පසුගිය සතියේ කැනඩාව ඉන්දියානු තානාපති නිලධාරීන් හය දෙනෙකුගේ තානාපති වරප්‍රසාද ඉවත් කර රටින් නෙරපුවේය. ඊට ප්‍රතිචාර දැක් වු ඉන්දියාව ද කැනඩා තානාපති නිලධාරීන් හය දෙනෙකු රටින් නෙරපුවේය. එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් සමග සමීප දේශපාලන සහ ආර්ථික සබඳතා ගොඩ නගා ගෙන සිටින ඉන්දියාව සහ කැනඩාව අතර හටගත් මෙම “තානාපති ගැටුම” එක්තරා ආකාරකින් අපූරු සිදුවීමකි. නැගී එන ආසියානු බලවතා වන චිනයට එරෙහිව එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් පිහිටුවා ගෙන ඇති යුද හවුලේ (Quad) ඉන්දියාව උපාය මාර්ගික වශයෙන් ප්‍රධාන පුරුකකි. ඉන්දියානු සාගරයේ බටහිර යුද හවුලේ බලය පවත්වා ගැනීමටත් චීනයට සැබැවින්ම තර්ජනයක් වීමටත් ඉන්දියාවේ සහාය අනිවාර්ය ය. එවැනි පසුබිමක බටහිර යුද හවුලේ තවත් ප්රබලයෙකු වන කැනඩාව සහ ඉන්දියාව අතර ආරවුලක් හට ගැනීම සුළුකොට තැකිය නොහැකිය.
ඇමරිකානු ධජයේ සෙවන යටතේ සිටින කැනඩාව ඉන්දියාවට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කෙළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දීය. එම වසරේම ජුනි මාසයේ දී කැනඩාවේ වැන්කුවර් නගරයේ සීක් දේවස්ථානයක දී හර්දීප් සිංග් නිජාර් නම් සීක් නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙනි. ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සීක් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කරන කාලිස්ථාන් නිදහස් ව්‍යාපාරයේ නායකයෙකු වන හර්දීප් කැනඩාව තුළ ඉන්දියාවට එරෙහි ප්‍රචාරයක් ගෙන යෑම ඉන්දියාව කලක සිටම අවධානයෙන් සිටි දේශපාලන ප්රවනතාවයකි. ඉන්දියාව තුළ නිදහස් කාලිස්ථානයක් සඳහා ගෙන යන අරගලය ප්‍රබල ව්‍යාපාරයක් නොවන නමුත් එම අදහස කැනඩාවේ මෙන්ම එක්සත් ජනපදය තුළ සීක් ජනතාව අතර මුල් බැස ගත් දේශපාලන බලවේගයකි. ඉන්දියාවෙන් බැහැරව වැඩිම සීක් ජනතාවක් සිටින්නේ කැනඩාවේ ය. දශලක්ෂ දෙකකට ආසන්න මෙම ජන සංඛ්‍යාව කැනඩාවේ මැතිවරණ දේශපාලනයේ සැලකිය යුතු බල පවුරකි. ඉදිරියේ එළඹෙන මහා මැතිවරණයේ දී මෙම ජන කොටසේ සහාය දිනා ගැනීම අගමැති ජස්ටින් ට්රෘඩෝ ගේ දේශපාලන අවශ්‍යතාවයක් ද විය හැකිය.
හර්දීප් සිංග් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවට පළමු වරට චෝදනා එල්ල වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දීය. සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත් වූ කැනේඩියානු පොලිසිය මෙම ඝාතනය සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ බුද්ධි අංශ හවුල් වී ඇතැයි කීවේය. ඔවුන් වාර්තා කළ ආකාරයට ඉන්දියානු බුද්ධි අංශ කැනඩාවේ මහජන ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන ආකාරයට ක්‍රියා කරයි. පසුව අගමැති ට්රෘඩෝ ද කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී මෙම තොරතුරු හෙළි කළ ද නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කර නැතැයි ඉන්දියාව එම චෝදනා ප්‍රතික්ෂේප කෙළේය. කැනඩාවේ මැතිවරණයට සිදු කරන්නේයැයි කියන රුසියානු සහ චීන බලපෑම් විමර්ශනය කිරීමට පත් කළ මෙම කොමිසමේ සොයා ගැනීම් දේශපාලන අරමුණු ඇතිව ඉන්දියාව අපකීර්තියට ලක් කිරීමට යොදා ගෙන ඇතැයි ඉන්දියාව පිළිතුරු දුන්නේය.
ඇත්තෙන්ම ඉන්දියාව හර්දීප් ඝාතනය හෝ මෙම චෝදනා ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක් වූයේ නැත.
