දිට්වා කුණාටුවෙන් පසුව දැන් ඇත්තේ රිබිල්ඩින් ශ්‍රි ලංකා අදියරයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම යැයි ඉංග්‍රීසි නොදත් අයට පැහැදිලි කළ හැකිය. මාතෘකාව කුමක් වුවත් සුළි කුණාටුවෙන් හානියට පත් මාර්ග ගොඩනැගිලි කර්මාන්ත සහ ඒ සියල්ලටත් වඩා ජන ජීවිතය නැවත ගොඩ නැගීමේ අභියෝගයකට රටම මුහුණ දී සිටී. නොමසුරුව ලැබෙන විදෙස් ආධාර ඇතිව ජාතික ජනබලවේගයේ රජයෙන් රිබිල්ඩින් ශ්‍රී ලංකා වැඩ සටහන ක්‍රියාත්මක වුවද එය සියලු ජන කොටස්වලට බලපාන අනාගතය පිළිබඳ අභියෝගයක් නිසා ජනතාවද අනිවාර්යෙන්ම ඊට සහභාගි කරවා ගත යුතුය. එහෙත් දැනට එළි දැක්වෙන තොරතුරු අනුව එය තවත් ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වීමේ බරපතළ අනතුරක් පවතින බවද සටහන් කළ යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ආයෝජකයන්ගේ සැලසුම් සහ මගපෙන්වීම් අනුව ක්‍රියාත්මක වන කුමන හෝ ව්‍යාපෘතියක අවසානයේ බර දැරිය යුත්තේ රටේ ජනතාවය. 2022 දී මෙන් ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත් වුවහොත් පෝලිම්වල කාලය ගත කිරීමටත් සමහර විට පෝලිම්වල මියැදීමටත් සිදු වන්නේ සාමාන්‍ය ජනතාවටය. එමනිසා ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගිමට ගන්නා පියවර සහ ගත යුතු පියවර ගැන ජනතා සංවාදයක් ඇති කිරීමේ ප්‍රබල අවශ්‍යතාවයක් පවතී.
පළමුවෙන්ම කුණාටුව ඇති වීමටත් පෙර සිටම ලංකාව ගොඩ නැගීමට නොව ගොඩ ගැනීමට කළ යුත්තේ විදේශ සංචිත තර කර ගැනීම බව ආර්ථික සැලසුම්කරුවන්ගේ සහ දේශපාලකයන්ගේ ඒකායන පිළිගැනීම විය. විදෙස් සංචිත වැඩි කර ගැනීම සඳහා අපනයන වැඩි කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීම සහ අපේ ශ්‍රමිකයන් විදෙස් රටවල සේවය සඳහා අපනයනය කිරීම ප්රමුඛ විය. ඒ අරමුණු දිට්වා කුණටුව නිසා වෙනස්ව නැත. එමනිසා නැවත ගොඩ නැගිම සිදු වන්නේ එම අරමුණු සාක්ෂාත් කර ගැනීමටය. නාය යෑම්වලින් විනාශ වූ දුම්රිය සහ මහා මාර්ග වැනි යටිතල පහසුකම් කඩිනමින් පිලිසකර කළ යුත්තේ එම නිසාය. කුමන තත්වයක් යටතේ වුවද රටක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ගැන කිසිම විවාදයක් නැත. එහෙත් ඒවා ආර්ථිකයේත් ජන ජිවිතයේත් ප්‍රමුඛතා අනුව සිදු විය යුතු බවද අවධාරණය කළ යුතුය.
අපනයන වැඩි කර ගැනීම රටක විදෙස් සංචිත වැඩි කර ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් හොඳපියවරකි. අපනයන වැඩි කර ගැනීම නිසා සාර්ථකත්වය අබියසට පැමිණි වියට්නාමය වැනි රටවල් ඊට නිදසුන් ලෙස ද දක්වති. එහෙත් ලිබරල් ආර්ථික ක්‍රමය අතහැර දේශීය වෙළඳ පොළ සුරක්ෂිත කර ගැනීම ප්රවනතාවය වී ඇති ලෝක සන්දර්භයක අපනයන ආදායම් කෙරේ රැඳී සිටීම කෙතරම් ප්‍රායෝගික වන්නේ ද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය. අපගේ අපනයන සඳහා හොඳම වෙළඳ පොළ වන ඇමරිකා එක්සත් ජනපදය තිරුබදු පැනවීම මගින් ආනයන සීමා කිරීමට පියවර ගෙන ඇත. එය දැනට සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මනස්ගාතයක් පමණක් නොවේ. ඇමරිකාවේ සුපිරි ධනපති පංතියේ ද අවශ්‍යතාවයකි. අනිත් අතට එය ඇමරිකා එක්සත් ජනපදයට පමණක් සීමා වුවක් නොවේ. යුරෝපා සංගමයේ වෙළඳ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ ද එයයි. මෙය කෙතරම් විකෘති කාමයක් බවට පත්ව ඇත් ද යත් රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබා ගත හැකිව තිබිය දී යුරෝපා සංගමය ඊට සම්බාධක පනවා වැඩි මිලක් ගෙවා ඇමරිකාවෙන් සහ මැද පෙරදිගින් ගෑස් ආනයනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයේ ප්‍රබලම ආර්ථිකය වන ජර්මනියේ විරැකියාව ඉහළ ගොස් ව්‍යාපාර සහ කර්මාන්ත බංකොළොත්ව ඇත. ඒ තත්වය නිසා දැනට වසර ගණනාවක් තිස්සේ ජර්මනියේ වාර්තා වන්නේ සෘණ වර්ධනයකි..
