You are currently viewing වැඩියෙන්ම පාඩුලබන ව්‍යවසාය රජයයි.. එය විකුණා දැමීම එකම විකල්පයයි..!

වැඩියෙන්ම පාඩුලබන ව්‍යවසාය රජයයි.. එය විකුණා දැමීම එකම විකල්පයයි..!

ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති එකම මාර්ගය ලෙස වත්මන් පාලකයන් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන මූල්‍ය ආයතන විශේෂඥයන් නිර්දේශ කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමයි. පාඩු ලබන ආයතන තවදුරටත් පවත්වා ගැනීමට රජයට හැකියාවක් නැති නිසා වෙනත් විකල්පයක් ද නැත. විදේශ ණය ලබා ගැනීමේ කොන්දේසියක් වන්නේ ද පාඩු ලබන ආයතන මෙන් ම ලාභ ලබන ආයතන ද විකුණා රජය ව්‍යාපාරික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු ය යන්න යි.

ආයතනයක් පාඩු ලබන්නේ එහි කළමනාකාරිත්වයේ දුර්වලතාවය නිසාය. එය රජයේ ව්‍යවසායන්ට පමණක් නොව පෞද්ගලික අංශයේ ව්‍යාපාරයන්ට ද පොදු කාරණයකි. පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් දිගින් දිගටම පාඩු ලබන්නේ නම් සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත වන්නේ එම ව්‍යාපාරය වසා දැමීම හෝ එය ලාභදායී ආකාරයට පවත්වා ගෙන යා හැකි වෙනත් ව්‍යවසායෙකුට විකුණා දැමිමයි. එසේ පාඩු ලබමින් තිබූ ආයතන නව කළමනාකාරිත්වයක් යටතේ ලාභ ලබන ව්‍යවසායන් බවට පත් වූ අවස්ථා එමට ය. එය රාජ්‍ය අංශයට ද පොදු ධර්මතාවයකි. මනා කළමනාකාරිත්වයක් නොමැති තත්වයක් යටතේ පාඩු ලබමින් තිබූ ආයතන ලාභ ලබන තත්වයට පත් අවස්ථා ද දක්නට ඇත. මීට හොඳම උදාහරණය වන්නේ ලිට්ට්‍රෝ ගෑස් සමාගමයි.

2019 සෞභාග්‍ය උදාවත් සමග එම සමාගමේ පරිපාලනය ද වෙනස්ව අලුතින් සභාපති” අධ්‍යක්ෂක මණ්ඩල පත් කෙරිණ. වඩාත් ලාභ ලැබීමට ගෑස්වල සංයුතිය ද වෙනස් කෙරිණ. එහි ප්‍රතිඵලය නැවත සඳහන් කිරීමට අනවශ්‍ය ය. පුපුරා ගිය ගෑස් ලිප් සහ සැතපුම් ගණන් දිla වූ ගෑස් පෝලිම් තවමත් මතකයෙන් ඈත් ව නැත. අවසානයේ දි විසඳුම වූයේ කලින් සිටි පාලකයන් නැවත කැඳවීම ය. වාර්තාවල සඳහන් වන ආකාරයට ගෑස් සමාගම නැවතත් ඉතා කෙටි කාලයක දී ලාභ ලබන තත්වයට පත් කිරීමට ඔවුන් සමත්ව ඇත. ජනතාවට දැනෙන වෙනස නම් වැඩි මිලක් ගෙවා හෝ පෝලිම්වල තැවෙන්නේ නැතිව ගෑස් ලබා ගැනීමට හැකිවීමය.

ඉන් පැහැදිලි වන්නේ පාඩු ලබන ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීම, නූතන ව්‍යවහාරය අනුව රොකට් තැනීමේ විද්‍යාවක් නොවන බවය.

එවැනි කළමනාකාරිත්වයක් සොයා ගත නොහැකිනම් ඇති විකල්පය ආයතනය විකුණා දැමිමයි. ආයතනය පවත්වා ගැනීමට අරමුදල් සොයා ගැනීමට නොහැකිනම් කළ යුත්තේ ද එයයි. නැතිනම් කළ හැකි වන්නේ ගත් ණය හෝ ගෙවා ගත නො හැකි තත්වයට පත්ව ඇති නිසා බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමය. වෙනත් අර්ථයකින් නොහැකියාව පිළිගෙන වගකීම්වලින් නිදහස්වීමය.