ඒ අතර ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී ගුර්පාත්වන්ත් සිංග් පානුම් නම් තවත් සීක් නායකයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම නිසා මෙම ආරවුලට එක්සත් ජනපදයේ මැදිහත වී්මක් ද ඇති විය. කාලිස්ථාන් නිදහස් ව්‍යාපාරයේ තවත් නායකයෙකු වන ගුර්පාත්වන්ත් සිංග් ඝාතනය කිරීමට යොදා ගත්තේ නිකිල් ගුප්තා නම් පාතාලයත් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකුයැයි එක්සත් ජනපදය සෘජුවම චෝදනා එල්ල කෙළේය. පසුව නිකිල් යාදෙව් චෙක් ජනරජයේ සිට උදර්පන නියෝගයක් මත එක්සත් ජනපදයට ගෙන එන ලදී. මෙම ඝාතන සැලැස්මට තවත් ඉන්දියානු බුද්ධි සේවයේ නිලධාරියෙකු සම්බන්ධයැයි එක්සත් ජනපදය චෝදනා කළත් ඔහුගේ නම අධිකරණයේ නඩු විභාගය ඇරඹෙන තෙක් ප්‍රකාශයට පත් වූයේ නැත. මෙම විමර්ශන සහ අධිකරණ ක්‍රියා මාර්ග ගැන වාර්තා ලබා ගැනීමට ඉන්දියානු ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමක් වොෂින්ටන් නගරයට ද ගිය බව වාර්තා වේ. කෙසේ වුවත් ඉන්දියානු සංචාරයෙන් පසුව ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ දෙවැනි පුද්ගලයා වික්‍රම් කුමාර් යාදෙව් බව අනාවරණය විය.
මෙම පුද්ගලයන් තවදුරටත් ඉන්දියාවේ බුද්ධි අංශවල සේවය නොකරන බව ඉන්දියාව පවසයි.
මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය වඩාත් උත්සන්න වූයේ ඉන්දියානු ආණ්ඩුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශකයෙකු වන අජිත් දොවාල් සිංගප්පූරුවේ දී කැනඩාවේ නියෝජිතයෙකු හමු වීමෙන් පසුවය. මෙම හමුවේ දී කැනේඩියානු නියෝජිතයා හර්දීප් සිංග් ඝාතනය සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ වාර්තා අජිත් දොවාල්ට ඉදිරිපත් කර ඇති නමුත් ඔහු ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත. තමා ජී 20 සමුළුවේ දී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් මේ පිලිබඳව විමසූ නමුත් ඔහු ද නිසි පිළිතුරක් ලබා නොදී මගහැරියේයැයි කැනේඩියානු අගමැති ජස්ටින් ට්රෘඩෝ පැවසුවේය. අර්බූදය රාජ්‍ය තාන්ත්‍රික කුණාටුවක් බවට පත් වූයේ ඉන් පසුවය. දෙරටේම තානාපති නිලධාරීන් නෙරපා දැමීම එහි එක් ප්රකාශනයක් පමණි.
ගුර්පත්වාන්ත් සිංග් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ නඩු විභාගය දැන් නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන අතර එහි දී ප්‍රකාශයට පත්වන තොරතුරු සම්බඳතා තවත් පිරිහීමට තුඩු දිය හැකිය.
ආරක්ෂාවට අමතරව දේශපාලන සහ ආර්ථික කටයුතු පිළිබඳ තොරතුරු සෙවීම බොහෝ රටවල රාජ්‍ය ප්‍රතිපත්තියක් වී ඇති නිසා කැනඩාව සහ ඉන්දියාවත් ඊට අමතරව එක්සත් ජනපදයත් ඔත්තු සේවා පිළිබඳ ගැටුමේ පාර්ශ්වයන් වීම අමුතු දෙයක් නොවේ. බල කඳවුරු අතර බුද්ධි තොරතුරු නමින් හැඳින්වෙන ඔත්තු බැලීම නිතර සිදු වන්නකි. ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට කැනඩාව හර්දීප් සිංග් ඝාතනය පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇත්තේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් ඇස් පහ නම් (Five Eyes) ඔත්තු බැලීමේ සන්ධානය හරහා ය. ඉන්දියාව මෙම හවුලට අයත් නොවන නමුත් චතුෂ්කය නමින් හැඳින් වෙන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඉන්දියාව සහ ජපානය අයත් ආරක්ෂක සන්ධානයේ කොටස්කරුවෙකි. චීනය ඉලක්ක කර ගත් මෙම සන්ධානයේ ඉන්දියාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි.
