පලස්තීනය යුක්‍රේනයේ යුද්ධය අභිබවා නැවත වරක් ලොවම කලඹන උණුසුම් මාතෘකාව බවට පත්ව ඇත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය මධ්‍යධරණී මුහුදේ සිය නාවික ශක්තිය වැඩි කරමින් එම ප්‍රදේශයට අතිරේක හමුදා යැවීමට සූදානම් ය. එමෙන්ම ඊශ්‍රායෙලයට තව තවත් අවි යවා එහි සටන් ශක්තිය තර කිරීමට පියවර ගනිමින් සිටී. මෙම සටනේ ‘වින්දිතයා’ වන ඊශ්‍රායෙලය ගුවනින් සහ මුහුදෙන් වර්ග සැතපුම් 300 ක් පමණ ප්‍රදේශයකට කොටු කර ඇති දශලක්ෂ 2.3ක් පමණ වන ජනතාව ගේ ගොඩනැගිලි සහ වෙනත් යටිතල පහසුකම් එල්ල කරගෙන දිවා රෑ නැතිව බෝම්බ සහ මිසයිල ප්‍රහාර එල්ල කරයි.
එක්සත් ජනාධිපති ජෝ බයිඩන් සිවිල් ජනතාව සහ සටන්කරුවන් යනුවෙන් විශේෂයක් නැතිව එල්ල කරන මෙම ප්‍රහාර හේතු යුක්ති කෙළේ ‘අමු අමුවේම පාපතර කණ්ඩායමකට’ එල්ල කරන ප්‍රහාරයක් යනුවෙනි. ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සටන්කරුවන් හැඳින් වූයේ ‘වන සතුන්’ සේය. ඔහුගේ ආරක්ෂක ඇමති යාව් ගැලන්ට් ට ඔවුන් මිනිස් සතුන් ය. එම නිසා ගාසා තීරයම අළු කර දැමීමේ වරදක් නැත.
ශතවර්ෂයකටත් වැඩි කාලයක් තිස්සේ කැකෑරෙමින් පවතින පලස්තීන ප්‍රශ්නය නැවත උණුසුම් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පාන්දර හමාස් සටන් කණ්ඩායමක් ගාසා තීරය, ඊශ්‍රායෙලයෙන් වෙන් කරන හමුදා මුර පොළකට කඩා වැදී දකුණු ඊශ්‍රායෙලයට යාබද ප්‍රදේශයට රොකට් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ය. ඊශ්‍රායෙලය කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයේ මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායෙල් හමුදා මුරපොළ විනාශ කළ හමාස් භටයෝ අසළ වූ යුදෙව් ගම්මාන කීපයක් අත් කර ගත්හ. ඒ සමගම හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත්හ. ඒ අසළ පැවැත් වූ සංගීත සංදර්ශනයකට කඩා වැදුනු තවත් කණ්ඩායමක් එහි සිටි විශාල පිරිසකට වෙඩි තබා මරා දමා ඇතැයි ද වාර්තාවේ.
මිය ගිය පිරිස අතර කුඩා ළමයින් සහ කාන්තාවන් වීම නිසා මෙම ප්‍රහාරය සහ අත් අඩංගුවට ගැනීම් තදබල ලෙස හෙළා දැකීම ලොව සියලු දෙසින්ම ඇසිණ. සටන්වලට කිසිදු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාව මරා දැමීම අවිවාදයෙන්ම හෙළා දැකිය යුතු, පිළිකුලට ලක්විය යුතු ක්‍රියාවකි. එය ඊශ්‍රායෙලය අල්ලා ගත් ප්‍රදේශවලත් ලොව වෙනත් තැනක සිදු වුවත් හෙළා දැකිය යුතු අපරාධයකි. ඒවා යුද අපරාධ වශයෙන් ද හැඳින් විය හැකිය.
