ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය.
‘..නිදහස පළමුව වෙසෙන්නේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ හදවත් තුළය. එය මිය ගිය හොත් කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට, කිසිම නීතියකට හෝ කිසිම උසාවියකට ගලවා ගත නොහැකිය..’
ඉන් අදහස් වන්නේ නිදහස ජන සමාජයේ සෑම මිනිසෙකුට හා ගැහැනියකට අයත් සියලු ආකාරයෙක් රැක ගත යුතු සමාජ හර පද්ධතිය තුළ අනිවාර්යෙන්ම ගැබ් විය යුතු කිසිසේත් අඩු තක්සේරුවට ලක් නොකළ යුතු ගුණාංගයක් යන්නයි.
ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට නිදහස ජන සමාජයේ එක් එක් පුද්ගලයාට නෛසර්ගිකව අයත් වන මෙන්ම අනිකුත් අය ද සමානව භුක්ති විඳිය යුතු අයිතියකි. නිදහස සැබැවින්ම ආරක්ෂා වන්නේ අයිතියක් වශයෙන් භුක්ති විඳීමට අමතරව ඊට හානිකර එනම් නිදහස යටපත් කෙරෙන සමාජ ප්‍රවනතාවලට එරෙහි වීමෙනි. ඉන් අදහස් වන්නේ පොදුවේ සමාජයේ නිදහසට එරෙහිව යන බලවේග ක්‍රියාත්මක වුවහොත් කිසිවෙකුගේ නිදහස ආරක්ෂා නොවන්නේය යන්නයි. අද සමාජයේ සිදු වූ සහ සිදුවන බොහෝ දේ සමස්ත ජනතාවගේම නිදහසට හානිකර එය යටපත් කෙරෙන දේ බව දක්නට ඇත. තුරෙයිරාජා විනිසුරුවරයා උපුටා දැක් වූ ආකාරයට එම හානිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ උසාවිවලින් නිවැරදි කිරීමට නොහැකි තරම් ය. ඛේදය වන්නේ ඒවා ජනතාවගේ නිදහසට හානිකර නිදහස වළ දමන දේ බවට සමාජයේ පිළිගැනීමක් නොමැති වීමය. කිසියම් සුවිශේෂී තත්වයන් යටතේ එවැනි දේ කරන පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන ආ විට විවිධ අර්ථකතන ඉදිරිපත් කර ඔවුන්ගේ නිර්දෝෂී භාවය තහවුරු කිරීමට සමාජයේ වරප්‍රසාදිත පිරිස් ඉදිරිපත් වීම ය.

මීට හොද නිදර්ශනයක් පසුගිය දා ජනමාධ්‍යය් වාර්තා විය. පළමුවෙන්ම වාර්තා වූයේ රජයේ ආයතනයක් වන එයාර් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන ආපසු ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපොළේ දි අත් අඩංගුවට ගැනීමය. පසුව ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී පරීක්ෂණ නිලධාරීන් ඉදිරිපත් කළ කපිල චස්ද්‍රෙස්න ගේ දිව්රුම් ප්‍රකාශයක් අනුව එයාර්බස් ගනුදෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් රු. දශ ලක්ෂ හැටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට ලබා දී ඇත. පුදුමයට කරුණ වන්නේ ඊට පසුවදා තමා කලින් ප්‍රකාශය ලබා දුන්නේ බල කිරීම නිසායැයිද එමනිසා එහි සඳහන් කරුණු නිවැරදි නොවන බව පැවසීමය. මෙම දිව්රුම් ප්‍රකාශය බන්ධකාගාරයේ නිලධාරීන් ඉදිරියේ දී සහතික කරන මුද්‍රාවක් ද එම ප්‍රකාශයට යා කර තිබිණ. පොලීසියේ නිලධාරීන් මෙන්ම විමර්ශන කටයුතුවල යෙදෙන නිලධාරීන් සැකකරුවන්ට තර්ජන ගර්ජන කිරීමේ ඉතිහාසයක් ඇති අපට අල්ලස් කොමිසමේ නිලධාරීන් බලපෑම් කළේයැයි පැවසීම පහසුවෙන් බැහැර කළ නොහැකිය.
මතු පිටින් පෙනෙන සත්‍යය එසේය.
