You are currently viewing වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොතක එක්සත් ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීම

වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොතක එක්සත් ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීම

අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී උද්යෝගයේ අපූර්වත්වය පෙන්වමින් සිය දහස් ගණන් ජනයා විදී බැස ඇත. වෙනසක් සඳහා වන මේ ඉල්ලීම වඩාත් ප්‍රබල සහ දර්ශනීය වෙයි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ කුඩා ප්‍රභූ කණ්ඩායමක් කෙරෙහි වන කෝපයයි – ඒ රාජපක්ෂවරුන්ය. රාජපක්ෂවරුන්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සහචරයින් සහ ගජ මිතුරන් මෙන්ම ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය සමඟ එක්වී දේශපාලන අධිරාජ්‍යයක් ගොඩනගා ඇත. රටේ ජනාධිපතිවරයාට ”ගෙදර යන” ලෙස ඉල්ලීම් කරමින් ජනතාව පාරට බැස ඇත්තේ, පසුගිය දශක කිහිපය තුළ රට අත්විඳි දරුණුතම ආර්ථික දුෂ්කරතාවලින් එකක් මේ මොහොතේ දිග හැරී ඇති බැවිනි.

මෙම වෙනස සඳහා වන ඉල්ලීම් බලයේ සිටින ආණ්ඩුවට පමණක් නොව, ආණ්ඩුකරණයේ ස්වරූපයන් කෙරෙහිද වෙයි.  විරෝධතාකරුවන් විසින් දුෂ්කර ප්‍රශ්න අසනු ලබයි: ආර්ථික ප‍්‍රතිපත්ති, අධිකරණයේ ක‍්‍රියාකාරිත්වය, විවිධ ප‍්‍රජාවන් අතර සබඳතා ආදිය ප්‍රධාන වෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ මිල අඩු කිරීම් සහ තම පවුලට ප්‍රමාණවත් පරිදි ආහාර, ඖෂධ, කිරිපිටි, විදුලිය, ගෑස් සහ ලිපි ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ හැකියාවයි. පර්යන්තයේ ප‍්‍රජාවන්ට අවශ්‍ය රටේ සොරකම් කළ ධනය ඔවුන් වෙත ආපසු ලබා දී බෙදා හැරීමය. බෙදුම්වාදී ජනවාර්ගික හා ආගම් පදනම් කරගත් දේශපාලනය අවසන් කිරීමට සහ අතීත උල්ලංඝනය කිරීම් පිළිගෙන ඒවා පිළිබඳ වගවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමයි. ඒකාධිපතිවාදයෙන් තොර රටක් වෙනුවෙන් ජනතාව එකමුතු වී සිටිති. ආර්ථික, දේශපාලන සමාජීය සහ ස්ත්‍රී පුරුෂ සමාජීය සාධාරණත්වය ඉල්ලා සිටින සටන් පාඨවල විවිධත්වයට සවන් දී ඒවාට ආමන්ත්‍රණය කළ යුතුය.

දැඩි ලෙස ණයගැති ආණ්ඩුවට අත්‍යාවශ්‍ය ආනයනයන් ජනතාවට සහතික කිරීමට නොහැකි වීම නිසා ආර්ථික අර්බුදය උග්‍ර වූයේ විරෝධතා අවුලූමිනි. ආහාර, ඖෂධ, ඉන්ධන සහ විදුලිය කෙරෙහි බලපෑ හිඟය සහ අධික මිල ඉහළ යෑම් මගින් මහත් දුක් ගැහැට ඇතිවිය. බලපෑම වඩාත් දරුණු වන්නේ කම්කරු පන්තියට, විශේෂයෙන්ම පීඩිත පංතියට, අඩු වරප්‍රසාද ලත්, සහ ආන්තික පුද්ගලයන්ට සහ ප‍්‍රජාවන්ටයි. වසංගතය මගින් ඔවුන්ගේ තත්වය වෙන කවරදාකටත් වඩා අස්ථිර කර ඇත.

