You are currently viewing යුක්‍රේනයේ යුද ගිනි ඇවිලීමෙන් වාසිය කාට ද?

යුක්‍රේනයේ යුද ගිනි ඇවිලීමෙන් වාසිය කාට ද?

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන්නේ යැයි එක්සත් ජනපදය පසුගිය නොවැම්බර් මාසයේ සිටම නිතර නිතර අවධාරණය කෙළේය. එවැනි තත්ත්වයක දී ආක්‍රමණික හමුදාවට මුහුණ දීම සඳහා යුක්‍රේනයට අවශ්‍ය පුහුණුව සහ අවි ආයුධ සැපයීම ද නොකඩවා සිදු විය. එක්සත් ජනපද කොංග්‍රසය යුක්‍රේනයට හමුදා ආධාර සඳහා ඩොලර් දශ ලක්ෂ 200ක මුදලක් අනුමත කළ අතර, ඒ යටතේ පසුගිය සතියේ ටොන් 90ක බර අවි යුක්‍රේනයට ලබා දුන් බවද වාර්තා විය.

ඒ අතර ඇමරිකානු හමුදාවේ කර්නල් අලෙක්සැන්ඩර් වෙන්ඩ්මන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ ඇතිවන විශාලතම යුද්ධයක් ඇතිවීමේ සූදානමක් පවතින බව සිහි පත් කිරීම වැදගත්යැයි කීවේය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද, ඇමරිකානු ක්‍රියා මාර්ගය අනුමත කරමින් යුරෝපයේ උපාය මාර්ගික ස්වායත්ත භාවය ගැන කතා කිරීම පසෙකට දමා රුසියානු ආක්‍රමණයට මුහුණ දීමට සූදානම් විය යුතු යැයි කීවේ ය. ඒ සමගම රුසියානු ආක්‍රමණයට මුහුණ දීම සඳහා යුක්‍රේනයට හමුදා ආධාර ලබා දීමට සූදානම් බව ද අවධාරණය කෙළේය.

පසුගිය ඉරිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කළ ආකාරයට එක්සත් ජනපදය දැනටමත් යුක්‍රේනයට යාබද රුමේනියාව සහ බෝල්කන් රාජ්‍යයන්ට 1000–5000ත් අතර භට සංඛ්‍යාවක් යවා ඇත. නේටෝ යුද සංවිධානයට අයත් අනෙකුත් රටවල් ද යුක්‍රේනයට අවි ආයුධ සහ හමුදා භටයන් යැවීමට සූදානම් ය. පැහැදිලිවම එක්සත් ජනපදය සහ නේටෝ යුද සංවිධානයට අයත් රටවල් රුසියාව සමග අවි ගැටුමකට සූදානම් බව පෙනේ. එවැන්නක් න්‍යෂ්ටික යුද්ධයකින් කෙළවර වන බව ද නිසැක ය. ඒ මෙම පෙරමුණු දෙකට ම අයත් රටවල් සතුව ප්‍රහාරයකට සූදානම් න්‍යෂ්ටික අවි පවතින නිසා ය. මෙම රටවල් තමන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල වුවහොත්, ප්‍රතිප්‍රහාර එල්ල කරනු විනා පළමුවෙන්ම න්‍යෂ්ටික අවි යොදා නොගන්නා බවට සහතිකයක් දී ඇති නමුත්, යුද බිමේ තත්ත්වය උඩ ඒවා නොසලකා හැරීම පුදුමයක් නොවේ.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිම සූදානමක් නැති බව රුසියාව නිතර අවධාරණය කරන නමුත් බටහිර රටවල් සහ එම ජනමාධ්‍ය ඒ ගැන විශ්වාසයක් රඳවන්නේ නැත. රුසියාවේ ඉල්ලීම වන්නේ යුක්‍රේනය නේටෝ යුද හවුලට එකතු කර නොගත යුතුය යන්නය. යුක්‍රේනයේ නේටෝ හමුදා රැඳවීම, ආක්‍රමණයකට දොර විවෘත කිරීමක් සේ රුසියාව සලකයි. යුක්‍රේනයේ ස්ථාන ගත කරන මිසයිලයකට විනාඩි කීපයකින් මොස්කව් නගරයට ප්‍රහාරයක් එල්ල කළ හැකිය. පසුගිය ලෝක යුද්ධ දෙකේ දීම රුසියාවට ආක්‍රමණික හමුදා ඇතුළු වූයේ මෙම දොරකඩ හරහා ය.