එහෙත් මෙම සිද්ධියේ ඉතිහාසය විමසා බලන්නට කිසිවෙකු උනන්දු වන්නේ නම් සම්පූර්ණයෙන් වෙනස් චිත්‍රයත් දැකිය හැකිය. එයාර් ලංකා ගුවන් සමාගමට එයාර්බස් මිලදී ගැනීමේ දී බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වූයේ මීට වසර හයකට හෝ හතකට පෙර ය. ඒත් අපේ රටෙන් නොව බ්‍රිතාන්‍ය යෙනි. ඒ රටේ දී අල්ලස් හෝ දූෂණ කටයුතු නීති විරෝධී නිසා අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් එයාර්බස් සමාගමේ නියෝජිතයන්ට එරෙහිව නඩු විභාගයන් පැවතිණ. එහිදී ගිවිස ගත් ඩොලර් දශ ලක්ෂ 16 ක අල්ලස් මුදලින් ඩොලර් දශ ලක්ෂ දෙකක් අත්තිකාරම් වශයෙන් එයාර් ලංකා ගුවන් සමාගමේ සභාපති කපිල චන්ද්‍රෙස්නට ලබා දුන් බව සමාගම පිළිගෙන ඒ වෙනුවෙන් විශාල දඩ මුදලක් ද ගෙව්වේය.
ඒ එංගලන්තයේය.
ඊට පසුව නන්දෙසින් නැගුණු හා හූව නිසා ශ්‍රී ලංකාවේ එවකට පැවති රජයට අකමැත්තෙන් වුවත් කපිල චන්ද්‍රසේන අත් අඩංගුවට ගැනීමට සිදු විය. එහෙත් බ්‍රිතාන්‍ය අධිකරණයේ දී හෙළි වූ කරුණු අනුව ලංකාවේ නඩු පැවරීමක් සිදු වූයේ නැත. ටික කලකට පසුව ඔහු ඇප මත නිදහස් විය. හෙළිදරවු වූ මෙම කරුණු අනුව එයාර්බස් ගනුදෙනුවේ දී ඩොලර් මිලියන ගණනක අල්ලස් හුවමාරුවක් සිදුව ඇති බව නිවැරදිය. එයාර්බස් සමාගමේ නියෝජිතයන් ඉතා විශාල දඩ මුදලක් ගෙව්වේ එම නිසාය. ඩොලර් දශ ලක්ෂ දෙකක මුදලක් කපිල චන්ද්‍රෙස්නට ගෙවා ඇති බවද තහවුරු වී ඇති කාරණයකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දීමේ දී සිදුව ඇති අලුත් හෙළිදරව්ව එම මුදලින් රු. දශ ලක්ෂ හැටක් එවකට ජනාධිපතිව සිටි මහින්ද රජපත්ෂට සහ තවත් රු. දශලක්ෂ විස්සක් එවකට සිටි ගුවන් සේවා ඇමති පියන්කර ජයරත්නට ලබා දුන්නේය යන්නයි. එමනිසා කපිල චන්ද්‍රෙස්නගේ ප්‍රකාශය තර්ජන කිරීමෙන් ලබා ගත්තේ ද යන්න දෙවැනි කාරණයකි.
මෙහිදී අපට වැදගත් වන්නේ රටේ ව්‍යවස්ථාදායක මෙන්ම විධායක බලය ද ජනවරමකින් ලබා ගන්නා දේශපාලකයන්ට ජනතාවගේ නිදහස (මෙහි දී නිදහස යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලික නිදහස පමණක් නොවේ. දේශපාලන සහ ආර්ථික නිදහසද ඊට ඇතුළත් ය.) උල්ලංඝනය කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් හෝ අධිකරණයෙන් දඩුවම් ලබා දීමට ඇති ඉඩ කඩ බෙහෙවින් සීමිත වීමය.

රට බේරා ගත්තේයැයි පිදුම් ලබන මෙම දේශපාලකයින් පුරුද්දක් වශයෙන්ම රටේ නීතියෙන් හා සමාජ සම්මතයෙන් නොකළ යුතුයැයි හැඳින්වෙන දේ කරන බව දැක්වීමට තවත් එක් නිදසුනක් දැක්විය යුතුයැයි හැඟේ. අප මීට පෙර ද විවරණ තුළින් දක්වා ඇති ආකාරයට මහින්ද රාජපක්ෂට 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාර්බර් කෝපරේෂන් නම් සමාගමෙන් ඩොලර් දශ ලක්ෂ 7.6ක් ස්ටෑන්ඩර්ඩ් බැංකුව හරහා ගෙවා ඇත. මෙම සිද්ධිය ප්‍රකාශයට පත් වූ විට එම තොරතුරු හෙළි කළ ජනමාධ්‍යවේදිනියට සහ ඒවා පළ කළ නිවියෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඔවුන් තර්ජනය කළ ද මෙතෙක් කිසිවක් සිදුව නැත. ( මෙම පුවත එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ පළ වූයේ 2018 ජුලි 17 වැනි දාය)
මීට අමතරව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ දක්වා ඇති ප්‍රතිපාදන කඩ කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.