අනුප්‍රාප්තික ආණ්ඩුවල අධිපතිවාදී ප්‍රතිපත්ති විසින් ඇතිකරනලද වත්මන් අර්බුදයේ මූලාරම්භය දේශපාලනික වෙයි. එවන් අධිපතිවාදී පාලනයක් දශක ගණනාවක් තිස්සේ සිංහල බෞද්ධ බහුතර බලමුලූ ගැන්වීම් හරහා තහවුරු කර ඇති අතර, එය ඉතා මෑතක දී මුස්ලිම්වරුන්ට ආදාහනය කිරීම අනිවාර්ය කිරීම හරහා පිළිබිඹු විය. මෙම මතය ගොඩ නඟා ඇත්තේ, මහජනතාවගේ අවශ්‍යතා වලින් හුදකලා වූ ප‍්‍රබල වෘත්තික සහ මිලිටරි පිරිමින් විසින් මග පෙන්විය යුතු බව කියන යන්ත්‍රණ හරහාය. බහුත්වවාදය සඳහා කුඩා ඉඩක් පමණක් ඇති එවැනි මතවාද, පර්යන්තවල සිටින මිනිසුන්ට වෙනස් කොට සලකයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිලිටරීකරණය අසමානතාවය සහ අයුක්තිය ඉහළ ගොස් ඇත.

එය සාමූහික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය සඳහා ඇති අවකාශ පටු කර ඇති අතර, ඒ වෙනුවට අනුග්‍රාහක සහ මධ්‍යගත අධිකාරියේ සංස්කෘතියක් වලංගු කර ඇත.

දුක්ඛිතභාවය සමනය කිරීම සඳහා හදිසි සහන අවශ්‍ය වෙයි. ඒ සඳහා මේ මොහොතේ යෝජනා කරන විසඳුම් විසින් අර්බුධය තවත් උග්‍ර නොකළ යුතුය. විසඳුම ලෙස බොහෝ දුරට ඉදිරිපත් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරමාදර්ශී විසඳුම ලෙස දකින නව ලිබරල් ආර්ථික සම්මුතිය දේශපාලන වර්ණාවලිය පුරා විහිද ඇත. කෙසේ වෙතත්, මෙම අර්බුදය කරා අපව  තල්ලූ කරනු ලැබුවේ දශක ගණනාවක නව ලිබරල් ප‍්‍රතිපත්ති විසිනි. නව ලිබරල්වාදය, සමාජ අවශ්‍යතා අභිබවා ගිය පුද්ගලික දේපල අයිතීන් සහ නිදහස් වෙළඳපොල ආරක්ෂා කරන ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කරයි. ගෝලීය වශයෙන්, ප‍්‍රවාහනය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි සමාජ සේවා ජාවාරම් සහ පුද්ගලික ලාභ සඳහා අවකාශයන් බවට පත් වී ඇති අතර රජයන් මෙම නව ලිබරල් ක්‍රියාවලියේ පහසුකම් සපයන්නන් බවට පරිවර්තනය කර ඇත. රාජ්‍ය තවදුරටත් මහජනතාවට සේවා සැපයීම අපේක්ෂා නොකරන අතර තවදුරටත් එවැනි සේවා මහජනතාවට අයත් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය භූමිකාව දුර්වල වී ඇති අතර අප වෙළෙඳ පොළේ වෙනස්වීම්වල වින්දිතයින් බවට පත්ව ඇත. සමාජ සුබසාධනය සඳහා වන වියදම් කප්පාදු කිරීම සහ සමාජ ආරක්ෂණ ජාල ඛාදනය වීම අප විසින් දැක ඇත. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය සාමාන්‍ය ධර්මතාව බවට පත්ව ඇත. අද අපි දේශීය නිෂ්පාදනය සහ ස්වයංපෝෂිත භාවය වර්ධනය කිරීම වෙනුවට සූරාකෑමට ලක්වන විදේශ ශ‍්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අධික ජාත්‍යන්තර ණය මත විශ්වාසය තබමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකදී අප ඉහත කරුණු මතක තබා ගත යුතුය.

ආර්ථික අර්බුදය කෙටිකාලීනව විසඳීමේ ආකාරයක් ලෙස දුක් විඳින ජනතාවට කඩිනම් සහන සැලසීමට ප්‍රතිපාදන සලසා දිය යුතුය. නැවත බෙදාහැරීම සහ වැඩි සමානාත්මතාව සඳහා යොමු වූ දේපල සහ වාහන සඳහා ධන බද්දක් ඇතුළුව අනුක්‍රම අයබදුකරණයක් අප ඉල්ලා සිටිය යුතුය. ආරක්ෂක අංශය වෙනුවෙන් වෙන්කර ඇති අරමුදල් සැලකිය යුතු ලෙස අඩු කළ යුතු අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, විදුලිය, ජලය සහ ප්‍රවාහනය ඇතුළු මූලික මහජන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රජය විසින් අරමුදල් සැපයිය යුතු බව අපි අවධාරණය කරමු. ඉඩම් නොමැති අයට නිවාස, කෘෂිකර්මය සහ අනෙකුත් ආර්ථික කටයුතු සඳහා ඉඩම් ලබාදිය යුතුයි.

