You are currently viewing අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ..

අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ..

නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය සහ ආධාර ලබන අය වෙනුවෙන් නීතිය බොහෝ විට ක්‍රියාත්මක වූයේ මන්දගාමීව ය. සමහර විට නොවැළැක්විය හේතු නිසා නිතිය ක්‍රියාත්මක වී අධිකරණ ක්‍රියාවලිය ඇරඹුණත් යුක්තිය ඉටු වූයේ ද අතිශයෙන් මන්දගාමිව ය. අධිකරණයෙන් නියම වන දඩුවම පවා මග හැරීමට බලයේ සිටි අයට හැකියාව තිබිණ. එමනිසා යුක්තිය ඉටුවීම බොහෝ දුරට සිහිනයක් විය. පාලකයා පන්නා දැමීමට ජන අරගලයක් දියත්විමට මූලික හේතුවක් වූයේ ද යුක්තිය නිසි ආකාරයෙන් ඉටු වන බවට ජනතාව තුළ විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් නොතිබීමය.

අධිෂ්ඨානශීලී තරුණ තරුණියන් නායකත්වය දුන් එම අරගලයට සී අයි ඒ හෝ වෙනත් ඔත්තු සේවා මගින් විවිධාකාර සහාය ලබා දුන් බවට අරගලයෙන් බැට කෑ අය චෝදනා කළත් ඉන් ඔවුන්ගේ පාලන කාලය තුළ අමු අමුවේ සිදු වූ නොපනත්කම් වසා ගැනීමට නොහැකිය. අරලයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව ද ඔහුගේ දේශපාලන වේදිකාව වන පොහොට්ටුව වසර තුනකට ආසන්න කාලයක් ව්‍යවස්ථාදායක සහ අනියම් ආකාරයෙන් විධායක බලය මෙහෙයුව ද අරගලයට විදෙස් ඔත්තු සේවාවලින් ලැබුණු ආධාර අනුබල ගැන විමර්ශනයක් කෙරුණේ නැත. විදෙස් ඔත්තු සේවාවල බලපෑම නිසා විමර්ශන කටයුතු නොකළ බව හෙළිවීමට තවත් කලක් ගත විය හැකිය.

ඒ කෙසේ වුවත් නිතිය ක්‍රියාත්මක නොවීම යුක්තිය ඉටු නොවීමක් සේ ජනතාව තුළ තදබල හැගීමක් තිබු බව පැහැදිලිය. සමාජ ක්‍රියාකාරීන් අධිකරණයේ පිහිට පැතීමට ඉදිරිපත් වූයේ ද එම නිසාය. එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවෙන් ජය ගත් නමුත් සිවිල් ක්‍රියාකාරීන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග කෙරිණ. ඉන් පැහැදිලි වන සරල සත්‍යය නම් පාර්ලිමේන්තු යෝජනාවලින් කෙනෙකුගේ වංක අවංක භාවය තිරණය කළ නොහැකි බවය. කෙහෙලියගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මහත් උද්‍යෝගයෙන් ඉදිරිපත් වුවද එය යුක්තිය ඉටු කිරීමක් වූයේ නැත. කෙහෙලිය රඹුක්වැල්ල ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් කඩ කර ඇතැයි පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කෙළේද සමාජ ක්‍රියාකාරීන්ගේ පෙත්සමක් අනුවය.

මින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය මගින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවන්නේ නම් ඒවා අභිබවා යෑමට ජනතාව පසු බට නොවන්නේය යන්නයි. පරිපාලන නීති රීති සහ චක්‍රලේඛවල කුමක් සඳහන් වුවත් තමා කියන දේ නීතිය සේ සලකන්නයි නියෝග කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවා හැරීම විනා වෙනත් විකල්පයක් නැති බව ජනතාව තීරණය කළ නිසා ඔහුට ජනපති මැදුරේ පස්සා දොරින් පැන යෑමට සිදු විය. අවි රැගත් සන්නද්ධ සේවාවල රැකවරණය ඔහුට ලැබුණත් බලයේ රැඳී සිටීමට එය ප්‍රමාණවත් වූයේ නැත. ඉතිහාසය නැවත වරක් ඒ ආකාරයෙන්ම ඉටු නොවන බව සත්‍යයක් වුවත් යුක්තිය සහ සාධාරණත්වය උදෙසා ජනතාව තුළ පවතින කැපවීම සහ අධිෂ්ඨානය කිසිසේත් අඩුවෙන් තක්සේරු කිරීම කිසිම පාලකයෙකු ගේ සෞඛ්‍යයට හිතකර නොවන බව තේරුම් ගැනීම වැදගත් ය.

නිතිය උසස් පහත්කම් නොබලා සැමට සාධාරණව ඉටු කිරීමට කැප වී සිටින ජාතික ජන බලවේග රජයෙන් වැරදි කරන අයට දඬුවම් දීමට නීතියෙන් බාධාවක් නොවන බව අවධාරණය කළ ද සෑම අවස්ථාවකම එසේ සිදු නොවන බව දැකිය හැකිය. දැනට සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩුවක් පැවරීම නිතිය උස් පහත්තම් නොබලා ක්‍රියාත්මක වන අවස්ථාවක් සේ අධිකරණ අමාත්‍යවරයා පාරම් බෑවේය. එම කොමිසම මගින් කරන ලද විමර්ශනයක් අනුව අදාල පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරීමට දේශපාලන බාධා තිබුණත් නැතත් ඒවා නොසලකා පියවර ගැනිමට හැකි වීම ආයතන ව්‍යුහයේ ශක්තිමත් භාවයට නිදසුනකි. එය පුරවැසියන් වශයෙන් අපි ද අගය කරමු.