රජයක් ද නූතන භාවිතාවේ දී ව්‍යවසායකින් වෙනස් වන්නේ නැත. ස්වෛරීත්වය” පරමාධිපති බලය වැනි සාටෝපවත් වචනවලින් අලංකාර කළ ද රජයක් පවත්වා ගැනීමට අවශ්‍ය මූලික කාරණය එය නඩත්තු කිරීමට අවශ්‍ය සම්පත් සොයා ගැනීමයි. රජයක අවශ්‍යතාවයට වඩා සම්පත් ඒකරාශි වන්නේ නම් ඒවා රටවැසියන්ට ආපසු ලබා දීම ද සමහර රටවල් අනුගමනය කරන ප්‍රතිපත්තියයි. සිංගප්පූරුව ඉහළ මට්ටමක සංචිත පවතින නිසා ජනතාවට ප්‍රසාද මුදල් ලබා දුන් අවස්ථා ද තිබිණ. ඉතා සරලව ජාතික ආරක්ෂාව” නීතිය සහ සාමය පවත්වා ගැනීම” රට වැසියාගේ සුභ සිද්ධිය හා පරිසර සංරක්ෂණය යන සියලු කාරණා රජයේ වගකීම් වුවද අවසාන ගණන් බැලීමේ දී රජයකට දිගින් දිගටම ලබන ආදායමට වඩා වියදම් කළ නොහැකිය. වියදම පියවා ගත නොහැකිව මුදල් නෝට්ටු මුද්‍රණය කොට භාවිතයට ගත හැකි වුවද එහි සීමා පවතී.

මෙම පැහැදිලි කිරීම වැදගත් වන්නේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් රජය සතු ලාභ ලබන සහ නොලබන සියලූ ආයතන විකුණා දැමීමට කර ඇති යෝජනාව කෙතරම් ප්‍රායෝගික ද යන්න පැහැදිලි කර ගැනීමටය.

අපේ රජය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගත් දින සිටම පාඩු ලබන ආයතනයකි. එහි කළමනාකාරිත්වය වරින් වර වෙනස් වුවද අඩුම වශයෙන් ආදායම” වියදම සරිලන ආයතනයක මට්ටමට පත් කිරීමට ඔවුන්ට නොහැකි විය. ඉතා කෙටි කාලයක හැර ගත වු වසර හැත්තෑ හතර තිස්සේම වාර්තා වූයේ ආදායමට වඩා වියදම වැඩි තත්වයකි. ලැබෙන ආදායම වියදමට සරිලන්නේ නැති නිසා පරතරය පිරිමසා ගැනීමට කාගෙන් හෝ ඉල්ලා ගත යුතුය. නැතිනම් ණය ලබා ගත යුතුය. දේශීය වශයෙන් ද ණය ලබා ගැනීමට රජයට හැකියාවක් පවතී. දේශීය වශයෙන් ණය ලබා ගැනීමේ සීමාවක් නැති වුවද විදේශීය වශයෙන් ණය ලබා ගත හැකි වන්නේ අප සතු වත්කම් අනුවය. ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ හැකියාවක් නැතිනම් විදේශිකයන් ණය දෙන්නේ නැත. විදේශීය ණය ගෙවා ගත නොහැකිනම් ඇති විකල්පය බංකොළොත් භාවය ප‍්‍රකාශ කිරීමයි. දැන් අපේ රට ද ණය ගෙවා ගත නොහැකිව බංකෙළොත් භාවය ප‍්‍රකාශ කර ඇති රටකි. 

පෙරදිග මුතු ඇටය ලෙස විරුදාවලියට පත් මෙම රට දැන් විදෙස් ණය හිමියන් ඉදිරියේ දීනත්වයට පත්ව දණ ගසා සිටින රටකි. දේශීය වශයෙන් ගෙන ඇති ණය හිමියන් වන රටවැසියන් ඉදිරියේ දීනත්වයට පත්ව නැති වුවත් රට වැසියන් පාලනය කිරීමටත් මර්දනය කිරීමටත් රටවැසියන්ම පාලlයන්ට ලබා දී ඇත. ඒ තම පරමාධිපති බලය ඡන්දයක් තුළින් පවරා ඇති නිසාය.

ව්‍යවසායකයෙකු නම් අපේක්ෂිත ආදායම ලබා ගත නොහැකිවිට ගනු ලබන පළමු පියවර වන්නේ වියදම ආදායමට සරිලන මට්ටමට ගෙන ඒමය. ලාභ ලැබීම පසෙක ලා ආදායම හා වියදම සමතුලිත තත්වයකට පත් කල නොහැකිනම් දිගින් දිගට ණය ගැනීමෙන් සිදු වන්නේ සරල භාෂාවෙන් මස්තු බාල්දු තත්වයට පත්වීමයි. ආත්ම ගුරුත්වයක් ඇති කිසිවෙකු එවැනි තත්වයට පත්වීමට කැමති වන්නේ නැත.

එහෙත් අපේ පාලකයන් කරන්නේ කුමක් ද? ඔවුන්ට වියදම අඩු කිරීමේ වුවමනාවක් නැත. මෙවර අයවැය ලේඛනය දෙස උඩින් පල්ලෙන් බලන අයෙකුට පවා පෙනී යන්නේ එයයි. වත්මන් ප්‍රධාන විධායකයා නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වන ආකාරයට ජනාධිපති ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය අනුව ලබන වසරේ දළ ආදායම රුපියල් ට්‍රිලියන 3.4කි. ( ට්‍රිලියනක් යනු ප‍්‍රකෝටි දසදහසකි) වියදම රුපියල් ට්‍රිලියන 7.9කි. මෙයට භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබා ගත් ගෙවීමට නියමිත ණය ද එකතු කළ විට රුපියල් ට්‍රිලියන 11.7කි. ඒ අනුව දළ අයවැය හිගය රුපියල් ට්‍රිලියන 8.3කි. සමස්ත දළ ජාතික ආදායමෙන් සියයට 28කි.

