You are currently viewing ජනාධිපතිවරණයේ ජය ජනතාව සතු කර ගන්නේ කෙසේද?

ජනාධිපතිවරණයේ ජය ජනතාව සතු කර ගන්නේ කෙසේද?

දැන් පශ්චාත් මැතිවරණ කාල සීමාව එළඹ ඇත. අවසන් වූයේ ජනාධිපතිවරණය නිසා ජයග්‍රාහකයා වන්නේ එක පුද්ගලයකි. පූර්ව මැතිවරණ සමයේ ඉස්මතු වූයේ ද එක පුද්ගලයෙකි. පිටු ගණන් වූ ප්‍රතිපත්ති ප්‍රකාශන වුවද අවසානයේ දී බලය ඉල්ලා සිටියේ එක් පුද්ගලයෙකු වෙනුවෙනි. මැතිවරණ වේදිකාවේ වැඩියෙන්ම කතා බහ වූයේ ද නායකත්වයේ සිටි පුද්ගලයා ගැනය. නායකයන් වූ අය ද කතා කෙළේ තමා රට භාරගත් පසු කරන දේ ගැනය. ඡන්ද සටනේ ස්වභාවය අනුව එය වරදක් සේ නොපෙනේ. එමනිසා ලැබුණ ජනවරම තමා කෙරේ තබන ලද විශ්වාසයක් සේ ජයග්‍රාහකයා උදම්වීම ද අපට තේරුම් ගත හැකිය.

රටවැසියා සහ නායකයා අතර ඇති සම්බන්ධතාවය ඡන්ද පෙට්ටියට දැමූ කතිරය ගැසු කොළ කැබැල්ලට සීමාවීම පසුගිය වසර හැත්තෑහය පුරාවට අපට දක්නට ලැබුණ දෙයකි. ඡන්දය ලබා ගැනීමට ඉමහත් මුදලක් වැය කිරීම නිසා ජයග්‍රහණය මිලදී ගත්තා සේ සැලකීමට ඇති පෙළඹවීම ඉතිහාසය පුරාම දක්නට ලැබුණු තවත් ප්‍රවනතාවයකි. රාජ්‍ය බලයට හිමි කර ගන්නා අපමණ බලතල ජනතාවගේ සුභ සිද්ධියට වඩා වැය කරන ලද ධන සම්භාරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේ එළඹෙන ඡන්ද සටන් සඳහා ආයෝජනය කිරීමටත් ජයග්‍රාහකයා ක්‍රියා කරන ආකාරය ද ඉතිහාසයේ කොටසකි.

ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙතක් තුළ නිසා මෙම ජයග්‍රහණයෙන් මෙන්ම පරාජයෙන් එම ක්‍රියා පිළිවෙත සුරක්ෂිත වන්නේ ද යන්න ඉතා වැදගත් ය. විශේෂයෙන්ම මෙම ජනාධිපතිවරණය පැවැත් වූයේ ජනතාව තුළ පාලකයන් ගැන තිබු විශ්වාසය බින්දුවටම පහත වැටී තිබුණ අවස්ථාවක ය. එමනිසා මැතිවරණ ක්‍රියාවලියෙන් බිඳී ගිය ජනතා විශ්වාසය නැවත ගොඩ නැගීමේ ආරම්භයක් වූයේ ද යන්න විමසා බැලීම වැදගත් ය. ඒ අද රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අභියෝග එක පෑන් පහරකින් විසඳිය නොහැකි නිදන් ගත රෝග නිසාය. මෙම රෝගයට හේතුව ලෙස හඳුනා ගත්තේ දුෂ්පාලනයයි. වංචාව, හොරකම සහ දූෂණය එහි කැපී පෙනුන රෝග ලක්ෂණයි. පවතින ක්‍රමයේ වෙනසක් අපේක්ෂා නොකළ සමහර අය නව නීති ගෙන ඒමට තමන් කටයුතු කරන බව කීවේ එම රෝග ලක්ෂණ අමතක කළ නොහැකි නිසා ය. රටේ ආර්ථිකයත් ඒ තුළින් දේශපාලන වැඩ පිළිවෙළත් හසුරුවන අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නව නීති අවශ්‍ය බව නිර්දේශ කෙළේය. ඔවුන් ගේ ප්‍රතිකාරය වූ විදේශ මුදල් සැපයීම තිරණය වූයේ නිර්දේශ කළ ප්‍රතිකාර ලබා දීමේ ප්‍රවේගය මතය.

