You are currently viewing දෙගොඩ තලා යන ඉලක්කම්වලින් වැසෙන ආර්ථික සංවර්ධනයේ යථාර්ථය..

දෙගොඩ තලා යන ඉලක්කම්වලින් වැසෙන ආර්ථික සංවර්ධනයේ යථාර්ථය..

ජාතික ජන බලවේග රජයේ තුන් වැනි අයවැය පිළිබදව පාර්ලිමේන්තුවේ පැවති විවාදය මෙතෙක් කුමන රජයක් හෝ ඉදිරිපත් කළ අයවැය ගැන පැවති කිසිම විවාදයකට වඩා වැඩි වෙනසක් පෙන්නුම් කෙළේ නැත. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් සහ බලය ලබා ගැනීමේ තදබල අපේත්ෂාවෙන් පසුවන ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ කුමක් අදහස් කළ ද ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙන් සිටින ජනතාව නැවත වරක් රවටනු ලැබුවේ ද යන සැකය බලවත්ව ඉස්මතුව ඇති බව කිව හැකිය. ඒ පැය පහතට අධික කාලයක් එක හුස්මට අයවැය කතාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු ඉතිහාස පොතට එක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ කතිකත්වයට නිදසුනක්වීම ක්‍රමයේ වෙනසක් සනිටුහන් නොකරන නිසාය. ඇත්තෙන්ම හාල්මැස්සන් සහ උම්බලකඩ ආනයනයට පනවා තිබු තීරුබදු ඉවත් කිරීම ගැනත් සඳහන් කිරීමට සිදු වූ තත්වයක් යටතේ කතාව පැය පහකින් සීමාවීම ඇතැම්විට පුදුමයකි.

කෙසේ වුවත් අපට වැදගත් වන්නේ පසුගිය අයවැය ලේඛන දෙකක් ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගත් අත්දැකීම් සහ පසුගිය දශක අටකට ආසන්න කාලයක් තුළ රටේ ආර්ථිකය මෙහෙයවීමට ගත් අසාර්ථක උත්සාහයන් කිසිවක් නිවැරදි කිරීමට ජාතික ජනබල වේගය මෙවරද කණගාටුදායක ලෙස අපොහොසත්වීමය. මෙවර අයවැයෙන් ද පසුගිය අයවැයෙන් මෙන් ආයෝජනය සඳහා මෙතෙක් වෙන්කළ විශාලම මුදල් ප්‍රමාණය වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා උස් හඩින් කිවේය. පියවරෙන් පියවර පසුපසට යන ජන ජීවිතය නගා සිටුවා පොහොසතුන් කිරීම පසෙක තබා තුන්වේල කුස ගිනි නිවා ගැනීමට ජනතාව ශක්තිමත් කිරීමට අලුතින් ආයෝජනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සදහා ආයෝජනය කළ යුත්තේ කුමන ක්ෂේත්‍රවලද යන්න ගැන මෙහිදී සාකච්ඡා කිරීමට අදහස් නොකරමු. සරල කාරණය ඵලදායි ආයෝජනයක් නැතිව ජනතා මුහුණ දී ඇති ප්‍රශ්න කිසිත් ජයගත නොහැකිය යන්නයි.

නමුත් අයවැයෙන් ආයෝජනය සදහා වෙන් කරන මුදල් නියමිත කාලය තුළ වැය කිරීමට හෝ රාජ්‍ය යාන්ත්‍රණය අපොහොසත්ව ඇති නිසා ආයෝජනය සඳහා වෙන් කරන මුදල් වැඩි කිරීමෙන් ඵලක් නැත. පසුගිය වසරේ ආයෝජනය සදහා වෙන් කර තිබු මුදල්වලින් වැය කර ඇත්තේ සියයට 20ක් වැනි ප්‍රමාණයක් බව ප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් පවසයි. ආණ්ඩුවේ වාර්තා අනුව එය සියයට පනහට ආසන්නය. මෙම සංඛ්‍යා දෙකින් නිවැරදි කුමක් ද යන්න ගැන තර්ක කිරීම පසෙක තබා වෙන් කළ මුදලින් හරි අඩක්ම වැය කිරීමට අපොහොසත්ව ඇති බව පැහැදිලිය. අයවැය සකස් කිරීමට මාස ගණනාවකට පෙර ජනාධිපති දිසානායක රට වටා ගොස් දෙපාර්තමේන්තුවල සහ අනෙකුත් ආයතනවල ප්‍රධානීන් කැඳවා ආයෝජනය සදහා වෙන් කර ඇති මුදල් වැය කිරීමට නිසි වැඩ පිළිවෙළ පවතීදැයි විමසා වසර අවසන්වීමට පෙර නියමිත වැඩ කොටස් විම කරන මෙන් ඉල්ලා සිටියේය. එහෙත් සැබෑ කාර්ය සාධනය අනුව එම සාකච්ඡා හුදු රූපවාහිනි සන්දර්ශන බවට පත්ව ඇති බව පෙනේ. පසුගිය වසර දෙකේ අත්දැකීම කිසියම් දර්ශකයක් වන්නේ නම් මෙවර අයවැයෙන් ආයෝජනය සඳහා වෙන් කර ඇති මුදලින් අඩුම වශයෙන්  හරි අඩක් නිරුපද්‍රිතව භාණ්ඩාගාරයට ආපසු ලැබෙන බවට සැකයක් නැත.

