‘‘වගා කටයුතු පිළිබඳ පනත් තුනම ඉවත් කර ගැනිමට අපි තීරණය කළ බව ජනතාවට දැනුම් දෙනු කැමැත්තෙමි. ඒ සමගම විරෝධතාවයන්හි යෙදී සිටින සියලුම ගොවීන්ට ආපසු සිය නිවෙස්වලට, තම ගොවි බිම්වලට සහ දරු පවුල් වෙත ආපසු යන මෙන් ආයාචනය කරමි’’
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ සිකුරාදා (නොවැම්බර් 19) රූපවාහිනියෙන් ජාතිය අමතා ප්‍රකාශ කෙළේ විරෝධතා දැක් වූ ගොවීන් මෙන්ම බොහෝ නිරීක්ෂකයන් මවිතයට පත් කරවමිනි. කාෂ්මීරය ඉන්දියානු සමූහාණ්ඩුවට ඇතුළත් කර ගැනීම සහ පුරවැසි භාවය සීමා කිරීම පිළිබඳ පනත්වලට එරෙහිව වූ විරුද්ධ පක්ෂයේ මෙන්ම සිවිල් ජන සමාජයේ විරෝධතා දූවිලි පොදක් තරම් හෝ සැලකිල්ලට නොගෙන ප්‍රතික්ෂේප කළ අගමැති මෝදි මෙවැනි පියවරක් එක වර ගැනීම සැබැවින් ම පුදුම සහගත ය.
ෂීක් ආගමේ නිර්මාතෘ ගුරු නනක් තුමාගේ උපන් දින සංවත්සරය යෙදුන දින උදෑසන මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතු කීපයක් විය හැකි බව නිරීක්ෂකයෝ සඳහන් කරති. ඉන් එකක් වන්නේ උද්ඝෝෂණයේ යෙදුන ගොවීන් බහුතරයක් සිටින පන්ජාබයේ ෂික් ආගමිකයන් වැඩිම ජන කොටස වීම නිසා පනත් ඉවත් කිරීම හින්දු අන්තවාදයට නැඹුරු වී සිටින අගමැති මෝදි ඔවුන්ටත්, ඔවුන්ගේ ආගමික නායකයාටත් ගෞරව කරන බව පෙන්වා දීමට අවශ්‍ය වූවා විය හැකිය. දෙවැනි ව ලබන වසරේ පංජාබය, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත රාජ්‍ය සඳහා ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිත නිසා ගොවි ඉල්ලීම් නොසලකා හැරීම පාලක භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයට අහිත කර සේ බලපෑ හැකි බවට අනතුරු හඟවා තිබිණ. අනිත් වැදගත් කාරණය වන්නේ ගොවි අරගලයට ආගම් භේදයක් නොසලකා මුස්ලිම් ආගමිකයන් ඇතුළු සියලු ජන කොටස් ඒකරාශි වීම ය.
දැනට උත්තර් ප්‍රදේශ් හි පාලන බලය භාරතීය ජනතා පක්ෂය සතුව ඇති නමුත් වගා කටයුතු ප්‍රධාන ජීවනෝපාය වූ එහි හින්දු ආගමික සහ මුස්ලිම් ආගමික ගොවීන් එකමුතුව විරෝධතාවලට එක්වීම නිසැකයෙන්ම භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයට බලපානු ඇත. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයේ ලකීම්පූර් හි විරෝධතාවයේ යෙදී සිටි ගොවීන් පිරිසක් යට කර ගෙන මධ්‍යම රජයේ ඇමතිවරයෙකුගේ පුතෙකු වාහනයක් ධාවය කිරීම නිසා ජනමාධ්‍යවේදියෙකු ඇතුළත් අට දෙනකු මිය යෑම සමස්ත ඉන්දියාවම උණුසුම් කළ පුවතක් විය. නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල ආයතනවලට බල කිරීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වීමට සිදු විය.
