You are currently viewing සංවිධානාත්මක අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් එකම ගොන්නට දැමීම නීතිය ඉටු කිරීම නොවේ..

සංවිධානාත්මක අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් එකම ගොන්නට දැමීම නීතිය ඉටු කිරීම නොවේ..

පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ලංකාවට ගෙනවිත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන තොරතුරු අනුව දේශපාලනයට සම්බන්ධ පිරිස් සහ වෙනත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම බොහෝ දෙනාගේ අවධානයටත් එමෙන්ම ප්‍රශංසාවටත් ලක් ව ඇති කාරණයකි. මෙම පුද්ගලයන් අයිස් වැනි මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගත් උපකරණ සහ පොලිසිය ඔවුන් පසුපස හඹා යන නිසා ඒවා සඟවා තැබීමට උත්සාහ කළ ආකාරයත් ජනතාව දැන ගත යුතු වැදගත් තොරතුරුය. මෙවැනි මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සහ ඊට ගැට ගැසුණු බරපතළ අපරාධ පිටුපස දේශපාලකයන් සහ සමහර ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් සිටින බව විමර්ශන කණ්ඩායම් විසින් හෙළි කර ගැනීම සැබැවින්ම ප්‍රශංසනීය ය.

මිනී මැරුම් සහ බරපතළ මංකොල්ල කෑම් වැනි අපරාධ යහපත් ජන සමාජයකින් තුරන් කළ යුතු විෂමාචාරයන් ය. ඒ නිසාම අපරාධකරුවෙකු පොලිසියෙන් හෝ වෙනත් ආරක්ෂක අංශයකින් මරා දැමීම පවා ජනතාව අනුමත කරන බවක් ද දැකිය හැකිය. අධිකරණ ක්‍රියාවලියකින් අපරාධකරුවන්ට නිසි දඩුවම් ලැබෙන්නේ නැතැයි හැඟීමක් ජන සමාජයේ පැවතීම නිසා අපරාධකරුවන්යැයි සැක පිට අත් අඩංගුවට ගන්නා පුද්ගලයෙකු කවරාකරයෙන් හෝ සමාජයෙන් තුරන් කිරීම අනුමත කරන තත්වයක් පැවතීම යුක්ති ගරුක හා සාධාරණ සමාජ ආකල්පයක් විය නොහැකිය.

කෙසේ වුවත් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පුද්ගල නිදහස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ගණනාවක්ම යටපත් කෙරෙන නිසා එය ඉවත් කිරීමට රට තුළින් හා ජාත්‍යන්තරව නිතර බලපෑම් කෙරිණ. දැනට බලයේ සිටින ජාතික ජනබලවේගය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්නේ ඒ නිසාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ත්‍රස්තවාදය මර්දනය කිරීමට වෙනත් පනතක් ගෙන එන බව කලින් පැවති ආණ්ඩුව ප්‍රකාශ කළ විට ජනතා විමුක්ති පෙරමුණ එය තදින්ම ප්‍රතික්ෂේප කෙළේය.

එහෙත් අද විවේචනයට ලක් ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපරාධ මර්ධනය සඳහා ද යොදා ගෙන ඇත. අප මෙම ලිපියේ මුළින් සඳහන් කළ කෙසෙල්බද්දර සමන් ඇතුළු අපරාධකරුවන් රඳවා තබා ගැනීමට යොදා ගන්නේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. අධිකරණයට ඉදිරිපත් කළ මෙම පිරිසට අයත් අපරාධකරුවන්යැයි සැක කරන කීප දෙනෙකුම දැන් රඳවා ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. දැනට ප්‍රකාශයට පත්ව ඇති තොරතුරු අනුව මෙම සැකකරුවන් බරපතළ අපරාධ ගණනාවකටම සම්බන්ධයැයි සැක කළත් ඒ කිසිවක් දේශපාලන ප්‍රචණ්ඩ හෝ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සැලකිය නොහැකිය. එවැනි තත්වයක් යටතේ එම පුද්ගලයන් ත්‍රස්තවාදීන්යැයි සැලකිය හැක්කේ කෙසේද?

ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් මෙම නීතිය තමන්ගේ හෝ ඔවුන් සේවය කරන වෙනත් අයගේ වුවමනාට යොදා ගන්නා බවට මෙය තවත් කිදසුනකි.

පලස්තීනයට නිදහස යනුවෙන් සඳහන් කුඩා පෝස්ටරයක් කුණු කූඩයක ඇල වූ තරුණයෙකු අත් අඩංගුවට ගෙන රඳවා ගත්තේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. සමහර විට එම තරුණයා ඉස්ලාමීය ආගමිකයෙකු වන නිසා ත්‍රස්තවාදියෙකු සේ සලකන්නට ඇත. එහෙත් ඉස්ලාම් ආගමිකයෙකුවීම හැම විටම ත්‍රස්තවාදියෙකු සේ හැඳින්වීමට යොදා ගන්නේ නැත. මීට හොඳ උදාහරණයක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුයැයි හැඳින්වෙන සහ්රාන් සම්බන්ධයෙන් දැක් විය හැකිය.

