දැනට වෙළඳ පෙළේ පවතින රතු සහල් හිඟයට හේතුව පසුගිය ආණ්ඩුව 2024 මැතිවරණය ඉලක්ක කර ගෙන පවුලකට රතු සහල් කිලෝ ග්‍රෑම් විස්ස බැගින් බෙදා දීමයැයි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා ප්‍රකාශ කෙළේය. මෙම ප්‍රකාශයට ජනමාධ්‍යයේ ඉහළම ප්‍රචාරයක් ලැබුණේ ඔහු වෙළඳ ඇමති නිසා ද නැතිනම් ජාතික ජන බලවේගයේ චතුර කතිකයෙකු නිසා ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ප්‍රකාශය ආණ්ඩු බලයක් නොමැතිව සිටිය දී සාමාන්‍යයෙන් ජනමාධ්‍යයේ අවධානය ලබා ගැනීමට කළ ප්‍රකාශවලින් වෙනස් වන්නේ නැත.
හදිසියේම අඩු ආදායම්ලාභී පවුල් අතර කැකුළු සහල් බෙදීමට ගත් තීරණය ඡන්ද ගුණ්ඩුවක් බවට කිසිදු සැකයක් නැත. එහෙත් මෙම සහල් බෙදා දීම ඊට මාස කිපයකට පසු රටේ රතු කැකුළු සහල් හිඟයකට හේතු වූයේයැයි පැවසීම වගකිව යුතු ඇමතිවරයෙකුගේ ප්‍රකාශයක් සේ පිළිගත නොහැකිය. එම සහල් ලැබුණේ අඩු ආදායම්ලාභි පවුල්වලට නිසා සිදු විය හැක්කේ ඔවුන් වෙළඳ පොළෙන් මිලදී ගන්නා සහල් ප්‍රමාණය ද ඊට සමානුපාතීව අඩුවීම ය. එනම් සෑම පවුලක්ම නිවසේ පරිභෝජනයට මිල දී ගන්නා සහල් ප්‍රමාණය කිලෝ දහයකින් අඩුවීමය. ඒ අනුව සිදු විය හැක්කේ වෙළඳ පොළෙ සිල්ලර මිලට විකුණන සහල් ප්‍රමාණය අඩුවීමය. අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදා දිමට එකවර ලොකු සහල් තොගයක් වෙළඳ පොළෙන් ඉවත් වුවද ඉන් පසු සති කිපයේ දී වෙළඳ පොළ ඉල්ලුම පහත වැටී පෙර පැවති තත්වයට පත් වනු ඇත. එසේ නොවිය හැක්කේ මෙම සහල් පරිභෝජනය නොකර ආරක්ෂිත තොග වශයෙන් එම පවුල්වල ගොඩ ගසා ගෙන සිටීමෙන් පමණි. අඩු ආදායම්ලාභී පවුල්වලට එවැනි හැකියාවක් නැති නිසා ලැබුණු සහල් වහාම පරිභෝජනයට ගන්නට ඇත. එමනිසා සහල් බෙදීමෙන් වෙළඳ පොළට දැඩි බලපෑමක් ඇති විය නොහැකිය. විය හැක්කේ තාවකාලික බලපෑමක් පමණි.
වෙළඳ පොළ මෙම හැසිරීම වර්තමාන වෙළඳ ඇමති මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ දුප්පත් ජන කොටස් වෙනුවෙන් පෙනි සිටි වසන්ත සමරසිංහ නොදන්නේයැයි කිව නොහැකිය. කණගාටුවට කරුණක් වන්නේ ඔහු තවමත් ජනප්‍රිය දේශපාලන සටන් පාඨ යොදා ගැනීමය. ‘සිස්ටම් චේන්ජ්’ එකක් වෙනුවෙන් බලය ලබා ගත් ඇමතිවරයෙකු හෝ ආණ්ඩුවක් නොකළ යුතු ප්‍රකාශයකි.
රතු සහල් හිඟයක් ඉදිරියේ ඇති නොවීමට මෙම ආණ්ඩුව ගැනීමට බලාපොරොත්තු වන පියවර දෙස බලන විට ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයේ ම බරපතළ අඩුවක් පවතින බව පෙනේ. පළමුවෙන්ම සහල් හිඟයක් ඇත්තේ රතු සහ නාඩු සහල්වල පමණක් බව ද අවධාරණය කළ යුතුය. නොයෙකුත් නම්වලින් හැඳින්වෙන සම්බා සහල්වල හිඟයක් නැත. ඉදිරියේ දී පොදුවේ සහල් හිඟයක් ඇති නොවීමට ගන්නා පියවරක් වන්නේ දැනට අභාවයට ගොස් ඇති වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රිය කිරීමයි. වී අලෙවි මණ්ඩලය සතුව වී තොග පවතින්නේ නම් සහල් හිඟයක් ඇති වන විට වෙළඳ පොළට සහල් තොග නිකුත් කිරීමට රජයට හැකියාවක් ලැබේ. දැනට වී අලෙවි මණ්ඩලයට එවැනි වී තොග නැති නිසා රජයට වෙළඳ පොළ මැදිහත් වීමක් කළ නොහැකිය.
