යුක්‍රේනයේ යුද්ධය රුසියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හවුල අතර යුද්ධයක් බවට පත්වීමේ අනතුර දිනෙන් දිනම වැඩි වෙමින් පවතින අතර බෝල්කන් ප්‍රදේශයේ තවත් යුද්ධයක් හට ගැනීමේ අවදානම ද වැඩි වෙමින් පවතී. ඒ යුගොස්ලාවියාව කැබලිවීමේ දී නොවිසිඳුණ ප්‍රශ්නයක් වන සර්බියාව සහ කොසෝවා අතර පවතින ගැටුම්කාරී තත්වයයි. වාර්ගික ඇල්බේනියානුවන් සහ සර්බියානුවන් අතර සම්මිශ‍්‍රණයක් වූ කොසෝවෝ ප‍්‍රදේශයේ ස්වාධීන රාජ්‍යයක් බිහිවනු දැක්ම යුරෝපා සංගමයත් එක්සත් ජනපදයත් අපේක්ෂා කළහ. පැරණි යුගෝස්ලාවියාවෙන් වෙන්ව ස්වාධීනත්වය ප්‍රකාශ කළ ක්‍රෝඒෂියාවේ සහ ස්ලොවීනියාවේ ස්වාධීනත්වය පළමුවෙන්ම පිළිගත්තේ ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල් ය.
සර්බියාවෙන් වෙන්ව කොසෝවෝ රාජ්‍යයක් බිහිවනු දැකීම බටහිර රටවල අපේක්ෂාව වුවද ප‍්‍රධාන ගැටලුව වූයේ කොසෝවෝ ප‍්‍රදේශයේ උතුරු පළාත්වල බහුතරය සර්බියානුවන්වීමය. වාර්ගික බහුතරය වූ ඇල්බේනියානුවන්ට අවශ්‍ය වූයේ සර්බියානුවන් බහුතරයක් වූ ප්‍රදේශ ඇතුළත් සම්පූර්ණ කොසෝවෝ ප‍්‍රදේශයේම රාජ්‍යයක් පිහිටුවීම ය. එවැනි රාජ්‍යයකට සර්බියානුවන් විරුද්ධ වූ නිසා එම ප‍්‍රදේශයේ වාර්ගික ගැටුමක් නිර්මාණය විය. මෙම ගැටුමේ දී බටහිර රටවල් පැහැදිලිවම පෙනී සිටියේ කොසෝවෝ හි ඇල්බේනියානුවන් වෙනුවෙනි. සර්බියාවේ සහාය කොසෝවෝ හි සර්බියානු වාර්ගිකයන්ට ලැබුණ අතර වාර්ගික ඇල්බේනියානුවන්ගේ සහායට නේටෝ යුද හවුල ඉදිරිපත් විය.
නේටෝ හමුදා වාර්ගික ඇල්බේනියානුවන්ගේ සහායට ගුවන් ප්රහාර එල්ල කෙළේය. එහෙත් එම ගුවන් ප්‍රහාර කොසොවෝ ප‍්‍රදේශයට පමණක් සීමා වූයේ නැත. සර්බියාවේ අගනුවර වූ බෙල්ග්‍රේඩ් නගරය ද නේටෝ ගුවන් ප‍්‍රහාරවල ඉලක්කය විය. එම ප‍්‍රහාර හේතු යුක්ති කෙළේ සර්බියාවේ යුද ශක්තිය දුර්වල කිරීම තුළින් කොසෝවෝ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කළ හැකිය යනුවෙනි. නේටෝ ගුවන් ප‍්‍රහාර කෙතරම් දැඩි වූයේ ද යත් සර්බියාවට සහාය දැක්වූ විදෙස් රටවල තානාපති කාර්යාල පවා ඉලක්ක විය. චීනය මෙම ගැටුමේ දී සර්බියාව වෙනුවෙන් පෙනි සිටි නිසා බෙල්ග්‍රේඩ් නගරයේ චීන තානාපති කාර්යාලයට ද ගුවන් ප්රහාර එල්ල කෙරිණ. මෙය සැලසුම් කළ ප‍්‍රහාරයක් නොව බුද්ධි තොරතුරුවල දෝෂයක් නිසා සිදු වූවක්යැයි නේටෝ මූලස්ථානය ප්‍රකාශ කළ නමුත් පැහැදිලි සත්‍යය වූයේ සර්බියාවේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කිරීම නේටෝ අරමුණය යන්නයි. සන්නිවේදන මධ්‍යස්ථාන පමණක් නොව රෝහල් පවා නේටෝ ගුවන් ප‍්‍රහාරවලට ලක්වූයේ එම නිසා ය.
