ලබන වසරේ ඔක්තෝබර් මස වන විට පැවැත් විය යුතු ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම වැඩි වෙමින් පවතී. එක් එක් පක්ෂ අතර මෙන්ම පක්ෂ තුළ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න නිතර කතාබහ වෙන මාතෘකාවකි. සමගි ජනබලවේගයේ සභාපති සරත් පොන්සේකා ජනාධිපතිවරණයක දී තමාගේ සහාය සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන්නේයැයි කළ ප්‍රකාශයක් නිසා එම කඳවුර තුළ තරමක ආන්දෝලනයක් ඇති විය. ඊට පෙර ජාතික ජන බලවේගයේ මංත්‍රීවරියක් වූ හරිනි අමරසූරිය එම පෙරමුණ වෙනුවෙන් ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ගැන කතාබහ වුව ද ඒකේඩී යන සුරතල් නාමයෙන් හැඳින්වෙන අනුර කුමාර දිසානායක තරගයට ඉදිරිපත් වන බව දැන් නිසැකයෙන්ම තහවුරු වී ඇත. පොදුජන එක්සත් පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ඇතුළත් අනෙක් පක්ෂවලිනුත් ජනාධිපති තරගයට ඉදිරිපත් වීමේ සූදානම තිබුණ ද රටේ පවතින දේශපාලන තත්වය මත ඔවුන්ට සැලකිය යුතු බලපෑමක් කළ හැකි වනු ඇතැයි පිළිගැනීමක් නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති නමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසෙකට දමා ජනාධිපති රනිල් කියන දේ නීතිය හැටියට සලකන තත්වයක් යටතේ ඡන්දයක් පැවැත්වෙන්නේද යන්න සැක සහිතය. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද කල් දැමු ආකාරය අමතක වීමට තරම් කලක් ගත වූයේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකුත් කරන ලෙස භාණ්ඩාගාරයට නියෝග කළ විට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් පාර්ලිමේන්තු අධිකරණයක් ඉදිරියට කැඳවීමේ සූදානමක් ද තිබිණ.
කෙසේ වුවත් ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට බල කෙරෙන ජන බලයක් පෙළගස්වන බවට සපථ කළ විපක්ෂයේ දේශපාලන පක්ෂ එම සැලසුම් තවම එළි දක්වා නැත. ඒ අනුව තමාට දිනා ගැනීමට අපහසු ජනාධිපතිවරණය කල් දැමීමට හෝ වෙනත් උප්පරවැට්ටියකින් නොපැවැත්වීමට රනිල් වික්‍රමසිංහ තීරණය කළ හොත් ඊට තරගය කෙරේ මහත් බලාපොරොත්තුවෙන් සිටින පක්ෂ හෝ සන්ධාන දෙක ගන්නා ක්‍රියා මාර්ග ගැන කිසිවෙකුට පුරෝකතනය කළ නොහැකිය. ඔවුන්ගේ විරෝධය කඳුළු ගෑස් ගසා ජල ප්‍රහාරයකින් සෝදා දැමීමට හැකි වුවහොත් පුදුමයක් නොවේ.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල්ට යොදා ගත හැකි තුරුම්පුවල අඩුවක් නැත. මුදල් නොමැතිකම ඉන් ප්‍රධාන හේතුවකි. රට සවාරි යෑමට පරිසර විශ්ව විද්‍යාල බිහි කිරීමට මුදල් තිබුණත් ඡන්ද පැවැත්වීමට මුදල් නොමැති බව ඔහුට ලැජ්ජා බියෙන් තොරව කිව හැකිය. ආර්ථිකය ගොඩ ගැනීමේ ව්‍යාපෘතිය ද තවමත් නොනිමි කාර්යකි. පාරිභෝගික මිල දර්ශකය නොකඩවා පහත වැටුණත් ජීවන බර දැරිය නොහැකි සේ ඉහළ යෑම නිසා හෙම්බත්ව සිටින සමාජයේ ඉහළ ස්ථාරවල අය ඇතුළත් සියලු ජනතාව රනිල්ට ඡන්දය දෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි නිසා තරාදියේ වැඩි බර ඇත්තේ ඡන්දය නොපැවැත්වීම හෝ කල් දැමීම ට ය.