යුක්‍රේනයට නේටෝ යුද හවුලට එකතු කර ගැනීමේ උත්සාහය රුසියාවේ සැකයට හේතු වන්නේ 1990 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ දී රුසියානු ෆෙඩරේෂණය සහ එක්සත් ජනපදය අතර ඇති කර ගත් නිල නොවන එකඟතාවය වූ කලින් වෝර්සෝ යුද හවුලට අයත් රටවල් නේටෝ යුද හවුලට එකතු කර නො ගැනීමේ එකඟතාවය කඩ කිරීම ය. එකඟතාවය නොලකා වොර්සෝ යුද හවුලට අයත් රටවලින් යුක්‍රේනය, ජෝර්ජියාව සහ මොල්ඩාව වැනි රටවල් කීපයක් හැර අන් සියල්ලම නේටෝ යුද හවුලට දැනටමත් එකතු කර ගෙන ඇත. යුක්‍රේනය නේටෝ යුද හවුලට විශේෂයෙන් වැදගත් වන්නේ එහි උපාය මාර්ගික පිහිටීම නිසා ය.

2022feb02[1]_putin_yanukovych
යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් [Viktor Yanukovych] සහ රුසියානු ජනාධිපති විලැඩිමීර් පූටීන් [Vladimir Putin]

ඇත්තෙන්ම යුක්‍රේනය නේටෝ යුද හවුලට එකතු කර ගැනීමේ උත්සාහය එය සෝවියට් සංගමයෙන් ඉවත්ව ස්වාධීන රාජ්‍යයක් වූ දින සිට පැවතිය ද තත්ත්වය උග‍්‍ර වූයේ 2013 දී ජනාධිපති වික්ටර් යනුකොවිච් පැහැදිලිවම යුරෝපා සංගමයට සහ නේටෝ යුද හවුලට එකතුවීම ප‍්‍රතික්ෂේප කර රුසියාව සමග වඩාත් සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට පියවර ගැනීමත් සමග ය. යුක්‍රේනයයේ බටහිර ජන කොටස් ජර්මනියේ සහ එක්සත් ජනපදයේ ආධාර අනුබල ඇතිව යනුකොවිච්ගේ පාලනයට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර දියත් කළහ. මයිඩාන් නමින් හැඳින් වූ මෙම ව්‍යාපාරය පසුව අගනුවර වූ කීෆ් හි රජයේ ගොඩනැගිලිවලට පහර දීම සහ රජය සම්පූර්ණයෙන්ම අකර්මණය කිරීම දක්වා පුළුල් විය. එහි කලින් වොර්සෝ යුද හවුලට අයත් රටවල තිබු රුසියානු ෆෙඩරේෂණයට හිතවත් ආණ්ඩු පෙරලීමේදී යොදා ගත් තවත් ‘වර්ණ විප්ලවයක’ ලක්ෂණ දක්නට ලැබිණ. එම විරෝධතා ව්‍යාපාරයට එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර සහ දේශපාලන සහාය ලබා දුන් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පිළිගත්තේය. කෙසේ වුවත් මෙම උද්ඝෝෂණය තුළ රුසියන් විරෝධී ස්ථාවරය පැහැදිලිවම දක්නට තිබුණ නිසා අන්තවාදීන් බලය අත් කර ගතහොත් රුසියානු බස කතා කරන බහුතරයක් වෙසෙන ප‍්‍රදේශ යුක්‍රේන යෙන් වෙන්වීමේ හැකියාවක් පවතින බවට රුසියාව අනතුරු හඟවා තිබිණ. ප‍්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙත්ම ජනාධිපති යනුකොවිච් රුසියාවට පලා ගිය අතර කීෆ් පාලනය බටහිරට හිතවත් කණ්ඩායම අතට පත් විය. එහි ප‍්‍රතිඵලය වූයේ රුසියානු බහුතරයක් සිටින නැගෙනහිර ඩොන්බාස් සහ උපාය මාර්ගික වැදගත්කමත් ඇති ක්‍රිමියාව, කීෆ් පාලනයට එරෙහිව නැගි සිටීමය. ජනමත විචාරණයක් අනුව ක්‍රිමියාව රුසියාවට එකතු වූ අතර ඩොන්බාස් ප‍්‍රදේශය ස්වාධීනත්වය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග එහි අවි ගැටුම් ඇති විය. එම ස්වාධීනත්වය රුසියාව පිළිනොගත් නමුත් කැරලි කරුවන්ට සියලු සහාය ලබා දුන්නේය.

