දින කීපයකට පෙර ඉරානයට එරෙහිව ඊශ්‍රායෙලය එල්ල කරන ප්‍රහාර ගැන සඳහන් කළ ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ඊශ්‍රායෙලය අප වෙනුවෙන් ‘ජරා වැඩ’ කරන බව පැවසුවේය. එහෙත් පසුගිය ඉරිදා පාන්දර එම ජරා වැඩට කර ගැසුවේ ලෝකයේ බලවත්ම රටයැයි හැඳින්වෙන එක්සත් ජනපදය යි. ඉරානයේ පාර්ඩෝ, නන්ටාස් සහ එස්පහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනටම පහර දී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට තම ගුවන් හමුදාව සමත් වූයේයැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා පාරම් බෑවේය. ඔහු පවසන ආකාරයට දැන් ඉරානයට කළ හැකි එකම දේ කොන්දේසි විරහිතව යටත් වී “සාම සාකච්ඡා” ඇරඹීීම පමණය.

ඇමරිකා එක්සත් ජනපදයේ බළල් අතක් වන ඊශ්‍රායෙලය ඉරානයට එරෙහි මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කෙළේ පසුගිය ජුනි 13 වැනි දා අළුයම ය. ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළ ආකාරයට පළමු ප්‍රහාරයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සියල්ල විනාශ කිරීමටත් ටෙහෙරාන් නගරයේ දී ඉරාන හමුදා ප්‍රධානින් සියලු දෙනාම ඝාතනය කිරීමටත් ඊශ්‍රායෙලයට හැකි විය. එහෙත් ප්‍රහාර අවසන් වූයේ නැත. ඊශ්‍රායෙලය පසුගිය සතිය මුළුල්ලේම ඉරානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඇතුළු ආර්ථික මර්මස්ථානවලට සාර්ථක ලෙස මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායෙල් හමුදාව නිවේදනය කෙළේය. ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ නමුත් සුපුරුදු පරිදි ඒවා ජනමාධ්‍යයේ අවධානයට ලක් වූයේ නැත. කෙසේ වුවත් ඉරාන ප්‍රහාර නිසා ටෙල් අවිව්, බටහිර ජෙරුසලම සහ හයිපා නගරවල ජන ජීවිතය අකර්මණ්‍ය වූ බව සැඟවීමට නොහැකි විය. ඉරානයෙන් නිතර එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර නිසා ටෙල් අවිව් ගුවන් තොටුපොළ ද වසා දැමීමට සිදු වූ බව වාර්තා විය.

ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ ඊශ්‍රායෙලය ප්‍රහාර එල්ල කළ මුල් අවස්ථාවේම ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කළ බව ලොවටම ඇසෙන සේ පාරම්බෑවත් එය සත්‍යයක් නොවන බව ඇමරිකානු ප්‍රහාරවලින් තහවුරු වීමය. ඊශ්‍රායෙලයට ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට හැකි වූයේ නම් ජනාධිපති ට්‍රම්ප්ට සියයකට අධික ප්‍රහාරක ගුවන් යානා යැවීමට අවශ්‍යතාවයක් නැත. ඉරානය සමග න්‍යෂ්ටික වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා පවත්වමින් සිටි ට්‍රම්ප්ට ලොව අන් කිසිම රටකට නැතැයි කියන ප්රබලතම බෝම්බ සහිත ගුවන් යානා ඉරානයට යැවීමට සිදු වූයේ පවරන ලද ජරා වැඩය ඊශ්‍රායෙලයට නිසි ආකාරයට කළ නොහැකි වූ නිසාය. ට්‍රම්ප් පවසන ආකාරයට ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනම විනාශ කළ නිසා යුද්ධය අවසන් වනු ඇතැයි බලාපොරොත්තු ඇති කර ගැනීම සාධාරණය.
එහෙත් එවැනි බලාපොරොත්තු අරාබි කතරේ දිස්වන තවත් මිරිඟුවක් වන බවට කිසිදු සැකයක් නැත.
ඊට මුල්ම හේතුව ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ විනාශ කිරීම ඇමරිකාවේත් එහි බළල් අතක් වන ඊශ්‍රායෙලයේත් එකම අරමුණ නොවිමයි. ඉරානය තම න්‍යෂ්ටික වැඩ පිළිවෙළ සාමකාමී පර්යේෂණ කටයුතු සඳහායැයි දිගින් දිගටම අවධාරණය කළ නමුත් ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජහින් නෙතන්යාහු සහ ඇමරිකා එක්සත් ජනපදය එය පිළිගත්තේ නැත. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ පරමාණුක බලශක්ති ආයතනයේ පරික්ෂාවට නිරන්තරයෙන්ම ලක් වූ අතර ඉරානය න්‍යෂ්ටික බෝම්බ තැනීමට ප්‍රමාණවත් ආකාරයෙන් යුරේනියම් බලගන්වා නැති බව සිය වාර්තාවලින් දක්වා ඇත. ඉරානය යුරේනියම් බල ගැන්වීම සියයට හැට දක්වා කර ඇති නමුත් එය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට තරම් බල ගැන්විමක් නොවේ.