ඒ කතාවේ එක පැත්තකි. ආණ්ඩුව කරවන අයත් ආණ්ඩු බලය ලබා ගැනීමට කැස කවන අයත් අමතක කිරීමට උත්සාහ කරන හෝ පැත්තකට දමා ඇති වැදගත්ම එමෙන්ම ප්‍රබල කාරණය වන්නේ දශක හතරකට අධික කාලයක් තුළ අසාර්ථක වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජනතාවට සෘජුව වගකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහි කිරීමට මෙම දේශපාලන පක්ෂ සහ සන්ධාන සූදානම් ද යන්නයි.
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවති සෑම ජනාධිපති ඡන්ද විමසීමක දී විපක්ෂයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්නයි. විධායක ජනාධිපති ක්‍රමය යටතේ විධායකයට පැවරෙන බලතල උපරිම ආකාරයට යොදා ගත් රාජපක්ෂ පරපුර ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූහ. 2015 බලයට පැමිණි යහ පාලන රජය ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සපථ කෙළේය. එම ආණ්ඩුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ විධායක බලතල සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හැරීම සාධනීය පියවරකි. තනතුරට හිමි බලතල කැමැත්තෙන්ම කපා හැරීමට එකඟවීම ගැන මෛත්‍රිපාල සිරිසේන තමාටම ප්‍රශංසා කර ගත්තේය. එහෙත් ඔහු ව්‍යවස්ථා විරෝධීව විධායක බලතල පාවිච්චි කර අගමැති රනිල් තනතුරෙන් ඉවත් කර පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කෙළේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමෙනි. එය නිවැරදි කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණ යයි.
ඊට පෙර 1994 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ දී බලය බෙදා හැරීමට සහ පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයට විධායක බලය පැවරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කළ විට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දීම එය පුළුස්සා දැමුවේ රනිල් ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය යි. එසේ වුවත් 2013 දී රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කෙළේය. ඉන් පසු සජිත් ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල වේගය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහයක් ගත්තේය. ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණ 2019 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කෙළේය.
මෙම ඉතිහාසයෙන් පෙනුනුම් කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟව සිටින්නේය යන්නයි. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෙය වඩාත් තහවුරු වූ සත්‍යයකි. එසේ තිබිය දී මෙම පක්ෂ හෝ සන්ධාන දෙකම තම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරණයට තරග වදින්නේ ඇයි? ඉමහත් ධනස්කන්ධයක් සහ අපමණ වෙහෙසක් දරා අහෝසි කිරීමට සපථ කළ තනතුරක් සඳහා තරග වදින්නේ ඇයි? සජිත් දිනුවත් අනුර කුමාර දිනුවත් දෙදෙනාගේ ම කාර්ය එම තනතුර අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ය. එම කාර්යන් දෙකෙන් කුමන එකක් හෝ දත්මිටි කා ගිරිය පුප්පා කෑ ගැසීමෙන් කළ හැකි හෝ කළ යුතු දෙයක් නොවේ.
ඇත්තෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා නිතර සංශෝධනය කරන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වන්නේ සාකච්ඡාව හා සම්මන්ත්‍රණය තුළින් ඇති කර ගන්නා එකඟතාවයෙනි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැන වූයේ ඒ කිසිම ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකර හයෙන් පහේ බහුතරයෙනි. එවකට අගමැති වූ ජේ ආර් හයෙන් පහේ බහුතරය පාලනය කෙළේ එම මංත්‍රීන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තම කමීස සාක්කුවේ දමා ගෙන ය. ව්‍යවස්ථාවට විරුද්ධ වන අයෙකුගේ මංත්‍රිකම ඉවත් කොට ඒ සඳහා තමාට කැමති කෙනෙකු පත් කර ගැනීමට ජේ ආර් ට හැකියාව තිබිණ.
එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයාට ආකර්ෂණය වන්නේ විධායක ජනාධිපති තනතුරට ලබා දී ඇති සුවිශේෂී බලතල නිසාය. එම ක්‍රමය අහෝසි කිරීමට බලය ලබා ගත් තැනැත්තා හෝ තැනැත්තිය තනතුරේ දිවුරුම් දීමෙන් පසුව උත්සාහ කරන්නේ හැකි කලක් එම බලයේ රස විඳීමට ය. එය අප ලබා ඇති අත්දැකීම යි.
එවන් පරිසරයක කතිකාවට ලක් විය යුතු වැදගත්ම කාරණය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවංකවම ඉදිරිපත් වන්නේ කුමන අපේක්ෂකයා ද යන්නයි. අවංකකම අපට මැනිය හැක්කේ ඡන්ද විමසීමට පෙර ප්‍රධාන පක්ෂ අතර කොන්දේසි විරහිතව එවැනි එකඟතාවයක් ඇති කර ගැනීමේ හැකියාව අනුවය. එකඟතාවයක් ඇති කර ගත හැකිනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා වැදගත් සාධකයක් නොවේ. ඔහු හෝ ඇය සංකේතයක් පමණි. ප්‍රබල වන්නේ ඡන්දය ට පෙර පක්ෂ අතර ඇති කර ගන්නා සම්මුතියයි. එවැන්නක් ඇති කර ගත නොහැකිනම් බැස ගත නිගමනය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කටින් බතල කොළ සිටුවීමකි යන්නයි. මෙතෙක් කල් කෙළේ එයයි.
එම දේශපාලන සූදුව තවදුරටත් වලංගු වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව ගැඹුරුවෙමින් පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ දේශපාලන විඥානය සහ දේශපාලන සහභාගිත්වය පෙර කවරදාටත් වඩා තියුණුවී තිබීම ය. ජනතාවගේ එම සවිඥානය සහ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා සර්ව බලධාරි විධායක ජනාධිපතිට පස්සා දොරින් පැන යෑමට සිදු විය. විධායක ජනාධිපති පැළදොරින් පැන ගිය පසු ගත යුතු ක්‍රියා මාර්ගය ගැන සාකච්ඡාවක් හෝ සූදානමක් නොතිබුණ නිසා තවත් පුද්ගලයෙකුට එම බලතල පවරා ගැනීමට හැකි වුවද ඔහුට හෝ ඔහුට බලය සපයන මංත්‍රීන්ට දේශපාලන සුජාත භාවයක් නැත. ජනතාව පෙර කිසි දින නොකී ආකාරයට දෙසිය විසිපහම එපා කියන්නේ එම නිසාය. සන්නද්ධ හමුදා යෙදවීමෙන් පිරිස් පලවා හැරිය හැකි වුවද සුජාත භාවයක් ලබා ගත නොහැකිය. දේශපාලන සුජාත භාවය ජාත්‍යන්තර මූල්‍ය ආයතන පවා ඉල්ලා සිටින සාධකයකි.
ඉදිරියේ පැවැත්වෙන කවර හෝ මැතිවරණයක දී කුමන පක්ෂයක් හෝ පුද්ගලයෙක් බලයට දිනා ගත්තත් දේශපාලන සුජාත භාවය, නැතිනම් ජනතා විශ්වාසය තහවුරු කර ගැනීමට ජරා ජීර්ණ දූෂිත ක්‍රමය වෙනස් කිරීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. එවැනි වැඩ පිළිවෙළක ආරම්භය ජනතාවට වග කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එවැන්නක් තනි පක්ෂයක හෝ පෙරමුණක දායාදයක් නොව සමස්ත ජනතාවගේම සාධාරණ සහ යුක්ති සහගත වුවමනාවන් පිළිබිඹු වන්නක් විය යුතුය. ඒ සඳහා පක්ෂ පෙරමුණු සීමා ඉක්මවා යා යුතුය.
අපේ දේශපාලන පක්ෂ ඊට සූදානම් ද ?
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024