යුරෝපයේ සහ ඇමරිකාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය ගැන විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නමුත් අපේ ප්‍රධාන අපනයන වෙළඳ පොළ දිගටම අඩුම වශයෙන් දැනට පවතින තත්වයේ තවත් දශකයක් හෝ ඊට වැඩි කාලයක් පවතීද යන්න ගැන කිසිදු විශ්වාසයක් නැත. ඊටත් අමතරව සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ විශේෂයෙන්ම ජර්මනිය ඇතුළත් යුරෝපීය රටවල් දැන් සූදානම් වන්නේ යුද්ධයකට යන්නයි. ජර්මනියේ හමුදා නායකයෙකු පවසන ආකාරයට 2030 දී ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් රුසියාව සමග යුද්ධයකට එළඹෙනු ඇත. ඒ සඳහා ජර්මනියේ සහ බ්‍රිතානයයේ සමාජ සුභ සාධන වියදම් කපා හැර අවි නිෂ්පාදය සහ හමුදාව තර කිරීම ප්‍රමුඛතාවය වී ඇත.
මෙම ප්රවනතා අමතක කර අපට අපනයනය වැඩි කිරීම ගැන සිහින මැවිය හැකි ද?
මෙවැනි තත්වයක් තුළ අප ගත යුතු ඥානාන්විත ක්‍රියා මාර්ගය වන්නේ අපේ ආර්ථික වැඩ පිළිවෙළ වෙනස්වන ලෝක තත්වයන්ට ගැලපෙන ආකාරයට සැලසුම් කිරීමය. එහෙත් කණගාටුවට මෙන් එවැනි කතිකාවක් ගොඩ නැගෙන බවත් දැකිය නොහැකිය. සිදු වන්නේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් කොළවල සටහන් කර ඇති පැරණි වට්ටෝරු දේව භාෂිත වශයෙන් පිළිගැනීමය. මෙම මූල්‍ය ආයතනවලින් පුරුදු පුහුණු කළ අපේ ආර්ථික විද්‍යඥයන්ට ඊට වෙනස් දෙයක් ගැන සිතිමට හෝ අවකාශයක් නැත.
මෙය නැවත ගොඩ නැගීමේ කතාවේ එක පැත්තකි. අනෙක් පැත්ත වන්නේ දේශීය අවශ්‍යතාවයන් සඳහා වන ආර්ථික ක්‍රියාකාරකම් පාලනය වන ආකාරයයි. දිට්වා කුණාටුවෙන් ඉගැන් වූ වැදගත්ම පාඩම වන්නේ ස්වභාවික සම්පත් කළමනාකරණයේ දී අප විධිමත් විද්‍යාත්මක සැලැස්මක් අනුව ක්‍රියා කර නැති බවය. නාය යෑම් සහ ගංවතුර ඇතිවීමට ප්‍රධාන හේතුව එයයි. මෙහි දී කුණාටුව ගැන කල් ඇතිව කළ අනතුරු හැඟවීම් අනුව ක්‍රියාත්මක වූයේ නම් විනාශය සුළු ප්‍රමාණයකින් අවම කර ගත හැකි වුවද බරපතළ හානි වැළැක්වීමට හැකි වන්නේ නැත. මෙම විනාශය අපගේ සංවර්ධන ක්‍රියා මාර්ගය තුළම ගැබ්ව තිබු දෙයකි.
අනතුරු හැඟවීම් නොසලකා හැරීමේ වරදක් සේ දකින්නේ ජලාශවල වාන් දොරටු කලින් විවෘත නොකිරීමය. පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත මිලිමීටර් 500ක ජල කඳක් කඩා හැලෙන විට වාන් දොරටු විවෘත කිරීමෙන් එම හානිය වැළැක්විය හැකියැයි සිතීම මුලාවකි. කළ යුතුව තිබුණේත් කළ යුතුව ඇත්තේත් ගොවිතැන විශේෂයෙන්ම වී වගාව සඳහා වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ ජලාශ පවත්වා ගැනීමය. අපේ වී වගාව කෙතරම් පසුගාමි තත්වයක පවතින්නේ ද යන්න ගැන එක නිදසුනක් පමණක් දැක්විමට කැමැත්තෙමි. මෑතක පළ වූ වාර්තාවක් අනුව ශ්‍රී ලංකාවේ ගොවියෙකු වී කිලෝ ග්‍රෑම් එකක් නිපදවීමට වතුර ලීටර් 2500ක් යොදා ගනී. එහෙත් ඔස්ට්‍රේලියාවේ ගොවියෙකු ඒ සඳහා යොදා ගන්නේ වතුර ලීටර් 1100ක් පමණි. ඒ සමගම ඔස්ට්‍රේලියාවේ හෙක්ටෙයාර් එකකින් ලැබෙන අස්වැන්න කි.ග්රෑ. 11000 කි. (ඔස්ට්‍රේලියානු ගොවියා ලබා ගන්නා ජලයට මුදල් ද ගෙවිය යුතුය.) එනම් ලෝකයේ සාමාන්‍ය වී අස්වැන්න මෙන් දෙගුණයකට ආසන්නය. අපේ අස්වැන්න කි. ග්‍රෑම් 4400ක් පමණ වේ. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ අපේ වී ගොවිතැන කෙතරම් නොදියුණු තත්වයක පවතීද යන්නයි.
