පෙර නොවු ආකාරයේ මිල උද්ධමනයකට මුහුණ දී සිටින ලෝකය ඒ හා සමාන නැතිනම් ඊටත් වඩා බරපතළ යුද උණුසුමකට ළංවෙමින් සිටී. බල කඳවුරුවලට බෙදී සිටින ලෝකය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අවස්ථා කීපයකදීම මෙවැනි උණුසුම් තත්වයන්ට මුහුණ දුන් නමුත් එවකට සිටි රාජ්‍ය නායකයෝ සීමාන්තික යුද්ධයකින් සිදුවන විනාශය ගැන කිසියම් අවබෝධයක් තිබු නිසා අනතුර මග හැරීමට බුද්ධිමත් තීරණ ගත්හ. කියුබානු මිසයිල අර්බුදය එවැනි අවස්ථාවකි. ඒ අවස්ථාවේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝන් කෙනඩි මෙන්ම රුසියානු ජනාධිපති කෘෂෙව් ගත් තීරණ නිසා ලොව න්‍යෂ්ටික යුද්ධයකින් විනාශවීම වැළැක්විණ.
ජනාධිපති ජෝන් කෙනඩි පෙන්ටගනයේ බලපෑම් නොතකා රුසියානු නායකයා සමග එකඟතාවයක් ඇති කර ගත්තේය. සමහර විචාරකයන් පෙන්වා දෙන පරිදි කෙනඩි අනපේක්ෂිත ආකාරයෙන් ඝාතනයට ලක්වීම ද මෙම තීරණයේ ප්රතිඵලයකි. කෙසේ වුවත් වැදගත් වන්නේ මෙවැනි තීරණාත්මක මොහොතක දී හමුදාවේ යුදවාදී දෘෂ්ටි කෝණයෙන් මිදී දේශපාලන වශයෙන් තීරණ ගැනීමට එම නායකයන්ට හැකි වීමය. නමසිය හැට ගණන්වල තිබුණාට වඩා ප්‍රබල විනාශකාරී අවි සතු කරගෙන සිටින වර්තමාන ලෝකයේ එවැනි නායකත්වයක් දක්නට නොලැබීමේ වන්දිය ගෙවීමට සිදුවන තීරණාත්මක මොහොත ඉක්මණික්ම ළඟා විය හැකිය. දේශපාලන නායකත්වය සහ හමුදා ගණන් බැලීම සමපාතවීම සැබැවින්ම ඛේදයකි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව බල කඳවුරු අතර තරගය ගෙන ගිය ආකාරය හැඳින්වීමට යොදා ගත් යෙදුමක් වූයේ තීව්‍රතාවය අඩු යුද්ධයක් ( Low intensity war ) යන්නයි. එහෙත් අද එම අවධිය පසු කොට සම්පූර්ණ ශක්තිය යොදා කරන යුද්ධයකට ලෝකය අවතීර්ණ වෙමින් සිටී. යුද්ධයෙන් පාර්ශ්වයකටත් සිවිල් ජනතාවටත් සිදුවන විනාශය සහ යුද අපරාධ ගැන සාකච්ඡා වන නමුත් සාමය උදා කිරීමක් ගැන කිසිම උනන්දුවක් නැත. සාමය උදා කිරීමට මෙම නායකයන් බලාපොරොත්තු වන්නේ සතුරා සම්පූර්ණයෙන්ම පරාජය කිරීමෙනි. ඒ සඳහා ගත හැකි ඕනෑම පියවරක් යුක්ති සහගතය යන්න ලෝක මතය බව පෙන්වීමට සියලු සන්නිවේදන මාධ්‍ය යොදා ගැනේ.
පසුගිය සතියේ බෝල්ටික් මුහුදේ වාර්තා වූ ගෑස් කාන්දුව ද එවැනි අවස්ථාවකි. රුසියාවේ සිට ජර්මනියට ගෑස් ප්‍රවාහනය සඳහා බෝල්ටික් මුහුදේ එලා ඇති ගෑස් නළ පුපුරුවා හැරීම යුද්ධය ජය ගැනීමට යොදා ගත හැකි සියලු මාර්ග යොදා ගැනීමට ඇති සූදානම පෙන්නුම් කරන්නකි. ගෑස් ප්‍රවාහනය සඳහා තනා ඇති නෝර්ඩ් ස්ට්‍රීම් (Nord Stream) 1 සහ 2 නළ මාර්ගවල සිදුව ඇති මෙම පිපිරීම කවරෙකු කෙළේද යන්න ගැන මෙතෙක් නිශ්චිත අදහසක් නැති නමුත් එය භයානක ආකාරයේ කඩාකප්පල් ක්‍රියාවක් බවට කිසිදු සැකයක් නැත. මුහුදේ මීටර් 100ක් පමණ ගැඹුරකින් එලා ඇති මෙම නළ පුපුරුවා හැරීම කිසියම් රාජ්‍යයක සහාය නැතිව කළ නොහැකියැයි සිද්ධිය වාර්තා වු වහාම රුසියානු රජය නිවේදනය කෙළේය. රුසියානු ප්‍රකාශකයෙකු පැවසූ ආකාරයට මෙම ප්‍රහාරය සඳහා මිනිසබ්මැරිනයක් යොදා ගන්නට ඇතැයි සැක කළ හැකිය.