එහෙත් ශතවර්ෂකට අධික කාලයක් තිස්සේ දිග හැරෙමින් පවතින ඛේදවාචකයක මෙවැනි අවස්ථාවක් අන් සියල්ල අමතක කොට හුදකලා කර ගැනීමෙන් අපරාධයේ ස්වභාවය හෝ එහි බරපතළකම තේරුම් ගත නොහැකිය. පසුගිය සෙනසුරාදා සිදු වූ ඝාතන, සිද්ධීන් දාමයක ප්‍රතිඵලයකි. ප්‍රතිඵලය තේරුම් ගැනීමට හේතුව ද දැන සිටිය යුතුය. හේතුව නොදැන ප්‍රතිඵලයට පමණක් ප්‍රතිචාර දැක්වීමෙන් කිසිවෙකුටත් යහපතක් සිදු වන්නේ නැත. ජීවිත ආරක්ෂා වන්නේ ද නැත. කල් පවත්නා සාධාරණ යුක්ති සහගත විසඳුමක් ලබා ගැනීමට නම් හේතුව ආමන්ත්‍රණය කළ යුතුය. හේතුව ආමන්ත්‍රණය නොකිරීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය කල් දැමීම පමණි.
පළමු ලෝක යුද්ධයෙන් පරාජයට පත් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට යටත්ව තිබු මැද පෙරදිග, පාලන බලය හිමි කර ගත්තේ යුද්ධයේ ජයග්‍රාහකයන් වූ මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයයි. ඒ වන විට ලෝක බලවතෙකු නොවු එක්සත් ජනපදය මැද පෙරදිග ස්වාධීන රාජ්‍යවලට බෙදා වෙන් කිරීමේ දි මැදිහත් වූයේ නැත. ජයග්‍රාහි රටවල් වූ බ්‍රිතාන්‍යය සහ පුංශය, මැද පෙරදිග ලෙබනනය, ජොර්දානය ඉරාකය සිරියාව සහ සෞදි අරාබිය යනුවෙන් රටවල් වෙන් කළ ද පලස්තීන ප්‍රදේශයට ස්වාධීන රාජ්‍යයක් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට බ්‍රිතාන්‍යය සූදානම් වූයේ එවකට යුරෝපීය රටවල ක්‍රියාත්මක වූ යුදෙව් සංවිධානයක් වන සයන්වාදීන්ගේ වුවමනාව අනුව එම ප්‍රදේශයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම ටය. එය ප්‍රකාශයට පත් වූයේ 1917 බැල්පෝර් ප්‍රකාශනයෙනි. එහෙත් පලස්තීන ප්‍රදේශයේ යුදෙව්වන් සිටියේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා යුදෙව් රාජ්‍යයක් වහාම පිහිටුවීමේ හැකියාවක් තිබුණේ නැත.
1917 සිට දෙවන ලෝක යුද්ධයේ අවසානය දක්වාම දිගින් දිගටම යුරෝපයේ විවිධ රටවලින් යුදෙව්වන් පලස්තීන ප්‍රදේශයට ගෙන ඒම සංවිධානාත්මකව සිදු විය. එය කුළුගැන් වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1947 නොවැම්බර් 29 වැනි දා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයෙන් පලස්තීන ප්‍රදේශයේ යුදෙව් රාජ්‍යයක් සහ අරාබි රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා අංක 181 ( II ) න් අනුමත කිරීමත් සමග ය. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පලස්තීන ප්‍රදේශයට යුදෙව් සංක්‍රමණය සිදු වුවද එහි බහුතරය වූයේ පලස්තීන අරාබි ජනතාව ය. මහා මණ්ඩල යෝජනා අංක 181 ( II ) න් යුදෙව් රාජ්‍යය වශයෙන් වෙන් කළ ප්‍රදේශයට පලස්තීනයේ භූමි ප්‍රමාණයෙන් සියයට 55ක් හිමි වුවද එහි ජන සංඛ්‍යවෙන් සියයට 70ක් වූයේ පලස්තීන අරාබින් ය. එමනිසා යුදෙව් රාජ්‍යයක් පවත්වා ගැනීමට නම් එම භූමි ප්‍රදේශයෙන් පලස්තීනුවන් පලවා හැරිය යුතුය. තම උපන් භූමිය අතහැර යෑමට අකමැති වූ පලස්තීනුවන් පලවා හැරීමට බලහත්කාරය යොදා ගත යුතුය. වෙනත් වචනයකින් ත්‍රස්තවාදය යොදා ගත යුතුය. සයන්වාදීන් බලහත්කාරය මැනැවින් ප්‍රගුණ කර තිබු නිසා එය ක්‍රියාත්මක කළ හැකි විය.