මෙම ගැටුම් විසඳීම සඳහා ගත් සාධනීය උත්සාහයක් වූයේ 2015 පෙබරවාරි මස ප‍්‍රංශය, ජර්මනිය, රුසියාව සහ යුක්‍රේනය අතර ඇති කර ගත් මින්ස්ක් 2 ගිවිසුමයි. මින්ස්ක් 1 ගිවිසුමක් කලින් අත්සන් කර තිබුණ ද එය අසාර්ථක විය. මින්ස්ක් 2 ගිවිසුම අනුව රුසියානු බස කතා කරන බහුතරයක් සිටින ඩොන්බාස් ප්‍රදේශයට විමධ්‍යගත පාලනයක් ලබා දීමත් රුසියානු බස කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වැනි කරුණු ගණනාවක් අඩංගු විය. එහෙත් එය ද ක්‍රියාත්මක වූයේ නැත. සමහර විචාරකයන් දක්වන ආකාරයට ඊට මූලික හේතුව වූයේ ඇමරිකානු විරෝධයයි. දැනට සිටින ජනාධිපති සෙලන්ස්කි ද ඡන්ද සමයේ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට තමා සූදානම් යැයි කී නමුත් බලයට පැමිණි පසු යුද සූදානම උත්සන්න කෙළේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්

මෙම ගැටලුව වඩාත් උග්‍ර වූයේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට ඇමරිකානු බුද්ධි සේවාදින වකවානු සහිත ව ප්‍රකාශ කිරීමත් සමග ය. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ද කලින් සිටි අය මෙන්ම දැඩි ස්ථාවරයක සිටී. රුසියාවේ ඉල්ලීම නොසලකා යුක්‍රේනය නේටෝ යුද හවුලට කර ගැනීමටත් ආක්‍රමණයක් සිදු වුවහොත් රුසියාවට එරෙහිව බරපතළ ආකාරයේ සම්බාධක පනවන බවටත් අනතුරු හැඟවූයේය. එහි පියවරක් වශයෙන් ජර්මනියට ස්වභාවික ගෑස් අපනයනය සඳහා රුසියාව ඉදි කර ඇති නෝර්ඩ් ස්ට්‍රීම් 2 නළ මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටියේය.