එහෙත් රටවැසියන්ට පැහැදිලි වී ඇති ආකාරයට ශ්‍රී ලංකා දේහය ට වැළඳී ඇති ව්‍යාධිය සුව කිරීමට නීති රීති පමණක් ප්‍රමාණවත් නැත. නීතිය ගැන හසළ දැනුමක් නැති අයෙකුට පවා රටේ පවතින නීති ප්‍රමාණවත් ආකාරයෙන් අපක්ෂපාතීව සහ අවංකව ක්‍රියාත්මක කරන්නේ නම් රෝග ව්‍යාධිය සුව කිරීම අපහසු නැත. අල්ලස් හෝ දූෂණ කොමිසම සතුව ඇති බලතල ක්‍රියාත්මක කරන්නේ නම් බැඳුම්කර වංචාව සහ සීනි තීරු බදු වංචාව ගැන කතා කිරීමට ඡන්ද වේදිකාවක් අවශ්‍ය නොවේ. පොලීසිය සහ අනෙකුත් ආයතන ක්‍රියාත්මක වන්නේනම් කුඩු ජාවාරම නතර කිරීමට විශේෂ මෙහෙයුම් අවශ්‍ය නැත. ඒ අනුව බලන විට රටේ පරිහානියට ප්‍රධාන හේතුව නීති නැතිකම නොව නීති ක්‍රියාත්මක නොවීමය. නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඒ සඳහා ඇති ආයතනවල අඩුවක් නිසා නොව දේශපාලන නායකත්වයේ බලපෑම නිසා ය.

ගාළු මුවදොර තරුණ අරගලයක් හට ගැනීමටත් ඊට රට පුරා ජනතාවගේ සහාය ලැබීමටත් මූලික හේතුව නීතිය ක්‍රියාත්මකවීම දේශපාලන නායකත්වයෙන් වළක්වන නිසාය. ගෝටා ගෝ හෝම් සටන් පාඨයෙන් කියවෙන්නේ එවකට ජනාධිපති තනතුරේ සිටි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම පමණක් නොවේ. ජරාජීර්ණ වූ පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමකි. දෙසිය විසිපහම එපා කීවේ පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු නිසා ය. වත්මන් පාලකයන්ගේ ගැලවුම්කරු වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පාලනයේ ප්‍රතිසංස්කරණ සඳහා නව නීතිරීති අවශ්‍ය බව නිර්දේශ කෙළේ එම නිසාය. රජයේ මුදල් පාලනය කරන මහ බැංකුව මුදල් ඇමතිගේ පාලනයෙන් නිදහස් කළ යුතු බව කීවේ දේශපාලන බලපෑම ඉවත් කිරීමට ය.

ඇත්තෙන්ම ආර්ථිකයේ සහ දේශපාලනයේ අත්‍යවශ්‍ය වෙනස්කම් පාලන බලයේ සිටින පුද්ගලයාගේ හෝ එම කණ්ඩායමේ වගකීමක් පමණක් නොවේ. දූෂණ වංචා පිටුදැකීම නීතිමය අවශ්‍ය තාවයටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ලක්ෂණයක් විය යුතුය. දූෂණ හෝ වංචාවලට දඬුවම් දීම අධිකරණ තීන්දුවකට ලඝු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් නොවේ. මහජන දේපොළ අයථා ආකාරයෙන් පැහැර ගැනීම, බලහත්කාරය සහ බිය වැද්දීම දේශපාලන භාවිතය කර ගැනීම පිටු දැකීමේ සමාජ භාවිතයක් තිබිය යුතුය. ශිෂ්ට සදාචාරයක් ගොඩ නැගෙන්නේ එවැනි පරිසරයක පමණි. අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් වංචා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇති අය මහජන මුදලින් නඩත්තු කිරීමේ භාවිතය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුය.