ඉන්දියාවේ වැඩිම ජන සංඛ්‍යාවකින් යුත් උත්තර් ප්‍රදේශයෙන් ලොක් සභාවට මංත්‍රීන් 80ක් තෝරා පත් කෙරෙන අතර එය ප්‍රාන්තයකින් යැවෙන විශාලම මංත්‍රීන් සංඛ්‍යාවයි. එමනිසා උත්තර් ප්‍රදේශ් ඉන්දියානු මැතිවරණ සිතියමේ ඉතාමත් වැදගත් කඩඉම් සලකුණකි. පංජාබය විශාලත්වයෙන් කුඩා වුවද එම ප්‍රාන්තය දිනා ගැනීම ලෝක් සභාවේ බහුතරයක් දිනා ගැනීමට වැදගත් ය.
මෙම ගණන් බැලීම් වැදගත් වුවද තීරණාත්මක සාධකය වූයේ ගොවීන් නොසැලී තම අරගලයේ යෙදී සිටීම ය. ග්රීෂ්මයේ ගිනියම් අව්වෙන් ද ශීතයේ කැටි ගැසෙන සීතලෙන් ද කොවිඩ් වසංගත රැල්ලෙන්ද පීඩා විඳි ගොවියෝ කුමන බාධක මැද වුවද තම අරගලය අත්නොහරින බව අධිෂ්ඨානශීලීව ප්‍රදර්ශනය කළහ. මෙම විරෝධතාවයට ගොවි සංවිධාන 40ක් පමණ එකතු වී ගොඩ නගා ගත් සම්යුක්ත කිසාන් මොර්චා සංවිධානයේ ප්‍රධානි රකේෂ් ටිකායිට් පවසන ආකාරයට විරෝධතාවයට එක් වූ ගොවීහු 700කට අධික ප්‍රමාණයක් විවිධ රෝග තත්වයන් නිසා මිය ගියහ.
ගොවි විරෝධතා ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට භාරතීය ජනතා පක්ෂයේ සෑම මට්ටමකම ක්‍රියාකාරීහු දැඩි වෙහෙසක් ගත්හ. ලකිම්පූර්හි විරෝධතා දැක් වූ ගොවීන් පිරිසක් මැදට වාහනයක් ධාවනය කෙළේ ද භාරතීය ජනතා පක්ෂයේ ක්රියාරිකයෙකි. මීට අමතරව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ද මහා මාර්ග අවහිර කිරීම නීති විරෝධීයැයි ප්‍රකාශ කෙළේය. එහෙත් ඒ කිසිවකින් විරෝධතාකරුවන් පසුබට වූයේ නැත. එම තහංචි මැද පසුගිය පෙබරවාරි මස නවදිල්ලියේ ලෝක් සභාව අසළ රතු කොටුවට කඩා වැදුනු ගොවීහු දින කීපයක් එය අත්පත් කර ගත්හ.
දරිද්‍රතා මට්ටමේ මුවවිට සිටින ගොවීන් තම ජීවනෝපාය තහවුරු කර ගැනීමට දියත් කළ මෙම අරගලය ජාතිද්‍රෝහි, ත්‍රස්තවාදි ක්‍රියාවක්යැයි ද පාකිස්ථානයේ සහ චීනයේ උසි ගැන්වීම් අනුව සිදු වන්නේයැයි ද ලේබල් ගසා අඩපන කිරීමට ගත් උත්සාහය ද සාර්ථක වූයේ නැත. මීට දශකයකට පමණ පෙර දූෂණ විරෝධි අරගලයක් රට පුරා දියත් කළ අනා හසාරේ වැනි කැපී පෙනෙන නායකයෙකු ද මෙම ව්‍යාපාරයට සිටියේ නැත. එය ගොවීන්ගේම නායකත්වයෙන් ගොවීන් සඳහාම දියත් කළ සාර්ථක අරගලයකි.