මෙවැනි සාහසික සිද්ධියකදී සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට එකිනෙකාට චෝදනා කිරීම් වහාම කරලියට පැමිණියේය. ඩෙන්මාකය වැනි රටවල් මුලින්ම සඳහන් කෙළේ මෙම ප්‍රහාරය යුක්රේනයට පක්ෂපාතී කණ්ඩායමක් විසින් හෝ රුසියාව විසින් සිදු කළ හැකි බවට අනුමාන කළ හැකිය යන්නයි. එළඹෙන ශීතයේ යුරෝපා රටවල ගෑස් හිඟයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් රුසියාව මෙය සිදු කරන්නට ඇතැයි ඉන් අදහස් විය. යුක්රේනය රුසියාවට එරෙහිව යොදා ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගන්නා නිසා මෙම අවස්ථාව ද එවැන්නකැයි මතයක් ද පළ විය.
පසුගිය සති අන්තයේ ඩෙන්මාකය සහ ස්වීඩනය මූලික පරීක්ෂණයකින් පසුව නිකුත් කළ වාර්තාවක් අනුව මෙම පිපිරීම නළ මාර්ගය අලුත් වැඩියාව සඳහා යොදා ගන්නා රොබෝ යන්ත්‍රයක මාර්ගයෙන් සිදු කළ බවට සාක්ෂි පවතී. මෙම තාක්ෂණය රුසියාව යොදා ගන්නා නිසා අනියමින් අදහස් වන්නේ රුසියාව විසින්ම මෙම පිපිරීම් සිදු කරන්නට ඇතැයි යන මතයයි. කෙසේ වුවත් මෙවැනි අවස්ථාවල දී වැරදිකරු වහාම හඳුනා ගන්නා එක්සත් ජනපදය වඩාත් පරික්ෂාකාරී වී ඇත. මෙය නිසැකයෙන්ම කඩාකප්පල්කාරී සිද්ධියක් වුවද ඒ පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න ගැන අදහසක් පළ කිරීමට තවම කල් වැඩියයි එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේය. සිරියාවේ වරින් වර සිදුවන රසායනික ගෑස් ප්‍රහාර ගැන සිද්ධිය වූ වහාම සිරියානු රජයට චෝදනා එල්ල කරන යුරෝපා සංගමය හෝ එක්සත් ජනපදය මෙම සිද්ධියේ දී වඩාත් ප්රවේශම්කාරීවීම විමසිල්ලට ලක්විය යුතු කරුණති.
නළ මාර්ගය පිපිරීමෙන් ගෑස් කාන්දුව වාර්තා වූ විගසම ට්විටර් පණිවුඩයක් නිකුත් කළ පෝලන්තයේ හිටපු විදේශ ඇමති සහ දැනට යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු සිද්ධිය ගැන කෙටියෙන් සඳහන් කෙළේ ‘එක්සත් ජනපදය ඔබට ස්තූතියි’ යන්න පමණි. ඉන් අදහස් වූයේ පිපිරීම එක්සත් ජනපදය විසින් හෝ ඒ හා සම්බන්ධ වෙනත් කණ්ඩායමක් විසින් සිදු කෙළේය යන්නයි. එහෙත් එම සටහන දින කීපයකින් පසුව ඉවත් කෙරිණ. ඒ ඉන් එක්සත් ජනපදය ට එල්ලවන චෝදනා නිසාය.
මේ අතර බයිඩන් ගේ පාලනය සමග ගරිල්ලා යුද්ධයක යෙදී සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙළින්ම චෝදනා කරන්නේ ජනාධිපති ජෝ බයිඩන්ට ය. ඔහු මෙම පිපිරවීම් ගැන සඳහන් නොකළත් බෝල්ටික් මුහුද පත්ළේ එලා ඇති රුසියානු ගෑස් නළ මාර්ග විනාශ කරන බවට ජෝ බයිඩන් කළ ප්‍රකාශය උපුටා දක්වන්නේ සිය මතය තහවුරු කිරීමට ය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ හොත් අපි නෝර්ජඩ් ස්ට්‍රිම් 2 ඉවර කරනවායැයි පසුගිය පෙබරවාරි 7 වැනි දා ජනාධිපති බයිඩන් කළ ප්‍රකාශ කෙළේය.
