ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින සංචාරයක් නිම කර ආ සැනින්ම නැගෙනහිර පළාතේ අරුගම් ප්‍රදේශයට ගොස් එය සංචාරක කලාපයක් කරන බව ප්‍රකාශ කෙළේය. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වතුරු නැතිව වියළී ගිය කුඹුරු බැලීමටත් එහි ගොවින් සමග සාකච්ඡා කිරීමටත් ඉස්පාසුවක් තිබුණේ නැත. ඇත්තෙන්ම ඉස්පාසුවකට වඩා ඕනෑකමක් තිබුණේ නැතැයි සිතේ. ක්‍රිකට්වලට වඩා වානිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇති එල් පී එල් තරගාවලියේ අවසාන තරගය බැලීමට වේලාව තිබු පුද්ගලයාට හම්බන්තොට ගොවීන් හමුවිමට කාලය වෙන් කර ගැනීමට නොහැකි වන්නට හේතුවක් නැත. නොඑසේ නම් ගොවි ප්‍රශ්නයට විසඳුම් සෙවීමට වඩා සංචාරකයන් ගෙන්වා ගැනීම වැදගත් යැයි සිතන නිසා විය හැකිය.
අහම්බෙන් ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ ඇත්තෙන්ම සැබෑ ප්‍රශ්න පවතින තැන්වලට ගොස් අදාල පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට වඩා ප්‍රශ්නයක් නැති තැන්වලට ගොස් අලුත් ප්‍රශ්න ඇවිළවීමට දක්ෂයෙක් බව පසුගිය වසරක කාලය තුළ මැනැවින් පෙන්නුම් කෙළේය. එය ඔහුගේ දේශපාලනයේ සන්නාමය යි.
වී ගොවිතැන නැතිනම් කෘෂිකර්මය ගැනත් රනිල් දක්වන්නේ අහක බලා සිටීමේ ප්‍රතිපත්තියයි. සූරිය වැව ප්‍රදේශයේ ගොවීන්ගේ පීදෙන ගොයමට වතුර මුර දෙකක් ඉල්ලා උපවාසය කරන විට ඔහුගේ අවධානය යොමු වූයේ අඛණ්ඩ විදුලිය සැපයීමක් ගැනය. අවසානයේ මහජන විරෝධය සිසු උද්ඝෝෂණ මෙන් කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් මර්දනය කිරීම නුවනට හුරු නැතැයි වැටහුණු නිසා හෝ නිසා අකමැත්තෙන් ම විදුලිය බලය නිපදවීමට තබා ගත් ජලය නිකුත් කිරීමට සිදු විය. එහෙත් ඒ වන විට කුඹුරු නියගෙන් දැවී ගොස් හමාර ය. කෘෂිකර්ම ඇමතිගේ වියළී ගිය කුඹුරත් ගවයින්ගේ ආහාරයක් බවට පත් විය.
ඇත්තෙන්ම රනිල් ගේ ආණ්ඩුවටත් ඊට පෙර තිබු ආණ්ඩුවලටත් ආර්ථිකයේ වෙනත් අංශවලට මෙන්ම කෘෂිකර්මය සඳහා ද නිසි දැක්මක් හෝ ක්‍රියා පිළිවෙතක් නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ පැරකුම් යුගයේ තිබු ආකාරයේම වී ගොවිතැනක් නැවත ආරම්භ කිරීමට ය. එමනිසා වී ගොවිතැන සංවර්ධනය කිරීම යනුවෙන් අදහස් කෙළේ ජලය සැපයීම පමණි. මහා වාරි ජලාශ ඉදි කළද නියඟෙට ඔරොත්තු දෙන ප්‍රමාණයට ජලය රැස්කර ගත නොහැකි ය. මාස කීපයක් එක දිගට වැසි නොලැබුණහොත් සියලු ජලාශ වියළී යයි. එවිට සිදු වන්නේ වැස්ස ලබා ගැනීමට දෙවියන්ට කන්නලවු කිරීමටය.
