දේශපාලකයින් සහ දේශපාලනඥයින් අතර වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගෙන නොමැති බව මෑත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලිය. මහජන ඡන්දයෙන් කෙසේ හෝ තේරී පත්වන ජනතා නියෝජිතයෙකුට දේශපාලකයායැයි කීම ගැලපේ. මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ගේ කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය වුවත් ඔවුන් විවිධ ආකාරයෙන් රට පාලනයට සම්බන්ධ වන නිසා සැබැවින්ම දේශපාලකයන්ය එනම් දේශයේ පාලකයන්ය. ඒ සඳහා එකම සුදුසුකම වන්නේ මහජන ඡන්දය දිනා ගැනීම පමණි.
දේශපාලනඥයන් යන්නෙන් කියවෙන්නේ ඊට වඩා වෙනස් දෙයකි. විද්‍යඥ වැනි යෙදුම් සමග සසඳා බැලීමේ දී දේශපාලනඥයන් යනු දේශපාලන ශාස්ත්‍රය නැතිනම් විෂය මැනැවින් ප්‍රගුණ කළ අයයි. එම විෂය ක්ෂේත්රයේ නිපුණතාවයක් ලත් අයයි. එහෙත් වෙනත් බොහෝ රටවල මෙන්ම අපේ රටේ නීති සම්පාදකයන්ට දේශපාලනඥයැයි හැදින්විය හැකිද යන්න බරපතළ ගැටලුවකි. එය අපේ දේශපාලන ඉතිහාසයේ නිතර දක්නට ලැබුණ කාරණයක් වුවද මෑතක වූ සිදුවීම් කීපයකින් මෙම නොගැලපීම වඩාත් කැපී පෙනෙන තත්වයට පත් විය.
පළමුවෙන්ම මෙය පැහැදිලි කර ගැනීමට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව කඩි මුඩියේ ඉදිරිපත් කොට පසුව වසරකට කල් දැමු අධ්‍යාපක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සලකා බැලීම ප්රයෝජනවත්ය. ඇත්තෙන්ම අධ්‍යාපනය වැනි අනාගත පරපුරට බලපාන වැදගත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ගැන අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වීම සහ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම පුළුල් එකඟතා ඇති කර ගැනීම ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික අවශ්‍යතාවයකි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ කෙතරම් වැදගත් කරුණු වුවද අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක කිරීම භයානයක ප්‍රතිපල අත් කර දිය හැකිය. ඊට නිදසුනක් වශයෙන් නමසිය හැත්තෑ ගණන්වල ක්‍රියාත්මක වූ උඩගම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. එහි එක් යෝජනාවක් වූයේ අධ්‍යාපනයේ දිස්ත්‍රික් මට්ටමෙන් පවතින වෙනස්කම් විසඳීම සඳහා විශ්වවිද්‍යාලවලට පිවිසීමේ දී දිස්ත්‍රික් ප්රමිතිකරණයක් හඳුන්වා දීමය. බැලු බැල්මට මෙය එකල පැවති ක්‍රමය යටතේ ඉතාමත් ප්රගතිශීලී පියවරකි. අධ්‍යාපන පහසුකම් දියුණු මට්ටමක නොපැවති ඌව පමණක් නොව නැගෙනහිර පළාතේ ශිෂ්‍යයන්ට පවා විශ්වවිද්‍යාලයට පිවිසීමට අවස්ථාවක් විවර කර දිමකි.

එහෙත් මෙම වැඩ පිළිවෙළ උසස් අධ්‍යාපන මට්ටමක් පැවති යාපනය දිස්ත්‍රික්කයේ ශිෂ්‍යයින් දුටුවේ තමන්ට වෙනස් කොට සැලකීමක් සේය. ප්රමිතිකරණය නිසා ඉහළ මට්ටමක ලකුණු ප්‍රමාණයක් ලබා ගත් යාපනයේ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථා සිමා විය. මෙම වෙනස්කොට සැලකීම අවසානයේ දී වෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා වර්ධනය වූ ආකාරය සාකච්ඡා කිරීම මෙම ලිපියේ අදහස නොවේ. එහෙත් උතුරේ බොහෝ සන්නද්ධ කණ්ඩායම්වල නායකයන් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි කිරීමෙන් අසහනයට පත් තරුණ පිරිස් බව පැවසීම ප්‍රමාණවත් ය. ඉන් මා අදහස් කෙළේ කෙතරම් හොඳ වැඩ පිළිවෙළක් වුවද විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි වැඩ පිළිවෙළක් අදාල පාර්ශ්වයන් සමග සංවාද සාකච්ඡාවලින් තොරව ක්‍රියාත්මක කිරීම නිසා කිසිසේත් අපේක්ෂා නොකරන හානිදායක ප්‍රතිපල අත්විය හැකි බවට නිදසුනක් දැක්වීමට පමණි.