එහෙත් වැදගත් කාරණයක් වන්නේ නීතිය ක්‍රියාත්මකවීමෙන් පමණක් සමාජයේ යුක්ති ගරුක භාවය සහ සාධාරණත්වය ඉටු වන්නේ ද යන්නයි. අපක්ෂපාතී සාධාරණ අධිකරණ විභාගයකින් පසුව නියම කරන තින්දුව ප්‍රතික්ෂේප කිරීම ශිෂ්ඨ සමාජයට හැකියාවක් නැත. එහෙත් යුක්තිය සහ සාධාරණත්වය පිළිඳව සමාජයේ පවතින මතය අධිකරණයේ තීන්දුවලින් සීමා වන්නේ නැත. ඒ යුක්තිය සහ සාධාරණත්වය ඇතැම් විට නීතියේ සඳහන් ප්‍රතිපාදන ඉක්මවා යන ගුණධර්මයක් වන නිසාය.   

ආචාර්ය උපාධියක් ඇතැයි බොරුවට පෙන්වීම ඇත්තෙන්ම පාර්ලිමේන්තුව මෙන්ම ජනතාව ද නොමග යැවීමකි. සදාචාරමය වශයෙන් ඔහු කළ යුත්තේ පාර්ලිමේන්තු මංත්‍රී තනතුරෙන් ද ඉල්ලා අස්වීමය. සදාචාරාත්මක වගකීම පැහැර හැරීම රන්වලට සීමා වූයේ නැත. දැන් බලශක්ති ඇමති කුමාර ජයකොඩි ට ඊටත් වඩා බරපතළ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇත. ඉන් එකක් ඔහු පොහොර සංස්ථාවේ සැපයුම් ප්‍රධානියා වශයෙන් සිටිය දි කරන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙනි. ඇත්තනේම මුදල් වංචාවක් පිළිබඳ චෝදනාවක් නිසා ඔහු ඇමති තනතුරෙන් ඉල්ලා අස්වීම සදාචාරාත්මකව ගත යුතු පියවරකි. ඊට අමතරව ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින ආයතනයක ගල්අඟුරු මිලදී ගැනීමේ දී රජයට පාඩු සිදු කර ඇතැයිද චෝදනාවක් ජන සමාජයේ කතා බහට ලක්වෙමින් පවතී. පොහොර සංස්ථාවේ චෝදනාවට අමතරව එවැනිම චෝදනාවක් නැවතත් ඉදිරිපත්වීම අධිකරණයෙන් වැරදිකරුයැයි තීරණය වන තෙක් නිදොස්යැයි පදනම යටතේ ඇමති තනතුරක් වැනි භාරදුර කටයුත්තක යෙදෙන අයකුට ගැලපෙන්නේ නැත. සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත්නම් ඔහු එම පරීක්ෂණ සහ නඩු විභාග නිම වන තෙක් එම වගකීම්වලින් ඉවත්ව සිටිය යුතුය. නීතිය අභිබවා යන සදාචාරය එයයි. එය නොසලකා සිටීම සදාචාරාත්මක පිරිහීමකි.

මින් ගම්‍ය වන්නේ ඇමති තනතුරේ සිටියදී කරන ලදැයි කියන වැරදි ගැන පමණක් ජනාධිපති ක්‍රියාත්මක වන්නේය යන්නයි. ඇමති තනතුර ලැබීමට පෙර කරන ලදැයි කියන වංචා හෝ දූෂණ එම පුද්ගලයා වර්තමානයේ දරන වගකීම්වලට කිසිදු බලපෑමක් වන්නේ නැත. ඔහුට හෝ ඇයට වත්මන් ආණ්ඩුවෙන් පවරා ඇති වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට දේශපාලන වශයෙන් තනතුරක් ලැබීමට පෙර කරන ලදැයි කියන වැරදි කිසි ලෙසකින් බලපාන්නේ නැත.

මෙවැනි තර්කයක් භාවිත නීතිය අනුව ගැලපෙන්නක් වුවද ජනතා අපේක්ෂාවට කිසිසේත් ගැලපෙන්නේ නැත. මීට පෙර සිටි පාලකයන් ජනතාව ඡන්ද බලයෙන් ඉවත් කෙළේ ඔවුන් අධිකරණයෙන් දූෂණ හෝ වංචා පිළිබඳ වැරදිකරුවන් වූ නිසා නොවේ. ඔවුන් සියල්ලන්ම වංචා සහ දූෂණවල යෙදී අයථා ධනය රැස් කර ගත් බවට ප්‍රබල ජනමතයක් ගොඩ නැගී තිබිණ. එකල පැවති ජන විඥානය එයයි. පාර්ලිමේන්තුවේ සිටි දෙසිය විසිපහම එපා කීවේ ඔවුන් වංචා දූෂණ කළ බවට සාක්ෂි තිබුණ නිසාම නොවේ. වැදගත් වූයේ වංචා දූෂණ නැවැත්වීමටත් වැරදි ක්‍රියා මාර්ග නිවැරදි කිරීමටත් ඒ සියල්ලන්ම අසමත් වු නිසාය. පසුගිය මහා මැතිවරණයේ දී ජනතා අපේක්ෂාව වූයේ එවැනි වැරදිවලින් තොර සැබැවින්ම නව පාලනයකි.

එහෙත් අශෝක රන්වල සහ කුමාර ජයකොඩි කතා වස්තුවලින් පෙනී යන්නේ ගමන් මගේ කිසිදු වෙනසක් සිදුව නැති බව සහ වෙනසක් කිරීමට අවංක වුවමනාවක් නැති බවය. ඒ බව තහවුරු වන්නේ දූෂිතයන් ආරක්ෂා කිරීමට අඳබාල තර්ක ඉදිරිපත් කිරීමෙනි.    

Leave a Reply