කෙසේ වුවත් මෙම ඉතිහාසය වැදගත් වන්නේ යුක්‍රේනයේ සිදුවන්නේ ද මෙවැනිම සංසිද්ධියක් බව තේරුම් ගැනීමටය. වෙනස ඇත්තේ ප්‍රතිවාදීන්ගේ ආස්ථාන වෙනස්වීම පමණි. යුක්‍රේනයේ වාර්ගික රුසියානුවන් සිටින ප්‍රදේශවල සහායට රුසියාව ඉදිරිපත්ව සිටින අතර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සර්බියාව සම්බන්ධයෙන් දරන ස්ථාවරයට සම්පූර්ණයෙන්ම පටහැනිව යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනි සිටී. යුක්‍රේන පාලනය යටතේ වෙනස් කොට සැලකීමට ලක්වන වාර්ගික රුසියානුවන් වෙන්වීමට සටන් කරන අතර කීයාෆ් පාලනය එවැනි වෙන්වීමකට කිසිසේත් ඉඩ දෙන්නේ නැත. 2014 දී එක්සත් ජනපදයේ සෘජු සහාය ඇතිව ක්‍රියාත්මක වූ මයිඩාන් අරගලයෙන් එවකට යුක්‍රේනයේ ජනාධිපතිව සිටි යනුකොවිච් පලවා හැරීමෙන් පසු වර්ගවාදී පාලනයක් බිහිවීම සමග රුසියානු වාර්ගික බහුතරයක් සිටින ක්‍රිමියාව සහ ඩොන්බාස් ප‍්‍රදේශ ස්වාධීන රාජ්‍ය වශයෙන් ප‍්‍රකාශයට පත් වූයේ කොසොවෝ හි සිදු වු ක්‍රියාදාමයට සමානව ය.
අද රුසියාව වෙන්ව ගිය ප‍්‍රදේශවල සහායට ඉදිරිපත්ව සිටින අතර එක්සත් ජනපදය ප‍්‍රමුඛ යුරෝපා සංගමය ඊට විරුද්ධව බෙදී වෙන්වීමට එරෙහිව කියාෆ් පාලනයත් සමග පෙනී සිටී. 2014 දී ඩොන්බාස් ප‍්‍රදේශයේ ගැටුමට රුසියාව සෘජුවම සහභාගි වූයේ නැති වුවත් වාර්ගික රුසියානුවන්ගේ සටනට සහාය දැක්වීය. යුද්ධය යුක්‍රේනයේ දේශ සීමාවලින් ඔබ්බට ගොස් ලෝකයම වෙළා ගන්නා න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වන්නේ ලෝකයේ බල කණ්ඩායම් දෙකක් අතර සෘජු ගැටුමක් බවට පත්වීමේ අනතුර නිසාය.
යුක්‍රේනයේ යුද ගිනි දැල් ඇවිළෙමින් තිබිය දී කොසෝවෝ හිද සමාන හේතුන් මත අවි ගැටුමේ අනතුර දිනෙන් දිනම වැඩි වෙමින් පවතී.