කෙසේ වුවත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වත්මන් දේශපාලකයන් අතර කෙරෙන සාකච්ඡාව, වඩාත් නිවැරදිව වාදය, විෂය ගැන අවබෝධයකින් හෝ නිවැරදි වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමේ වුවමනාවකින් කෙරෙන්නක් නොවන බව පෙන්වා දිය යුතුය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ එම වැඩ පිළිවෙළ තුළින් ශිෂ්‍යයන්ට අසැබියැයි හැඳින්වෙන වෙබ් අඩවියක් හඳුන්වා දීමය. ඊට අමතරව ඉතිහාසය ඉගැන්වීම අමතක කර ඇතැයි චෝදනාවක් ද ඉදිරිපත් විය. වඩාත් වැදගත් වන්නේ මෙම විවේචනය එම වැඩ පිළිවෙළ ගැඹුරින් හැදැරීමක් නැතිව පුවත්පත්වල සිරස්තලවලට ගැලපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමය.
පසුගිය දා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සියයකට ආසන්න පිරිසක් නිකුත් කළ ප්‍රකාශයක් අනුව යෝජිත වැඩ පිළිවෙළේ දේශපාලකයන් දැක් වූ කරුණුවලට වෙනස් එහෙත් වඩාත් බරපතළ වැරදි රාශියක් පවතී. (එම ප්‍රකශය පෙබරවාරි 02 දින අප වෙබ් අඩවියේ පළ විය.) එම නිවේදනය අනුව අතිශයෙන් වැදගත් ගණිතය සහ භාෂාව වැනි විෂයන් සඳහා වෙන් කර ඇති කාලය කිසිසේත් ප්‍රමාණවත් නැත. ඊට අමතරව නූතන විද්‍යා දැනුම අනුව නොගැලපෙන, සාවද්‍ය කරුනු රාශියක්ද එම පෙළපොත්වල ඇතුළත් ය. දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමෙන් සහ අධ්‍යාපනය ශාස්ත්‍රයක් වශයෙන් හදාරා ලත් පරිචය ලත් පිරිසක් කළ එම නිවේදනය දේශපාලකයන්ගේ විවේචනයෙන් හාත්පසින්ම වෙනස් ය. ඔවුන් ඉදිරිපත් කර ඇති මතය දේශපාලකයන්ට කෙසේ වුවත් රටේ ජනතාවට ඉතාමත් ප්රයෝජනවත්ය. වැදගත් ය.
රටේ ඉදිරි ගමන් මග සකසා ගැනීමට දැනුවත් කැපවීමක් ඇති පරපුරක් බිහි කිරීමටනම් අධ්‍යාපනයේ කළ යුතු වෙනස්කම් කිසියම් කණ්ඩායමක අවශ්‍යතාවයක් නොව පොදු සමාජයේම අවශ්‍යතාවයක් විය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපියේ මූලික අදහස බව පැවසීම ප්‍රමාණවත් ය. අප මෙහිදී අවධානයට ලක් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදයන් වන දේශපාලකයන් ගේ අවශ්‍යතාවය වාද විවාද කිරීම පමණක් බව පෙන්වා දීමට ය. ප්රශ්නය වැරදි පැත්තකින් අල්ලා ගෙන ජනතාව මුළා කිරීම ය.
ඒ සදහා තවත් නිදසුනක් දැක්වීම වැදගත් ය. ආණ්ඩුවේ ගිණුම් ගැන පාර්ලිමේන්තුවට වගකියන විගණකාධිපති තනතුරට නිලධාරියෙකු පත් කිරීම ගැන දේශපාලකයන් අතර බලවත් විවාදයක් තිබිණ. විගණකාධිපති තනතුර වැනි වැදගත් තනතුරක් වසරකට ආසන්න කාලයක් හිස්ව පැවතීම මූල්‍ය වගකීම සහ වගවීම පිළිබඳ බරපතල ප්රශ්නයකි. එම තනතුර සඳහා අවස්ථා කීපයක දී නම් කීපයක් විධායක ජනාධිපති විසින් යෝජනා කළ ද ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප විය. අවසානයේ දී කලින් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වූ නමක් පසුගිය සතියේ අනුමත වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් තිදෙනෙකු පත්වීමෙන් පසුය. මෙම තේරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අලුතින් පත් සාමාජිකයන් තිදෙනා කොපමණ දුරට බලපෑවේ ද යන්න වැදගත් නැත. කෙසේ වුවත් කලින් ප්‍රතික්ෂේප වූ නම මෙවර ඒකච්ඡන්දයෙන් සම්මතවීම දේශපාලන සංස්කෘතිය අනුව පැහැදිලි කළ යුතු කරුණකි.