2017 මාර්තු මස සහ්රාන් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායමක් කාත්තන්කුඩියේ සුපි ආගමික කණ්ඩායමකට පහර දුන්හ. මෙම සාහසික ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලීසිය ක්‍රියාත්මක නොවු නිසා සුපි ආගමික කණ්ඩායමක් මාර්තු 27 දින කොළඹට පැමිණ පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පුධානි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හමු වී කරුණු පැහැදිලි කළහ. නියෝජිත පිරිසට සවන් දුන් ඔහු බරපතළ තත්වයක් උද්ගතව ඇති බව පිළිගත් නමුත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි ආචාරශීලීව පැවසුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පියවර නොගන්නේ ඇයිදැයි නියෝජිත කණ්ඩායම විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ එම පනත අදාල වන්නේ එල්ටීටීඊ සැකකරුවන් සම්බන්ධයෙන් පමණක්ය යන්නයි.( ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වූ විට. පිටුව 54) 

සහ්රාන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු පියවරක් ගත්තේ නැත. එහි ප්‍රතිඵලය දැන් රටම දන්නා නිසා ඒ ගැන වැඩි විස්තර කිව යුතු නැත.

අපට වැදගත් වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අර්ථ ගැන් වූ ආකාරයයි. ඔහු පැහැදිලි කළ ආකාරයට මෙම පනත යොදා ගත හැකි වන්නේ එල්ටිටීඊය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණි. එසේ නම් කුඩු ජාවාරමට සම්බන්ධයැයි සැක කරන පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නේ කෙසේද යන්න බලධාරීන් පැහැදිලි නළ යුතුය.

පැහැදිලිවම පෙනෙන ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නේ බලධාරීන්ගේ සහ ඔවුන් මෙහෙයවන රහස් හස්තයේ වුවමනාවන් අනුවය. කාත්තන්කුඩි සිද්ධිය සම්බන්ධයෙන් පියවර ගැනීමට එහි සුපි ජන කොටස ඉල්ලා සිටි විට ඒ සඳහා නීති ප්‍රතිපාදන නැති බව පැවසුවේත් පලස්තිනයට නිදහස යන කුඩා පෝස්ටරය ඇල වූ විට ඒ හා සම්බන්ධ තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත්තේත් අධිකරණය ඉක්මවා යන රහස් හස්තයේ වුවමනාව අනුවය. කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද එය ශූක්ෂම ආකාරයෙන් මෙහෙයවන්නේ එම රහස් හස්තයයි. කෙහෙල්බද්දර සමන් ඇතුළු කණ්ඩායම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නේ වෙන කිසිම කරුණක් නිසා නොව රටේ නිතිය සහ සාමය පවත්වා ගැනිමටත් අපරාධ මැඩීමටත් එහි අවශ්‍යතාවය සමාජයට ඒත්තු ගැන්වීමට ය. විශේෂයෙන්ම පාලක ජනබල වේගය බලය ලබා ගැනීමට පෙර කුමන පොරොන්දු දුන් නමුත් බලය පවත්වා ගැනීමට මෙවැනි පනත්වල අවශ්‍යතාවය තහවුරු කිරීමට ය.

පාස්තු ඛේදවාචකයේ මහ මොළකරු සොයා ගැනීමට නොහැකි ආකාරයටම රාජ්‍ය ප්‍රතිපත්ති කිසියම් බල කණ්ඩායමක අවශ්‍යතාවයට හසුරුවන්නේ කව්ද යන්න හෙළි කර ගැනීම පහසු නැත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවලින් අරමුණ පැහැදිලිය. කුඩු ජාවාරමට රටේ පවතින විරෝධය දඩමීමා කර ගෙන කුඩු භාවිතය මෙන්ම සමාජයේ යහ පැවැත්මට තර්ජනයක් වන වෙනත් ක්‍රියා සම්බන්ධයෙන් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අණ පනත් අවශ්‍ය බව තහවුරු කිරීමට රහස් හස්තය ක්‍රියාත්මක වන බව පැහැදිලි ය.

සුළු ජන කොටසවල ආගමික, දේශපාලන සහ සිවිල් අයිතිවාසිකසිකම් රැක ගැනීමට එක්සත් ජාතීන් සම්මත කළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකවේ පනතක් වශයෙන් (ICCPR පනත) පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමේ දී සිදු කරන ලද වෙනස්කම් එම සම්මුතියේ හරය විකාති කර  ලේඛකයන් මර්දනය කිරීමට යොදා ගත්තේ ද අයිතිවාසිකම්වලට එරෙහිව ක්‍රියාත්මක වන රහස් හස්තයේ අවශ්‍යතාවය මතය. අන්තවාදී ජාතිවාදය සහ ආගම්වාදය වෙනුවෙන් පෙනි සිටින කපටි දේශපාලකයන් වෙනුවෙන් එම පනත ක්‍රියාත්මක වන්නේ නැත.

ත්‍රස්තවාදය හා සම්බන්ධයක් ඇතැයි මෙතෙක් හෙළි නොවු පාතාලයේ කුඩු ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන්යැයි සැක කරන පුද්ගලයන් ත්‍රස්තවාදින්යැයි හංවඩු ගසා රඳවා ගැනීමේ දි නීතිමය අවශ්‍යතාවයට වඩා මර්දන නීති දිගටම පවත්වා ගැනීමේ සැඟවුන අරමුණක් පවතින බව තේරුම් ගැනීම වැදගත් ය. කුඩු ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධ මර්දනය කළ යුතු බවට සැකයක් නැති වුවද ඒ සඳහා යොදා ගත යුතු ක්‍රියා මාර්ගද ශිෂ්ට නීති සම්ප්‍රදායන්ට ගැලපෙන අවංක පියවර විය යුතුය. එසේ නැතිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩු ප්‍රවාහනය කරන්නේයැයි සැක කරන බෝට්ටුවලට ගුවනින් ප්‍රහාර එල්ල ඒවා විනාශ කරන ආකාරයේ පියවරවලින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු වන්නේ නැත. එය අපරාධ සහ නීතිය අතර ඇති රේඛාව අකා මකා දැමීමකි.

Leave a Reply