වඩාත් උසස් තාක්ෂණය සහ විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්නේ නම් අපේ අස්වැන්න දෙගුණයකින් වැඩි කර ගැනීමටත් වී වගාව සඳහා යොදා ගන්නා බිම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමටත් හැකි වනු ඇත. එවිට මොරගහකන්ද වැනි විශාල ජලාශ පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ජලාශ සහ වැව් අවශ්‍ය වන්නේ දැඩි නියංකාලයක දී පමණි.
මෙම නොදියුණු ස්වභාවය වි වගාවට පමණක් සීමා වූවක් නොවේ. තේ වැනි වෙනත් අපනයන වැවිලි සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනිම තත්වයකි. කේරළයේ හෙක්ටෙයාරයකට තේ කි.ග්‍රෑම් 1480 ක අස්වැන්නක් ලැබෙන අතර ලංකාවේ එම ප්‍රමාණය කි.ග්‍රෑම් 670කි. අපට තේ අස්වැන්න දෙගුණ කර ගැනීමට හැකි නම් උඩරට විශාල බිම් ප්‍රමාණයක් ජල සංරක්ෂණය වැනි පරිසර හිතකාමී ක්‍රම සඳහා යොදා ගත හැකිය.
කර්මාන්ත ක්ෂේත්රයේ ද භූමිය සහ අනෙකුත් සම්පත් යොදා ගැනීමේ දි පරිසර හිතකාමී ක්‍රමවේද යොදා ගැනීම වැදගත්ය. අරමුණ විය යුත්තේ හුදෙක් විදේශ විනිමය උපයා ගැනීම පමණක් නොව ජනතාවට ජීවත්වීමට හිතකර පරිසරයක් පවත්වා ගැනීමය. අසල් වැසි ඉන්දියාව මුහුණ දි ඇති පරිසර ගැටලුවලින් බොහෝ දේ උගත හැකිය.අද ඉන්දියාව කාර්මික නිෂ්පාදනයෙන් ප්‍රබල තත්වයක් අත් කර ගෙන ඇති නමුත් එහි ප්‍රධාන නගර සියල්ලේම පවතින වායු දුෂණය නිසා බරපතළ සෞඛ්‍ය ගැටලු මතුව ඇත. බොහෝ නගරවල හුස්ම ගැනීම පවා අපහසුය. ඊසාන දිග මෝසම් සමයේ ලංකාවේ වායු දුෂණයට හේතුවක් වන්නේ ද ඉන්දියාවෙන් හමා එන සුළං ය. ( ඉන්දියාව දැන් ජපානයද අභිබවා ලොව සිවුවැනි විශාල ආර්ථිකය බවට පත්ව ඇත.)එමනිසා රිබිල්ඩින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වාහනයක ටයර්යක් ටිබිල්ඩ් කරනවාට ටඩා සංකීර්ණ පුළුල් සමාජ බලපෑමක් ඇති ක්‍රියාවලියකි. කෙටියෙන් එය ලාබ උපයන ව්‍යාපාරයක් ගොඩ නැගිමට වඩා හාත්පසින්ම වෙනස් සංවේදී කාර්යකි. බ්‍රිතාන්‍යයන් උඩරට තේ වගාව සඳහා බිම් අත්පත් කර ගත් 1870 ගණන්වල ලංකාවේ ජන සංඛ්‍යාව වූයේ දශ ලක්ෂ දෙකකි. අද දශලත්ෂ විසි දෙකකි. එනම් එකොළොස් ගුණයකින් වැඩිව ඇත. ඕනෑම ඉදිරි සැලසුමක දී වැඩිවන ජනතාවට ආහාර සුරක්ෂිත භාවය මෙන්ම නිවාස පාසල් සහ රෝහල් වැනි පොදු පහසුකම් සැපයීම ද රජයේ වගකීමකි. දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය සහ අතුරුදහන් වූවන් සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා කළ නොහැකිය. එක් එක් සිද්ධියක් පිටුපස මහත් කේදවාචකයක් පවතින බව අවබෝධ කර ගත යුතුය. අනාගතය සැලසුම් කිරිමේ දී සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවීම වැදගත් වන්නේ එමනිසාය.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026