ඊටත් වඩා වැදගත් වන්නේ ඩොල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික බුද්ධි ප්‍රධානි ටුල්සි ගැබාර්ඩ් ද ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට සූදානම් නැතැයි විවිධ ජනමාධ්‍යවලට පැවසීමය. ඇය ප්‍රකාශ කළ ආකාරයට ඉරානයේ උත්තරීතර නායක අල් කමේනි 2003 දී න්‍යෂ්ටික බෝම්බ ගැනීම තහනම් කිරීමේ නියෝගයක් නිතුත් කර ඇති අතර තවමත් ඉරානයේ ප්‍රතිපත්තිය වන්නේ එයයි. උත්තරීතර නායක අල් කමේනි මෙම තහනම පනවා ඇත්තේ සමූළාඝාතන අවි නිපදවීම ඉස්ලාම් ආගමට විරුද්ධ නිසාය. එමනිසා එය කඩ කිරීමට ඉරානයේ කිසිම නායකයෙකු ඉදිරිපත් වන්නේයැයි කිව හැකිය.මෙය 2025 ජුනි 13 වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූ ගොඩනැගිල්ලකින් නැගෙන ගිනි හා දුම පිළිබඳ පුවතකි.
එහෙත් ජනාධිපති ට්‍රම්ප් තමා විසින්ම පත් කළ බුද්ධි ප්‍රධානිගේ අදහස පිලිගැනීමට සූදානම් නැත. ජනමාධ්‍යවේදියෙකු ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහුගේ පිළිතුර වූයේ ඇය කියන දේවල් මා ගණන් ගන්නේ නැත යනුවෙනි.
සත්‍යය වන්නේ ඉරානය ඊශ්‍රායෙලයේත් ඇමරිකාවේත් ආරක්ෂාවට තර්ජනයක් වන න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට සූදානම්ය යන්න ඉරානයේ පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා එරට ආක්‍රමණය කිරීමේ නග්න අරමුණ ආවරණය කිරීමට ගන්නා දුර්වල උත්සාහයකි යන්නයි. ඇමරිකාව තම දුෂ්ට අරමුණු සඳහා මෙවැනි කඩතුරා යොදා ගත් පළමු අවස්ථාව මෙය නොවේ.

නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීමට යොදා ගත්තේ ද මෙවැනිම ප්‍රලාපයකි. ඉරාක ජනාධිපති සදාම් හුසෙන් විනාඩි කීපයකින් එක්සත් ජනපදයට ළඟා විය හැකි සමූළාඝාතන අවියක් නිපදවන්නේයැයි චෝදනා එල්ල විය. එළඹෙන මහා විනාශයෙන් ඇමරිකාවත් ලෝකයත් ගලවා ගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලින් ඉරාකයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කෙරිණ. ඉන් මිය ගිය සංඛ්‍යාව දශ ලක්ෂයකටත් වඩා වැඩිය. අවසානයේ දී එවැනි අවියක් ඉරාකයෙන් සොයා ගැනීමට නොහැකි වුවත් ඇමරිකානු අරමුණ එනම් සදාම් හුසෙන් ගේ පාලනය පෙරළා දැමීමට හැකි විය.

ඉන් පසුව සිරියාවේ බෂාර් අල් අසාඩ් සිය විරුද්ධවාදින් සමූළාඝාතනයට රසායනික අවි යොදා ගන්නේයැයි චෝදනා එල්ල විය. එමනිසා අසාඩ් ගේ රජයට එරෙහිව සටන් කළ අන්තවාදී කණ්ඩායම්වලට අවි සහ සටන් පුහුණුව සැපයිණ. සිරියාවේ ඊසාන පෙදෙසේ කුර්දි කැරලිකරුවන්ගේ පාලනයක් ඇමරිකාවේ සහායෙන් පිහිටුවනු ලැබිණ. අසාඩ් පලවා හැරීම සම්පූර්ණ වූයේ පසුගිය වසරේ දීය. එහිදි ද රසායනික අවි කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. එම චෝදනාව ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අසාඩ් පාලනය පෙරළා දැමිමට යොදා ගත් තවත් කඩතුරාවකි.
2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළඳ මධ්‍යස්ථානයට පැහැර ගත් ගුවන් යානාවලින් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සෘජු සම්බන්ධතාවයක් තිබුණේ සෞදි ජාතිකයන්ට වුවද ඇමරිකානු ප්‍රහාර එල්ල වූයේ ඇප්ගනිස්ථානයටය. ඒ තලෙබාන් පාලනය පෙරළා දමා තමන්ට හිතවත් රාජ්‍යයක් පිහිටුවීමටය. එහිදී ද සිදු වූ ජීවිත හානි අපමණ ය.