නේටෝ යුද හවුලේ යුද සූදානමට පිළිතුරු වශයෙන් රුසියාව ද සිය දේශ සීමාව අසළ මහා පරිමාණයේ හමුදා අභ්‍යාස ගණනාවක් සිදු කෙළේය. යුක්‍රේන රුසියානු දේශ සීමාවේ 100,000කට අධික හමුදා භට පිරිස් ස්ථාන ගත කර ඇතැයි බටහිර ජනමාධ්‍යවල පළ විය. සාමකාමී විසඳුමක් සඳහා රුසියාව සහ නේටෝ යුද හවුලත්, ප්‍රංශය සහ ජර්මනිය අතරත්, එක්සත් ජනපදය සමගත් පැවති සාකච්ඡා ගණනාවකින් ම සාර්ථක විසඳුමක් අත් වූයේ නැත. රුසියාව තම රතු රේඛාව ලෙස දැක්වූ ඉල්ලීම් එක්සත් ජනපදය කිසිසේත් පිළිනොගන්නා බව අවධාරණය කෙරිණ. රුසියාව ද යුක්‍රේනයේ නේටෝ හමුදා රැඳවීමටත් එහි වෙනත් රටවල හමුදා කඳවුරු ඉදි කිරීමටත් ඉඩ නොදෙන්නේය යන ස්ථාවරයෙන් වෙනස්වීමට සූදානම් නැත. එකම විසඳුම වන්නේ යුද්ධයක් පමණි.

එහෙත් මහා පරිමාණයේ යුද්ධයකින් වඩාත් හානි සිදු වන්නේ තමන්ට බව දන්නා යුක්‍රේනයේ  පාලකයින් සාකච්ඡා කිරීම සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සූදානම් නැත. ශීතය අවසන් වෙත්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි එක්සත් ජනපදය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක් වූ යුක්‍රේන ජනාධිපති සෙලන්ස්කි තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි කීවේය ජර්මන් බුද්ධි අංශයේ ප‍්‍රධානි බ‍්‍රෘනෝ කෝල් රුසියාව තවමත් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් නැතැයි කීවේය. මීට පෙර ජර්මන් නාවික හමුදාවේ ප්‍රධානියා රුසියාවේ ආක්‍රමණ  සූදානමක් නැතැයි ප‍්‍රකාශ කළ නිසා ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

එහෙත් ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යුද අවදානම අඩු කිරීමට සූදානම් නැත. ඇමරිකානු ජනාධිපති බයිඩන් ගේ ජනප‍්‍රියතාවය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර කොවිඩ් තහංචි නොතකා සාදයක් පැවැත්වීමෙන් බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන්ගේ දේශපාලන අනාගතය පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක ය. ඔවුන්ගේ දේශපාලන පැවැත්මට යුද්ධයක් අවශ්‍ය ය. ඉරාක ආක්‍රමණය සිදු වූයේත් මෙවැනි පසුබිමක් තුළ බව සිහිපත් කළ හැකිය. ඉරාකයේ යුද්ධයට, සදාම් හුසේන් සතුව සමූළ ඝාතන අවි ඇතැයි යන සාවද්‍ය චෝදනා යොදා ගත් ආකාරයට රුසියානු ආක්‍රමණයක භීතිය ඔවුන්ගේ දේශපාලන පැවැත්මට ප‍්‍රයෝජනවත් ය. රුසියාව ආර්ථික සහ දේශපාලන වශයෙන් දුර්වල කිරීම හෝ විනාශ කිරීම ඇෆ්ගනිස්ථානයෙන් පසු බැසීමෙන් අත් වූ අපකීර්තිය මකා දැමීමට ප‍්‍රමාණවත්යැයි හමුදා යාන්ත‍්‍රණය සිතනු ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ යුද්ධයක් නැතිව පසුබැසීම ජෝ බයිඩන්ගේ දේශපාලන සිය දිවි නසා ගැනීමක් මෙන්ම යුරෝපීය රටවල ඇති ඇමරිකානු බලපෑම වඩාත් දුර්වල වී එය වඩාත් ස්වාධීන ගමන් මගකට යොමු කිරීමකි. එමෙන්ම යුරෝපයේ රුසියානු බලපෑම තහවුරු වීමකි. කෙසේ වුවත් යුක්‍රේනයේ  මහා පරිමාණ යුද්ධයක් හට ගැනීම යුරෝපයට පමණක් නොව සමස්ත ලෝකයටම බලපාන මහත් ව්‍යසනයක් බව නිසැක ය.            

Leave a Reply