රටේ ජනතාවට වැදගත් වන්නේ මෙම පත්වීම ඒකච්ඡන්දයෙන් හෝ වැඩි ඡන්දයෙන් සිදු වූයේ ද යන්න නොවේ. විගණකාධිපති ඉදිරිපත් කරන වාර්තා ගැන මෙම දේශපාලකයන් මෙතෙක් ක්‍රියා කර ඇත්තේ කෙසේද යන්නයි. සරලව කිව හැකි වන්නේ විගණකාධිපති පත් කිරීමට දේශපාලකයන් තුළ පැවති උනන්දුව සහ උද්යෝගය ඔහු හෝ ඇය ඉදිරිපත් කළ වාර්තා ගැන දක්වා නැති බවය. වසරක් පාසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විගණකාධිපති වාර්තාවලින් දක්වා ඇති ගිණුම්කරණයේ අඩුපාඩු මෙන්ම අක්‍රමිකතා අපමණය. එම වාර්තාව නිකුත් වූ වහාම එහි ‘රසවත්“ කොටස් ජනමාධ්‍යයේත් සමාජ මාධ්‍ය යේත් කතා බහට ලක් වුවද ඉන් එහාට කිසි පියවරක් ගන්නේම නැති තරම්ය. එම වාර්තා පරික්ෂාවෙන් බලන කෙනෙතුට වරක් පෙන්වා දුන් වැරදි සහ අක්‍රමිකතා ඊට පසු වසරවල ද සිදුව ඇති බව දැකිය හැකිය.
විගණකාධිපතිට වැරදි සහ අක්‍රමිකතා පෙන්වා දිය හැකි නමුත් ඒ ගැන පියවර ගැනීමට ඔහුට නීතිමය ප්‍රතිපාදන නැත. එය කළ යුත්තේ නිසි බලධාරීන් සහ විධායකය විසිනි. සාමාන්‍යෙයන් සිදු වන්නේ දේශපාලන වශයෙන් විරුද්ධවාදියෙකුට පහර ගැසීමට හැකි කොටස් පාවිච්චි කර ‘සෝඩා බෝතලයේ මෙන් සැර බාල්දු වීම ය. විගණකාධිපති තනතුරට පත් කිරීම දේශපාලන වාසියක් ලබා ගත හැකි හොඳ මාතෘකාවක් නිසා එය යොදා ගැනීමට ඇති උනන්දුව විගණකාධිපති වාර්තා ගැන දක්වා නැත. ඇත්තෙන්ම එය විගණකාධිපති වාර්තාවලට පමණක් සීමා වුවක් නොවේ. බොහෝ ජනාධිපති කොමිසම් වාර්තා ද රජයේ ලේඛනාගාරයේ දූවිලිවලට යටව තිබීම සාමාන්‍ය දෙයකි.
ප්‍රශ්න වැරදි පැත්තෙන් අල්ලා ගැනීම ද පවතින දේශපාලන සංස්කාතියේ අංගයකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ බිරිඳට සම්මාන උපාධියක් ලබා ගැනීමේ උත්සවයට සහභාගිවීමට රජයේ මුදල් වැය කිරීම හේතු යුක්ති කිරීමට උත්සාහ ගන්නේ ද දේශපාලන කෝණයෙනි. එය ඔහුට පක්ෂපාති දේශපාලකයන්ට පෙනෙන්නේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් සේය. වැදගත්යැයි සැලකෙන ප්රභූවරයෙකු වන ඔහුට මෙවැනි චෝදනා එල්ල කරන්නේ දේශපාලන වශයෙන් අපහාස කිරීමට ය. කොටින්ම ජනාධිපතිට සිය බිරිඳ සහභාගිවන උත්සවයකට යෑමට රජයේ මුදල් වැය කිරීමේ ඇති වැරැද්ද කුමක්දැයි ඔවුන්ට ප්‍රශ්න කළ හැකිය. නීතිය සැමට සමාන වුවත් ජනාධිපති කෙනෙකුට එය අදාල කර ගැනීම ප්‍රවේශමෙන් කළ යුතුය. ඒ පවතින දේශපාලන සංස්කෘතියයි.
සියල්ල රුපියල් ශත වලින් තීරණය වන සමාජයක නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වන්නේ අකුරුවලට පමණි. ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග තීරණය වන්නේ වෙනත් නිර්ණායක පදනම් කර ගෙන ය. පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරවත් දේශපාලකයන් වාද විවාද කරන්නේ එම යථාර්ථය යටපත් කිරීමට ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත් විගණකාධිපති පත් කිරීම ගැනත් මහත් ආන්දෝලනයක් ඇති කරන්නේ ඒ සඳහා ය.
වෙනස් විය යුත්තේත් වෙනස් කළ යුත්තේත් එම ක්‍රමයයි. පුද්ගලයන් වෙනස්වීම ක්රමයේ වෙනසක් නොවන බව පසක් කර ගැනීමට දේශපාලයේ පවතින දරිද්රතවය නිසා නොහැකිව ඇත.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026