රජයට ව්‍යාපාර ලාභදායීව පවත්වා ගත නොහැකිය යන්න ලිබරල්වාදී ආර්ථික දැක්ම යටතේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වන රටවලට මන්තරයක් මෙන් නිතර ජප කරන උපදේශයකි. මෙම ආයතන දෙකින් පුරුදු පුහුණු කරන දේශිය ආර්ථික විද්යඥයන්ටද එම උපදේශයට එහා කිසිත් සිතිය නොහැකිය. එම මතවාදයෙන් බැහැරවීම ඔවුන් ගේ වෘත්තීය ජීවිතයේ අවසානය සටහන් කරන්නක් වන නිසා එය ජප කිරීම තම පැවැත්මටත් ආර්ථික සමෘද්ධියටත් හේතු වේ. එම ප්‍රතිපත්ති අන්ධ ලෙස භාවිතා කිරීමෙන් පොදුවේ ආර්ථිකයටත් විශේෂයෙන් සමාජයේ පහළ ස්ථරවලටත් වන හානිය ඔවුන්ට වැටහෙන්නේ නැත. ලිබරල්කරණයත් පෞද්ගලික කරණයත් හැර වෙනත් ලෝකයක් ඔවුන්ට නැත.
මෙම අඳබාල ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් සිදුව ඇති හානියට හොඳම නිදර්ශනයත් පසුගිය දා පාර්ලිමේන්තුවේ කෝප් නමින් හැඳින්වෙන පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ දිග හැරිණ. සංවේදයට කාරණය වන්නේ මෙම හෙළිදරව්ව ගැන මහජන මතයක් අවදි කිරීමට දේශපාලන නායකත්වය හෝ වෙනත් බහුජන සංවිධාන මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ය.
නැවතත් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති විදුලි බල මණ්ඩලය පිළිබඳව කෝප් කමිටුවේ දී විමර්ශනය කෙරිණ එම විමර්ශනයේ දී පෞද්ගලීකරණයේ මුවාවෙන් මහජන මුදල් පුද්ගලයන්ගේ සාක්කුවලට ගෙඩි පිටින් වැටෙන ආකාරය මැනැවින් පැහැදිලි විය.

එහි දී ඉදිරිපත් වූ කරුණු අනුව ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන ට්රාන්ස්පෝර්මර් සැපයීම සදහා ඊට අනුබද්ධිත සමාගමක් 1980 දී පිහිටුවන ලදී. වඩාත් කාර්යක්ෂම ලාභදායි සේවයක් ලබා දීමට පිහිටුවන ලද එම ආයතනය හැදින් වූයේ ලංකා ට්රාන්ස්පෝර්මර් පෞද්ගලික සමාගම නමිනි. එම සමාගමේ කොටස්වලින් සියයට 60ක් ලංකා විදුලි බල මණ්ඩලය සතු වු අතර ඉතිරි සියයට 40 හිමි වූයේ ස්කොට්ලන්තයේ සමාගමකටය. එහෙත් 1982 දී එම සමාගම තමන් සතු කොටස්වලින් සියයට 10ක් විදුලි බල මණ්ඩලයට අලෙවි කිරිම නිසා කොටස් සංයුතිය වූයේ සියයට 70 සහ 30 වශයෙනි.
ඉන් පසුව 2001 දී සේවක භාරකාර අරමුදලක් පිහිටුවීම සඳහා මෙම සමාගමෙන් සියයට 10ක කොටස් ලබා දීම නිසා කොටස් සංයුතිය විදුලි බල මණ්ඩලයට සියයට 63ක් සහ ඒ වන විට ස්කොට්ලන්ත සමාගමේ කොටස් මිලදී ගෙන තිබු නොර්වේ ABB සමාගමට සියයට 27ක් වශයෙන් වෙනස් විය. සේවා භාරකාර අරමුදලට කොටස් ලබා දීමෙන් අදහස් කෙළේ විදුලි බල මණ්ඩලයේ පළපුරුදු දක්ෂ සේවකයින් සමාගම තුළ රදවා ගැනීමට බව සදහන්ව ඇත.
ජවනිකාව දිග හැරෙන්නේ එතැන් සිටය. නෝර්වේ සමාගම තමන් සතු සියයට 27ක් වන කොටස් ප්‍රමාණය මිලදී ගන්නා ලෙස විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ ද මණ්ඩලය එය ප්‍රතික්ෂේප කෙළේය. ඉන් පසුව සේවක භාර අරමුදල නමින් නව සමාගමත් ලියාපදිංචි කළ හත් දෙනෙක් එම කොටස් මිලදී ගැනීමට කැමැත්ත පළ කළහ. මෙහි දී සිහි තබා ගත යුතු වැදගත්ම කාරණය ඔවුන් හත් දෙනා වෙන කවුරුත් නොව ලංකා ට්රාන්පෝර්මර් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් බවය. ගැටලුව වූයේ එම කොටස් මිලදී ගැනීමට මුදල් සොයා ගැනිම ය. ඔවුන් සමාගම පිහිටුවීමේ දී ප්රාග්ධනය වශයෙන් ආයෝජනය කර තිබුනේ රුපියල් 10 කොටස් හතක් පමණි. එම රුපියල් 70 රුපියල් දශලක්ෂ 417 කට මිල කර තිබු කොටස් ගැනිමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව අමුතුවන් සදහන් තළ යුතු නොවේ.