දිගු කාලීනව ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා බල කරමින් තිරසාර දේශපාලන ක්‍රියාමාර්ගයක් බවට අප මෙම ප්‍රජාතන්ත්‍රවාදී මොහොත පුළුල් කර සංයුක්ත කළ යුතුය. මහජන ආරක්ෂක ආඥාපනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු දරුණු නීති අහෝසි කළ යුතුය. මිලිටරි වියදම් කපා හැරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම සහ හමුදාව බැරැක්කවලට සීමා කිරීම මගින් නිර්-මිලිටරිකරණය සිදුකළ යුතුය. කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය බෙදා හැරීම අවශ්‍ය වේ. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙන එන ලද කේන්ද්‍රය තුළ බලය සංකේන්ද්‍රණය කරන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු ය. ඒ වෙනුවට අපි” විනිශ්චය සභා” ස්වාධීන කොමිෂන් සභා සහ ස්වාධීන අධිකරණ වැනි යාන්ත‍්‍රණ හරහා විනිවිදභාවය සහ බහුත්වවාදය පෝෂණය කළ යුතුය .

ජනතාවක් වශයෙන් අපි මේ ඓතිහාසික මොහොතේ සහයෝගීතාව ඉල්ලා සිටිමු! අප සියලූ දෙනාගේ යුක්ති සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය උදෙසා කම්කරුවන්, වෘත්තීය සමිති, කාන්තා කණ්ඩායම්, සියලූම ආන්තික සහ වරප‍්‍රසාද අහිමි වූ ප‍්‍රජාවන්ගෙන් යුක්ත ජන ව්‍යාපාරයක් අපි විසින් පණගන්වන්නෙමු.

අත්සන් කළේ:

  • සුමති සිවමෝහන් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • ෆර්සානා හනීෆා – කොළඹ විශ්ව විද්‍යාලය
  • ශාමලා කුමාර්, – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • මහේන්ද්‍රන් තිරුවරංගන් – යාපනය විශ්වවිද්‍යාලය
  • හසිනි ලේකම්වසම් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • නිකොලා පෙරේරා – කොළඹ විශ්වවිද්‍යාලය
  • අනුෂ්කා කහඳගමගේ – ඔටාගෝ විශ්වවිද්‍යාලය
  • එරන්දිකා ද සිල්වා – යාපනය විශ්වවිද්‍යාලය
  • උදාරි අබේසිංහ – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • අහිලන් කදිරගාමර් – යාපනය විශ්ව විද්‍යාලය
  • අරුණි සමරකෝන්-  රුහුණු විශ්වවිද්‍යාලය
  • හර්ෂණ රඹුක්වැල්ල-  විවෘත විශ්වවිද්‍යාලය
  • කෞශල්‍යා පෙරේරා-  කොළඹ විශ්වවිද්‍යාලය
  • සුදේශ් මන්තිලක – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • කේතකී නාගහවත්ත-  කොළඹ විශ්වවිද්‍යාලය
  • වාසුකී රාජසිංහම්-  යාපනය විශ්වවිද්‍යාලය
  • චූලනී කොඩිකාර –  එඩින්බරා විශ්වවිද්‍යාලය
  • මෛත‍්‍රී වික‍්‍රමසිංහ – කැලණිය විශ්වවිද්‍යාලය
  • ජානකී ජයවර්ධන – කොළඹ විශ්වවිද්‍යාලය
  • ටියුඩර් සිල්වා – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • ගමීලා සමරසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය
  • ප‍්‍රදීප් කෝරළේ ගෙදර – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • රාජන් හූල් – යාපනය
  • එන්. සිවකරන් – යාපනය විශ්වවිද්‍යාලය
  • ශානි අනුරාධා – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • යතුර්ෂා උලකෙන්තරන් – ස්වාධීන පර්යේෂක
  • ශාෆියා රෆායිතු – ස්වාධීන පර්යේෂක
  • රාජිත රණසිංහ –  පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Print Friendly, PDF & Email

Leave a Reply