You are currently viewing කළු ජූලියෙන් නූගත් පාඩම්..

කළු ජූලියෙන් නූගත් පාඩම්..

ලාංකේය රාජ්‍ය පාලනය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද බලවත් පිළිකුලට ලක් වූ කළු ජූලියට 2025 දී වසර 42 කි. මෙය කළු ජූලිය හැටියට ප්‍රචලිත වීම ම එහි ස්භාවය මැනවින් නිරූපණය කර දැක්වීමකි.

එවක මෙරට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එල්ල වන බලවත්ම විවේචනය වන්නේ ‘මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීමට උත්සාහ නොකර මග හැරීම ගැනයි’. විශාල පාර්ලිමේන්තු හා විධායක ජනාධිපති බලයක් තිබියදීද ‘මතු වූ තත්ත්වය වළක්වා ගැනීමට පැවති රජය මන්දෝත්සාහී විය’ යන්න ගැන දේශපාලන විචාරකයෝ වර්තමානයේදීද අදහස් පල කරති.

මේ යටතේ සිය බල අධිකාරිත්වය උත්කර්ෂයට නැංවිය හැකි යැයි පාලකයින් සිතුවා විය හැක.නමුත් සිදු වූයේ බලවත් ඛේදනීය පසුතලයකට සමස්ත ලාංකීය ප්‍රජාවම ඇද වැටීමය.ජාත්‍යාලයත් උන්නතිකාමිත්වයත් නින්දනීය ප්‍රකාශනයකට හසුවීමය.මෙවැනි ඛේදනීය, ව්‍යසනකාරී ස්වරූපයක් ඇති වීමට පළමු හේතුව ලෙස බොහෝ දෙනෙකු දක්වන්නේ මියගිය හමුදා සෙබලුන් 13 දෙනාගේ සිරුරු එම එකිනෙක ප්‍රදේශවල ඥාතීන්ට භාර නොදී එකම ස්ථානයක අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට සැලසුම් කිරීමය.

බොරැල්ල කනත්ත සුසාන භූමියෙන් කළු ජූලිය ඇරඹේ – 1983 ජූලි 24

මෙම අවස්ථාවේ සිදු වූ සිදුවීම් ගැන පවසන ඇතමුන් කියා සිටියේ, බොරැල්ල කනත්තට එක්රැස්ව සිටි හමුදා සෙබලුන්ගේ ඥාති හිතෛෂීන්ගෙන් එක්වර සිදු වූ විරෝධයක් හෝ නොසන්සුන්කාරී තත්ත්වයක් මත කළහකාරීත්වයක් උද්ගත නොවූ බවයි.නමුත් බොරැල්ල හා කින්සි පාර දෙසින් පැමිණි යම් පිරිසක් සංවිධානාත්මකව ආසන්න ස්ථානවල තිබූ දෙමළ ජාතිකයින්ගේ ව්‍යාපාරික සහ පදිංචි ස්ථානවලට පහර එල්ල කිරීමෙන් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වූ බව ඇතැම්හු පැවසූහ.ඇතැම් මාධ්‍ය දැක් වූයේ  මෙම තත්ත්වය බොරැල්ල කනත්ත දෙසට යොමු වී ඇත්තේ තවත් මද වේලාවකට පසුව බවයි. ඒ අනුව මෙහි යම් සංවිධානාත්මක ස්වරූපයක් පැවති බව පැහැදිලි විය.

ව්‍යාප්ත වූ විනාශකාරිත්වය මැඩලීමට රජය ක්ෂණික පියවර නොගත් බව ප්‍රචලිතය.මින් සිදු වූයේ පැවති රජය බලවත් අපකීර්තියට පත්වීම හා මෝදු වෙමින් තිබූ ජාතීන් අතර බෙදුම් රේඛාව තියුණු ලෙස සළකුණු කිරීමය. සිංහල බෞද්ධ සංකල්පය කෙරෙහි බලවත් අපවාදාත්මක ප්‍රකාශනයක් මින් ජනිත කෙරුණි.

මෙම ඛේදයේ අවාසනාවන්තම සිදුවීම වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ද්‍රවිඩ සටන්කාමී සංවිධානවලට අයත් රැඳවියන් පනස් දෙනෙකු තිරශ්චීන ලෙස ඝාතනය කිරීමයි.අධිකරණ කාර්යයන් සඳහා රඳවා සිටි රැඳවියන් ඝාතනයට ලක්වීම හා ඔවුන්ට රැකවරණය සැලසීමට රජය අපොහොසත් වීම ජාත්‍යන්තරයේද අවධානයට යොමු වූ කාරණයක් විය. 