රනිල් වික්‍රමසිංහ බිඳ වැටුණ ආර්ථිකය ගොඩ නැගීමට සැලසුම් කරන්නේ අරුගම් ප්‍රදේශයේ සංචාරක කලාපයක් පිහිටුවීමෙන් හෝ ණයට මුදල් ගෙන මුහුද ගොඩ කර පෝර්ට් සිටි ඉදි කිරීමෙනි. රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කිරීමට උත්සාහ කරන්නේ සහල් සහ අනෙකුත් දෑ ආනයනය කිරීමෙනි. එහෙත් විදෙස් මුදල් නොමැතිකම නිසා ආනයනය සීමා කිරීමට සිදු වීමෙන් සාගින්න හා මන්ද පෝෂණය කිසි දා නොවු ආකාරයට ඉහළ ගොසිනි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්ම නිකුත් තළ වාර්තාවක් අනුව මිල ඉහළ යෑම නිසා ලංකාවේ පවුල් දශලක්ෂ 1.5 ක්ම කිරි පරිභෝජනය අතහැර දමා ඇත.
දශක ගණනාවක් තිස්සේ ‘සංවර්ධනය’ කළ ද ලංකාවේ ජනතාවගෙන් වැඩිම කොටසත් තවමත් යැපෙන්නේ කෘෂිකර්මයෙනි. ආණ්ඩුව විසින්ම ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍ය ලේඛන අනුව කෘෂිකර්මාන්තයේ නියැලි සිටින ප්‍රමාණය මුළු සේවා නියුක්තියෙන් සියයට 28 කි. රටේ සේවා නියුක්තියෙන් තුනෙන් එකකට බලපාන ප්‍රශ්නවලට විසඳුම් නැතිව ආර්ථිකය සංවර්ධනය කරන්නේ කෙසේද යන්න රනිල් ගේ සමාජ වෙළඳ පොළ (Social Marketing) න්‍යායෙන් පැහැදිලි කරන්නේ නැත. මෙහි අර්බූදයක් පවතින බව පැහැදිලි වන්නේ එතරම් විශාල සේවා නියුක්තියක් කෘෂිකර්මාන්තයේ තිබුණ ද ආර්ථිකයට එහි දායකත්වය වන්නේ සියයට 8ක් වීමෙනි. ඉන් පැහැදිලි වන්නේ ආර්ථිකයේ වැදගත්ම කොටසේ බරපතළ අර්බූදයක් පවතින්නේය යන්නයි.
සංචාරක කර්මාන්තයෙන් හෝ කැසිනෝ සූදු පොළවල් විවෘත කිරීමෙන් ඩොලර් ලබා ගැනීමට හැකියාවක් තිබුණ ද ඒ කිසිවක් ආර්ථිකය ගොඩ ගැනීමට සම්පූර්ණ විසඳුමක් වන්නේ නැත. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංචාරකයන්ගේ පැමිණීම මත ය. ඔවුන්ගේ ආදායම් තත්වය පහත වැටෙන විට සංචාරයේ යෙදීමට ඇති අවස්ථා ද හීන වේ. සමස්තයක් වශයෙන් රටේ පවතින ගැඹුරු සමාජ ආර්ථික ප්‍රශ්නවලට එය විසඳුමක් වන්නේ නැත. දියුණු ආර්ථිකයක් පවතින විට සංචාරකයන් ගෙන්වා ගැනීමට විශේෂ ආයාසයක් දැරීමට සිදු වන්නේ ද නැත. මූලික වන්නේ ශක්තිමත් ආර්ථික පදනමක් ඇති කිරීම ය.
