You are currently viewing රාජ්‍ය මර්දනයට සහ රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පෙළ ගැසෙමු..!

රාජ්‍ය මර්දනයට සහ රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පෙළ ගැසෙමු..!

මාධ්‍ය නිවේදනය  2023.06.19

සිව් දෙසින් නැගී ආ විරෝධය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රති ත්‍රස්ත පනත පස්සට දමා ඇත. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා පටිපාටිය අනුව එම අණ පනත් ගෙන ඒම අත්හැරියේ යැයි කිව නොහැකිය. කල් යල් බලා නැවත වරක්  එම පනත හෝ ඊටත් වඩා දරුණු පනතක් ගෙන ආ හැකිය.

ඒ බව තහුවරු කරන එක් නිදසුනක් වන්නේ විද්‍යුත් ජනමාධ්‍ය නියාමනයට ලක් කිරීමේ අරමුණෙන් විකාශන අධිකාරියක් පිහිටුවීම සඳහා ගෙන ඒමට සූදානම් වන පනතයි. තවමත් කෙටුම්පත් කිරීමට සූදානම් වෙමින් පවතින එම පනතින් විද්‍යුත් මාධ්‍යය සම්පූර්ණයෙන්ම රජයේ පාලනය යටතට ගෙන ඒමට සූදානම් බව පැහැදිලිය.

එක පැත්තකින් නොනවතින මර්දනයක් දියත් කරමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් රාජ්‍ය දේපොළ තොග පිටින් විකුණා දැමීම ආරම්භ කර ඇත.

එදා රාජ්‍ය ව්‍යවසායන් බිහි වූයේ රටේ ආර්ථික ස්වාධීනත්වයත් ජාතික ස්වෛරීත්වයත් තහවුරු කිරීමේ පියවරක් ලෙසය. නමසිය හැට ගණන්වල විදේශීය බහුජාතික සමාගම් යටතේ තිබු ඉන්ධන ආනයනය කිරීමේ ව්‍යාපාරය ජනසතු කෙළේ ජනතාවගේ ප්‍රබල ඉල්ලීම නිසාය.

අද රජය ව්‍යපාරික කටයුතුවලින් ඉවත්විය යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කර ඇති නිර්දේශ මත පදනම්ව දැනට රජය සතු ලාභ ලබන හෝ නොලබන සියලු ආයතන එකී අරමුදලෙන් අනුමත කර ඇති ඊළඟ වාරිකය නිකුත් කිරීමට පෙර විකුණා දැමීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව දැකිය හැකි ය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු දේපොළ සහ ව්‍යාපාරික කටයුතුවලින් සැලකිය යුතු කොටසක් ඇමරිකානු සහ චීන සමාගම්වලට විකිණීමට හෝ පැවරීමට දැනටමත් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපොළ විශාල ප්‍රමාණයක් ද මේ වන විට විදේශිකයන්ට ඩොලර්වලට අලෙවි කිරීමට පිඹුරුපත් සකසමින් සිටී. මේ සියලු දේ සිදු කරමින් සිටින්නේ කිසිදු ආකාරයක ජනමත විමසීමකින් හෝ අඩුම වශයෙන් එම ආයතනවල සේවක පිරිස්වල අදහස් විමසීමකින් ද තොරව ය. 

පළාත් පාලන ආයතනවල මහජන නියෝජනයක් නැතිව අක්‍රිය කර,  පළාත් සභා මුඵමණින් අක්‍රිය කර, පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට  කිසිදු සුජාතභාවයක් නැති අවස්ථාවක ගෙන එන අණපනත්  සහ මර්දන නීති ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ.  ධනපතියන්ගේ  ණය කපා හැර පීඩිත ජනයා මත බදු පටවන ක්‍රියාවලියට එරෙහිව, මෙසේ ජනතා අභිමතයකින් තොරව, විධායකයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අභිමතය මත සිදු කෙරෙන මෙම ක්‍රියාවලිය නිසා සියලු ජනතාව අද දැඩි පීඩාකාරී හා මර්දනකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටී.

විශේෂයෙන් රජය ගෙන යන මෙම ජනතා විරෝධී ක්‍රියාවලියට එරෙහිව හඬක් නගමින් සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, රාජ්‍ය සේවකයින්, සිවිල් සමාජ සංවිධාන, සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ආයතන ඝෘජුවම හා දැඩි ලෙස රාජ්‍ය මර්දන හස්තයේ ගොදුරු බවට පත් කරමින් සිටී.

