ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවක් මත නඩු විභාගයකින් දඟගෙට නියමව සිට පසුව අභියාචනයකින් නිදහස් වූ ගලබොඩඅත්තේ ඥනසාර හිමි නැවතත් තමාට හුරු පුරුදු දේශපාලන ක්‍රිඩාවට අවතිර්ණ වෙමින් සිටී. හිරගෙදරින් නිදහස්ව ඇවිත් පුවත් සාකච්ඡාවක් පැවැත් වූ ඔහු ත්‍රස්තවාදින්ට දේශපාලනයේ රැඳී සිටීමට අවස්ථාවක් නොදිය යුතු බවත් එවැනි ත්රස්තවාදීන් පිළිබඳ තොරතුරු තමා සතුව ඇති බවත් පැවසුවේය. මුස්ලිම් මිතුරන්ගෙන් ලැබුණු එම තොරතුරු කිසිවෙකුටත් ලබා නොදෙන ඔහු ඒවා හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ පාර්ලිමේන්තුවේ දීය. එනම් මංත්‍රී තනතුරක් ලැබුණ පසුය.
මින් නොකියා කියවෙන්නේ ඊළඟ මහා මැතිවරණයේ දී ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන බවය. ඔහුගේ වේදිකාව වන්නේ ත්රස්තවාදයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සටන් කිරීම ය. මෙහිදී ඔහු ත්‍රස්තවාදය යනුවෙන් හඳුන්වන්නේ ඉස්ලාම් ආගම සහ එහි භක්තිකයන් බව තේරුම් ගැනීමට අටුවා ටීකා අනවශ්‍ය ය. ඥානසාර හිමි දේශපාලන වේදිකාවට ගොඩ වූයේ ඉස්ලාම් ආගමිකයන්ට එරෙහිව ය. එය ත්‍රයිනිකායික නායක ස්වාමීන් වහන්සේලා දකින ආකාරයට බුද්ධාගමේ චිරස්ථිතය සඳහාම කරන්නකි. එම නිසා ඥානසාර හිමිට පසුගිය දා සමාව ලබා දෙන ලෙස උන්වහන්සේලා අනුප්‍රාප්තික ජනාධිපතිගෙන් ඉල්ලා සිටිය හ. කුමන හේතුවක් නිසා හෝ ජනාධිපති සමාව නොලැබුණ ද පසුව අධිකරණයෙන් ඔහු නිදහස් කෙරිණ.
ඥානසාර හිමි ගේ ඉදිරි දේශපාලන ප්‍රචාරය ගැන කතා කිරීමට පෙර තවත් එක් කරුණක් සඳහන් කිරීම පුද්ගලයා සහ ඔහුගේ දේශපාලනය ගැන කිසියම් අදහසක් ඇති කර ගැනීමට වැදගත් ය. අධිකරණයෙන් නිදහස ලබා ගෙන දොරට වැඩි විගස පුවත් වාර්තාකරුවන් ඇමතු ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තමා කල්තියාම කාදිනල් තුමාට දැනුම් දුන් බව කීවේය. ඒ ගැන කාදිනල් තුමා ක්‍රියාත්මක නොවීමෙන් නිසා මෙම ඛේදවාචකය සිදුවූ නිසා ඔහුත් වගකිව යුතු බව අනියමින් අදහස් කෙරිණ. එහෙත් ඉන් දින කීපයකට පසු පුවත් වාර්තාකරුවන් ඇමතු කතෝලික පල්ලියේ ප්‍රකාශක පියතුමෙකු කාදිනල් තුමාට එවැනි කිසිදු තොරතුරක් ලබා දී නැති බව ප්‍රකාශ කෙළේය. අභූත චොදනා නැගිම ගැන මහත් ප්‍රසිද්ධියක් උසුලන ඥානසාර හිමි ගේ ප්‍රකාශය වඩාත් සුදුසු වන්නේ කුණු බක්කියට බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඥානසාර හිමි ‘ත්‍රස්තවාදය’ යනුවෙන් හඳුනා ගන්නේ කුමක්ද යන්න පැහැදිලි කර ගැනීමෙන් ඔහු පාර්ලිමේන්තුවේ දී සටන් කිරීමට අපේක්ෂා කරන දේ ගැන සිතා ගත හැකිය. 2014 වසරේ පොසොන් පොහොය උදාවීමට දින කීපයකට පෙර අලුත්ගම නගරයේ පැවැත් වූ දේශනය මෙම ‘ත්‍රස්තවාදය’ හා ඊට එරෙහිව සටන් කිරීමට ඔහු අදහස් කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් ලබා ගත හැකිය.
ඔහු මෙසේ දේශනා කෙළේය.