චීනයට අභියෝග කිරීමේ දී බටහිර රටවලට ඉන්දියාව අමතක කළ නොහැක. එහෙත් නැගෙනහිර ආසියාවේ ජපානය ඉටු කරන කාර්ය ඉන්දියාවෙන් ඉටු කර ගැනීමට හැකි වන්නේ ද යන්න ඇත්තෙන්ම විවාදාත්මක කරුණකි. ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂකයන් පවසන ආකාරයට ආරක්ෂාව හෝ දේශපාලන කටයුතුවලදී බටහිර රටවලට ඉන්දියාව හවුල්කරුවෙකු විනා ‘ගෝලයෙකු’ කර ගත නොහැකිය. භූමි ප්‍රදේශය මෙන්ම ජන සංඛ්‍යාව, ආර්ථික හා යුද ශක්තිය අතින් බලවතෙකු වන ඉන්දියාවට තමන්ගේම ආරක්ෂක සහ දේශපාලන අවශ්‍යතා පවතී. එහෙත් ලොව එකම බලවතා වශයෙන් හඳුන්වා ගන්නා එක්සත් ජනපදයට අවශ්‍ය ‘ගෝලයන්’ විනා හවුල්කරුවන් නොවේ. එහි පාර්ශ්වකරුවන් සැම විටම එක්සත් ජනපදයේ ආරක්ෂක මෙන්ම දේශපාලන සහ ආර්ථික වුවමනා වෙනුවෙන් පෙනි සිටිය යුතුය. එසේ නොවන්නේ නම් එවැනි පාර්ශ්වයක් හීලෑ කර ගැනීමේ උපාය මාර්ග ද එක්සත් ජනපදය සතුය.
කැනඩාව සහ ඉන්දියාව අතර වර්ධනය වන අර්බූදය තේරුම් ගැනීමට මෙම බල අරගලය අවබෝධ කර ගැනීම ද වැදගත් ය.
ඉන්දියාව සම්පූර්ණයෙන්ම අවනත කර ගැනීමට අපහසු බව එක්සත් ජනපදය තේරුම් ගත්තේ යුක්රේන් යුද්ධය සමගය. රුසියාව සමග අනියමෙන් කරන මෙම සටනේ දී ඉන්දියාව හවුල්කරුවෙකු කර ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. යුක්රේන් යුද්ධයට සාමකාමී විසඳුමක් අපේක්ෂා කරන ඉන්දියාව රුසියානු ආක්‍රමණය හෙළා දැකීමට ඉදිරිපත් වූයේ නැත. ඇත්තෙන්ම එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ සාමකාමී විසඳුමක් නොව ජයග්‍රහණයකි. මේ නිසා යුද සන්ධානයකට එක්ව සිටිය ද යුක්රේන යුද්ධයේ දි ඉන්දියාව ගත්තේ වෙනත් පියවරකි.
අනෙක් අතට ආර්ථික බලවතෙු වීමට සැලසුම් කරන ඉන්දියාව තමන් ගන්නා සෑම පියවරක දීම එහි ආර්ථික වටිනාකම ගැන වඩාත් උනන්දු වේ. ඇමරිකාව රුසියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධකවලට එක් නොවු ඉන්දියාව රුසියාව සමග කරන වෙළඳ ගනුදෙනු වඩාත් වැඩි කර ගත්තේය. සම්බාධකවලට ලක් වූ රුසියාවට ද එය ලාභදායි කටයුත්තකි. අද ඉන්දියාව රුසියාවෙන් බොර තෙල් මිලදී ගන්නා ප්‍රධාන රටවලින් එකකි. එය ඉන්දියානු තෙල් සමාගම්වලටද ලාභදායී ගනුදෙනුවකි. රුසියාවෙන් අඩු මිලට ගන්නා බොරතෙල් පිරි පහදු කර යුරෝපයට අපනයනය කිරීම ඉන්දියානු සමාගම්වලට නව වෙළඳ පොළක් විවෘත කිරීමකි. තවත් වාසියක් වන්නේ මෙම ගනුදෙනුවේ දී ඇමරිකානු ඩොලර් වෙනුවට දේශීය මුදල් යොදා ගැනීමට හැකි වීමය.
කාලිස්ථානයේ නිදහස් සටනේ නායකයන් කැනඩාවේ දී ඝාතනය කිරීමත් එක්සත් ජනපදයේ දී ඝාතනය කිරීමට තැත් කිරීමත් රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක් බවට වර්ධනය වන්නේ මෙවැනි පසුබිමක ය. ඉන්දියාව කවර තත්වයක දී හෝ රට කැබලිවලට බෙදා වෙන් කිරීමකට එකඟ නොවන අතර එක්සත් ජනපදය තම ආධිපත්‍යය ලොව පුරා ව්‍යාප්ත කිරීමට කිසියම් හෝ ආකාරයකින් හානියක් වීමට ඉඩ දෙන්නේ නැත. එම ගැටුමේ දී ඉත්තෙකු වන්නේ සැම අතින්ම එක්සත් ජනපදය හා ගැට ගැසී ඇති කැනඩාවයි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024