මෙම සිද්ධින් තුනම එක දේශපාලකයෙකු සම්බන්ධයෙන් වුවද රට පාලනය කළ අනෙක් දේශපාලකයන් ද මෙවැනි චෝදනාවෙන් නිදහස් වන්නේ නැත. ඔවුන් ද අඩුවැඩි වශයෙන් මෙවැනිම හෝ වඩාත් බරපතළ උල්ලංඝනය කිරීම්වලට අධිකරණයෙන් තීරණය නොවුවත් වැරදිකරුවන් ය. ඒ නිසා ඔවුන් ට තමන් කැමති කාලයක් ජනතාව නියෝජනය කිරීමේ වරම ලබා ගැනීමටත් ඒ හරහා නොයෙකුත් වරප්‍රසාද ලබා ගැනීමේත් නිදහස පවතී. මෑතක දී විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වරප්‍රසාදය නීතියකින් අහෝසි කළ ද ජනතාව මුළා කිරීමට ඔවුන්ට නිදහස තවම පවතී.
තුරෙයිරාජා විනිසුරුවරයා දැක් වූ උපුටා ගැනීමේ සඳහන් ආකාරයට දේශපාලකයන්ට ජනතාවගේ අයිතිවාසිකම් නියෝජනය කිරීමේ මුවාවෙන් නීතිය කැඩීමට හැකිව ඇත්තේ පළමුවෙන්ම ජනතා හදවත් තුළ නිදහස යනුවෙන් හැඳින්වෙන අයිතිවාසිකම් බිඳ වැටී ඇති නිසාය. එමනිසා නීති රීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් බිඳ වැටී ඇත. ඉන් කියවෙන්නේ අණපනත්වල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් සැබැවින්ම ක්‍රියාත්මක වන්නේ පාලකයාගේ කැමැත්තය යන්නයි. පාලකයාට එම බලය සහ අධිකාරිය ලැබෙන්නේ කලින් කලට පවත්වන ඡන්ද විමසීම්වලින් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුවම නොවේ. ප්‍රධාන වශයෙන්ම ජනතා හදවත් තුළ යුක්තිය, ගරුත්වය සහ සමාජ වටිනාකම් වැනි සංකල්ප සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති නිසාය. එමනිසා වංචා සහ දූෂණවල යෙදෙන අයට කිසි සැකක් බියක් නැතිව නැවත නැවතත් ජනවරම ඉල්ලා සිටීමටත් ලබා ගැනීමටත් හැකිය.
වෙනස් විය යුත්තේ දේශපාලකයන් සහ ජනතාවගේ නාමයෙන් ඔවුන් බිහි කර ඇති නිති රීති රාමුව පමණක් නොවේ. සමාජ විරෝධී වැඩ කටයුතුවලට එරෙහිව නැගි සිටීමටත් එවැනි දේවල නිරත වන අය ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාවක් සමාජයේ නිර්මාණය විය යුතුය. බලය ලබා ගැනීමේ අර්ථයෙන් නොවන නමුත් එය ද දේශපාලනයකි. ජනතාව අදහස් සහ මතවාදී වශයෙන් බල ගැන්වීමකි. පක්ෂ දේශපාලනයෙන් බැහැරව පොදු ජන යහපත සඳහා පෙල ගැස්විමකි. දැනට අපේ රටේ ක්‍රියාත්මක වන ලිබරල් ආර්ථික ක්‍රමයෙන් සහ ලිබරල්යැයි හැඳින්වෙන දේශපාලනයෙන් බැහැරව ජනතාව සවිබල ගැන්වීමට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රමයකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වැදගත් වුවද ජනතා හදවත් තුළ නිදහසේ ගුණාංග මිය ගොස් ඇත්නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් වෙනස් වන්නේ කඩදාසිය පමණි.
- අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. - April 3, 2026
- යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. - March 26, 2026
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026