බොහෝ විවාදාත්මක කරුණුවලදී මෙන් ( අප කලින් සඳහන් කළ කෙනඩි ඝාතනය තවමත් විවාදයට ලක්ව ඇති ප්රශ්නයකි. 9/11 නමින් හැඳින්වෙන ජගත් වෙළඳ මධ්‍යස්ථානයට පැහැර ගත් මගී ගුවන් යානා යොදා ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය ගැන ද තවමත් පවතින්නේ විවාදයකි) මෙම සිද්ධියේ දී ද සත්‍යය හෙළි වීමට කලක් ගත වනු ඇත. බොහෝ විට එය තවත් නොවිසිඳුන අබිරහසක්ව පවතිනු ඇත.
එසේ වුවත් සිද්ධියෙන් වාසියක් නැතිනම් ප්‍රයෝජනයක් අත්වන්නේ කාටද යන්න මත වැරදිකරු ගැන පැහැදිලි අනුමානයක් ඇති කර ගත හැකිය. ඒ අනුව ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවලට රුසියාවෙන් ගෑස් සැපයීම දිගු කලක් තිස්සේම නොරිස්සූ කාරණයකි. 1982 දී එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රීගන් සෝවියට් රුසියාවෙන් යුරෝපයට ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ග විනාශ කිරීමේ සී අයි ඒ සැලැස්මක් අනුමත කළ බව පසුව හෙළි විය. කුමන කරුණක් නිසා හෝ එය ක්‍රියාත්මක වූයේ නැත. ඉන් පසුව ජර්මනියට වඩාත් පහසුවෙන් ගෑස් ප්‍රවාහනය සඳහා නෝර්ඩ් ස්ට්‍රීම් නමින් දෙවන නළ මාර්ගයක් ඉදි කිරීමට රුසියාව සැලසුම් කළ විට එක්සත් ජනපදය ඊට විරෝධය දැක් වූයේය. රුසියාව සහ ජර්මන් සමාගමක් අතර හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම නළ මාර්ගය ඉදි කළ නමුත් ජර්මන් රජය ඉන් ගෑස් ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන සහතිකය ලබා දීම ප්‍රමාද කොට යුක්රේන යුද්ධය ඇරඹීමත් සමග ඇමරිකානු බලපෑම නිසා සහතික කිරීම ප්‍රතික්ෂේප කෙළේය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග පැන වූ සම්බාධක නිසා නෝර්ඩ් ස්ට්‍රීම් 1 සහ 2 නළ මාර්ගවලින් ගෑස් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම පාහේ නතර කර තිබිණ. රුසියාවට ගෑස් සහ තෙල් අපනයනයෙන් ලැබෙන ආදායම් අහිමි කිරීම ඇමරිකානු යුද සැලැස්මේ වැදගත් කොටසකි. ඒ අනුව නළ මාර්ග පිපිරවීම කුමන පාර්ශ්වයක් සිදු කළත් ඉන් වාසිය අත්වන්නේ ඇමරිකාවට ය. පිපිරීමෙන් නළ තුළට මුහුදු වතුර කාන්දුවීමෙන් සිදුවන හානියෙන් එම නළ මාර්ග නැවත පාවිච්චියට ගත නොහැකි ආකාරයෙන් විනාශවනු ඇතැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මෙම පිපිරිම් සිදුව දින කීපයකට පසු තුර්කි ස්ට්‍රීම් යනුවෙන් හැඳින් වෙන තුර්කිය හරහා මධ්‍යම යුරෝපීය රටවලට ගෑස් සපයන නළ මාර්ගයේ නඩත්තු සහ පරිපාලන කටයුතු මෙහෙයවන නෙදර්ලන්තයේ ලියා පදිංචි කළ සමාගමේ බලපත්‍රය ද නෙදර්ලන්ත රජය අවලංගු කෙළේය. ඒ අනුව මෙම සැපයුම් මාර්ගය ද රුසියාවට අහිමි වනු ඇත.
මෙම සිද්ධියේ පවතින භයානකම පැත්ත වන්නේ යුද බිමෙන් බැහැර හෝ යුද්ධය හා සෘජු සම්බන්ධයක් නැති ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම යි. අවශ්‍ය තාක්ෂණය සහ පළපුරුද්ද ඇත්නම් මෙය යුද වැදී සිටින ඕනෑම පාර්ශ්වයකට යොදා ගත හැකි දෙපැත්ත කැපෙන අවියකි. වෙනත් වචනයකින් සතුරාට එරෙහිව යොදා ගත හැකි සියලු උපාය මාර්ග යොදා ගැනීමකි. ඇත්තෙන්ම එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහි ගතහැකි සියලු පියවර ගනිමින් සිටී. කලාව ක්‍රීඩාව පමණක් නොව රුසියානු ජාතිකයන් පවා බටහිර රටවල් ඔවුන්ගේ බලපැමට යටත් සංවිධානවලික් පිටමං කෙරේ. තවම භාවිතයට ගෙන නැත්තේ න්‍යෂ්ටික අවි පමණ ය. එම දිනය ද වැඩි ඈතක් නොවන බව බෝල්ටික් මුහුදේ ගෑස් නළ මාර්ග පුපුරුවා හැරීමෙන් පෙනේ.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024