ගොවීන්ට අනන්ත බාධක මැද තම අරගලය ජයග්‍රහණය කරා ගෙන යෑමට ශක්තිය ලැබුණේ ඉවත් කර ගැනීමට පොරොන්දු වූ ගොවි පනත් තුන ගොවීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට නොව මහා පරිමාණ ගොවි ව්‍යාපාරිකයන් සහ ගොවි සමාගමවල වුවමනාව මත ඉදිරිපත් කර ඇතැයි ගොවීන් තුළ වූ ප්‍රබල හැඟීමයි. මිල සහතික කිරීමේ (බලගැන්වීමේ සහ ආරක්ෂා කිරීමේ) ගොවි පනත, ගොවි නිෂ්පාදන වෙළඳාම සහ පරිභෝජනය පිළිබඳ ගොවි සේවා පනත සහ අත්‍යවශ්‍ය වෙළඳ භාණ්ඩ පනත් වැනි සිත් ගන්නා නම්වලින් සරසන ලද මෙම පනත් තුනෙන් මූලික වශයෙන්ම අරමුණු කරන ලද්දේ සම්ප්‍රදායික ගොවිතැන නවීන වෙළඳ පොළ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීම ය. අගමැති මෝදිගේ පාලනය යටතේ ඉන්දියාවේ කර්මාන්ත සහ මූල්‍ය සේවා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක්ම ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට විවෘත වූ අතර කෘෂිකර්මාන්තය ද මහා පරිමාණ ආයෝජකයන්ට ඉඩ පහසුකම් සලසා දිය හැකි ක්ෂේත්රයක් බවට හඳුනා ගෙන තිබිණ.
මෙම පනත්වලින් මූලික වශයෙන්ම අරමුණු වූයේ මෙතෙක් ගොවි නිෂ්පාදන සඳහා රජයෙන් නියම කර තිබු සහතික මිල ක්‍රමය අහෝසි කර වෙළඳ පොළ ඉල්ලූම සැපයුම මත මිල තීරණය වීමට ඉඩ හැරීම ය. ලිබරල් ආර්ථික දැක්ම අනුව රජය වෙළඳ පොළ ක්‍රියාකාරිත්වයට මැදිහත් වීම සම්පත් වෙළඳ පොළ අවශ්‍යතා මත බෙදී යෑමට හානියකි. රජයට අනවශය බරකි.
කලින් තිබු සහතික මිල ක්‍රමය අනුව ගොවි නිෂ්පාදනවල මිල, සහතික කළ මිලට වඩා පහත වැටෙන්නේනම් රජය එම නිෂ්පාදන මිලදී ගනියි. එමනිසා ගොවීන්ට ආර්ථික වශයෙන් ලාභදායී මිලකට තම අස්වැනු විකුණා ගැනීම ගැටලුවක් වූයේ නැත. එහෙත් පසුගිය වසරේ සැප්තැම්බර් මස සම්මත කර ගත් පනත් අනුව එම ආරක්ෂාව ගොවීන්ට ලැබෙන්නේ නැත. සහතික මිල ඉවත් කිරීම නිසා ගොවියාට වැඩි මිලකට තම අස්වැනු විකුණා ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසා ඇත්තෙන්ම ඉන් ගොවීන්ට වාසියක් අත්වෙන බවට රජය තර්ක කළත් ගොවීන් එය පිළිගත්තේ නැත. සිය විරෝධය නොතකා මෝදි රජය පනත ක්‍රියාත්මක කිරීමේ දැඩි ස්ථාවරයේ සිටි නිසා ගොවීහු නව දිල්ලියේ ලෝක් සභා ගොඩනැගිල්ල වටලා ගැනීමට සූදානම් වූහ. ඊට අවස්ථාවක් නොවු නිසා ගොවීන්ගේ ඊළඟ පියවර වූයේ අගනුවරට පිවිසෙන මාර්ග අවහිර කිරීම ය.
බලය යොදා ගොවී අරගලය මර්දනය කළ නොහැකි බව දැනගත් මෝදි රජය පනත ක්‍රියාත්මක කිරීම මාස 18කට අත්හිටුවීමට පොරොන්දු වී ගොවීන්ගෙන් සිය නිවෙස්වලට ආපසු යන මෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් ගොවීන් සිය අරගලය අත්හැරියේ නැත. ඔවුහු කඳවුරු බැඳ ගෙන උද්ඝෝෂණය කළහ. අරගලය දිගටම පැවැත්වෙන විට ඊට එක්වන ගොවීන් ගේ සංඛ්‍යාව ද දිනෙන් දින වැඩිවන බවක් දක්නට ලැබිණ. ලකිම්පූර් වැනි ස්ථානවල බලහත්කාරය යොදා ගොවීන් දුර්වල කිරීමට ගත් උත්සාහයන් ද ව්‍යාර්ථ වූ නිසා අවසානයේ දී අගමැති මෝදිට තම දේශපාලන ජීවිතයේ පළමු වරට නොසිතූ ආකාරයට පසුබැසීමට සිදු විය.