මෙම සදාචාරය ගොඩ නැගෙන්නේ රික්තයක් තුළ නොවේ. එය එදිනෙදා ජීවිතයේ සෑම කටයුත්තකදීම පිළිබිඹු විය යුතුය. එවැනි සමාජ භාවිතාවක පළමු පියවර වන්නේ සමාජ මතයට හිස නැමීම ය. ජන්ද විමසීම ජනමතය විමසීමේ පිළිගත් ක්‍රමයක් නිසා මැතිවරණයේ ප්‍රතිඵලයට ගරු කිරීමට අපේ දේශපාලන නායකයන්ට හැකියාවක් තිබේ ද යන්න විමසිය යුතුය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයන් තවදුරටත් නායත්වයේ සිටීම කිසිසේත් ජනමතයට ගරු කිරීමක් නොවේ.

2020 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී නායකයෙකු දෛවයේ සරදමක් නිසා විධායක ජනාධිපති තනතුරට පත්වීම කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හෝ ශිෂ්ට සම්පන්න විනය ගරුක සමාජයක විය හැක්කක් නොවේ. ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම නායකයා ගත යුතු එකම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගය වූයේ පරාජයේ වගකීම භාර ගෙන පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමය. එහෙත් සිදු වූයේ ශිෂ්ටත්වයට පයින් ගසා නමක් හෝ නොතිබුණ පුද්ගලයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ය. රට ගලවා ගැනීම ගැන පාරම්බාන මොහු ජනතාව විසින් සම්පූර්ණයෙන්ම බැහැර කළ බව දිවා රෑ ස්ත්‍රෝත්‍ර ගී ගයන ඔහුගේ අනුගාමිකයන්ට දැනෙන්නේ  නැත.

ජනතාව ප්‍රතික්ෂේප කරන “නායකයන්” අප අතර කොපමණ සිටීද යන්න ජනාධිපතිවරණයෙන් පසුව අපට දැක ගැනීමට හැකි වනු ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කලක් ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍යය වැනි රටවල මැතිවරණ පරාජයෙන් පසුව නායකයන් ජනමතයට හිස නමමින් නායකත්වයෙන් ඉවත් වූ ආකාරය අපට සිහිපත් කළ හැකිය. බ්‍රිතාන්‍යයේ පසුගියදා පැවැත් වූ මැතිවරණයෙන් බලයේ සිටි කොන්සර්වෙටිව් පත්ෂය පරාජයට පත් වූ විට එහි නායකයා වූ රිෂි සුනාක් නව නායකයෙකු පත් වූ තමා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කෙළේය. ලේබර් පක්ෂයේ නායකත්වයේ ද පවතින්නේ එවැනි සම්ප්‍රදායකි. එහෙත් අපේ රටේ සම්ප්‍රදායන්ට ගරු කිරීමේ පුරුද්දක් ඇත්තේම නැත.

රටක් ගොඩ නැගීමේ මූලික සාධකය ප්‍රජාතන්ත්‍රීය භාවිතය සමාජ පිළිගැනීමක් බවට පත්වීම ය. හොරකම වංචාව සහ දූෂණය වැළැක්විය හැක්කේ ප්‍රබල බුද්ධිමත් අව්‍යාජ සමාජ බලවේග ශක්තිමත් කිරීමෙන් පමණි. ඒ සඳහා සුදුසු අවස්ථාවක් මෙවර ජනාධිපතිවරණයෙන් උදාවී ඇතැයි සිතේ.

ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය අහෝසි කොට නව යුගයකට පිවිසිය හැකි වන්නේ ජනතාව එම වගකීම භාර ගතහොත් පමණි.    

Leave a Reply