“..මේ රටේ තියෙන්නේ සිංහල පොලීසියක්. මේ රටේ තියෙන්නේ සිංහල හමුදාවක්. එක සිංහලයෙකුට එරෙහිව ඇඟිල්ලක්වත් ඉස්සුවොත් ඒ ඔක්කොගෙම අවසානය.. මහින්ද මහත්තයා ( එවතට ජනාධිපතිව සිටියේ මහින්ද රාජපක්ෂ ය.) දැන ගන්න ඕන සිංහළුන් යටකර ගෙන ඉන්න විත්තිය. ජාතිය වෙනුවෙන් කතා කරන මට ජාතිවාදියා කියාවි. ඒතට කමක් නැහැ..’
මෙම දේශනාවෙන් අවදි වූ සිංහළුන් දර්ගා නගරයේ සහ අවට ප්‍රදේශවල කඩ සාප්පු 41ක් ගිනි දැමූ අතර නිවාස 500ක් ද විනාශ කෙරිණ. වාර්තා වූ මරණ සංඛ්‍යාව තුනකි. තුවාල ලැබු සංඛ්‍යාව 88කි. වැදගත්ම දේ මෙම සිද්ධීන් ගැන කිසිම කෙනෙකුට විරුද්ධව මෙතෙක් අධිකරණ ක්‍රියා මාර්ගයක් නොගැනීමය. ප්රචණ්ඩ සිද්ධීන් ගැන පොලීසිය විසින් අත් අඩංගුවට ගත් 13 දෙනෙකු වහාම නිදහස් කරන්නැයි ඥානසාර හිමි බල කළ අතර එසේ නොකොළොත් තමා ගිනි තබා ගන්නා බවට තර්ජනය කෙළේය. තවත් මරණයක් සිදුවනු දැකීමට අකමැති නිසා දෝ පොලීසියෙන් අත් අඩංගුවට ගත් සියලු දෙනාම නඩු විභාගයක් නැතිවම නිදහස් කෙරිණ.
ඒ පාස්කු ඉරිදා බෝමබ ප්‍රහාරයට පෙර මුස්ලිම් ත්රස්තවාදයට එරෙහිව ඥනසාර හිමි “සටන්” කළ ආකාරයයි. දැන් ඔහු එම සටන පාර්ලිමේන්තුව තුළට ගෙන යෑමට සූදානම් ය. එහෙත් ඒ සඳහා මේ රටේ ජනතාව ගේ පරමාධිපත්‍ය බලය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔහුට ලබා දිය යුතුය. මීට පෙර අවස්ථාවක නම් මේ රටේ ජනතාව ඔහුට තම පරමාධිපත්‍ය බලය පිරි නැමීම ප්‍රතික්ෂේප කළහ. මෙවර එම තත්වය වෙනස්වේදැයි කීමට තවම කල් වැඩිය.
නැවත වරක් ඥනසාර හිමි සහ ඔහුගේ සහචරයින් සූදානම් වන්නේ රට ජාතිය බේරා ගැනීමේ කඩතුරාවෙන් මුවා වී රට ජාතිවාදී ආගම්වාදී විනාශයක් කරා ගෙන යෑම ය. එම මතවාදය වැපිරීමට ඔහු යොදා ගන්නේ “ත්‍රස්තවාදය” නම් දේශපාලන වශයෙන් පට්ටා ගැසූ මතවාදයකි. ත්රස්තවාදයට විරුද්ධව නැගි සිටීම රට ජාතිය බේරා ගැනීමේ පහසු සහ එකම මාර්ගයයි.
මීට වසර හැත්තෑ පහකට පමණ පෙර බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් දින සිට විවිධ වර්ණ සහ වර්ගවලට අයත් දේශපාලකයන් දේශපාලන බලය දිනා ගැනීමට යොදා ගත් පහසු උපාය මාර්ගය වූයේ රට ජාතිය අනතුරකට වැටී ඇති නිසා ඉන් ගලවා ගැනීමට සිංහල බෞද්ධයන් තමන් වටා එක්සත් විය යුතුය යන්නය. පළමුවෙන්ම රට ගලවා ගැනීමට වරම් ඉල්ලා සිටියේ වතු දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කිරීමෙනි. ඉන් පසුව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් රටේ සෙසු දෙමළ ජනතාව ද බලරහිත කිරීමට උත්සාහයක් ගනු ලැබිණ. එය කෙළවර වූයේ වසර තිහක නිරර්ථක විනාශකාරී යුද්ධයකිනි. දෙමළ ත්‍රස්තවාදින් පරාජය කිරීම ගැන උදම් ඇනුව ද අප සිටින්නේ බංකොළොත් රටක බව තේරුම් ගැනීමට යුද්ධය නිම වී තවත් දශකයකට අධික කාලයක් ගත වුවද නොහැකි වූ සේය.