දැනටමත් විශාල සම්පත් ප්‍රමාණයක් ආයෝජනය කර ඇති සැලකිය යුතු ජන කොටසකගේ ජීව නාලිකාව බවට පත්ව ඇති කෘෂිකර්මය සංවර්ධිත තත්වයට පත් කිරීමට රනිල් ගේ ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නැත. කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ආයතන සහ දෙපාර්තමේන්තු 65ක් පවතින නමුත් ඒවායින් ඵලදායී සේවයක් ලබා ගැනීමට සැලසුම් නැත. මෙම ආයතන පවතින්නේ රාජ්‍ය සම්පත් අපතේ යැවීමට විනා කෘෂිකර්මයේ සංවර්ධනයට නොවේ. ඒ සඳහා එක නිදසුනක් පමණක් දැක්වීම සෑහේයැයි සිතේ. 2020 විගණකාධිපති ගේ වාර්තාවක් අනුව කාබනික වී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත. එහි කොටසක් වශයෙන් රාජාංගනයේ වම් ඉවුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් හෙක්ටෙයාර් 3152 ක කාබනික පොහොර යොදා වී වගා කර අස්වැන්න වශයෙන් වී කි.ග්‍රෑ.1,974,350 ක් ලබා ගෙන තිබුණි. වැය වූ මුදල් රු. දශ ලක්ෂ 13 කි. එනම් වී කි.ග්‍රෑ. දශලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක වී අස්වැන්නක් ලබා ගැනීමට රු. දශලක්ෂ 13ක් වැය කර ඇත. මේ කෘෂිකර්මයේ පවතින නාස්තිය සහ දූෂණය පිලිබඳ කතාන්දරයේ එක පැත්තකි.
ඇත්තෙන්ම මුදල් අවභාවිතය හැර ජල සම්පත භාවිතා කිරීමේ දී ද අපේ රටේ පවතින්නේ නාස්තියකි. මැනිලාවේ සහල් පර්යේෂණ ආයතනය අනුව වී කි.ග්‍රෑ. එකක් නිපදවීම සඳහා යොදා ගත යුතු උපරිම ජල ප්‍රමාණය ලීටර් 2500කි. එහෙත් ලංකාවේ වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ජල ප්‍රමණය ඊට වඩා දෙගුණයටත් වැඩිය. එහෙත් ලබා ගන්නා අස්වැන්න ද ලෝකයේ සාමාන්‍යයෙන් අඩකටත් වඩා අඩුය. ලෝකයේ සාමාන්‍යය හෙක්ටෙයාරයකට කි.ග්‍රෑ 5400ක් වන අතර 2020 දී ලංගාවේ අස්වැන්න කි.ග්‍රෑ. 2500කි.
ලංකාවේ කෘෂිකර්මයේ, විශේෂයෙන්ම වී ගොවිතැන කෙතරම් නොදියුණු තත්වයක පවතින්නේ ද යන්න මැන බැලීමට වී වගාවට ඉතාමත් මෑතක දී ඇතුළු වූ රටක් වන ඔස්ට්‍රේලියාව හා සසඳා බැලීම ප්‍රයෝජනවත්ය. ඔස්ට්‍රේලියාවේ හෙක්ටෙයාර්කින් වී කි.ග්‍රෑ. 9000ත් 11,000ත් අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගනී. එම අස්වැන්න ලබා ගැනීම සඳහා ඔවුන් යොදා ගන්නේ වී කි.ග්‍රෑ. එකක් සඳහා වතුර ලීටර් 1200ක් පමණි. මෙහි පවතින විශේෂත්වය වන්නේ ඕස්ට්‍රේලියානු වගාකරුවන් වතුර සඳහා මුදල් ගෙවීම ය. එසේ වුවද ඔවුන්ගේ සමස්ත පිරිවැය තරගකාරී මට්ටමක පවතින නිසා රටවල් කීපයකට සහල් අපනයනය කිරීමේ හැකියාවක් ද පවතී.