විකල්පය වූයේ ණය මුදලක් ලබා ගැනීම ය. කුඩා ප්‍රමාණයේ හෝ ණය මුදලක් ලබා ගැනීමේ දී ඇපයක් ලබා දිම අනිවාර්යෙන් කළ යුතුය. එහෙත් රු.70කින් ආරම්භ කළ එම සමාගමට මිලියන 417 කට සරිලන ඇපයක් තැබීමට වත්කමක් තිබුණේ නැත. එම නිසා ඔවුන් කෙළේ ලංකා ට්රාන්ස්පෝර්මර් සමාගමේ වත්කම් ඇපයට තබා ණය මුදලක් ලබා ගැනීමය. එම ණය මුදල ලබා ගෙන ඇත්තේ ජාතික සංවර්ධන බැංකුවෙනි (NDB).
මෙහිදී මතුවන ගැටලුව ට්රාන්ස්පොර්මර් සමාගමේ වත්කම් සේවක කොටස් හිමිකම් භාරය ( ESOT) සමාගමට ණය මුදලක් ලබා දීමේදී ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ වත්කම් ඇපය වශයෙන් පිළිගත්තේ කුමන පදමක යටතේ ද යන්නයි. සියයට 70ක් (පසුව සියයට 63ක් වූ ) රජය සතු සමාගමක සමාගමක වත්කම් එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටි හත් දෙනකු පිහිටුවා ගත් සමාගමක ඇපයත් වශයෙන් පළිගැනීම බැංකුව කල බරපතල වැරුද්දකි. ජාතික සංවර්ධන බැංකුව (NDB ) ද රජයේ බැංකුවක් බව අමතක නොකළ යුතුය.
මෙම ගනුදෙනුව පිළිබඳ වඩාත්ම සැක උපදවන කාරණය වන්නේ නොර්වේ සමාගමේ කොටස් මිලදී ගැනීම විදුලි බල මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමය. එම කොටස් ප්‍රමාණය මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලයට අරමුදල් නොතිබුණේ නම් ජාතික සංවර්ධන බැංකුවෙන් ණයක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුණි. කිසිම වත්කමත් නැති ESOT සමාගමට රු. දශලක්ෂ 417ක ණය මුදලක් ලබා දුන්නේ නම් සම්පත් විශාල ප්‍රමාණයක් ඇති විදුලි බල මණ්ඩලයට ණය දීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැත. ඒ අනුව අපට බැස ගත හැකි නිගමනය නම් නෝර්වේ සමාගමේ කොටස් ESOT සමාගමට ලබා දීමට විදුලි බල මණ්ඩලය පහසුකාරකයෙක් වූයේය යන්නයි. විදුලි බල මණ්ඩලයේ සභාපති ට්රාන්ස්පෝර්මර් සමාගමේ ද සභාපති වන නිසා මෙවැනි තීරණයක් ගැනිම පුදුමයට කරුණක් නොවේ.
මේ හා බැඳුණු තවත් රසවත් කතාවක් වන්නේ විදුලි බල මණ්ඩලය වෙස්ට් කෝස්ට් පවර් (පුද්ගලික) සමාගමේ ණය ගෙවන ලද ආකාරයයි. වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගමක් නමින් හැඳින් වුවද එහි අයිතිකරු ට්රාන්ස්පෝර්මර් සමාගමයි. එනම් අවසානයේ දී විදුලි බල මණ්ඩලය සතු සමාගමකි. වෙනස වන්නේ එය විදුලිබල මණ්ඩලයේ සිට ඉවත් වූ හෝ අනුයුක්ත කරන ලද ජ්‍යේෂ්ඨ කළමනාකරුවන් පිරිසකගේ පාලනය යටතේ පැවතීමය. කෙසේ හෝ 2023 වන විට විදුලි බල මණ්ඩලය වෙස්ට් කෝස්ට් පවර් සමාගමට රු. බිලියන 79.4ක මුදලක් ගෙවීමට තිබුණි. දිගින් දිගටම පාඩු ලබන බව පෙන්වන විදුලි බල මණ්ඩලයට එම ණය ගෙවීමට අරමුදල් සොයා ගත නොහැකි විය. එමනිසා ට්රාන්ස්පෝර්මර් සමාගමේ විදුලි බල මණ්ඩලය සතු කොටස්වලින් සියයට 28ක් ණයට හිලවු කිරීමට කැබිනට් අනුමැතියක් ද ලැබිණ. ඉන් මෙම කපටි ගනුදෙනුවට කැබිනට් මණ්ඩලය ද හවුල් බව පෙනේ.