බංකොළොත් වී ඇත්තේ විදෙස් රටවලින් ලබා ගත් ණය ගෙවීමට නොහැකිවීමෙන් පමණක් නොවේ. ජාතියක් වශයෙන් බංකොළොත්වීම නිසා රටේ ජනතාවගෙන් හරි අඩක්ම තුන්වේල සපයා ගැනීමට නොහැකිව දුක්වෙති. තවත් සියයට විසිපහක් මන්දපෝෂණයෙන් පෙළෙති. ඉන් බහුතරය රටේ අනාගතය වන වයස අවුරුදු පහට අඩු ළමයින් ය. කලකට පෙර ආසියාවේ කිසිම රටකට දෙවැනි නොවන අගනා සෞඛ්‍ය සේවයක් පැවති රට උණ හෙම්බිරිස්සාවකට හෝ ප්‍රතිකාරයක් ලබා ගත නොහැති තත්වයට පත්ව ඇත. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට යන රෝගියා ආපසු පැමිණෙන්නේ ඇස අන්ධ කර ගෙන ය. ඖෂධ වෙනුවට ලැබෙන්නේ වර්ණ ගැන් වූ අපිරිසිඳු ජලයයි. විදේශ විනිමය නොමැතිකම මෙම දූෂිතයන්ට ජාවාරම් කිරීමට තවත් කදිම අවස්ථාවක් විවර කිරීමක් විය.
මේ සියල්ලට හේතුව වචන තුනකින් පැහැදිලි කළ හැකිය. ඒ වංචාව, දූෂණය සහ හොරකමයි. එය මෙම දූෂිත පාලකයන්ට උපදෙස් ලබා ගැනීමට ගෙන්වා ගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිය පළමු වාර්තාවෙන්ම පෙන්වා දුන්නේය. එම අරමුදලෙන් ලබා දී ඇති ණය මුදලකින් ආර්ථික අමාරුකම් මදක් තුරන් වුවද රටම අර්බූදයට පත් කළ ආර්ථිකය වැටී ඇති ණය (නරා) වළෙන් ගොඩ ඒමට හැකියාවක් නොපෙනේ. ගත් ණය ගෙවීමට තවත් ණය ගැනීම ‘සංවර්ධයක්’ සේ හුවා දැක් වේ. මෙම අර්බූදයෙන් ගොඩ ඒමට අලෙවි කළ හැකි දැනුමක් බුද්ධියක් ඇති ජනතාව තෝරා ගෙන ඇති පහසු මාර්ගය රට හැර යෑමය. එසේ යෑමේ දී තේරීම වන්නේ සිංහල බෞද්ධකම නොව සැප පහසු ජීවන මාර්ගයක් සකසා ගැනීමේ හැකියාවයි.
මෙවැනි තත්වයක් යටතේ අපටත් අනාගත පරපුරටත් රටක් යනුවෙන් කිසියම් දෙයක් ඉතිරි කිරීමට නම් රට මෙම පරිහානියට පත්වීමට තුඩු දුන් හේතු සොයා ඊට පිළියම් යෙදීමයි. එහිදී ප්රමුඛ වන්නේ සියලු දෙනාට සමානව සලකන වෙනස් කිරීමෙන් තොර ජන සමාජයක් නිර්මාණය කිරීම ය. එවැනි සමාජයක ආගම භාෂාව දේශපාලන තීරණ ගැනීමේ දී තීරණාත්මක සාධක නොවේ. මෙම කලාපයේම ආර්ථික ප්‍රගතියක් අත් කර ගත් රටවල් පළමුවෙන්ම විසඳා ගත්තේ ජන වර්ගයා අතර බෙදීමට සහ ගැටුම්වලට තුඩු දෙන ආගම භාෂාව සහ ජාතිය වැනි ප්‍රශ්නවලට කල්පවත්නා විසඳුම් ලබා දීමය. මීට ලබා දිය හැකි හොඳම උදාහරණය භූමි ප්‍රමාණයෙන් පුංචි වුවද දේශපාලන සහ ආර්ථික වශයෙන් දැවැන්තයෙකු වු සිංගප්පූරුවයි. රට ජාතිය ආරක්ෂා කර ගැනීමට සැබෑ උවමනාවක් ඇත්නම් සිංගප්පූරුවෙන් ඉගෙන ගත හැකි පාඩම් අපමණ ය.
ගලබොඩඅත්තේ ඥනාසාර හිමි වැනි අය ආගමේ මුවාවෙන් උත්සාහ කරන්නේ රටත් ජාතියක් වඩාත් පරිහානියට පත් කරවන ආගම සහ ජාතිය වැනි උතුම් සංකල්ප ඉතාමත් පටු අර්ථයෙන් ගෙන ඒවා දූෂණය කිරීම ය. ඔවුන් පාර්ලිමේන්තුවේ බලය ඉල්ලා සිටින්නේ ඒ සඳහා ය. ‘ත්‍රස්තවාදය’ හා සටන් කිරීම ඒ සඳහා යොදා ගන්නා ඉණි මගයි.
මෙම ජරාජීර්ණ දේශපාලනය මේ රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ පරපුර තේරුම් ගෙන ඇත. ඒ සඳහා හොඳම නිදසුන 2022 අරගලයයි. එමනිසා ගලබොඩඅත්තේ ඥානසාර හිමි වැනි අය ඉන්නේ ඉතිහාසයේ වැරදි පැත්තේ බව තේරුම් ගත යුතුය.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024