නැත. යුක්‍රේනයේ ප‍්‍රහාරක ශක්තිය වැඩි කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වූ අතර නේටෝ යුද හවුලට ඇතුළත් කර ගැනීමට සියල්ල සූදානම් කෙරිණ. පසුගිය මාස කීපය ඇතුළත ප‍්‍රංශ සහ ජර්මන් නායකයන් ගැටුම් වැළැක්වීමට රුසියාවට ගොස් ජනාධිපති පූටින් සාකච්ඡා කළ නමුත් ස්ථාවරයේ වෙනසක් කිරීමට කිසිම සූදානමක් නොතිබිණ.

ඊට රුසියානු නායකයාගේ ප්‍රතිචාරය වූයේ ස්වාධීනත්වය ප්‍රකාශ කළ ප්‍රදේශ දෙක පිළිගැනීමය. ඒ සඳහා රුසියානු ඩූමාවේ යෝජනාවක් ද සම්මත කර තිබිණ. එම පිළිගැනීමෙන් පසු දින රුසියානු හමුදා ඩොනේට්ස් සහ ලූහාන්ස් ප‍්‍රදේශවලටත් ඉන් පසුව යුක්‍රේනයටත් ඇතුළු විය. භූමි ප‍්‍රදේශ අත් කර ගැනීමේ අදහසක් තමන්ට නැති බවත් තම අරමුණ යුක්‍රේනයේ හමුදා ශක්තිය විනාශ කොට නාසිවාදින්ගෙන් රට මුදවා ගැනීම බවත් ජනාධිපති පූටින් ප‍්‍රකාශ කෙළේය.

රටක් ආක්‍රමණය කිරීම කිසිම ආකාරයකින් යුක්ති සහගත කළ නොහැකිය. එය ඇප්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව හෝ වෙනත් රටක් සම්බන්ධයෙන් ද සත්‍යයකි. නේටෝ අවි බලයෙන් යුගොස්ලාවියාව කැබලිවලට කැඩීම ද එවැනිම තත්වයකි. දෙවන ලෝක යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දී ඇති රුසියාව යුද්ධයේ ඵලවිපාක හොඳින් දක්කවා විය හැකිය. නායකයන් කෙසේ වුවද රුසියානු ජනතාව එය හොඳින් දන්නවා ඇත. එම නිසා යුද්ධය හෙළා දැකීම කොන්දේසි විරහිතව කළ යුතුය.

රුසියාවේ මොස්කව් නුවර පුෂ්කින්ස්කායා චතුරශ්‍රයේ පැවති විරෝධතාවක් අතරතුර මිනිසෙක්… ‘යුද්ධයක් එපා. පුටින් යන්න’ යනුවෙන් ලියැවුණු පුවරුවක් අතැතිව සිටියි.

නමුත් ලෝකයම සිය අණසක යටතට පත් කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාකරන බලවතෙකු සිටින විට යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කරන ආකාරයත් ලෝක සාමය ආරක්ෂා කර ගන්නා ආකාරයත් ලෝක දේශපාලන නායකත්වය තවමත් ඉගෙන නොගත් පාඩමකි. හැම රටක්ම උත්සාහ ගන්නේ හමුදා බලයෙන් තම ජනතාවත් අසල්වැසි රටවලුත් පාලනය කිරීමට ය. මෙය අද මහත් බියකරු අත්දැකීමක් වන්නේ ප්‍රධාන රටවල් සතුව සමස්ත ලෝකයම විනාශ කිරීමට හැකි අවි ආයුදධ තිබීම ය. එමනිසා යුද්ධයෙන් කිසිවෙකු ජය නොගනු ඇත. තිත්ත ඇත්ත එයයි.

සැබෑ අභියෝගය වන්නේ යුද්ධයට විරුද්ධ වන අතර යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කරන පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමය. සාමය උදා කළ හැක්කේ එවැනි තත්වයක් තුළ පමණි.

Leave a Reply