මෙම ඉතිහාසය ඉතාමත් කෙටියෙන් සඳහන් කෙළේ ඊශ්‍රායෙලය නම් වර්ගවාදී රාජ්‍යය බිහිවීමට යොදා ගත්තේ හමාස් සංවිධානය පසුගිය සෙනසුරාදා යොදා ගත් ආකාරයේම ත්‍රස්තවාදී මිලේච්ඡ ක්‍රියා බව පෙන්වීමට ය. සයන්වාදීන්ගේ කෘරත්වය පැහැදිලි කිරීමට සිද්ධීන් දෙකක් පමණක් සංකේතාත්මකව දැක්විය හැකිය. පළමු වැන්න ගැටුම්වලට කිසිම සම්බන්ධයක් නැති වැඩි වශයෙන්ම බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරීන් සිටි ජෙරුසලම් නගරයේ කිංග් ඩේවිඩ් හෝටලය 1946 ජුලි 22 දා බෝම්බ ප්‍රහාරයකින් පුපුරුවා හැරීමය. එහිදී පුද්ගලයින් 88ක් මිය ගියහ. අනෙක් සිද්ධිය වන්නේ 1948 අප්‍රේල් 10 ජෙරුසලම අසළ පලස්තීන ජාතිකයන් විසූ ඩෙයර් යසීන් ගමට සයන්වාදී කණ්ඩායමක් කඩා වැදී බාල මහළු සියලු දෙනා ඝාතනය කිරීම ය. දිවි ගලවා ගත්තේ 50කටත් වඩා අඩු පිරිසකි. යුදෙව් රාජ්‍යය උපත ලැබුවේ ඒ ආකාරයෙනි.
මෙම සහාසික ඝාතනවල අරමුණ වූයේ යුරෝපයෙන් සහ එවකට පැවති සෝවියට් රුසියාවෙන් පැමිණෙන යුදෙව්වන්ට නිජ බිමක් වෙන් කර දීම ය. පලස්තීනයෙන් පලා ගිය සරණාගතයින් සිරියාව, ඉරාකය, ජොර්දානය සහ ලෙබනනය වැනි රටවල කඳවුරු තුළ ජීවත් වූහ. අද එම කඳවුරු තුළ ජීවත් වන්නේ සරණාගතයන්ගේ දෙවන තෙවන පරම්පරාවලට අයත් පිරිස් ය.
අද හමාස් සහ හිස්බුල්ලා වැනි පලස්තීන කණ්ඩායම් අනුගමනය කරන්නේ ඉර්ගුන් සහ හගනාත් වැනි සයන්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් යොදා ගත් ආකාරයේම සටන් ක්‍රමය. වෙනසකට ඇත්තේ අද හමාස් සහ හිස්බුල්ලා වැනි පලස්තීන කණ්ඩායම් හෙළා දකින බටහිර රාජ්‍ය නායකයන් සහ ජනමාධ්‍ය එදා ඉර්ගුන් සහ හගනාත් වැනි කණ්ඩායම් හෙළා දැකීමට ඉදිරිපත් නොවීම ය. මෙම ආකායටම යුක්‍රේනයේ නව නාසි නායකයෙකු වශයෙන් හැඳින්වෙන බන්ඩේරා ගේ නව නාසිවාදී කණ්ඩායම් ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කතා කරන ජන කොටසට එල්ල කරන ප්‍රහාර බටහිර ජනමාධ්‍යයේ ප්‍රශංසාවට ලක් වෙන අතර රුසියානු හමුදාව සිවිල් වැසියන් එල්ල කරන ප්‍රහාර යුද අපරාධයැයි හෙළා දකිති. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුද අපරාධකරුවෙකු වශයෙන් හෙග් හි අන්තර්ජාතික අපරාධ අධිකරණයට කැඳවා ඇත. එහෙත් ගාසා තීරයට ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කරන, ජලය, විදුලිය සහ ආහාර පාන සැපයීම නවතා දමා ඇති බෙන්ජමින් නෙතන්යාහු කිසි විටෙක හේග් අපරාධ අධිකරණයට කැඳවනු ඇතැයි සිතිය නොහැකිය. මෙම අපරාධයට අවි සහ මිල මුදල් ලබා දීමෙන් සහාය දක්වන එක්සත් ජනපද ජනාධිපති ‘සාමයේ සුර දූතයෙකි.’