පනත් ඉවත් කර ගන්නා බව පැවසීමෙන් අගමැති මෝදිට ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදනයට සියයට 15ක දායකත්වයක් ලබා දෙන ශ්‍රම බලකායෙන් සියයට60ක් නිරත වන කෘෂිකර්මයේ නියැලි ගොවීන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වේද යන්න සැක සහිත ය. එහි මුල්ම සලකුණ වන්නේ අගමැති මෝදිගේ ප්‍රකාශය අනුව එම පනත් තුන ඉවත් කර ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වන තෙක් තමන් අරගලය අත් නොහරින බවට ගොවීන් සපථ තිරීම ය. පවතින තත්වය අනුව බොහෝ විට දැනට පැවැත්වෙන ලෝක් සභාවේ ශීත සමයේ සැසිවාරය තුළ එම යෝජනාව සම්මත කරනු ඇත.
අගමැති මෝදිගේ පියවර ගැන හොඳම ප්‍රතිචාරය දැක් වූයේ ලකීම්පූර් සිද්ධියෙන් මිය ගිය ගුරු වින්දර් ගේ සොහොයුරු ගුරු සෙවක් සිංග් ය. ඔහු ඒ ඇෆ් පී පුවත් සේවයට මෙසේ පැවසුවේය. ‘‘අද අගමැති තේරුම් ගෙන තියෙනවා තමා වැරැද්දක් කළ බව. එහෙත් ඒ බව තේරුම් ගැනීමට ඔහුට වසරක්ම ගත වුනා.’’
ඉන්දියාවේ ගොවීන්ට මුහුණ දීමට සිදු වූ තත්වය නව ලිබරල් ආර්ථික ක්‍රමය බලහත්කාරයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ ගන්නා තුන්වැනි ලෝකයේ බොහෝ රටවල ගොවීන්ට සහ සෙසු පීඩිත ජන කොටස්වලට පොදු වූවකි. පසුගිය ශතකයේ හැට ගණන්වල සිට කෘෂි කේෂේත්රයේ ක්‍රියාත්මක වූ විවිධ ප්‍රතිසංස්කරණ සහ සුභසාධන වැඩ පිළිවෙළ නිසා වරින් වර සාගතවලට මුහුණ දුන් ඉන්දියාව ධාන්‍ය අතිරික්තයක් සහිත රටක් බවට පත් විය. සම්පත් බෙදි යෑමේ පවතින අකාර්යක්ෂම මෙන්ම අසාධාරණ ක්‍රමය නිසා සාගින්නෙන් පෙළෙන අයගේ අඩුවක් නොමැති වුවද අනුගමනය කළ සුබසාධන වැඩපිළිවෙළේ සාර්ථකත්වය පිළිගත යුතුය. එය නිවැරදි කළ යුතු වන්නේ ගොවීන්ගේ ගැටලු හඳුනා ගෙන ඔවුන් සමග සාකච්ඡා කිරීමෙනි. උද්ඝෝෂණයේ දී ගොවීන් දැක් වූ අදහසක් වූයේ මෙම නීති සම්පාදනයේ දී තමන් සමග හෝ ගොවි සංවිධාන සමග සාකච්ඡා නොකිරීම ය. ඒ වෙනුවට සිදු වූයේ සුපුරුදු ආකාරයට ඉහළ සිට පහළට නියෝග නිකුත් කිරීමේ සහ අණපනත් පැනවීමේ ක්‍රමය යි. එම ක්‍රමය හැම විටම සාර්ථක නොවන බව ඉන්දියාවේ ගොවීහු සනාථ කළහ.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024