කොටුවේ බ්‍රිස්ටල් ගොඩනැගිල්ල ගිනි දැලින් වෙලී – 1983 ජූලි 25

මෙවක ඉන්දීය රජය සමග මෙරට පාලනයේ පැවති නොරිස්සුම් ස්වරූපය දියුණු තියුණු කරන කරුණු ගණනාවක් මේ යටතේ පැන නැගුණි.තමිල්නාඩු ප්‍රාන්තයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය ඉන්දීය මධ්‍යම රජයටද දැඩි බලපෑමක් එල්ල කළේය.ද්‍රවිඩ මුනේත්ර කලහගම් පක්ෂයේ ලෝක් සභාවේ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම්වලට අප්‍රසාදය පල කරමින් එහි නියෝජනයෙන් ඉවත් විය.තමිල්නාඩු ද්‍රවිඩ පක්ෂ ඒකාබද්ධව කළු කොඩි ඔසවා විරෝධය පල කිරීම ඉන්දය  මධ්‍යම රජයට දැඩි බලපෑමක් ඇති කළේය.ලංකාවට එක්සත් ජාතීන්ගේ හමුදාවක් එවිය යුතු බවට මධ්‍යම රජයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සිදු වන්නේ මෙම අවස්ථාවේදීය.මේ යටතේ ශ්‍රී ලංකාවේ පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ නුරුස්සන ස්භාවය තවත් පුලුල් විය.ද්‍රවිඩ සටන්කාමීන්ට ඉන්දීය භූමිය තහනම් කරන ලෙස පෙර අවස්ථාවක ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමද නොසලකා හැරීමට ලක් වේ.මේ නිසා සිදු වන්නේ දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් බිඳ වැටීමය.

කොටුව මල්වත්ත පාරේ ගිනිබත් මෝටර් රථයක් – 1983 ජූලි 25

ඇති වූ මේ ස්භාවය සමනය කර ගැනීමේ වෑයමක් ලක් රජය වෙතින් ප්‍රකාශ වූයේ නැත.සිදු කරන ලද්දේ  ඇති වූ තත්ත්වය තවත් පුලුල් කිරීමේ ක්‍රියාන්විතයන්ය.මීට ආසන්න පසු අවස්ථාවල ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ විදෙස් සංචාර සිදු වන්නේ ඉන්දියාව සමග විරසක රටවල් සමගය.ජයවර්ධන ජනපතිගේ වොෂිංටන් සංචාරය සිදුවන්නේද මීට ආසන්න දිනකදීය.ඇති වූ ව්‍යසනකාරීත්වයේ සලකුණු වහාම සමනය කර ගැනීමට ලක් රජය අපොහොසත් වන අතර ඉන්දීය රජය සමග පලුදු වූ රාජ්‍ය තාන්ත්‍රීක බැඳීම් සවිමත් කිරීමට කඩිනම් පියවර ගනු ලැබුවේ නැත. 

මෙහි බලවත්ම අහිතකර ප්‍රතිඵලය වන්නේ 150,000 කට අධික පිරිසක් අනාථයින් වශයෙන් ඉන්දියාවට සංක්‍රමණය වීමයි.මෙය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බරපතල තත්වයක් මතු කළේය.අනෙක් අතට මෙය, ලාංකේය පාලනයට බලපෑම් කිරීම සඳහා ඉන්දීය රජයට හිමි වූ කඳිම වාසි සහගත කරුණක් බවට පත් විය.ඇති වූ ව්යවසනකාරී තත්ත්වය නිසා ලාංකීය ද්‍රවිඩ ජාතිකයින් සතු ව තිබූ නිවාස අට දහසකට හා ජීවිත තුන් දහසකට වැඩි සංඛ්‍යාවක් අහිමි වූ බව කියැවුණද සංඛ්‍යා ඊට වඩා විශාල බව ඇතැම් මාධ්‍ය සඳහන් කළේය.ද්‍රවිඩ ජනතාව සතු විනාශ වූ දේපල වටිනාකම ගණනය කිරීමද අපහසු බව කියැවුණි.

මීට වසර 42 කට පෙර මෙම සිදුවීම් පෙළ ඇති වුවද එකම රටක ඉතිහාසයේ  දීර්ඝ කාලයක සිට ජීවත්වන,සමීප සමාජ සංස්කෘතික ජීවන ප්‍රවෘත්තියක බැඳී වෙසෙන ජනතාවක් බලවත් ඛේදයකට ගොදුරු විය.වර්ථමානයේද මෙහි අඳුරු වළාකුළු ලාංකේය ජන සමාජයට ඉහලින් මතු වෙමින් තිබේ.

Leave a Reply