වැදගත්ම ප්‍රශ්නය වන්නේ පැය පහක් තිස්සේ අයවැය ඉදිරිපත් කරමින් චතුර කතාවක් කළ ජනාධිපති දිසානායක අයවැයෙන් වෙන් කරන මුදල් තත් කාර්යන් සදහා නිසි පරිදි වැය නොකිරීම සහ එය නිවැරදි කිරීමට ගෙන ඇති සහ ගැනීමට නියමිත පියවර ගැන කිසිත් සදහක් නොකෙළේ ඇයි ද යන්නයි.

ආර්ථික සැලසුම්කරුවන්ට සහ දේශපාලකයන්ට උදම් ඇනීමට හැකි වන්නේ ලොව සුඛෝපභෝගී යාන වාහන සහ හෙලිකොප්ටර් මිලදී ගත හැකි මහා පරිමාණ වී මෝල් හිමියන් ගැන පමණි. වී වගාව කෙසේ වෙතත් වී සහල් කිරීමට නවීනතම පහසුකම් තිබීමත් ‘සංවර්ධනයන්‘සේ හැදින්විය හැකිය. සැබෑ තත්වය වන්නේ ගොවීන්ගෙන් අති බහුතරයකට බැංකුවකින් හෝ වෙනත් මාර්ගයකින් ණය නොගෙන ඊළඟ කන්නයට කුඹුරට බැසීමට නොහැකිවීම ය. ඊට හේතුව කොරෝනා වසංගතය සහ 2022 ආර්ථික පරිහානිය හෝ ගෝඨාභය රාජපක්ෂ ගේ වසර දෙකක පාලනය නොවේ. 2023 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ ආකාරයට විශේෂයෙන්ම රාජපක්ෂ යුගයේ නොමනා පාලනයයි. ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එය රාජපක්ෂ යුගයට සීමා කළත් පසුගිය දශක ගණනාවකම රට පාලනය කළ අනෙකුත් අයත් ඉන් නිදහස් වන්නේ නැත.

මෙම අයථා නොමනා පාලනයේ ප්‍රතිඵල වශයෙන් රටත් ජනතාවත් පත්ව ඇති අවාසනාවත් තත්වයට තවත් නිදුසුනක් වන්නේ දේශීය සහ විදේශීය වශයෙන් ඇති ණය බරයි. නිසි ආර්ථික පාලනයක් යටතේ ණය ගැනීම නරක දෙයක් නොවේ. ණය ගැනීම සාධාරණය කළ හැක්කේ අවම වශයෙන් දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ලබා ගන්නා ණය සහ ඒවායේ පොලිය ගෙවීමට හැකිවන ආකාරයට ආයෝජනය කරන්නේ නම් පමණි. 2022 දී ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත් වූයේ ගත් ණයවලින් නිසි ප්‍රතිලාභයක් නොලැබෙන සේ ආයෝජනය කිරීම ය. එනම් සුදු අලි පරපුරක් බිහි කිරීම නිසාය. මේ තත්වය නිසා අද රජයේ ආදායම් වශයෙන් ලැබෙන සෑම රුපියලකින්ම ශත 43ක් මෙතෙක් ගෙන ඇති ණය සහ පොලී ආපසු ගෙවීමට වෙන් කළ යුතුය.  මෙම ණයවලින් සියයට 40ක්ම විදේශීය ණය නිසා ඒවා ආපසු ගෙවීමට විදෙස් විනිමය උපයා ගත යුතුය.