අනෙකුත් කෘෂි යෙදවුම් සම්බන්ධයෙන්ද ලංකාව සිටින්නේ ඉතාමත් පසුගාමී තැනකය. සෙසු වගාවල මෙන්ම වී වගාවේ පවතින පසුගාමී තත්වය නිසා සහල් මිල ද ඉතා ඉහළ මට්ටමක පවතී. මේ නිසා කෙනෙකුට සහල් ආනයනය කිරීම වඩාත් හොඳයැයි තර්ක කළ හැකිය. එම තර්කය වඩාත් ඉදිරියට ගෙන ගොස් වී වගාවට වඩා කංසා වගාව ආර්ථික වශයෙන් ඵලදායීයැයි කිව හැකිය.
එහෙත් රටක ආහාර සුරක්ෂිත භාවය පවත්වා ගැනීමට රට තුළම අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම මූලික කොන්දේසියකි. අපේ රටේ සේවානියුක්තියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඵලදායිතාවයෙන් අඩු වුවද කෘෂිකර්මයේ නියැලී සිටින නිසා සැබෑ සංවර්ධනයට පදනම වන්නේ ද එයයි. අවශ්‍ය වන්නේ විද්‍යාත්මක පදනමක් ඇතිව වී වගාව හා අනෙකුත් භෝග වගාවන් ජනප්‍රිය කරවීම ය. කෘෂිකර්මය පිළිබඳ විද්‍යාත්මක දැනුම ද අප අතර දුලබ දෙයක් නොවේ. පර්යේෂණ සහ ක්ෂේත්‍ර අත්දැකීම් සහිත කෘෂි විද්‍යඥයන්ගේ හිඟයක් ද නැත. එහෙත් එවැනි දක්ෂතා ඇති අය ලංකාවේ රැඳෙන්නේ නැත. වෛද්‍ය ඉංජිනේරු සහ වෙනත් විශේෂඥතා දැනුම ඇති අය මෙන්ම කෘෂි විද්‍යඥයන් ද රට හැර යෑම සුලබ දෙයකි. ඒ අය රට හැර යන්නේ විදෙස් රටවලට ගොස් වඩාත් සුව පහසු ජීවිතයක් තමන්ටත් තමන්ගෙන් පැවත එන්නන්ටත් ලබා දීමේ ආශාව නිසාම නොවේ. මූලික වශයෙන්ම ඔවුන්ගේ දායකත්වයට නිසි පිළිගැනීමක් සහ අගය කිරීමක් නැති නිසාය. රට ගොඩ නැගීමේ මුල් පියවර එම තත්වය නිවැරදි කිරීම ය.
රටේ ආර්ථිකයත් සමාජයත් පරිහානියට පත්ව ඇත්තේ වැරදි දේශපාලන භාවිතාව නිසාය. ජලය නොමැතිකම නිසා වියළී යන කුඹුරට ජලය ලබා දීමේ තීරණයේ සිට සියලු ම තීරණ ගනු ලබන්නේ දේශපාලකයන් ය. සංචාරක කලාප පිහිටුවීමේත් අධිකරණයට පැවරී ඇති ව්‍යවස්ථාමය බලතල අවසාන වශයෙන් තීරණය කරන්නේ පරිහානියට පත්ව ඇති දේශපාලනයයි. එමනිසා කෘෂිකාර්මික සංවර්ධනයේත් රටේ පොදු සංවර්ධනයේත් අනිවාර්ය අවශ්‍යතාවය වන්නේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසකි. දේශපාලනයේ වෙනසක් නැතිව කුඹුරට වතුර ටික ලබා ගැනීමට නොහැකිව දෙවියන්ට කන්නලවු කරන ආකාරයට දේශපාලනයේ වෙනසක් සඳහාත් කන්නලව් කිරීමට ජනතාවට සිදුව ඇත.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024
මහින්ද හත්තක සමතා විසින් ලියන ලද මෙම තොරතුරු සහිත ලිපිය ඉතාමත් වැදගත් බව අපගේ හැගිමයි. දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ වාර්ෂික වාර්තා ලිවීමේදී මෙම තොරතුරු ලබාගත හැකි බව අපගෙි විශ්වාසය.