මේ වන විට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණා දැමීමට එරෙහිව හඬක් නැගූ, රක්ෂණ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහෝදරයාට සහ එහි මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චි සහෝදරියට අයුක්තිසහගතව, නීති විරෝධීව සහ ද්වේශ සහගතව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට ඇතුලු වීම පවා වළක්වමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි දඬුවම් මාරුවක් ලබා දී ඇත්තේ ද මෙම ක්‍රියාවලියේම දිගුවක් ලෙස ය. 

එමනිසා මෙම තත්ත්වය තුළ පහත අත්සන කරන අපි ජනවරමක් නැති, ජන පීඩක රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට  කියා සිටින්නේ:

  • රජය සතු ව්‍යවසායන් විකිණීම,
  • ජනතාව සතු දේපොල ඩොලර්වලට අලෙවි කිරීම ඇතුලු ජනතා විරෝධී ක්‍රියාවලියට එරෙහිව ක්‍රියා කරන වෘත්තීය සමිති නායක නායිකාවන් ඇතුලු  සියලු දෙනා දඩයම් කිරීම,
  • ජනතා අභිමතය නොසලකා විධායකයේ තනි අභිමතය මත මූලික අයිතිවාසිකම්වලටත් පටහැනිව  ගෙන  ඒමට ක්‍රියා කරන මර්දන නීති ඇතුලු අනෙකුත් අනපණත් වහාම නවතා දමන ලෙස ය.
  • පදනම් විරහිත චෝදනා මත දේශපාලන අරමුණු වෙනුවෙන් සිරකර  සිටින   සියලු දෙනා නිදහස් කිරීමට,
  • ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දිනෙන් දිනම කල් දමමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත් වීමට වහා පියවර ගන්නා    ලෙස ය.
  1. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය (MDDR) – කොළඹ
  2. පැ‍ෆ්රල්  සංවිධානය (PAFFREL) – කොළඹ
  3. සවිස්ත්‍රි ජාතික කාන්තා ව්‍යාපාරය – කොළඹ
  4. ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය – කොළඹ
  5. ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය – කොළඹ
  6. Centre  for Human Rights and Development(CHRD)
  7. Institute for People Engagement and Networking
  8. INFORM ආයතනය – කොළඹ
  9. ශ්‍රමාභිමානි කේන්ද්‍රය – ගම්පහ
  10. ගැමි කාන්තා පෙරමුණ – ගාල්ල
  11. කුරුණෑගල මානව හිමිකම් සංවිධානය
  12. දේවසරණ සංවර්ධන කේන්ද්‍රය – කුරුණෑගල
  13. උතුරු දකුණු සහෝදරත්වය
  14. රෙඩ් සංවිධානය – ගම්පහ
  15. කාන්තා සංවර්ධන පදනම – කුරුණෑගල
  16. ජාතික ධීවර සහයෝගීතාවය – ගම්පහ
  17. ජනාවබෝධ කේන්ද්‍රය – ගම්පහ
  18. Standup Movement Lanka – ගම්පහ
  19. කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය – බදුල්ල
  20. ජනතා සංස්කෘතික සංවිධානය – ගම්පහ
  21. සමාජ සාධාරණත්වය සඳහා ස්ත්‍රී ක්‍රියාකාරිත්වය – කොළඹ
  22. ඌව වෙල්ලස්ස  කාන්තා සංවිධානය – මොණරාගල
  23. අනුරාධපුර සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව
  24. මාතර සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව
  25. මාතලේ සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව
  26. මානව සම්පත් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය   (CHRCD) කුරුණෑගල
  27. ස්ත්‍රීන්ගේ මහජන කොමිසම  සදහා ක්‍රියාකාරිත්වය – කොළඹ
  28. ප්‍රජා සම්පත් සුරැකීමේ  මධ්‍යස්ථානය – මොණරාගල
  29. ස්ත්‍රී මධ්‍යන්ථානය – ගම්පහ
  30. ප්‍රජාතන්ත්‍ර හා මානව හිමිකම් සංවිධානය – රත්නපුර
Print Friendly, PDF & Email

Leave a Reply