ඇත්තෙන්ම විදෙස් ණය ගෙවීමට මෙන්ම යන්ත්‍ර සූත්‍ර සහ ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා ද ආනයනය කිරීමට විදෙස් මුදල් සංචිත පවත්වා ගත යුතුය. මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 18.6ක් වැය වු අතර අපනයන ආදායම වූයේ ඩොලර් බිලියන 10.7කි. හිඟය ඩොලර් බිලියන 7.9කි. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුනක් වන්නේ මෙම කාල සීමාව තුළ පුද්ගලික පාවිච්චියට ගන්නා වාහන ආනායනය සඳහා ඩොලර් බිලියක 3.0 ක් වැය වීමය.  මේ තත්වය මත අපනයන ආදායම වැඩි කිරීම රජයේ ප්‍රමුඛතාවය වන්නේ ඇයිද යන්න තේරුම් ගත හැකිවුවත් අපනයන වැඩි කිරීමෙන් සිදු වන්නේ ආර්ථිකය ශක්තිමත්වීමට වඩා සුඛෝපභොගී භාණ්ඩවලින් රට පිරී ඉතිරී යෑමය.

සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය සහ රජයේ ගමන් මග දෙස බලනවිට තවමත් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ලබා දෙන උපදෙස් සහ අවවාදවලින් පිටස්තරව සිතීමට හෝ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවශ්‍යතාවයක් දැකිය නොහැකිය. මෙම ආයතනවල උපාය මාර්ගික උපදේශය වන්නේ ආනයන පවත්වා ගැනීමට ගැලපෙන ආර්ථිකයක් ගොඩ නැගීමය. එය පරිසරයට ගැලපෙන්නේ ද යන්න හෝ එහි තිරසාර බවක් පවතින්නේ ද යන්න වැදගත් නොවේ.

විදේශීය වෙළඳ පොළට ගැලපෙන ආර්ථිකයක් ගොඩ නැගීම රටේ ජනතාවගේ දිවි පැවැත්ම නගා සිටුවීමට කෙතරම් දුරට දායක වන්නේ ද යන්න සැලකිය යුතු නොවේ. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව ප්‍රධාන ආර්ථික සියල්ලම දේශීය වෙළඳ පොළ රැක ගැනීමට ආනයන සීමා කිරීමට පියවර ගන්නා වාතාවරණයක් තුළ විදෙස් වෙළඳ පොළ ඉලක්ක කර ගැනීමෙන් පොහොසත් රටක් නිර්මානය කළ හැකි වන්නේ සිහිනලන්තයක පමණි.

ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ එම නිසාය. අපට චීනයෙන් හෝ සිංගප්පූරුවෙන් ගත හැකි පාඩම් අපමණ වුවත් එම රටවල සාර්ථක වූ ආර්ථික සහ දේශපාලන වැඩ පිළිවෙළ අපේ රටට ගැලපෙන්නේ හෝ සාර්ථක වනු ඇතැයි කිව නොහැකිය. අපට අවශ්‍ය වන්නේ දේශීය ආර්ථිකය ගොඩ නැගීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවලියක් හඳුනා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීමය. එවැනි ක්‍රියා මාර්ගයක දී වංචා දූෂණ මැඩ පැවැත්වීම සහ ඒවාට නිසි දඬුවම් ලබා දීමට ස්වාධීන අපක්ෂපාත අධිකරණ ආයතන සහ ක්‍රියාවලියක් පැවතීම අත්‍යාවශ්‍ය වුවත් රට ගොඩ නැගීමට එය ප්‍රමාණවත් නැත. තීරණාත්මක සාධකය වන්නේ ජනතාවාදි පරිපාලන ව්‍යුහයක් ගොඩ නැගීමය. එවැන්නක් සඳහා කිසිදු ක්‍රියා මාර්ගයක් ජනබල වේගයේ තුන්වැනි අයවැයෙන් හෝ යෝජනාවී නැත.

ඛේදය වන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ ලත් අත්දැකීම් පදනම්ව නව වැඩ පිළිවෙළක් සඳහා පිවිසුමක් ඇති කර ගැනීමට හෝ උත්සාහ ගෙන නොතිබීමය. ඔවුන් සම්පුර්ණයෙන්ම විශ්වාස කරන්නේත් බලාපොරොත්තු රඳවා ඇත්තේත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන්  විධායක බලය කෙරේය. ජනතාව මත වක්‍ර බදු පනවා භාණ්ඩාගාරය තර කොට විධායක බලතල තුළින් සියල්ල කළ හැකිය යන මල බැඳුණ සිහිනයක් මතය.

Leave a Reply