මෙම ඉලක්කම්වලින් කියවෙන්නේ කුමක් ද?

එක අතකින් මෙම පාලකයන්ට මේ ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැති විය හැකිය. නැතිනම් නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ නරුමයන් විය හැකිය.

මොවුන් දෙවන වර්ගයේ නරුමයන් බව පැහැදිලි වන්නේ පසුගිය කාලයේ අනුගමනය කළ ප‍්‍රතිපත්වලිනි. වඩාත් නිවැරදිව රට පාලනය කිරීමට සහ ආර්ථිකය හැසිරවීමට කිසිම සුදුසුකමක් හෝ  ඕනෑකමක් ඔවුන්ට නැත. රටේ ආර්ථිකය බංකොලොත් තත්වයට පත්ව ඇති විට එම අගාධයෙන් ගොඩ ඒමට පළමුව කළ යුත්තෙ ගිලා බැසීම නතර කිරීමය. එය 2048 තෙක් බලා සිටිය නොහැකි හදිසි අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් මෙම පාලකයන් කරන්නේ තිබෙන සම්පත්වලින් සැප සම්පත් ලබා ගෙන කයිවාරු ගසමින් සතුටු වීමය. ඒ සඳහා යොදා ගන්නේ ව්‍යවස්ථාදායකය නමින් හඳුන්වා ගන්නා කවට මණ්ඩපයකි.

මෙම වසරේ මුල් මාස නමය ඇතුළත රටේ ආර්ථිකය පසුගිය වසර හා සසඳන විට සියයට 7.1කින් හැකිලී ඇත. තුන් වැනි කාර්තුවේ මෙම හැකිලීම නැතිනම් පහත වැටීම සියයට 11.8කි. තුන් වැනි කාර්තුවේ කර්මාන්ත අංශයේ හැකිලීම සියයට 21.2 කි. කෘෂිකර්ම අංශයේ හැකිලීම සියයට 8.7කි. සමස්තයක් වශයෙන් මෙම වසරේ ආර්ථිකය සියයට 8.9කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප‍්‍රවනතාවය ඉදිරි වසරේ ද වෙනස් වන්නේයැයි අපේක්ෂා කළ නොහැකි තරම් බරපතළ ය.

මෙම සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය නැතිනම් ලිබරල් ආර්ථික භාෂාවෙන් ව්‍යාපාරය දිගින් දිගටම කඩා වැටෙමින් පැවතීමය. මෙම ප‍්‍රවනතාවය  පසුගිය දශක කීපය තුළ දක්නට ලැබිණ. 2017 වසරේ වර්ධන අනුපාතය සියයට 3.4 දක්වා පහත වැටිණ. ඒ ඊට පෙර වසර 16ක් තුළ වාර්තා වූ අඩුම වර්ධන වේගයයි. බුද්ධිමත් පාලකයන් සිටියේ නම් ඒ අනතුරු හැඟවීම සැලකිල්ලට ගනු ඇත. එහෙත් 2018 වසරේ වර්ධන අනුපාතය සියයට 3.2 දක්වා තවත් පහත වැටිණ. මෙම පහත වැටීම වැළැක්වීමට ගත් පියවරක් නැත. දැන් රට යන්නේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව රිම් එකෙනි.

මෙවැනි තත්වයක් යටතේ ගත යුතු පියවර කුමක් ද?

රජය සතු සියලූ ව්‍යාපාර විකුණා දැමීම කල් ලබා ගැනිමට ගන්නා උත්සාහයකි. දැනට සිටින ප‍්‍රධාන විධායකයා නැතිනම් ජනාධිපති ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව මෙම ආයතන විකුණා ලබා ගත හැකි මුදල අයවැය පරතරය නැතිනම් ගත් ණය ගෙවීම පසෙක තබා වියදම හෝ පියවා ගත නොහැකිය. විකුණා දැමීම විසඳුමක්නම් කළ යුත්තේ රජය නැමති මෙම බංකොළොක් ව්‍යවසාය සම්පූර්ණයෙන්ම විකුණා දැමිමයි. එම සේල් එකේ දී දිරි ගැන්වීමක් වශයෙන් රට මේ තත්වයට පත් කළ පාලකයන් ද වට්ටමක් ලබා දී හෝ විකුණා දැමීම වඩාත් උචිතය. 

පාලකයන් අලෙවි වීමට අකමැතිනම් කළ යුත්තේ හැත්තෑහතර වසරක් කළ නොහැකි වූ දේ ගැන අනාගතය පෙන්වා පුරසාරම් දෙසීම නොව තමන්ගේ නොහැකියාව පිළිගෙන කුමන හෝ රටක දේශපාලන රැකවරණය ලබා ගැනිම ය. එයත් පහසු නොවන බව ගෝඨාභය රාජපක්ෂ ඉගෙන ගත්තේ කලක් ගත වූ පසුවය. එමනිසා ප‍්‍රමාදය විනාශය කරා වේගයෙන් හඹා යෑමකි. 

Leave a Reply