මින් පැහැදිලි වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට කිසියම් රාජ්‍යයක පාලනය වෙනස් කිරීමට අවශ්‍ය නම් කුමන හෝ හේතුවක් යොදා ගැනීම ඔවුන් ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය යන්නයි. ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සැබෑ අරමුණ එහි වත්මන් පාලනය වෙනස් කිරීම ය. ඒ සඳහා න්‍යෂ්ටික අවි නිපදවීමේ චෝදනාවක් එල්ල කරන්නේ ඉරානයේ ඉස්ලාමීය ජනරජය පෙරළා දැමීමට හේතු කර ගැනීමට ය.
ඉරානයේ ඉස්ලාමීය ජන රජය පෙරළා දැමීම ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය වූයේ ඇමරිකාවට ගැති රීසා පහ්ලවි ෂා ගේ පාලනය බිඳ වැටීමක් සමග ය. ෂා පලා යෑමෙන් පසුව පිහිටුවන ලද ඉස්ලාමීය ජන රජය ආරම්භයේ සිටම දැඩි ඇමරිකානු විරෝධී ස්ථාවරයක් ගැනීමට සාධාරණ හේතු තිබිණ. ඉන් එකින් එක සාකච්ඡා කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නොවන නමුත් ඉරානය සතු ඛනිජ සම්පත් පාලනය ඇමරිකානු සමාගම්වලින් ඉවත් කිරීමත් පලස්තීනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක නොසෙලී සිටීමත් ප්‍රධාන ය. ඊට අමතරව ඉරානයේ භූගෝලීය පිහිටීම ද උපාය මාර්ගික වැදගත්කමක් ඇති සාධකයකි. ලොව තෙල් නිෂ්පාදනයෙන් සියයට 20තට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ ඉරානයේ පාලනයට ලෙහෙසියෙන්ම ගත හැකි හොර්මුස් සමුද්‍රසන්ධිය හරහාය. එවැනි තත්වයක් යටතේ ලොව තෙල් සැපයුම අඩාල කිරීමේ හැකියාවක් ඉරානය සතුය. එමනිසා ඉරානයේ තමන්ට හිතවත් පාලනයක් පිහිටුවීම ඇමරිකානු මැද පෙරදිග ප්‍රතිපත්තියේ මූලික සාධකයකි.
ජාත්‍යන්තර නීතිය හෝ එක්සත් ජාතික්ගේ ප්‍රඥප්තිය නොසලකා ඉරානය ආක්‍රමණය කිරීම ඇමරිකාවේ දීර්ඝ කාලින මැද පෙරදිග සැලැස්මේ කොටසකි. නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ප්‍රතිපත්ති ප්‍රකාශයක් කළ ඇමරිකානු හමුදාවේ හිටපු ජනරාල්වරයෙකු වූ වෙස්ලි ක්ලාර්ක් ඇමරිකවේ සුරක්ෂිත භාවය තහවුරු කිරීමට ඉදිරි වසර හත ඇතුළත රටවල් පහක් ආක්‍රමණය කිරීමට සැලසුම් කළ යුතුයැයි කීවේය. ඉරානය එම සැලැස්මේ පස්වන රටයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාරම්බාන ආකාරයට ඉරානයේ ප්‍රහාරක ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති නිසා අභියෝගයක් නැතිවම සිය අරමුණු ඉටු කර ගත හැකියැයි සිතීම යථාර්ථය නොවේ. ඉරානයේ යුද ශක්තිය දුර්වල වුවද සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි කිව නොහැකිය. අනෙක් අතට ඉරානයට අසල්වැසි රටවල් වන රුසියාව සහ චීනය සෘජුවම අවි ගැටුම වැළැක්වීමට ඉදිරිපත් විය නොහැකි වුවත් ඒ රටවල් දෙකම ඉරානය ඇමරිකානු ග්‍රහණයට හසුවීම තම ආරක්ෂාවට තර්ජනයක් සේ දකිනු ඇත. මේ රටවල් දෙකම අස්ථාවර කිරීම ඇමරිකාවේ අරමුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමනිසා ඉරාන යුද්ධය දින කීපයකින් අවසන් නොවන අවි ගැටුමක් වන බව නොඅනුමානය. සමහර විට න්‍යෂ්ටික යුද්ධයක් බවට පරිවර්තනය විය හැකි එවැනි තත්වයක් කලාපයෙත් ලෝකයේත් සුභ සිද්ධියට කිසිසේත් හේතු නොවේ.

- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026