You are currently viewing ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි..

ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි..

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ)  සහ අනෙකුත් ණය හිමියන් සමඟ සාකච්ඡා කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනු ඡන්දදායකයින් විශාල ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෑතදී ඔහුගේ නැවත තේරී පත්වීමේ ලංසුව අහිමි විය. ඒ වෙනුවට, ශ්‍රී ලාංකිකයන් විසින් වාමාංශික ජාතික ජන බලවේගය (ජාජබ) සන්ධානයේ නායක සහ ජාමූඅ විසින් පනවා ඇති කප්පාදු පියවරයන් පිලිබඳ හඬ නැඟූ  විවේචකයෙකු වන අනුර කුමාර දිසානායක තෝරා පත් කර ගන්නා ලදී.

රටෙහි පවතින ණය අර්බුදය විසඳීම සඳහා තම නායකත්වය තීරණාත්මක බව ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ලෙස, වික්‍රමසිංහ සැප්තැම්බර් 19 දින – ජනාධිපතිවරණයට දින දෙකකට පෙර – ජාත්‍යන්තර පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක් තමන් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.  දිසානායක නව ආර්ථික ගමන් මඟක් සකස් කරගැනීමට කැපවී සිටින්නේ නම්, ඔහුගේ වඩාත්ම වැදගත් කාර්යය වනු ඇත්තේ මෙම ගනුදෙනුව අත්හැරීමයි.

2022 දී ලංකාව විදේශ ණය පැහැර හැරීමට හේතු වූ සහ එහි ආර්ථිකය කඩාවැටීමට හේතු වූ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හේතුව වශයෙන්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දූෂිත පරිපාලනය යටතේ සිදු වූ දරුණු ආර්ථික අවකළමනාකරණය  දැක්විය හැක. අන්තර්වාර ජනාධිපති බවට පත් වී දිග්ගැස්සුනු ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අධීක්‍ෂණය කිරීමට සිදු වූ වික්‍රමසිංහට ඩොලර් බිලියන 2.9ක ජාමූඅ ණයකට හිලව් වශයෙන්, දැඩි පටිතදකිරීම් පියවර සහ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුළුව බරපතල හා නින්දිත කොන්දේසි පිළිගැනීමට බල කෙරුනි.

ජුලි මාසයේදී අප ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් රටේ ජනගහනයට එල්ල වී ඇති විශාල හානිය අපි සියැසින්ම දුටුවෙමු. එක් ගැටලුවක් පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සහ දෝෂ සහිත සහ යථාර්ථවාදී නොවන ඉලක්ක තැබීමේ පදනම ලෙස ක්‍රියා කළ අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණයෙහි ය. මේ වන විට රටට මෙම ඉලක්ක සපුරාගත නොහැකි බව හොඳින්ම පැහැදිලි වී ඇතත්, අසාර්ථක ආර්ථික උපාය මාර්ගයක පිරිවැය සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් විසින් දිගටම දරනු ලැබ සිටියි.

2024 මාර්තු වන විට, ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 34 ක විදේශ ණය වලින් දළ වශයෙන් ඩොලර් බිලියන 12.5 ක් අයිතිව තිබුණි.  වික්‍රමසිංහ මැතිවරණයට මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ගණුදෙණුව මගින් නව බැඳුම්කර සඳහා පවතින ණය  අඩු අගයකට හුවමාරු කර ගැනීමට යෝජනා කරයි. එමගින්, ප්‍රඥාගෝචර උපකල්පන යටතේ ණය තිරසාරත්ව බව යථා තත්ත්වයට කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වුවද, ණයහිමියන් මත ක්ෂණික කප්පාදුවක් පනවයි. ඒ අතරම, නව මූල්‍ය මෙවලමක් එනම්, සාර්ව- සම්බන්ධිත බැඳුම්කර හඳුන්වා දෙයි. (1)

ශ්‍රී ලංකා රජයට ඉහත ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ තම ණය හිමියන් සමඟ බෙදා ගැනීමට අවශ්‍ය කෙරෙන මෙම උපකරණය මුලින් ඉදිරිපත් කරනු ලැබුවේ ණය තිරසාරභාවය ඉහළ නැංවීමේ මාර්ගයක් වශයෙනි. යථාර්ථය නම්, එහි මූලික අරමුණ වන්නේ, ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් නොවන්නේ නම්, ශ්‍රී ලංකාවට ආරක්ෂාවන් කිසිවක් ලබා නොදී, බැඳුම්කර හිමියන්ට උපරිම ගෙවීම් කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් තවමත් අනුමත කළ යුතු යෝජිත ගනුදෙනුව ශ්‍රී ලංකාවේ ජනතාවට අනවශ්‍ය වේදනාවක් ගෙන දෙනු ඇත. ණය-ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලදී සංවර්ධනය වෙමින් පවතින රටවල රජයන්ට බලපෑම් කිරීමට පුද්ගලික බැඳුම්කර හිමියන්ට ඇති හැකියාව සීමා කිරීමට දැන් දියත් වෙමින් පවතින ව්‍යවස්ථාදායක ප්‍රයත්නයන් යටපත් කිරීම මගින් එය භයානක පූර්වාදර්ශයක් ද තබනු ඇත.