මෙම ගනුදෙනුවේ දී විදුලි බල මණ්ඩලය සතුව තිබු ට්රාන්ස්පෝර්මර් සමාගමේ කොටස් සියයට 28 තක්සේරු කර තිබුණේ රු. බිලියන 26ක් සේය. ඒ අනුව වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ සම්පූර්ණ ණය ගෙවා නිම කළ නොහැකි විය. එහෙත් මෙම ගනුදෙනුව නිසා ට්රාන්ස්පෝර්මර් සමාගමේ විදුලි බල මණ්ඩලය සතු කොටස් ප්‍රමාණය සියයට 63 සිට සියයට 35 දක්වා පහත වැටිණ.
මෙම කොටස් ප්‍රමාණය පහත වැටීම ට්රාන්ස්පෝර්මර් සමාගමේ කළමනාකාරිත්වයට ලබා දුන් තවත් තෑග්ගකි. එනම් රජයේ අයිතිය මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 50ට වඩා අඩුනම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එවැනි ආයතන රජයේ විගණනයට භාජනය වන්නේ නැත. ඇත්තෙන්ම එම ආයතනය රජයේ අරමුදල්වලින් පිහිටුවන ලැබුවද පුද්ගලික සමාගමක් සේ සමාගම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇති නිසා රජයේ විගණකට විගණනය කිරීමට අවස්ථාවක් නැත.

විදුලි බල මණඩලයේ ගිනුම් වාර්තා අනුව එය දිගටම පාඩු ලබන ආයතනයකි. එමනිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතනවල නිර්දේශය වන්නේ මණ්ඩලය පුද්ගලීකරණය සහ විදුලි ඒකකය මිල වැඩි කිරීමය. පසුගිය රනිල් රාජපක්ෂ පාලන සමයේ විදුලි ගාස්තු සාමාන්‍ය පාරිභෝගිකයාට දරා ගත නොහැකි ආකාරයෙන් වැඩි කිරීම නිසා විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතයක් බවට පත් විය. මෙම ලාභය නිසා ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයා විදුලි ඒකකයට ආසියාවේ වැඩිම මිලක් ගෙවන තත්වය දිනා ගැනීමට සමත් විය. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත් වීමෙන් පසුව විදුලි මිල සොච්චමකින් පහත දැමුව ද දැන් නැවත වරක් මිල වැඩි කිරීමට මහජන අදහස් විමසා ඇත.
පුදුමයට කරුණක් වන්නේ විදුලි බල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලැබුවත් ඊට අනුබද්ධිත සමාගම් සියල්ල විශාල වශයෙන් ලාබ ලබන ආයතන වීමය. ට්රාන්ස්පෝර්මර් සමාගමට අමතරව එහිම අනුබද්ධික සමාගම් වන පෙරදිවු, වෙස්ට්කෝස්ට් යනාදි වශයෙන් ඇති ‘‘පුද්ගලික“ සමාගම් සියල්ල ඉතාමත් ඉහළ මට්ටමේ ලාභ උපයයි. එම සමාගම් සියල්ල ලාබ උපයන්නේ විදුලි බල මණ්ඩලය සමග කරන ගනුදෙනුවලිනි. අනිත් අතට විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ ඊට අනුබද්ධිත සමාගම් සමග කරන ගනුදෙනු නිසාය. වඩාත් පැහැදිලි කරන්නේ නම් විදුලි බල මණ්ඩලයට හිමි විය යුතු ලාභය ඊට අනුබද්ධිත සමාගම්වලට බෙදී යෑමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන නිසා මෙම පාඩුව ජනතාවට දැරීමට සිදුව ඇත.
මෙම අනුබද්ධිත සමාගම්වල ඉහළ තනතුරු දරන්නේ ද විදුලි බල මණ්ඩලයේ සිටි හෝ තවමත් සිටින නිලධාරීන් ය.අනුබද්ධ සමාගම්වල ලාභ ඉපිදවීමට සමත් මෙම නිලධාරීන් විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්වයට පත් කර ඇත්තේ කෙසේද? මීට පිළිතුරු ලබා ගැනීමට ජනප්‍රිය භාෂවෙන් පවසන්නේ නම් රොකට් විද්‍යා දැනුම අවශ්‍ය නොවේ. ලාභ ලැබීමටත් පාඩු ලැබීමටත් වගකිව යුත්තේ මෙම දූෂිත නිලධාරීන් ය. විදුලි බලශක්ති ක්ෂේත්රය සකස් වී ඇත්තේ ඔවුන් ගේ මඩිය තරවන ආකාරයෙනි. මෙම ක්‍රමය වෙනස් නොකොට විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට හෝ ඊට වැඩි ගණනකට බෙදුවත් විදුලි පාරිභෝගිකයාට සෙතක් වන්නේ නැත.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026