කොසෝවෝ හි අවි ගැටුමක අනතුර නැවත හට ගත්තේ සති කිපයකට පෙර උතුරු කොසෝවෝ ප‍්‍රදේශයේ වාර්ගික සර්බි ප‍්‍රදේශවල කොසෝවෝ හි අගනුවර වන ප්‍රිස්ටිනා පාලනයට එරෙහිව බාධක ඉදි කිරීමත් සමගය. ආසන්න හේතුව වූයේ කොසෝවෝ පොලීසියෙන් සර්බියානු වාර්ගික පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට ගැනීමය. ඊට විරෝධය පෑමට එම ප්‍රදේශයේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් සහ සිවිල් පරිපාලනය ඉල්ලා අස් වූහ. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ වාර්ගික ඇල්බේනියානුවන් බහුතරයක් වන කොසොවෝ පාලනය තමන්ට වෙනස් කොට සලකන නිසා වෙන්වි සර්බියාවට එක්වීමේ අයිතියයි. යුක්‍රේනයේ ගැටුම මීට සමාන වන්නේ රුසියානු සුළුතරය වෙන්වීමේ අයිතිය ඉල්ලා සිටින අතර යුක්‍රේනයේ පාලනය ඊට විරුද්ධ වීමෙනි. ඔවුහු රට බෙදීයෑමට කිසිසේත් ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කරති.
වෙනස ඇත්තේ කොසොවෝ ප‍්‍රදේශය සර්බියාවෙන් වෙන්වීමට පක්ෂව සිටි යුරෝපීය රටවල් සහ එක්සත් ජනපදය යුක්‍රේනයේ දී වෙන්වීමට එරෙහිව අවිබලය යෙදවීමට කියාෆ් පාලකයන්ට සහාය දීම ය. රුසියානු පෙඩරේෂණය යුක්‍රේනයේ වාර්ගික රුසියානුවන් වෙනුවෙන් පෙනි සිටීම ව්‍යප්තවාදයක් ලෙස යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය හෙළා දකිති. මෙහිදී එක්සත් ජනපදයේ දෙබිඩි අවස්ථාවාදි ප‍්‍රතිපත්තිය හොඳින් කැපී පෙනෙන්නේ දැනට කොසොවෝ හි වර්ධනය වෙමින් පවතින තත්වය සමග සැසඳීමේ දීය.
කොසෝවෝ අවි ගැටුම් නතර වූයේ 1999 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත කර ගත් යෝජනාවක් අනුව ය. ඒ අනුව කොසෝවෝ ප‍්‍රදේශයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමට නේටෝ හමුදාව යෙදවීමට ඉඩ ලැබිණ. එය හැඳින් වූයේ නේටෝ සාම සාධක හමුදාව (KFOR ) නමිනි. මෙම යෝජනාව අනුව කොසෝවෝ ප‍්‍රදේශයේ පාලනය ප්‍රිස්ටිනා හි ඇල්බේනියානුවන්ට හිමි වුවද ප‍්‍රදේශයේ ස්වෛරීත්වය හිමි වූයේ සර්බියාවට ය. සර්බියාවට සර්බි බහුතරයක් සිටි ප‍්‍රදේශවලට 1000ක හමුදා පිරිසක් යැවීමේ අයිතිය ද එම යෝජනාවෙන් පිළිගෙන තිබිණ.
අර්බූදය නැවත මතුවීමේ අවදානම ඇත්තේ එම අයිතිය අනුව සර්බියාව කොසොවෝ හි උතුරු ප‍්‍රදේශයට හමුදාව යැවීමට සූදානම් වීමත් සමගය.
කොසෝවෝ පාලනය යටතේ සර්බියානුවන්ට වෙනස් කොට සැලකිමක් පවතින අතර උතුරු කොසෝවෝ ප‍්‍රදේශ හා සර්බියාව අතර කිසිම ආකාරයේ සම්බන්ධතාවයක් ගොඩ නැගීම කොසෝවෝ පාලනය ඉවසන්නේ නැත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව නොතකා කොසෝවෝ ප‍්‍රදේශය 2008 දී ස්වාධීනත්වය ප‍්‍රකාශ කොට යුරෝපීය සංගමයට බැඳීමට අයැදුම් පතක් ඉදිරිපත් කෙළේ මෙවැනි වාතාවරණයකය. යුක්‍රේනයේ යුරෝපා සංගමයට බැඳීමට උත්සාහ ගන්නා අයුරෙනි. එහෙත් වෙනස කොසෝවෝ හි ස්වාධීනත්වය මෙතෙක් කිසිම රටක් පිළිනොගැනීමයි.