ප්‍රචණ්ඩත්වය තුළින් කිසි විටෙකත් සාධාරණ යුක්ති සහගත දේශපාලන විසඳුමක් ලබා ගත නොහැකිය. අද ඊශ්‍රායෙලය මුහුණ දී ඇත්තේ ද එවැනි තත්වයකට ය. ප්‍රචණ්ඩත්වය තුළින් පලස්තීනුවන් පලවා හැර සුරක්ෂිත ඊශ්‍රායෙල් යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමට ගත් උත්සාහය එක්සත් ජනපදය වැනි ප්‍රබල රටවල ආර්ථික සහ හමුදාමය ආධාර මත සාර්ථක වූ බවක් පෙන්නුම් කළ ද සාමයක් තහවුරු කළ නොහැකි බව පසුගිය සෙනසුරාදා හමාස් සටන්කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් පැහැදිලිය. විශ්ලේෂකයෙකු සඳහන් කළ ආකාරයට ඊශ්‍රායෙලය සහ හමාස් සංවිධානයේ සටන් ශක්තිය සසඳන්නේ නම් ඊශ්‍රායෙලය ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටී. සමහර ජයග්‍රහණ අත් කර ගත් නමුත් හමාස් සංවිධානයට ඊශ්‍රායෙලයේ සටන් ශක්තියට මුහුණ දීමේ හැකියාවක් නැත. ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරය අළු ගොඩක් බවට පත් කිරීම වැළැක්වීමේ හැකියාවක් ඊට නැත.
එහෙත් සුපිරි තාක්ෂණය සහ සන්නද්ධ ශක්තිය සම්පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නැත. දියුණුම ඔත්තු සේවා පැවතුන ද හමාස් සටන්කරුවන්ට රොකට් වෙඩි සිය දහස් ගණනක් එක් රැස් කිරීමටත් ඒවා ඊශ්‍රායෙලයේ අයර්න් ඩ්‍රෝම් ආරක්ෂක පවුර හරහා එල්ල කීරීමටත් හැකියාව ලැබිණ. හමාස් සටන්කරුවන්ට ඊශ්‍රාලේ හමුදාව සහ යුදෙව් අන්තවාදීන් එල්ල කළ ආකාරයේම ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් තිබිණ. ඒ සටන් ශක්තිය විනාශ කළ ද නැවතත් එය ගොඩනගා ගැනීම වැළැක්වීමට ඊශ්‍රායෙලයට හැකියාවක් ඇතැයි කිව නොහැකිය. අයුක්තිය සහ අසාධාරණය පවතින තාක් එවැනි සිදීධීන් ද පවතිනු ඇත. පලස්තීන ජනතාවට සාධාරණත්වය ඉටු නොකරන තාක් ඊශ්‍රායෙලයට ජීවත්වීමට සිදු වන්නෙ බියෙන් හා සැකයෙනි.
වඩාත්ම අනතුරුදායක තත්වය වන්නේ මෙවැනි ගැටුම්වලට ලොවම තම ග්‍රහණයට යටතට ගැනීමට සැලසුම් කරන එක්සත් ජනපදය මැදිහත්වීමෙන් ලොවම ගිල ගන්නා න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම යි.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024