එමනිසා නව රජයේ පියවර වන්නේ අභාවයට ගොස් ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහ වී මෝල් පිළිසකර කොට නැවත වී ගබඩා කිරීමටත් වී කෙටීමටත් සුදුසු තත්වයකට පත් කිරීමය. එය එළඹෙන මහ කන්නයේ අස්වනු වෙළඳ පොළට පැමිණීමට පෙර නිම කළ යුතු නිසා ඊට හමුදාවේ සහාය ලබා ගන්නා බවද පළ විය.
බැලූ බැල්මට වෙළඳ පොළ පවතින පෞද්ගලික ඒකාධිකාරියට මුහුණ දීමට මෙය කාලීන පියවරකි. දැනට වෙළඳ පොළ ක්‍රියාත්මක වන ඒකාධිකාරී මෝල් හිමියන් අස්වනු නෙළන කාලයේ දී අඩු මිලට වී ලබා ගෙන වෙළඳ පොළ හිඟයක් ඇති වන විට වැඩි මිලට සහල් තොග නිකුත් කිරීමෙන් විශාල ලාභයක් උපයා ගනී. වී අලෙවි මණ්ඩලය සතුව තිබු වී මිලදී ගැනීමේ ඒකාධිකාරී බලය 77 බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඉවත් කිරීමෙන් පසුව එම ක්ෂේත්‍රයේ බිහිව ඇති මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ වර්ධනය අනුව උපයා ගෙන ඇති ලාභ ප්‍රමාණය ගැන අදහසක් ඇති කර ගත හැකිය. වී අලෙවි මණ්ඩලයේ ඒකාධිකාරී බලය පැවති සමයේ එවැනි මහා පරිමාණ මෝල් හිමියන් බිහි වූයේ නැත.
එහෙත් මෙම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව විශාල වී තොග හෝ සහල් තොග තිබුණ බවට කිසිදු සාධකයක් නැත. රජයේ නිලධාරීන් ගොස් එම ගබඩා සංකීර්ණ පරික්ෂාවට ලක් කළද වෙළඳ පොළ සහල් මිලට බලපෑමක් වන ආකාරයේ සහල් තොග නිකුත් කිරීමට හැකි වූයේ නැත. සහල් තොග කිසියම් ප්‍රමාණයකින් වෙළඳ පොළට පැමිණිය ද පවතින හිඟයට එය පිළියමක් වූයේ නැත. එමනිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් කෘත්‍රිම ආකාරයට කැකුළු සහල් හිඟයක් නිර්මාණය කර ඇතැයි යන තර්කය මුලින් සඳහන් කළ සහල් බෙදීම නිසා හිඟයක් ඇති වූයේය යන්නෙන් වෙනස් නොවේ.
වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කිරීමෙන් ඉදිරියේ වෙළඳ පොළ සහල් හිඟයක් වැළැක්විය හැකියැයි උපකල්පනය කිරීම ද සැබෑ තතු නොදැන ගෙන ඇති තීරණයකි. වී අලෙවි මණ්ඩලය නැවත පණ ගැන්වීමේ දී එහි කලින් පැවති වංචා සහ හොරකම් වැළැක්වීමේ පියවර මෙතෙක් දක්වා නැත. නමසිය හැත්තෑ ගණන්වල ආරම්භයේ දී ලෝක බැංකුවේ නිර්දේශයක් මත පිහිටුවන ලද වී අලෙවි මණ්ඩලයෙන් ගොවියාට හෝ පාරිභෝගිකයාට සේවයක් වූයේ නම් ඒ අල්ප වශයෙනි. එම ආයතනය වාර්ෂිකව අත් කර ගත් විශාල පාඩුව හා සසඳන විට එය කිසිසේත් ප්‍රමාණවත්යැයි කිව නොහැකිය. වැඩිම වාසියක් අත් වූයේ වී මිලදී ගැනීම සහ සහල් මෝල් පාලනය කළ දූෂිත නිලධාරීන්ට ය. එය ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමේ දී සිදු නොවන බවට කිසිදු සහතිකයක් නැත.