උතුරු කොසෝවෝ ප‍්‍රදේශවල වාර්ගික සර්බියානුවන්ගේ ආරක්ෂාවට, ආරක්ෂක මණ්ඩලයේ ප‍්‍රතිපාදන අනුව හමුදාව යැවීමට සර්බියාව සූදානම් වුවද එක්සත් ජනපදය ඊට තරයේම විරුද්ධ ය. එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත ගාබ්‍රියල් එස්කොබාර් ප‍්‍රකාශයක් කරමින් සර්බියානු හමුදා කොසෝවෝ ප‍්‍රදේශයට ඇතුළුවීමට එක්සත් ජනපදය කිසිසේත් ඉඩ දෙන්නේ නැතැයි අවධාරණය කෙළේය. ඉන් පසුව පසුගිය සතියේ නේටෝ හමුදා ශක්තිය වඩාත් වැඩි කොට හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට ද සූදානම් බව ප‍්‍රකාශ කොට තිබිණ. මෙම තත්වය නිසා නැවත වරක් කොසෝවෝ ප‍්‍රදේශයේ යුද ගැටුම් ඇතිවීමේ පැහැදිලි අනතුරක් පවතී.
මින් කියවෙන්නේ ජාතික ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය වැනි සංකල්ප තීරණය වන්නේ ජාත්‍යන්තර නිතිය අනුව හෝ වෙනත් පිළිගත් මූලධර්මයක් අනුව නොව බලවත් ජාතින්ගේ දේශපාලන සහ ආර්ථික වුවමනාව අනුවය යන්නයි. එහිදී ජාත්‍යන්තර ගිවිසුම් හුදෙක් වචනයට සහ අවස්ථාවට සිමා වේ. හිටපු ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කේල් මෑතක දී ප‍්‍රකාශ කළ ආකාරයට 2014 දී යුක්‍රේනයේ සියලූ ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු වන සාමකාමී විසඳුමක් වූ මින්ස්ක් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා නොව කල් ලබා ගැනීමට අත්සන් කළ එකකි. ඒ අවස්ථාවේ දී රුසියන් හමුදාව යුක්‍රේනයට ඇතුළු වූයේ නම් ඊට මුහුණ දීමට හැකියාවක් කියාෆ් පාලකයට තිබුණේ නැත. එමනිසා මින්ස්ක් ගිවිසුම අත්සන් කෙළේ යුක්‍රේනයේ හමුදා ශක්තිය තර කර ගන්නා තෙක් ය.
එක්සත් ජනපදය 1999 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට පක්ෂ ව ඇත්තේ ද එවැනිම පදනමකිනි. කොසෝවෝ සහ සර්බියාව අතර සාමකාමී විසඳුමක් ඇති කිරීමට වඩා කලාපයේ තම දේශපාලන වුවමනාව සඳහා ය. රටවල් කුඩා කැබලිවලට වෙන් වීම හෝ බලවතුන්ගේ න්‍යාය පත‍්‍රය අනුව වෙන් කිරීම හැඳින්වීමට බොල්කනයිශේෂන් යන ඉංග්‍රීසි වචනය (Balkanization) භාවිතයට පැමිණියේ ද මෙවැනි තත්වයක් තුළය. යුක්‍රේනයේ රුසියානු සම්භවයක් ඇති ජන කොටසේ වෙන්වීමට හෝ සමානත්වය උදෙසා කරන සටන ආක‍්‍රමණයක් වුවද සර්බියාව තම භූමි ප‍්‍රදේශයේ අඛන්ඩතාවය පවත්වා ගැනිමට ගන්නා පියවර ‘‘වාර්ගික ශුද්ධ කිරීමකි.’’ ජාතික අනන්‍යතාවය, වාර්ගිකත්වය, ස්වෛරීත්වය, ස්වාධීනත්වය වැනි සංකල්ප බලවතුන්ගේ දේශපාලන වුමනාවට ආවරණයක් වන්නේ මෙවැනි තත්වයක් තුළය.
කුඩා දුර්වල රටවලට තම අනන්‍යතාවය සහ ස්වාධීනත්වය පවත්වා ගත හැක්කේ වෙනස් කොට නොසැලකීම සහ සමානත්වය පිළිගන්නා ජාතික වැඩ පිළිවෙළක් තුළින් පමණක් බව බොල්කන් දේශයෙන් කියවෙන පාඩමයි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024