යෝජිත ගිවිසුමේ කෙටුම්පතක් අවධාරණය කරන්නේ ඔවුන්ගේ බාහිර බැඳීම් ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කරන අනෙකුත් මූල්‍යමය වශයෙන් පීඩාවට පත් රටවල් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවේ දුරදිග යන ඇඟවුම් ය. “ නව සුරැකුම්පත් වල ඕනෑම නිශ්චිත මාලාවක 20% ක හිමිකරුවන් විසින් යෝජනා කරන්නේ නම්,” බැඳුම්කර හිමියන්ගෙන් සුපිරි බහුතරයකගේ අනුමැතිය ඇතිව, “ඉංග්‍රීසි හෝ ඩෙලවෙයාර් නීතිය” ලෙස නව සුරැකුම්පත්වල “පාලක නීතිය වෙනස් කිරීමට” බැඳුම්කර හිමියන්ට ඉඩ සලසන විධිවිධානයක් පෙළ තුළ සැඟවී ඇත.

සරලව කිවහොත්, නීතිමය ආරවුල් හෝ අනාගත ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් හසුරුවනු ලැබෙන අධිකරණ බලය වෙනස් කිරීමට බැඳුම්කර හිමියන්ගේ කුඩා කණ්ඩායමකට ඡන්දයක් ආරම්භ කළ හැකිය. “සුපිරි බහුතරයක්” එකඟ වන්නේ නම්, බැඳුම්කර නිකුත් කර බොහෝ කලකට පසු [පවා] හිඟව පවතින බැඳුම්කරයක් පාලනය කරන නීතිමය රාමුව වෙනස් කිරීම ණයහිමියන්ට කළ හැකිය. (ඩෙලවෙයාර් ( ඇමෙරිකානු ප්‍රාන්තයකි ) යනු බදු තෝතැන්නක් බව මෙහිලා සැළකියයුතු ලෙස වැදගත් ය.)

එපමණක් නොව, දැඩි ලෙස ණයගැති රටවල බදු ගෙවන්නන්ගේ වියදමින් ජාත්‍යන්තර ණය හිමියන් අතිවිශාල ලාභ උපයා ගැනීම වැලැක්වීමට අදහස් කරන නිව් යෝර්ක් ප්‍රාන්ත පනත් කෙටුම්පතක් වන ස්වෛරී ණය ස්ථායිතා පනතට එරෙහිව බලපෑම් කරන පුද්ගලික බැඳුම්කර හිමියන්ට අවශ්‍ය දෙයම වික්‍රමසිංහගේ ගනුදෙනුව ලබා දෙයි. අතිශයින් අවශ්‍ය කෙරෙන ගෝලීය ණය වෙලඳපොලවල ප්‍රතිසංස්කරණ සඳහා බලකර සිටිනවා වෙනුවට, ශ්‍රී ලංකාවේ පසුගිය රජය, තම කේවල් කිරීමේ තත්ත්වය ශක්තිමත් කිරීමේ අභිප්‍රාය ඇති බැඳුම්කර හිමියන්ගේ අවශ්‍යතා සමඟ ඵලදායි ලෙස එකට පෙලගැසුණි. විය හැකි පරිදි, මෙම ණය ගනුදෙනුව වසර කිහිපයකදී තිරසාර නොවන බව ඔප්පු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් දරුණු හානියක් සිදුවීමේ හැකියාව මෙය නිර්මාණය කරයි.

මෙම ගිවිසුම, එය නොබිඳී පවත්වාගෙන යන්නේ නම්, අනාගත ණය-ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනු වලදී ඒ හා සමාන ප්‍රතිපාදන සඳහා බල කිරීමට බැඳුම්කර හිමියන් දිරිමත් කළ හැකිය. කාලයාගේ ඇවෑමෙන්, කොල්ලකාරී පිළිවෙත් වලක්වාලීමට සහ අර්ථවත් ණය සහන ලබා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවල උත්සාහයන් වලක්වාලීමට අරමුණු කරන නීති මඟ හැරීමට ණය හිමියන්ට ඉඩ සළසනු ඇත.

මෙහි පරදුවට තබා ඇති දේ සළකන කළ, දිසානායක සිය මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ඉටු කළ යුතු අතර වික්‍රමසිංහගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ යුතුය. ශ්‍රී ලංකාව – සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ලෝකය – පරාජිත ජනාධිපතිවරයෙකුගේ අසාර්ථක ප්‍රතිපත්තිවල ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතුය. රටේ ආර්ථිකය ප්‍රකෘතියට පත් කිරීමට සහාය වීමට සහ එහි ණය තිරසාර මාවතකට ගෙන ඒම සඳහා, ජාමූඅ ණය කොන්දේසි නැවත සාකච්ඡා කළ හැකිය. මෙම තීරණාත්මක මොහොතේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ විදේශීය බැඳුම්කර හිමියන්ගේ අවශ්‍යතාවලට වඩා තම යහපැවැත්ම ඉහළින් තබන නායකයෙකි.

සී.පී. චන්ද්‍රසේඛර්
මාර්ටින් ගුස්(z)මන්
ජයති ඝෝෂ්
චාල්ස් අබුග්‍රේ

අග සටහන්

  1. සාර්ව – සම්බන්ධිත බැඳුම්කර අදහස් කරන්නේ බැඳුම්කර ආපසු ගෙවීම රටේ ඩොලර් – දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටමට බැඳී ඇති බවයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩොලරයේ දළ දේශීය නිෂ්පාදිතය 2025-2027 සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩි නම්, රට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙත ණය සහ වැඩි කළ පොලී ගෙවීම ලෙසින් වැඩි මුදලක් ගෙවනු ඇත. ඩොලරයේ දළ දේශීය නිෂ්පාදිතය අඩු වන විට ශ්‍රී ලංකාවට අඩුවෙන් ආපසු ගෙවීමට ද ගිවිසුමෙන් අවසර ලැබේ. (ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර්, නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම )

Leave a Reply