අර්බූදය පවතින්නේ සහල් වෙළඳ පොළ පමණක් නොව සම්පූර්ණ ක්ෂේත්රයේම ය. එනම් කෘෂිකාර්මික ප්‍රතිපත්තියේය. ඉතාම සරලව වෙළඳ පොළ ගතිකත්වය අනුව ක්‍රියාත්මක වන විට නිෂ්පාදනයත් බෙදා හැරීමත් සිදු වන්නේ ඊට ගැලපෙන ආකාරයට ය. සියලුදෙනා වැඩි ලාබයක් ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන නිසා වැඩි ලාබයක් ලබා ගත හැකි සම්බා වී වගාව සිදුවීම තර්කානුකූලය. ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ වාර්ෂික අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් දශලක්ෂ 2.4ක් වන අතර වී අස්වැන්න මෙට්‍රික් ටොන් දශලක්ෂ 4.2කි. වී කිලෝවක් කෙටීමෙන් සහල් කිලෝ 0.65ක් ලබා ගත හැකි නිසා වෙළඳ පොළේ සහල් හිඟයක් ඇති විය නොහැකිය. ඇත්තෙන්ම සහල් හිඟයක් නැත. සම්බා වර්ග වෙළඳ පොළේ හිඟයක් නැතිව පවතී. එමනිසා මෙම අර්බූදයට විසඳුම් සෙවීමේ දී වි සහල් තොග පවත්වා ගැනිමට අමතරව තවත් ගැටලු ගණනාවක් පවතින බව තේරුම් ගත යුතුය.
පළමුවෙන්ම කූපන් පොතට සහල් ලබා දුන් කාලයේ මෙන් නොව දැන් පාරිභෝගික රුචිකත්වයේ වෙනසක් සිදුව ඇති බව පැහැදිලිය. කූපන් පොතට සහල් ලබා දුන් අවධියේ පාරිභෝගිකයාට සහල් සුදු රතු වශයෙන් තේරීමක් කිරීමට අවස්ථාවක් තිබුණේ නැත. සහන මිලට ලැබෙන දෙය භාර ගත යුතුය. එහෙත් අද තත්වය හාත්පසින්ම වෙනස් ය. පාරිභෝගිකයා විවෘත වෙළඳ පොළෙන් සහල් මිලදී ගන්නා නිසා ඔහුට කැමති සහල් වර්ගයක් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය.
එහෙත් සහල් මොල් හිමියන් උනන්දු වන්නේ වෙළඳ පොළ ස්වභාවය අනුව වැඩිම ලාභයක් ලැබීමට නිසා ඔවුන් යොමු වන්නේ වැඩිම ලාභයක් ලබා ගත හැකි වී මිලදී ගැනීමට සහ සහල් නිපදවීමට ය. වී ඇටයක් සහල් කිරීමේ දී රතු හෝ සම්බා වශයෙන් වෙන් කළ හැකි වුවද නිෂ්පාදන නැතිනම් වගා කිරීමේ වියදම ඒ දෙකටම එකය. එමනිසා සම්බා වී වර්ග වගා කිරිමට ඇති පෙළඹීම වැඩිය. රතු කැකුළු සහල් අලෙවියෙන් ලබා ගත හැකි ලාභය අඩු නිසාත් ගබඩා කර තැබීමේ දී ඇති විය හැකි හානිය වැඩි නිසාත් ඒ ගැන ගොවියා මෙන්ම සහල් මෝල් හිමියා සැලකිලිමත්වීම පුදුමයක් නොවේ. අද වෙළඳ පොළ හැසිරෙන්නේ එම න්‍යාය අනුවය. එය තේරුම් නොගෙන ඉදිරියේ සහල් හිඟයක් ඇති නෙවිමට පියවර ගැනීම දිරා ගිය රෙද්දකින් සුළං බැඳීමට ගන්නා උත්සාහයට වෙනස් නොවේ.
මීට අමතරව වැදගත් සාධකයක් වන්නේ කන්න දෙකකට පමණක් සීමා වන බෝගයක අස්වැන්න වසර පුරාම නොවෙනස්වන ඉල්ලුමට සරිලන ආකාරයට ගබඩා කිරීම ය. සහල් තොග දිගු කලක් ගබඩා කිරීම අපහසු වියදම්කාරි වැඩ පිලිවෙළක් නිසා දිගු කලක් ගබඩා කළ යුත්තේ වී ය. ඒ සඳහා ද සුදුසු පහසුකම් තිබිය යුතුය. වත්මන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ එහි මූල්‍යමය පිරිවැයක් ද පවතී. එමනිසා ඉතාමත් කෙටියෙන් ඉදිරියේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමට වී අලෙවි මණ්ඩලයේ පැරණි ගබඩා සහ සහල් මෝල් ප්‍රතිසංස්කරණය කිරීම සහ වාග් චාතුර්ය කිසිසේත් ප්‍රමාණවත් නැත. ඒ සඳහා සැලසුම් ගත දීර්ඝ කාලින වැඩ පිළිවෙළක් අවශ්‍ය ය.
- රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද? - January 23, 2025
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024